ථුපාරාමය

2017-11-13 10:20:00       198
feature-top
පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
දේවාදිතිස්සේන කතං හි ථූපා
රාමාභිධානං පණමාමි භත්‍යා

රුවන්වැලි සෑයට උතුරු පැත්තේ බසවක්කුලමට ආසන්නව ථුපාරාමය පිහිටා තිබේ. බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් පසු ඉදි වූ ප්‍රථම ථූපය ථූපාරාමය වීම එහි ඇති විශේෂත්වයයි. මෙම ස්ථානයේ මුල්න්ම තිබුනේ පණ්ඩුකාභය රජු විසින් කරවු මහේජ යක්ෂයාගේ දේවාලයයි. පසුව මෙහි දෙවන පෑතිස්ස රජතුමා විසින් මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු කර වු පළමු ස්ථුපය මෙය වන අතර එහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මහින්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් වැඳීම සඳහා සර්වඥ ධාතුන් නිධන් කළ චෛත්‍යයක අවශ්‍යථාව දේවානම්පියතිස්ස රජුට පෙන්වා දුන්හ. ඒ අනුව රජුගේ ඉල්ලීම පරිදි ඉන්දියාවට වැඩම කළ සුමන සාමණේරයෝ අශෝක අධිරජයා හමුවි බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ද තවත් ධාතුන් වහන්සේලා ද ලබා ගෙන ලක්දිවට සැපත් වූහ. රජතුමා අකු ධාතුන් වහන්සේ මංගල හස්තියා පිට මහ පෙරහරින් වැඩමවාගෙන යද්දී හස්තියා එක තැනක නතර වී නොසෙල් වී සිටියේය. මහින්ද ස්ථවිරයන් වහන්සේගේ උපදෙස් මත අභය වැවෙන් පස් ගෙන්වා එතැන ඇතාගේ උසට සෑයක් බැඳි රජතෙමේ ඇතු පිටින් ධාතුන් වහන්සේ වැඩමවා එහි නිධන් කොට ථුපාරාම ස්තූපය සෑදවීය. ආරම්භයේදි ස්ථුපය වි ගොඩක හැඩය හෙවත් ධන්‍යාකාර ආකෘතියකට තනා තිබුනද 1864 ප්‍රතිසංස්කරණ වලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇති අතර ස්ථුපයේ විෂ්කම්භය අඩි 59 ක් වන අතර උස අඩි 63 කි. පිහිටි පොළොවෙහි සිට අඩි 11 අගල් 2 ක් උසට තනන ලද වෘතාකාර වේදිකාවක් මත ස්තුපය වෙයි.

ථුපාරාමයේ ඉතා පැරණි බුදු පිළිමයක් විය. එය තැන්පත් කර තිබුනේ එළිමහණේද? නැතහොත් පිළිම ගෙයකද? යන්න විස්තර නොවේ. දේවානම් පියතිස්ස රජු විසින් එය කරවන ලදැයි මහාවංශයේ සදහන් වෙයි. මෙම පිළිමය පළවෙනි ජෙට්ඨතිස්ස රජු පාචීන තිස්ස පබ්බත විහාරයට ගෙන ගිය බවද පසුව එය මහසෙන් රජු අභයගිරියට ගෙන ගිය බවද මහාවංශ කතුවරයා සදහන් කරයි. ශ්‍රි මහා බෝධින් වහන්සේ ශ්‍රි ලංකාවට වැඩමවා ගෙන ආ නැවෙහි කොටස් ථුපාරාමය අසල වු මෙහෙනවරෙහි ගොඩනැගිලි තුනක තැන්පත් කර තිබු බව වංශකථාවල සදහන් වෙයි.

ථුපාරාමයෙන් සොයා ගත් මුර්ති අවශේෂ කිහිපයක්ද වෙයි. හිස සුන් අර්ධ උභයාංශ හිදි බුදු පිලිමය ඉන් එකකි. මෙය බුදු පිලිමය සම්පුර්ණයෙන් සංවර්ධනයට පත්නොවු වඩාත් පැරණි කාලයකට අයත්ය. එය වසභ රජු ථුපාරාම ථුපඝරයේ තැන්පත් කල සිව් බුදුවරුන්ගේ පිළිමවලින් එකක් විමටද ඉඩ ඇත. ථුපාරාමයෙන් මෙත් බෝසත් හිසක් ලැබිණ. එහි ජටාමකුටයේ ස්තුප ලකුණු වෙයි. මෙහි ඇස් වලට මැණික් අල්ලා තිබුනු බව පෙනේ. තවද මෙහි තිබි හමුවු ලෝකඩ ත්‍රිභංග බෝධිසත්ව රූපයද මෛත්‍රි බෝධි සත්වයන්ගේ විය හැකිය. එය මහායාන පිළිමයක් විමට හොදටම ඉඩ ඇත.

