අභයගිරි විහාරය

2017-11-10 11:19:00       0
feature-top
අනුරාධපුර ඇතුල් නුවරට හා මහා විහාරයට උතුරින් අභයගිරි විහාරය වෙයි. අභයගිරි ස්තුපය හා ලංකාරාම වටදාගේ ප්‍රධාන අභයගිරි විහාර ප්‍රදේශය තුළ සංඝාරාම 27 ක් පමණ වෙයි. ඇතැම් සංඝාරාම උතුරින් මල්වතු ඔය දක්වා විහිදි තිබේ. ඒ අනුව විජයාරාමය, කිරිබත් වෙහෙර හා අශෝකාරාමය හෙවත් පංකුලිය විහාරය ද අභයගිරි විහාරයට අයත්ය. ඊට අමතරව දක්ෂිණ විහාරය, තොලුවිල හා මිහින්තලේ සංඝාරාම ද අභයගිරි විහාරයට අයත්ව තිබිණි. අභයගිරි විහාරය මුලින්ම කරවන ලද්දේ ක්‍රි.පූ. 1 වැනි සියවස දි වට්ටගාමණි හෙවත් වළගම්බා රජු විසිනි. ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්භා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා “මහා කළු සිංහලයා පලා යයි” යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය මුලිනුපුටා දමා එහි අභයගිරිය විහාරය සාදා තමාට උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ.

අභයගිරි විහාරයට අයත් වූයේ ජෝතිය නිඝණ්ඨයාගේ දේවාලය වටා කරවූ පිරිවෙන් දොළසක් හා අද ලංකාකාරමය ලෙස හඳුන්වනු ලබන සිලාසොබ්භඛණ්ඩක චේතියයි. ඔහුගේ ඇමතිවරුන් විසින් ද සංඝාරාම කරවන ලදී. දක්ඛිණ විහාරය ඉන් එකකි. පසුව එයට මහා පරිමාණ ස්තුපයක් ද සංඝාරාම විසි හයක් ද එක් විය. ඊට අමතරව සන්නිපාත ශාලා උපෝසථාගාර ආදී අත්‍යවශ්‍ය පොදු ‍ගොඩනැගිලි ද ඉදිවි තිබේ. දැනට අභයගිරි ස්තුපය තිබෙන තැන වට්ටගාමණි අභය රජුගේ වැඩිමහල් සොහොයුරු ඛල්ලාටනාග රජු දවස කරවන ලද අග්ගිපවිසක චේතියක් සහිත නිඝණ්ඨාරාමයක් විය. එම නිඝණ්ඨාරාමය වට්ටගාමණි විසින් විනාශ කළ බව වාර්තා වෙයි. දැනට එහි ඇති මහා පරිමාණ ස්තුපය වට්ටගාමණි නමට ආරෝපණය කර ඇතත් එය සනාථ නොවෙයි. දීපවංශයට අනුව අභයාරාමයේ (අභයගිරි විහාරයේ) ස්තුපය කරවන ලද්දේ ක්‍රි.ව. 2 සියවසේදි 1 වැනි ගජබාහු රජු විසිනි. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බවත්, ස්තුපයේ උස අඩි 400 ක් වුබවත් අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික ෆාහියන් හිමියන් සඳහන් කරයි. එවක ලෝකයේ උසම ස්තුපය වුයේ කණිෂ්කගේ ස්තුපය වන අතර එය අඩි 638 ක් උස විය. අභයගිරි ස්තුපයට දෙවැනි තැන ලැබිණි. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.

