සුවිශේෂී සම්ප්‍රදායක් වන ටැම්පිට විහාර

2017-12-13 10:44:00       0
feature-top
අප රටේ සමහර පළාත්වල තිබෙන ගල් කුලුනු මත ඉදිකළ  කුඩා විහාරගෙවල් ඔබ දකින්න ඇති. මේවා ටැම්පිට විහාර කියලයි හඳුන්වන්නේ. ටැම්පිට විහාර වියළි කලාපයේ දැකගත හැක්කේ ඉතා අඩුවෙන්. මේවා වැඩිපුරම දකින්න ලැබෙන්නේ තෙත් කලාපයේ. මහනුවර යුගයේ දී ටැම්පිට විහාර රටේ විශාල වශයෙන් ජනප්‍රිය වූ ආගමික ගොඩනැගිලි විශේෂයක් වුණා. මේ කාලයේ විදේශීය ආක්‍රමණ නිසා විශාල මුදලක් වියදම් කර විහාර තැනීමේ පසුබිමක් රටේ තිබුණේ නැහැ.


පඩුවස්නුවර ටැම්පිට විහාරය- කුරුණෑගල දිස්ත්‍රික්කය

මේ නිසා අවම වියදමකින් කුඩා අවකාශයක් තුළ බුදුහිමියන් කෙරෙහි භක්තිය දැනවීමට කලාකරුවාට තිබූ හැකියාව මේ විහාරවලින් පැහැදිලි වෙනවා. ඉතින් ඔබටත් මේ අපූරු විහාර වර්ගය නරඹා එහි කලාත්මක අගය දැකගන්නා ලෙසත් අපි ඉල්ලීමක් කරනවා.

ටැම්පිට විහාර සම්ප්‍රදාය
මෙම විහාර සම්ප්‍රදාය මහනුවර රාජධානි සමයේදී එනම් 17 වැනි සියවසේ ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්‌වාම පැවැති ගොඩනැඟිලි විශේෂයක්. 20 වැනි සියවසේ ආරම්භයෙන් පසුව ටැම්පිට විහාර තැනීම පිළිබඳව සාධක අපට හමු වන්නේ නැහැ. එහෙත් පසුකාලීන අලුත්වැඩියාවන් නිසා 17 වැනි සියවසේ ඉදිකළ ටැම්පිට විහාර ඒ තත්ත්වයෙන් ම අද හමු වන්නෙත් නැහැ.

පැරණිම ටැම්පිට විහාරය
අද දැක ගත හැකි වඩාත් පැරැණි ටැම්පිට ප්‍රතිමා මන්දිරය වශයෙන් ලිබිත සාධක ඇත්තේ මහනුවර මැදවල ටැම්පිට විහාරයටයි. මැදවල තඹ සන්නසට අනුව 14 වැනි සියවසේදී දෙමහල් විහාරයක්‌ ව පැවැති එය ටැම්පිට විහාරයක්‌ ලෙසට පරිවර්තනය කර නැවත ඉදිකරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි. ව. 1755 දී යි.

අපගේ අධ්‍යයනයේදී 19 වැනි සියවසේ තැනූ බවට සාධක ඇති ටැම්පිට විහාර කිහිපයක්‌ ම හමුවුණා. මාකෙහෙල්වල අභයරාජ විහාරය 1855 දී තනා ඇති අතර, ගම්පහ පහළගම යටවත්ත ටැම්පිට විහාරය තනා ඇත්තේ ක්‍රි. ව. 1861 දී . කෑගල්ල මිනුවන්ගමුව ටැම්පිට විහාරය නිම කරවා ඇත්තේ 1886 මැයි 2 දා බවට ලිඛිත සාධක විහාරයේ තිබෙනවා.

මේ අනුව ඉතිහාසයේ සඳහන් අවසාන ටැම්පිට විහාරය මිනුවන්ගමුව විහාරය බව පෙනේ.

