නිල් දිය පතුලේ සැගවුණු ඓතිහාසික කඩදොර විහාරය

2017-11-08 10:29:00       0
feature-top
අනුරාධපුර යුගයේ පැවැති වාපී ශිෂ්ටාචාරය ලෝක ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් යැයි විශිෂ්ට ඉතිහාසඥයකු වූ ආනෝල්ඩ් ජේ. ටොයින්බි විසින් ලියන ලද ලෝක ඉතිහාසය නමැති කෘතියෙහි සඳහන් ය. එය ඉතා නිවැරැදි ප්‍රකාශයක් බව අතීත වාපී ශිෂ්ටාචාරය හැඳින්වීම පිණිස භාවිත කැරෙන වැවයි, දාගැබයි නමැති ආදර්ශ පාඨය විග්‍රහ කළ විට පැහැදිලි වන කරුණකි. වැව ම`ගින් සැලසුම් සහගත වී ගොවිතැනත්, දා ගැබ මගින් අධ්‍යාත්මික සංවර්ධනයත් සංකේතවත් කැරෙන එම ආදර්ශ පාඨය අනුව අතීත වාපී ශිෂ්ටාචාරය යනු හුදු ආර්ථික ක්‍රියාවලියක් පමණක් නො වේ. නූතන ව්‍යවහාරය අනුව පවසන්නේ නම්, එය තිරසාර සංවර්ධනය පිළිබඳ සංකේතයකි.

එම අනගි වාපී ශිෂ්ටාචාරයට සිදු වූයේ කුමක් ද? අතීත වාපී ශිෂ්ටාචාරයට අත් වූ ඉරණ ම කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීම නිසා යළි මතු වී පෙනුණු කඩදොර පන්සලේ බුදු පිළිම වහන්සේ අපට පෙන්වා දී තිබේ. පසුගිය අවුරුද්දේ මාස කිහිපයක් පැවැති නිය`ගය නිසා යළි මතු වූ මේ බුදු පිළිම වහන්සේ 1986 වසරේ සිට කොත්මලේ ජලාශයට යට වී තිබිණ. යළි මතු වී පෙනුණු කඩදොර පන්සලේ එම බුදු පිළිම වහන්සේ ඡායාරූපයට නගා පසු ගිය දිනවල පුවත්පත්වල පළ කැර තිඛෙණු දුටු වෙමු.

කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් කොත්මලේ ජලාශයට යටවිය. එහි දී ජලයට යට වූ පන්සල් ගණන පනස් හතරකි. එයින් අපේක්‍ෂිත ප්‍රධාන ආර්ථික ප්‍රතිලාභය මෙගාවොට් දෙසිය එකක විදුලි බල ධාරිතාවක් ඉපිදවීම යි.

කොත්මලේ ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ ව සිංහල විශ්වකෝෂයෙහි සඳහන් කරුණු වෙත අපි අවධානය යොමු කරමු.

කාවන්තිස්ස රජු ගේ කාලයේ දී ත් මේ පෙදෙසට කොත්මලය යන නම පාවිච්චි වී ඇත. මෙහි ඉතිහාසය එයට ද වඩා පැරැණි ය. සීතාඑළිය, රාවණා ඇල්ල වැනි ස්ථාන නාමවලින් ඒ බව පෙනේ. මෙහි බොහෝ ස්ථාන වල පස කළු පැහැති වීමට හේතුව ප්‍රවාද අනුව හනුමා විසින් ගිනි තැබීම ය. කුවේණි ගේ දරුවන් පලා ගිය බව කියනුයේ ද කොත්මලයට ය. ගැමුණු කුමරු පලාවුත් වාසය කළේ කොත්මලේ කොටගේපිටියේ ය. කාලිංග මාඝගේ කාලයේ දී දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ස`ගවා තැබුවේ කොත්මලේ ය. ඉංගී‍්‍රසින් මහනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලාවුත් සැ`ග වී සිටියේ කොත්මලේ ය. 1818 කැරැල්ල අවස්ථාවේ කැප්පෙටිපොළ, කිවුලේගෙදර, කැටකැලේ ආදී කැරලි නායකයන් රක්‍ෂාවරණය සොයා ආවේ කොත්මලයට ය.

නවීන මාර්ග ඇතිවීමට පෙර කොත්මලේ ගමනාගමනයට දුෂ්කර ප්‍රදේශයක් ව පැවතුණි. එහෙයින් සෙසු ප්‍රදේශ වාසීන් ගේ ඇසුර මෙහි වැසියන්ට ලැබුණේ අල්ප වශයෙනි. මෙහෙයින් ඉතා පැරැණි සිංහල චාරිත්‍ර වාරිත්‍ර ගති පැවතුම් සහ භාෂා ව්‍යවහාර මෙහි පැවතුණි. දැනට නම් කොත්මලය සිංහලයන්ට වඩා වතු කම්කරු ද්‍රවිඩ ජනයා පදිංචි ප්‍රදේශයකි.