අභයගිරි ස්තුපය, පේසාවන් තුන, ගර්භය, හතරැස් කොටුව එය මැද ගර්භය මුදුනේ යුපය හා ඡත්‍රය යන අංගවලින් යුක්ත විය. මේ ලක්ෂණ සර්වාස්තිවාදීන්ගේ ස්තුපවල ද වෙයි. එම නිසා අභයගිරි ස්තුපය සර්වාස්තිවාදීන්ගේ ස්තුප සම්ප්‍රදායට අයත් සේ සැළකිය හැකිය. මේ ස්තුපයේ අනෙක් අංග අතර හත්ථි වේදියක් තුන්වැනි පේසාවට උඩින් වූ බව කියනු ලැබේ. ස්තුපය සතර පැත්තේ වාහල්කඩ සතරක් ද සලපතල මළුව, එහි ඇත් පවුර, වැලි මළුව හා එහි ප්‍රාකාරය හා ගෝපුර ද වෙයි. ස්තුපයේ මළුවට සතර පැත්තෙන්ම පිවිසෙන දොරටු වෙයි. අභයගිරි ස්තුප ප්‍රාකාරයට පිටත හතර පැත්තේ පොකුණු හතරක් වෙයි. ස්තුප ප්‍රදේශයට වැටෙන වැසි ජලය එම පොකුණු වල‍ට ගෙලා ගෙන යාමට සළස්වා තිබේ. අභයගිරි ස්තුපයේ ධර්ම ධාතු නිදන් කර ඇති බවට ජනප්‍රවාදයක් පවතී. විජයාරාම ස්තුපයේ ද ධර්ම ධාතු තිබී හමු විය. ධර්ම ධාතු යන්නෙන් අදහස් කරන්නේ ධාරණි, මන්ත්‍ර හා සුත්‍ර හෝ ඒවායේ කොටස්ය. ක්‍රි.ව. 7 වන සියවසට පසුව කරන ලද ප්‍රතිසංස්කරණවලදි අභයගිරි ස්තුපය මුලින් තිබුණාට වඩා කුඩා වූ බව පෙනේ. දැනට ශේෂ වී ඇති කොටසේ උස අඩි 245 කි. මහා පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිසංස්කරණයේ දි එය රියන් 140 ක් (අඩි 280 ක්) උසට විය. ඒ අනුව කොත් කැරැල්ලේ කැඩී ගොස් ඇති කොටසත් සමඟ මුළු උස අඩි 280 ක් සේ ගත හැකිය. අඩි 35 ක කොටසක් කොත්කැරැල්ලෙන් කැඩි ගොස් ඇති බව පෙනේ. පසුකාලින සංස්කරණවලදී ස්තුපයේ උපරි භාගය නව මුහුණුවරක් ගෙන ඇති බව පෙනේ. කලින් තිබුණු යුපය හා ඡත්‍රය ගිලිහි ගොස් දේවතා කොටුව කොත් කැරැල්ල හා කොත යන කොටස් එක් විය. මෙහිදි මහායාන ස්තුපවල උපරිභාගය බලපාන්නට ඇති බව පෙනේ. අභයගිරි ස්තුපයට දකුණින් හා නිරිත දෙසින් වටවන්දනා පාරට යාබද ව ඇති විශාල සංඝාරාමය අනෙක් සංඝාරාමවලට වඩා විශේෂත්වයක් දරයි. ප්‍රමාණයෙන් එය විශාල වනවා පමණක් නොව ගොඩනැගිලි සංඛ්‍යාව අතින් ද ගොඩනැගිලිවල වැදගත්කම අතින් ද එයට එම විශේෂත්වය ලැබී තිබේ. මෙය මුල් අභයගිරි විහාරය පිහිටි ප්‍රදේශය බවට සැකයක් නැත. මෙයට යාබදව නිරිත දිග ලංකාරාමය හෙවත් මණිසෝමාරාමය පිහිටා තිබේ. මෙහි කලින් සඳහන් කළ සිලාසොබ්භකණ්ඩන චේතිය සහිත සංඝාරාමයයි. ලංකාරාම ස්තුපයට ථුපඝරයක් විය. එය මහා විහාරයේ ථුපාරාම ථුප ඝරය වැන්නකි. පසුව මෙම ථුප ඝරයේ බුද්ධ හා බෝධි සත්ව පිළිම ද තැන්පත් කර තිබුණ බවට සාධක තිබේ.

අභයගිරි ස්තුපය
උතුරුමුලය, වහදුමුලය. අභයගිරි විහාරයෙහි ප්‍රධාන ගොඩනැගිලි අතර කලින් සඳහන් කළ ස්තුප දෙක හැරුණු විට නිරිත දෙස බටහිර සීමාවේ ඇති සංඝාරාමයේ මහායාන පැගෝඩා වර්ගයේ චතුරශ්‍රාකාර ස්තුපයක නටබුන් හා රත්නප්‍රාසාදයට ආසන්නයේ දුටුගැමුණු ස්තුප නමින් හැඳින්වෙන කුඩා ස්තුපයක් ද වෙයි. මිට අමතරව විජයාරාමයේ හා කිරිබත් වෙහෙරහි ද ස්තුප වෙයි. මෙසේ ස්තුප 6 කට නොඅඩු සංඛ්‍යාවක් අභයගිරි විහාරයේ වෙයි.