දැනුදු නටබුන් සහිතව අක්කර 3 ½ ක පමණ ප්‍රදේශයක් වසා පැතිර ඇති ථූපාරාම භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ ස්ථානයකි. ලජ්ජිතිස්ස රජු (ක්‍රි. පූ. 119 – 109) ස්තූපයට ශෛලමය කඤ්චුකයක් පුද කළ අතර ධාතුසේන රජු මෙන්ම දෙවන අග්‍රබෝධි රජු ද ථූපයෙහි අලුත්වැඩියා කටයුතු සඳහා උර දී කටයුතු කළ රජවරුන් දෙදෙනෙකි. පළමුවැනි උපතිස්ස රජු ස්තුපයේ කොතට (ථුපඝරයේ කොත විය යුතුයි) රන් තහඩු යෙදවීය. වසභ රජු විසින් ස්තුපය මැදි කොට තනන ලද ථුපඝරයක් විය. එහි ගල් කණු තවමත් දක්නට ඇත. ස්තුප මඑවට පිවිසිම සදහා කලින් උතුරු සහ දකුණු දිසාවලින් පඩි පේලි සහිත දොරටු විට. දැනට නැගෙනහිර පැත්තේ දොරටුවක් වෙයි. බටහිර පැත්තේ දොරටුව වසා තිබේ. වසභ රජු මෙහි ථුපඝරයේ සිව් බුදුවරුන්ගේ පිළිම තැන්පත් කළ බව වාර්තා වේ. ථුපඝරයේ ගල් කුඑණු පේළි හතරක් ඇති අතර එහි පිළිවෙලින් 52, 36, 40, 48 වෙයි. මුඑ ගල්කණු සංඛ්‍යාව 176 කි. කුඑණු පේළි අතර පරතරයද පිළිවෙලින් අඩි 3, 10, 14 හා 14 වෙයි. පළමුවන දාඨෝපතිස්ස රජු හේවායින්ට මුදල් ගෙවීමට නොහැකිව සිටියේය. ඔහු ඒ සඳහා කළේ ථූපාරාමයෙහි ධාතු ගර්භය බිඳීමය. එසේ වුව ක්‍රි. ව. 650 – 659 අතර රජ කළ දෙවන කාෂ්‍යප රජු ස්තූපය නැවත ප්‍රකෘතිමත් කළේය. මේ අයුරින් මානවම්ම රජු ථුපඝරයේ වහළ අළුත්වැඩියා කරවීය. හයවෙනි අග්ගබෝධි රජු ථුපඝරයේ දොර අළුත්වැඩියා කරවා කුළුණු ද මාරු කළේය. දෙවෙනි මහින්ද රජු රන් හා රිදී තහඩුවලින් ථුපයට කඤ්චුකයක් කරවීය. දෙවෙනි දප්පුල රජු ථුපඝරය රන් ගඩොලින් කරවා රන් දොරවල් ද සවි කරවීය. ක්‍රි.ව. 840 දි පාණ්ඩයන් විසින් ථූපාරාමය මංකොල්ල කන ලදි. දෙවෙනි සේන රජු රන් කඤ්චුකය අලුත්වැඩියා කරවීය. දෙවැනි උදය රන් හා රිදී පටිවලින් ස්තුපය සැරසීය, ඊට අමතරව ඔහු ථුපඝරයේ දොරක් සවි කරවීය. දහවන සියවස අවසානයේ දී මෙහි ආ සොළීහු සමස්ථ විහාරයම කොල්ල කෑහ. එසේ වුවද භාග්‍යයකට මෙන් දොලොස්වන සියවසේ රජකම් කළ මහා පරාක්‍රමබාහු නරපතියා එය නැවතත් යථා තත්වයට ගෙන ආවේය.

මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් , ඇත් පොකුන , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.

පාදලාඤ්ඡන චේතිය
ථුපාරාමයට නැගෙනහිර පැත්තේ ඇති කුඩා ස්තුපය පදලඤ්ඡන චේතිය ලෙස සලකනු ලැබේ. මේ කල්පයෙහි බදු වු කකුසද, කෝණාගමන, කස්සප හා ගෞතම යන බුදුවරුන් සිව් නම ශ්‍රි ලංකාවට වැඩ පසුව මේ ස්තුපය පිහිටි තැන සිට අහසට නැඟි බව මහාවංශය කියයි. ඒ සිද්ධිය සිහිවිමටත් බුදුවරුන් සිව් නමකගේම පාපහස ලැබිමෙන් පුජනීය වු බිමක් නිසාත් මෙහි චෛත්‍යයක් තනවන්නට ඇත. මේ ස්තුපය ලඤ්ජ තිස්ස රජු විසින් කරවන ලද දීඝථුපය විය හැකිය.

සංඝමිත්තා චේතිය
ලක්දිවට ශ්‍රි මහබෝධිය හා මෙහෙණි සස්න ගෙනා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ අපවත් වු පසු උත්තිය රජු ශ්‍රි දේහය ආදාහනය කොට චෛත්‍යයක් කරවු බව මහාවංශය කියයි. ථුපාරාමයේ දොරටුව ඉදිරිපිට ඇති ස්තුප දෙකෙන් එකක් එය විය හැකිය.

බෙහෙත් ඔරුව
ඇතැම් රෝගින් ඖෂධීය ජලයෙහි කිසියම් වේලාවක් බහා තැබිමට යොදා ගත් බෙහෙත් ඔරුවක් රුවන්වැලි සෑයට නැගෙනහිර පැත්තේ නටබුන් ප්‍රදේශයේ දක්නට ලැබේ. එහි කලින් රෝහලක් තිබුණා විය හැකිය. නැතිනම් රෝහලක තිබි එතනට ගෙනෙන ලද්දකි. එය මහා විහාරයේ රෝහලේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස සැලකිය හැකිය. පොලොන්නරුවේ ආලාහණ පිරිවෙණේ රෝහලේද එවැනි බෙහෙත් ඔරුවක් වෙයි.

නාගලු ලිඳ
ථුපාරාමයේ දොරටුවට ආසන්නව පිහිටා ඇති දළදා මාලිගාව නමින් වරදවා හදුන්වනු ලබන ගොඩනැගිල්ල අසල ගල් අල්ලා තනන ලද ලිදක් වෙයි. එය ථුපාරාමයේ සංඝයා සදහා බොන ජලය ලබා ගත් ලිද විය හැකිය.

උපුටා ගැනීම : proudofkandy.wordpress.com


More News »