පුහුල්පිටියේ රජ මහ විහාරය, දිඹුල විහාරය, දොරුවාදෙණියේ රංසිමාලකාරාමය, ක්ෂේත්‍රාරාමය, පි‍්‍රයබිම්බාරාමය, සුභද්‍රාරාමය, රාජගිරිලෙන විහාරය ආදී පෞරාණික විහාර බොහෝ ගණනක් කොත්මලේ ඇත්තේ ය. මෙයින් පුහුල්පිටියේ විහාර භූමිය ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාවෙන් හටගත් දෙසිස් ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් රෝපණය කරන ලද සිද්ධස්ථානයකි. එ පමණක් නො ව මලියදේව රහතන් වහන්සේ දඹදිවින් වැඩමවන ලද දඹරන් පිළිමයක් ද වඩා හිඳුවා තිඛෙන ස්ථානයක් හැටියට ද මෙය සැලැකේ. ගැමුණු කුමරු සිටි ස්ථානය සිහි වීම පිණිස ගල් තලාවක් මත ගොඩනැගූ චෛත්‍යයක් ද මෙහි ඇත. දිඹුල විහාරය ක්‍රි.ව. 1237 පමණේ දී කරවූවක් බව එහි තිබී හමු වූ ලිපියකින් හෙළි වේ.

විසිවන සියවසේ සංවර්ධන උපාය මාර්ග අනුව ජලයට යට වූයේ එ බඳු භූමි ප්‍රදේශයකි. එය වැවයි, දාගැබයි නමැති විශිෂ්ට සංකල්පයට කෙ තරම් දුරස් දැයි නිය`ගය නිසා හෝ සිහිපත් වීම හොඳ ය. එහෙත්, ජලාශ ඉදි කිරීම වැනි සංවර්ධන යෝජනා ක්‍රම රටට අවශ්‍ය නැතැයි හෝ බුද්ධ ප්‍රතිමා වන්දනාව බෞද්ධ කම ආරක්‍ෂා කිරීමේ එකම මාර්ගය යැයි කීමට අප අදහස් නො කළ බව ද කිව යුතු ය. මෙහි දී වඩා වැදග් වන්නේ සංවර්ධනය පිළිබඳ නවීන ආකල්පයේ ඇති අසම්පූර්ණ බව හඳුනා ගැනීම ය.

කොත්මලේ ජලාශය ගැන කතා කිරීමේ දී එක්තරා අතීත සිද්ධියක් ද මෙහි ගෙනහැර දැක්වීම මැනවැයි සිතුවෙමු.

ඉන්දියාවේ මදුරා පුරයේ තිබූ ආකාරයේ අලංකාර ජලාශයක් සෙංකඩගල නුවර තැනීමට අදහස් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඒ සඳහා නාථ දේවාලය නගර සීමාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය විය. එහි ගුණාගුණ විමසීමට කොත්මලේ බරණ ගණිතයා කැඳවනු ලැබී ය. දිය නා පිරිසුදු වී නාථ දේවාලය වෙත පැමිණි බරණ ගණිතයා, දොළොස් පැයක් දෙවියන් ඉදිරියේ භාවනා කළේ ය. එහි දී ආවේශ වූ ඔහු දෙබරු රෑනක් අහස අඳුරු කරමින් පියඹා එනු දුටු බව පැවැසේ. එහෙත් ඒ පිළිබඳ ව රජුට කිසිවක් නො කී ඔහු දේවාලයෙන් නිහ~ව පිට ව ගොස් ඇත. එ සේ වූව ද බරණ ගණිතයාට කිසි දිනෙක සිය නිවස වෙත පැමිණීමට නො හැකි වී යැයි විශ්වාසයක් පවතී.

ජනප්‍රවාදයේ එන මේ කතා පුවතින් අප අවබෝධ කැර ගත යුත්තේ කුමක්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට බලය තිබූ පමණින් ආගමික සිද්ධස්ථාන වැනි පාරම්පරික උරුමයන් පිළිබඳ තීරණ ගැනීම තම සිතැ`ගි අනුව නො කළ බව ය.

කඩදොර පන්සලේ බුදු පිළිම වහන්සේ ජලයෙන් වැසී ගිය අයුරින් අප ගේ අතීත උරුමය සංවර්ධනයේ නාමයෙන් යටපත් කළ යුතු නැත.

courtesy : wishwakarma.com


More News »