රත්න ප්‍රසාදය
අභයගිරි විහාරයේ විශාලම ප්‍රාසාදය වන මෙය අභයගිරි විහාරයේ සංඝයාගේ උපෝසථාගාරය ලෙස හැදින්වෙයි. කණිට්ඨතිස්ස රජු විසින් කරවන ලද මෙය පසුව වඩාත් විශාල ලෙස කරවුයේ දෙවැනි මහින්ද රජු විසිනි. එවිට මහල් ගණනාවකින් යුත් මෙය දෙව් විමනක් මෙන් විය. දෙවැනි මහින්ද රජු විසින් මෙහි රන් පිළිමයක්ද තැන්පත් කළේය. වරක් පාණ්ඩ්‍ය යන් විසින් පැහැරගෙන යනු ලැබු එය පසුව දෙවැනි සේන රජු විසින් ලබාගෙන රත්න ප්‍රාසාදයේම තැන්පත් කරන ලදි.

මුරගල
අභයගිරි විහාරයේ රත්නප්‍රාසාදයේ ඇති මුරගල දැනට ශ්‍රි ලංකාවේ ඇති උසස්ම කලාත්මක නිමාවකින් යුත් මුරගල ලෙස හැදින්වේ. එහි මුලදි මුරගල් දෙකක් තිබි ඇතත් දැනට ඇත්තේ වම්පස මුරගල පමණි. නැගෙනහිර දිසාවට මුහුණලා ඇති මේ මුරගලේ ප්‍රධාන තැන ගෙන සිටින හිස වටා නාග පෙණ සහිත ත්‍රිභංග රූපය නැගෙනහිර දිසාවට අධිපති ආරක්ෂක දේවරාජයා වන ධෘතරාෂ්ට්‍රගේය. දිව්‍යරාජ ඇදුම් පැලදුම්වලින් සැරසී දකුණු අතින් පුන් කලසක් හා කටියෙහි රදවන ලද වමතින් මල් ඉත්තක් රැගෙන සිටින දිසාපාලක රූපයට අමතරව එම දිසාපාලකගේ පාමුල බහිරව රූප දෙකක්ද වෙයි. මුරගලේ මුහුණතේ ඉහළ කොටස මකර තොරණකින් යුක්ත වන අතර මුදුනේ දෙපස මුඛ අයාගත් මකරු දෙදෙනෙකි. යටින් උඩට මුඛ අයාගත් මකරු දෙදෙනෙක් දෙපැත්තේ සිටියි. මැද යෝධයෙක් සහ තරුණ යුවලක් වෙති. යෝධයාට සහ තරුණ යුවලට පහළට ගියත් ඉහළට ගියත් මකරුන්ගෙන් බේරිමක් නැත. මෙයින් අදහස් කරන්නේ ලෝකයේ තිබෙන සුන්දර වස්තු මෙන්ම බලවත් වස්තුද කාලය නැමැති මකරාට ගොදුරු වන බවයි.

සදකඩපහණ
පුජනීය හා රාජකිය ගොඩනැගිලි දොරටුවල පඩිපෙළෙහි අවසාන පඩිය දිගහතරැස් ගල් පුවරුවක්, එසේත් නැතිනම් අඩසදේ හැඩය ඇති ගල් පුවරුව සදකඩ පහණ යනුවෙන් හැදින්වෙයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ “සොපාන හෙට්ටිචන්දපාෂාණ” යනුවෙන්ය.එනම් පියගැටපෙළ පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැකි අතර මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් අලංකාර ලෙස නිමවු සදකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.
ශ්‍රි ලංකාවේ මෙතෙක් හමුවි ඇති කලාත්මක අතින් ඉතා උසස් සදකඩපහණ අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේය. පිය ගැටියේ සිට මැද දක්වා එහි ඇති කැටයම් මෝස්තර පිළිවෙලින් ගිනිදැල්, සිව්පා පන්තිය, ලොකු ලියවැල, හංස පන්තිය, කුඩා ලියවැල හා මැද විවෘත පද්මයයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස් වලට අනුව ගිනි දැල් වලින් සාමාන්‍ය ලෝකයේ කරදර,දුක්ගැහැට,වලින් පිරී තිබෙන බවත්, සිව්පා පන්තියෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණදීමට සිදුවන ජාති,ජරා,ව්‍යාධි,සහ මරණ යන දුක් සතරත්, ලොකු ලිය වැලෙන් මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාවත්, හංස පන්තියෙන් බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බවත්, කුඩා ලියවැලෙන් දෙව්ලොවත් සහ මැද පද්මයෙන් නිර්වාණයට මාර්ගය බවත් අදහස් වෙයි.