අලුත්ම ටැම්පිට විහාරය
මෙම විහාර සම්ප්‍රදාය ගැන උනන්දුවක් ඇතිවූ කළුගල ධම්මසිරි නාහිමි යෝගියාන දික්වෙල විසුද්ධාරාම විහාරයේ ටැම්පිට විහාරයක් තැනවීම ආරම්භ කර තිබෙනවා. ඒ අවසාන ටැම්පිට විහාරයෙන් වසර 130කට පසුවයි. දැන් එහි විහාර මන්දිරය තනා අවසන් අතර සිත්තම් නිර්මාණය මේ දිනවල කෙරෙනවා.

තිබෙන්නේ කොහෙද?

වයඹ, සබරගමුව, මධ්‍යම සහ බස්‌නාහිර පළාත්වල ටැම්පිට විහාරවල ඉහළ ඝනත්වයක්‌ දැකගත හැකියි. මේ අතරින් වැඩිම ටැම්පිට විහාර සංඛ්‍යාවක්‌ වාර්තා වන්නේ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර ඒ සංඛ්‍යාව 48ක්. දෙවැනි තැන වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට (28) හිමි වෙනවා. උතුර සහ නැගෙනහිර පළාත්වලින් මෙම ගොඩනැඟිලි විශේෂය වාර්තා වී නැහැ. මහනුර (15), මාතලේ (11), ගම්පහ (10), අනුරාධපුර (5),රත්නපුර (8) ආදී වශයෙන් මෙම විහාර වැඩිපුර පිහිටි දිස්ත්‍රික්ක නම් කළ හැකියි. ශී‍්‍ර ලංකාවේ ටැම්පිට විහාර 204 ක් මේවන විට හඳුනාගෙන තිබෙන අතර ස්ථාන 85 ක ප‍්‍රමුඛතාවය අනුව සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරමින් පවතිනවා.

උපත

මෙම ගොඩනැඟිලි විශේෂයෙහි ප්‍රභවය පිළිබඳව සැලකීමේදී මත ඉදිරිපත් වී තිබෙනවා. එයින් වඩාත් පිළිගැනීමට ලක්‌ව ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වූ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුරගේ මතයයි. මුලින්ම දෙමහල්ව තිබූ විහාර ගෙවල් පසුව ටැම්පිට විහාර බවට පරිවර්තනය වූ බව ඔහු සඳහන් කරනවා. මහනුවර මැදවල විහාරය සහ මාවනැල්ල අම්බුලුගල විහාරය ඒ සඳහා උදාහරණ ලෙස ඔහු ඉදිරිපත් කරනවා.

වර්ෂාධික නිවර්තන කලාපීය රටවල වේයන් ආදී කෘමීන්ගෙන් දැව ගොඩනැඟිලි ආරක්ෂා කර ගැනීම සඳහා ගල්කණු මත ගොඩනැඟිලි ඉදිකිරීමේ සිරිත පවතිනවා. ලංකාවේ වී අටු ගල්කණු මත ඉදිකරන්නේ එම ධාන්‍ය වේයන්ගෙන් සහ තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යි. එවැනි විශාල ධාන්‍ය අටු ගඩලාදෙණි විහාරයේ සහ ඇම්බැක්‌කේ දේවාලයේදී දැක ගත හැකියි. ටැම්පිට විහාර ගෘහ සඳහා මෙම පරිණාමය ද බලපාන්නට ඇති බව ගොඩකුඹුර ඇතුළු විද්වතුන් පවසනවා. මෙලෙස ටැම්පිට ගොඩනැඟිලි ඉදිකිරීම බුරුමය, තායිලන්තය, කාම්බෝජය, වියට්‌නාමය, චීනය, ජපානය වැනි පෙරදිග රටවල දක්‌නට ලැබෙන ගොඩනැඟිලි සම්ප්‍රදායක්.

ටැම්පිට විහාර ඉදිකිරීමට බලපෑ හේතු කිහිපයක්‌ හඳුනාගත හැකිය.

අ. මහල් දළදා මැදුරුවල බලපෑම.

ආ. තෙතමනයෙන් සහ වේයන්ගෙන් ප්‍රතිමා සහ සිතුවම් ආරක්ෂා කර ගැනීම

ඇ. කුඩා විහාර මන්දිරවලට ගාම්භීර පෙනුමක්‌ ලබාදීම.

