ගිරිහඬු සෑය

2017-11-20 10:47:00       0
feature-top
බුද්ධෝ තපස්සු සහ භාල්ලික වනිජානං
දානං ලභිසමධු පිණ්ඩික ලාජ පුණ්ණං
තේසං සුදින්න නිහිතං මුනි කෙස ධාතුං
වන්දාමි සුන්දර ගිරිකණ්ඩි ඨූපං

තපස්සු-භල්ලුක නම් වෙළද දෙබෑයන් විසින් කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක ඇතිවූ භක්තියෙන් විලඳ සහ මී පැණි බුදුරදුන්ට පිලි ගැන්විමෙන් අනතුරුව “අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්නට” යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවේය. මේ අවස්ථාවේදි මොවුන් දෙදෙනා පිළිබඳව දිවැසින් බැලූ තථාගතයන් වහන්සේ, හිස අතගා කෙස් රොදක් ගෙන තපස්සු භල්ලූක දෙබයන්ට දුනි. මෙය තපස්සු  භල්ලුක දෙබෑයන්ගේ ඉමහත් සතුටට හේතු උන අතර මහා සම්පතක් ලද පරිද්දෙන් ඔවුන්  ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරනු ලැබුවා.

මොවුන් වෙළදාම පිණිස දේශ දේශාන්තරවල ගමන් කරන අතර ඒ යන සෑම තැනකම බුදු රදුන්ගේ කේශ ධාතු සහිත රන් මංජුසාව රැගෙන යාම සිරිතක්  කරගෙන තිබුණා. තපස්සු භල්ලුක දෙබෑයන් වෙළදාම පිණිස ලංකාවට පැමිණෙන්නේ ගල්වරාය ඔස්සේය. එසේ පැමිණ ටාපකුලම් පත්තුවේ අති රමණිය යාං ඔය මුහුදට ගලා බස්නා තිරියායි කල්ලරාය අසල සැතපුමක් දිග මුදුන් තුනකින් හෙබි අඩි 222 ක් උස් වු එම කන්ද  මුදුනෙහි වූ තැන්නෙහි කේෂධාතු රන් මංජුසාව තබා දරදිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට බලනවිට එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන්. පුරාතනයේ මෙම කන්ද ගිරිහඬු ගිරිකඩ, ගිරිකණ්‌ඩ පර්වතය ලෙසද හදුන්වා ඇත. අනතුරුව ගල්ගොඩකින් මේ මංජුසාව වසා දමා වෙළදාමේ යෙදුන බවත්, ආපසු යාමට පෙර එම ගඩොල් ගොඩ ක්‍රමවත්ව අසුරා, මංජුසාව වැසෙන සේ කුඩා චෛත්‍යයක් ඉඳි කල බවත් ක්‍රි.ව. 733 රජ කල අග්‍රබෝධි සිලාමෙඝ රජ දවසේ ලියන ලද තිරියාය සෙල් ලිපියේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත් එදා තපස්සු  භල්ලුක වෙළඳ දෙබෑයන් ලංකාවේ ඉඳිකළ ගිරිහඬු සෑය, බුදු රදුන්ගේ කේශ ධාතු තැන්පත් කර ඉඳි කළ ලොව ප්‍රථම චෛත්‍ය ලෙසට ඉතිහාසගත වෙනවා ඇත.

ත්‍රිකුණාමලයට කි. මි. 45 ක් පමණ උතුරු දෙසින් ගිරිහඩු සෑය පිහිටා ඇති අතර මේ සදහා ගමන් මාර්ග දෙකකින් ප්‍රවේශ විය හැකිය.  එක් ගමන් මාර්ගයක් වන්නේ නිලාවේලි හරහා වෙරළ තීරය ඔස්සේ වැටි ඇති මාර්ගයයි. එම මාර්ගයේ ගමන් කරන්නේ නම් කුච්චවේලි වලින් වමට හැරී ගමන් කොට නැවතත් ප්‍රධාන හන්දියෙන් දකුණට හැරී ගමන් කල යුතුය. මෙය B 424 මාර්ගය ලෙස සිතියම් පොත් වල දක්වා ඇත. තවද,

අනෙක් මාර්ගය වන්නේ A 12 ලෙස සිතියම් පොත් වල දැක්වෙන රට මැදින් වැටී ඇති මාර්ගයයි. මේ ගමන් මගද ගිරිහඬු සෑය ආසන්නයේදී ඉහත දැක්වූ මාර්ගයට සම්බන්ධ වේ.

මිට අමතරව අප ඉහත දැක්වූ B 424 මාර්ගයේ කුච්චවේලි පසු කර පුල්මුඩේ දෙසට ගමන් කරන්නෙකුට තිරියායෙන් වමට හැරී පැමිණීමෙන්ද ගිරිහඬු සෑයට පැමිණීමට පුළුවන්.