සමාධි බුදු පිළිමය
samadipilimayaඅභයගිරි විහාරයට යන මංසන්දියෙන් හැරි අභයගිරි විහාරය පසු කර කුට්ටම් පොකුණ දෙසට යද්දි හමුවන නෙත් පහන් කරන පුදුම වශීකෘත බලයකින් හෙබි බුද්ධ ප්‍රතිමාව සමාධි බුදු පිළිමය වන අතර එය බුදුරජාණන් වභන්සේ සමාධියට සමවැදී වැඩ සිටින අයුරු නිරූපණය කර ඇත. සිවිවන සියවසට පමණ අයත් යැයි සැලකෙන සමාධි මුද්‍රාවෙන් යුතු මෙම පිළිමය, උසස් ශිල්පියෙකුගේ නිර්මාණයකැයි විචාරකයෝ පවසති. ගස්කොළන්වලින් වැසී තිබුණු මෙම ස්ථානයෙහි වර්ෂ 1886 දී පිළිමය සොයාගන්නා විට බිම පතිත වී තිබිණි. ආසනයෙන් වෙන්වී බිමට වැටීමෙන් තුවාල වූ නැහැය නැවත ප්‍රතිසංස්කරණය කර තිබේ. මුලදි පිළිමයේ සියුම් බදාමයක් ගා වර්ණාලේප කර තිබු බවට සාධක තිබේ. හිදි ඇගේ පාට රෝස පාට විය. සිවුර රතුපාට විය. හිස මුදුනේ මහායාන උෂ්ණිෂය නැත. පිලිම වහන්සේ නමක් ලෙස තනි කළුගලින් නෙලා ඇති සමාධි පිළිමය උස අඩි 7 අඟල් 9 කි. දෙදන අතර පළල අඩි 7 කි. සෘජු උඩුකය සහිතව ඒකාංශ පරුපනයෙන් යුත් මෙහි සිවුර ඇගටම ඇලි තිබෙන ලෙස නෙළා ඇත. මේ පිළිම වහන්සේගේ දකුණු පාදය වම් පාදය මත සිරිපතුල පෙනෙන සේ නෙලා ඇති අතර දෙපා මත තැබූ වම් අත්ල මත දකුණු අත පිහිටවා ඇත. මේ වැඩ සිටින ආසන ක්‍රමය දේශීය ප්‍රතිමාවලට ආවේණික වූවකි. මෙය වෙනුවට භාරතීය ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන්නේ පද්මාසනයයි.
භාව ප්‍රකාශනය අතින් මේ පිළිමය දෙවැනි වන්නේ පංකුලිය විහාරයේ පිලිමයට පමණි. බුදු රජානන් වහන්සේ සමාධියෙන් පසු වන බව මුහුණෙන් පමනක් නොව මුඑ ශරිරයෙන්ම ප්‍රකාශ වෙයි. ජවහල්නේරු සිරගතව සිටි කාලයේ මේ පිළිමයේ ඡායාරූපයක් ළග තබා ගෙන ඒ සදස බැලිමෙන් මහත් සැනසිමක් ලැබු බව එතුමාගේ පොතක සදහන් වෙයි. සමාධි පිළිමය වැඩ සිටින ස්ථාන‍‍යෙහි අතීතයෙහි බෝධිඝරයක් විය. බෝධිඝරයෙහි මැද වූ ගඩොල් බැම්ම තුළ බෝරුක විය. ගඩොල් වරි නොගැලවී තිබිම පුරාණ පෙදරේරුවන්ගේ දක්ෂතාව පිළිබිඹු කරන්නකි. බෝධිඝරය තුළ බෝධියට පිට දී වැඩ හුන් පිළිම තුනක් උතුරෙහි, බස්නාහිරෙහි හා දකුණෙහි විය. උතුරෙහි වනුයේ ඉහත සදහන් සමාධි පිළිමයයි. අනෙක් දෙපසෙහි ඇත්තේ ප්‍රතිමාවන්හි ශේෂයෝය. බෝධිඝරය නැගෙනහිරට මුහුණලා සිටි බව පෙනේ. නැගෙනහිර පසෙහි හැර අනෙක් තුන් පැත්තේම ගල් කණු වූ බව ගොඩනැගිල්ල පෑදීමේදී අනාවරණය වී තිබේ. ගඩොල් බැම්ම වටා ඇති ගල් කණු මත වහලයක් විය. ඒ වහලයට අයත් පැතලි උළු කැබලි කැණීමේදී හමුවිය. බෝධිය වූ මැද කොටසට ආවරණයක් නොතිබිණ. බෝධිය පිහිටි මළුවට බැසීම සදහා ඊශාන දිගෙහි පඩිපෙළක් තිබෙන්නට ඇත. මෙහි මතුපිට තිබී ආසන ගලක් හා සිරිපතුල් ගලක් හමු වී තිබේ. සමාධි පිළිමය ඉදිරිපිට සවි කර ඇත්තේ ඒ ආසන ගලයි. කැණීමෙදී හමු වූ වට ටැඹය වැදගත් හමුවීමකි. අනුරාධපුරයෙහි ඇති කුළුණු සතරැස් හෝ අටපට්ටම් හෝ වේ. වට ටැම් දක්නට ලැබෙන්නේ රුවන්වැලිසෑයට නැගෙනහිරින් වූ රෝහලෙහි පමණි.