හැදුවේ මෙහෙමයි

ටැම්පිට විහාර ඉදිකරන ලද්දේ පොළොව සමතලා කොට පදනමක්‌ ඉදිකර හෝ නොමැතිව ගල්ටැම් සිටුවීමෙන් පසුව යි. මෙම ටැම් ඔපමට්‌ටම් කිරීම බොහෝ විට සිදුව නැහැ. එහෙත් දන්තුරේ ටැම්පිට විහාරයේ අලංකාර කැටයමින් යුත් ටැම් යොදාගෙන තිබෙනවා. සමහර අවස්ථාවලදී ගල්පර්වත මත ඉදිකළ ටැම්පිට විහාර ද හමුවෙනවා.

ගල්කණු මත දිගට සහ හරහට දැව බාල්ක යොදා එම සැකිල්ල මත ඝනකම් ලෑලි අතුරා සකස්‌ කර ගත් වේදිකාවක වරිච්චි බිත්ති බැඳ ගන්නවා. මෙම ලෑලි අඟල් 2 – 3 ක්‌ පමණ ඝනකමයි. බොහෝ ටැම්පිට විහාර ඉදිකිරීමට ශක්‌තිමත් දැවයක්‌ වූ නා භාවිත කළ බව පැවසෙනවා. ඊට අමතරව මිල්ල, කැටකෑල ආදී දැව ද භාවිත කර තිබෙනවා.

මිදෙල්ලව කෝරාළ නම් ජන කවියකු 1836 දී රචිත තිසර සංදේශය නම් කාව්‍යයක නිකවැරටිය බුදුමුත්තාව ටැම්පිට විහාරය සෑදූ අයුරු විස්‌තර කෙරෙනවා.

කොටමින් ගලුත් සදවා බිම ඔට්‌ටු කොට

අදිමින් දැවත් ඒ මතුපිට තට්‌ටු කොට

තබමින් තෙබත් හැම වඩුවැඩ කිට්‌ටු කොට

හිටපන් ඇවිත් මතුපිට දැව තට්‌ටු කොට

වාස්තු විද්‍යාව

ටැම්පිට විහාර ප්‍රවේශයක්- කඩිගමුව 2 වන විහාරය මාවනැල්ල- කුසුම්සිරි විජයවර්ධන

උස්‌ නොවූ ටැම්පිට විහාරවලට ඇතුළුවීම සඳහා ඉදිරිපසින් දැව තරප්පු මෙන්ම කළුගල් හෝ ගඩොල් භාවිතයෙන් ඉදිකළ පියගැට ද යොදාගෙන තිබෙනවා. දෙමහල් ටැම්පිට විහාරවල උඩුමහලට ගමන් කිරීමට ඇති තරප්පුව උඩුමහලේ බාල්කයට සවි වී ඇති අතර ඒ ඔස්‌සේ ප්‍රතිමා මන්දිරයේ ඉදිරිපස ආලින්දයට පිවිසිය හැකියි.

කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරවල ඇතුළුවීමට සහ පිටවීමට ඇත්තේ තනි දොරක්‌ පමණයි. තරමක්‌ විශාල ටැම්පිට විහාරවල දොරවල් දෙකක්‌ දැක ගත හැකියි. ලංකාවේ විශාලම ටැම්පිට විහාරය වන බිංගිරියේ දොරටු 3 ක් තිබෙනවා.


දෙමහල් ආකාරය පෙන්වන දන්තුරේ ටැම්පිට විහාරය- මහනුවර දිස්ත්‍රික්කය – කුසුම්සිරි විජයවර්ධන

දෙමහල් තත්ත්වයට පත් ප්‍රතිමා ගෘහවල පිටතින් දෙවන මට්‌ටමේ පියස්‌සක්‌ ඉදිකොට දෙමහල් ස්‌වරූපය බාහිරව පෙන්නුම් කර තිබෙනවා. ඉන් ගොඩනැඟිල්ලට අලංකාරයක්‌ ද එක්‌වවෙනවා. අම්බුලුගල, බිංගිරිය, දන්තුරේ, දියසුන්නත වැනි විහාරවල මේ ලක්‍ෂණය කැපී පෙනෙනවා. කුඩාම ටැම්පිට විහාරවල හැරෙන්නට අනෙක්‌ සෑම විහාරයකම ප්‍රතිමා ගෘහය වටා යන සේ ප්‍රදක්‍ෂිණා පථයක්‌ ඉදිකර තිබෙනවා.