මෙම ඓතිහාසික නීතුපත්පාන ගිරිහඬු සෑය පින් බිම වෙත ළඟා වෙද්දී පළමුව ඔබ නෙත ගැටෙන්නේ නැගෙනහිරින් ඇති නීතුපත්පාන වැවයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ 37 වන රජු, වසභ (වැහැප්) බු. ව. 608 සිට වර්ෂ 44 ක්‌ රජකළ බවත්, අප රටේ වාරි කර්මාන්තය නංවාලීමේත්, වෙහෙර විහාරාදිය තැනීමේදීත්, ප්‍රමුඛත්වයක්‌ ගත් බව අපි අසා ඇත්තෙමු. නීතුපත්පාන රමණීය කඳුවැටියේ ආධාරයෙන් නීතුපත්පාන වැව වසභ රජු නිමකළ බව පූජාවලියේ සඳහන්ව ඇත. නම්පොත නමින් මහනුවර යුගයේ කියවුණු විහාර ලේඛන වලදී මෙම නීතුපත්පාන නාමය ජනප්‍රියත්වයට පත්ව ඇති බැව් සඳහන් වේ. එමනිසා ගිරිහඬු සෑයට ද එදා නොඅඩුව රාජ අනුග්‍රහ ලැබෙන්නට ඇතැයි අපට සිතිය හැකිය.

ගිරිහඬු සෑය වෙත ගමන් කිරීමට ඇති මාර්ගය හිතන තරම් ලෙහෙසි  පහසු එකක් නොවේ. බිම් මට්ටමේ සිට කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලක් ඔස්සේ මුලින්ම ගමන් කල යුතු අතර ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. රූස්ස ගස් අතරින් වැටුණු මේ ගල් පඩි නැග යන්නෙකුට, අපගේ විස්මිත ගල්වඩුවාගේ දස්කම් විස්කම් මනාව පැහැදිලි වේ. තවද තුරු හිස් අතරද වැදෙමින් හමා එන සිහිල් සුළඟ ගමන් විඩාව නිවා ගන්න බෙහෙවින් උපකාර වෙනවා. මේ ශෛලමය පියගැට පෙළ ද රජ සමයේම ඉඳී කෙරුණකි.

තවත් ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. එය ගල් තලයක් මතුපිට කොටුකර තිබෙනු දක්නට පුළුවන්. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී, එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬු සෑය ඉඳී කර වසර 1200 ක් ගතවුණු පසුවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂර වලිනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් ඇති බවත්, ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.

වන පියස අතරින් වැටී ඇති පියගැටපෙළ තුන්සියයක් පමණ තරණය කිරීමෙන් ඔබට මේ අසිරිමත් සෑ මළුව වෙත ළඟා විය හැකි ය. මුළු නැගෙනහිර පළාතේ ම පිහිටි උස් ම කඳුගැටය මත වූ මේ සෑයට ආකාශ චෛත්‍යය යැයි නම් තැබීම කෙතරම් සාධාරණ ද යන්න පසක් වීමට නම් ඔබ මෙහි පැමිණිය යුතු ම ය. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණි ඔබට දක්නට  ලැබෙන්නේ සුවිශාල වැලි මළුවකි. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත්, වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළයකුත් දැකගත හැකියි.

වැලි මළුවට පැමිණි කල ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙනවා. සෑය වටේ අලංකාර බුදු පිළිම හතරක් තැන්පත් කර ඇති අයුරු දකින්න පුළුවන්. සමාධි ඉරියව්වෙන් යුත් මේ බුදු පිළිම හතර ඉදිරිපිට මල් ආසන තබා තිබෙනවා. ගිරිහඬු සෑය වටා දක්නට ලැබෙන යෝධ ගල් කණු ඉපැරණි හෙළ ශ්‍රී විභූතිය මැනවින් කියා පානවා.

හීතුපත්පාන, ගිරිහඬු සෑය භූමියේ දක්‌නට ලැබෙන ඇල්දිය උල්පත, ලංකා පොකුණ, වාසල් දොරටු මළුවේ ප්‍රාකාරය, උතුරු පියගැට පෙළ, වටදා ගේ හා ගිරිහඬු සෑය, මෙම පරිශ්‍රයේ දක්‌නට ලැබෙන විශිෂ්ට නිර්මාණ අතර ප්‍රධාන තැනක්‌ ගනී. වටදාගේට නැගෙනහිර පියගැට පෙළට දකුණින් වැලිමළුවේ තනි ගලකින් සැදුම්ලත් පොකුණකි. වටදාගෙයට දකුණෙන් හා බටහිරෙන් ඔත් පිළිමගෙයක සහ හිටි පිළිම ගෙයක නටබුන් හමුවේ. මෙකී පිළිමගෙය අසල උතුරු දෙසින් බහිරව රූප දෙකක්‌ හමුවේ. ඒ අසල දෙවොලක්‌ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.



සෑ මළුවේ සිට අවට බලන විට දක්නට ලැබෙන දසුනේ සුන්දරත්වය මම විස්තර කිරීමට නො යමි. මන්ද එය ඔබ නෙතින් ම විඳගත යුතු බැවිනි.

මෙම ඓතිහාසික පුදබිම කාලාන්තරයක් වනයෙන් වැසී තිබී පූජ්‍ය ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද ස්වාමීන්වහන්සේගේ ධෛර්යය නිසා 1929 දී පමණ යළි එළිපෙහෙළි වී දියුණු විය. එවකට ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. එමනිසා  ගන්දර හාමුදුරුවන්ටද පුදබිම අත හැර යන්නට සිදු උනා. ගිරිහඬු සැය රැක බලාගන්නට වීරෝධාර රණවිරුවන්  කල මෙහෙයද මෙහිදි අපි සිහිපත් කල යුතු වේ.

courtesy : proudofkandy.wordpress.com


More News »