ඇත් පොකුණ
පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස හදුන්වන මෙය අභයගිරි ස්තුපයට නිරිත දෙස ලංකාරාමයට ආසන්නව පිහිටා ඇති විහාල පොකුණ දිගින් මිටර් 150 ක්ද පළලින් 50 ක් හා ගැඹුරින් මිටර් 10ක්ද වෙයි. එයට දකුණු පැත්තෙන් තවත් ජල මාර්ග දෙකක් ඇති අතර එයින් එක් ජල මාර්ගයකින් විහාල වශයෙන් වර්ෂාව ඇති වන කාල වලදි තවමත් ඇත් පොකුණට ජලය සපයයි. පොකුණට උතුරු පැත්තේ ඇති පෙරිය කුලම වැව පිරෙන විට මේ ජල මාර්ගයෙන් ජලය පොකුණට ලැබේ. එය 1982 දි දක්නට ලැබිණ. පොකුණේ ජලය පිට කිරිමේ ජල පෙරණයක් හා ජල නිග්ගම නාලියක් පොකුණේ දකුණු පැත්තේ නැගෙනහිර කොනේ පතුලෙහි වෙයි. පොකුනට බැසිමට පඩි පේළි කිහිපයක් ඇති අතර දකුනු පැත්තේ පඩි පේලියට ආසන්නව බිසෝ කොටුවක් වෙයි. එතැන දක්වා ඇති ජල මාර්ගයෙන් එන ජලය මේ කොටුවට වැටි වේගය අඩු වි පසුව ගල් කානුවක් දිගේ ගොස් පොකුණ ඉවුරේ සවිකර ඇති ගල් පිහිල්ලට වැටි එම පිහිල්ලෙන් ජලය පොකුනට වැටිමට සලස්වා ඇත.