මෙම විහාරවල පියස්‌ස පෙති උළු සෙවිලි කිරීමට යෝග්‍ය ආනතියකින් යුක්‌තයි. එය ඵල​ හතරක පියස්‌සක්. පියස්‌සේ මුදුනට මැටි කොත් එකක්‌ හෝ දෙකක්‌ සවි කර තිබෙනවා. පියස්‌ස වටා යන සේ බෝ පත් ආකාරයේ මැටි වඩිම්බු උළු සවි කර අලංකාර කිරීම දක්නට පුලුවන්.

මණ්ඩපය
සමහර ටැම්පිට විහාර ඉදිරියෙන් ගඩොල් කුළුණු මත පියස්‌සක්‌ යොදා මණ්‌ඩපයක්‌ තනා තිබෙනවා. එය ටැම්පිට විහාරයට පැමිණෙන බැතිමතුන්ට එක්‌රැස්‌ වීමට මෙන්ම හේවිසි මණ්‌ඩලයක්‌ ලෙසද යොදා ගෙන තිබෙනවා.

වැනසී යන උරුමයක්

අද වන විට මෙම අගනා ජාතික උරුමය වැනසී යන ස්‌මාරක විශේෂයක්‌ බවට පත්වෙලා. එයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පවතින මැටියෙන් කළ ගොඩනැඟිලි අබලන් වීමයි. පෙති උළු හෝ සිංහල උළු යෙදූ පියස්‌ස පහසුවෙන් දිරාපත් වන අතර එවිට වර්ෂා ජලය කාන්දු වීම නිසා බිත්තිවලට සහ බිතුසිතුවම් ප්‍රතිමා ආදියට හානි පැමිණෙනවා. බොහෝ විහාර මන්දිර පුරාවිද්‍යා ස්‌මාරක නිසා විහාරාධිපති හිමිවරුන්ට පිළියම් යෙදීමට අපහසුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වුවද ඉන් ඉක්‌මන් ප්‍රතිචාරයක්‌ නොලැබෙන බව විහාරාධිපති හිමිවරු පවසනවා.

වැඳුම් පිදුම් නිසා වූ හානිය

පහන් හා හඳුන්කූරු පත්තු කිරීම නිසා බොහෝ බිතුසිතුවම් අඳුරු පැහැයට හැරිලා. එමෙන්ම සමහර විහාරවල ටැම්පිට ස්‌වරූපය වෙනස්‌ වන පරිදි විහාරාධිපති හිමිවරු විසින් ගොඩනැඟිලි අලුත්වැඩියා කර තිබෙනවා. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ මංගලගම සහ හිඟුල ද ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අනුරාගොඩ වැනි විහාර ද එයට නිදසුන් සපයනවා.

පැරැණි බිතුසිතුවම් කෘත්‍රිම තීන්ත ආලේපයෙන් අදක්ෂ​ සිත්තරුවන් ලවා අලුත්වැඩියාව නිසා බොහෝ බිතුසිතුවම් විකෘති වී නොවටිනා තත්ත්වයට පත්වෙලා. සමහර විහාරවල පැරැණි බිතුසිතුවම් වෙනුවට අලුතින්ම සිත්තම් සහ මූර්ති නිමාකර තිබේ. මංගලගම ටැම්පිට විහාරයේ එය දැකගත හැකියි.

එහෙත් මේ විනාශයන්ගෙන් මිදුණු අගනා ටැම්පිට විහාර රැසක්‌ මහනුවර, කෑගල්ල. කුරුණෑගල, මාතලේ ඇතුළු දිස්‌ත්‍රික්‌ක කිහිපයකම පවතී. ඒ අතර බිංගිරිය, සූරියගොඩ, මැදවල, දන්තුරේ, අම්බුලුගල, වාකිරිගල වැනි විහාර කැපී පෙනෙනවා.


(under the courtesy of roar.media web)

More News »