කුට්ටම් පොකුණ
ශ්‍රි ලංකාවේ හමු වි ඇති පැරණි පොකුණුවලින් ඉතාම සුන්දර නිර්මානය කුට්ටම් පොකුණයි. අනුරාධපුර යුගයේ පුරාණ සිංහලයින් විසින් කරන ලද්දක් වන මෙය පිහිටි පොලොවට වඩා පහතින් පිහිටි බිමක තනන ලද දිග හතරැස් පොකුණු දෙකක් වෙයි. එයින් එක් පොකුණක් අනිකට වඩා කුඩාය. පොකුණ පිහිටි උද්‍යානය සැළසුම් කර තිබෙන්නේ අඩි 18½ ක් පමණ දිග බිම් තීරුවකිනි. විශාලතම පොකුණ දිග අඩි 132 ක් සහ පළල 51 කි. කුඩා පොකුණ අඩි 91 ක් සහ පළල 51 කි. ගැඹුර ලොකු සහ කුඩා දෙකහි පිළිවෙලින් අඩි 18 ක් සහ 14 කි. මෙහි කුඩා පොකුණ අනිකට වඩා පැරණි ලක්ෂණ වලින් යුක්තය. එයින් අනාවරණය වන්නේ පොකුණු දෙකම එකවර සැළසුම් කරවා නැති බවය. අභයගිරි විහාරික භික්ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා තැනුවේ යයි විශ්වාස කෙරෙන මෙහි වම්පස පොකුණෙහි ශෛලමය පියගැට 20ක් වන අතර දකුණුපස පොකුණෙහි ඇත්තේ පියගැට 18 කි. පොකුණු දෙක අතර ඇති පරතරය අඩි 9කි. කුඩා පොකුණට ජලය ලැබෙන මාර්ගය උතුරු දිසාවෙන් ඇති අතර පොකුණට පිටින් ජල පෙරණයක්ද වෙයි. වම්පස පොකුණෙහි පතුළෙහි ඇති තැනකින් දෙකෙහිම ජලය ආපසු පිටවී යාමට කටයුතු යොදා ඇත. පොකුණු දෙකෙහිම ඉතා විශිෂ්ට ගණයේ පස් පෙන නාග රූප නෙලා තිබීම ද විශේෂයකි.
කුට්ටම් පොකුණුවල මතු පිට යටට, සහ පැතිවලට යොදා ඇත්තේ කැපූ ගල් පුවරුය. පොකුණු දෙකේම දෙපැත්තේ පියගැට පෙළවල් දකින්නට ඇත. කුට්ටම් පොකුනේ සමෘද්ධිය විදහා දක්වන පුන්කළස් වර්ග දෙකකි. කුඩා පොකුණේ පුන් කලස් වල හැඩයට වඩා ලොකු පොකුණේ පුන් කලස් වල හැඩය වෙනස්ය. මෙමගින් පෙනි යන්නේ පොකුණු දෙක යුග දෙකකදි කරන ලද්දක් බවයි. කුඩා පොකුණේ පුන් කලස් අමරාවති පුන්කලස් වලටනෑකම් කියයි. අභයගිරි විහාරයේ සෑම සංඝාරාමයකම දහස් ගණනක් භික්ෂුන් වාසය කළ ඇති අතර ඒ සියඑ දෙනාටම අවශ්‍ය ජලය මේ පොකුණු වලින් සහ පලින් පල දක්නට ඇති ළිං වලින් ලබා ගන්නට ඇත. ආචාර්ය සෙනරත් පරණවිතානයන් මෙම පොකුණු යුගල සංරක්ෂණයට මහත් සේ වෙහෙස මහන්සි විය. මෙහිදී පොකුණ පතුලේ තිබී කුඩා මත්ස්‍යයින්, හක් ගෙඩියක්, කකුළුවෙක් සහ නාට්යාංවගනාවකගේද පිළි රූ සොයා ගනු ලැබිණි.

අභයගිරියේ සුදස්සන පඨානඝරය
අභයගිරි විහාරයට බටහිර පැත්තේ ටික දුරක් ගිය තැන අමුතු වර්ගයක ගොඩනැගිලි රැසක් හමුවෙයි. මේවා පැරනි කාලයේ අභයගිරි විහාරයට සම්බන්ධ පාංසුකුලික භික්ෂුන් වහන්සේලා සදහා කරවන ලද භාවනාව සදහා විශේෂ වු පධානඝර වර්ගයට අයත් ගොඩනැගිලිය. බුදු දහම ගෙන ඒමට පෙර පණ්ඩුකාභය රජු දවස මේ ප්‍රදේශයේ තිබුනේ සොහොන් පිටියයි. පාංසුකුලික භික්ෂුන්ට එය සුදුසු බිමක් විය.
පදානඝර වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතා චාම් එහෙත් අමුතුම සුන්දරත්වයක් හා ගාම්භිර පෙනුමක් ඇති ගොඩනැගිලි විහේෂයකි. මෙම ගොඩනැගිලි වර්ගය දිය ගොඩ දෙකම ආශ්‍රිත වන සේ සැලසුම් කර තනා තිබේ. මුත්‍රා කිරිම සදහා වු ස්තානවල හැර කැටයම් ආදි සැරසිලි මේ ගොඩනැගිලිවල නැත. මේවායේ ඇති මුත්‍රාගල්වලින් එකක ඉතාමත් අලංකාර තොරණක් වෙයි. සිංහයන් විවෘත පද්ම ආදියෙන් එය සරසා ඇත. තවත් මුත්‍රා ගලක සරල තොරණක් වෙයි. මුත්‍රාගල් ආවරණද මකර කැටයම්වලින් සරසා තිබේ.

courtesy :proudofkandy.wordpress.com


More News »