කොළඹට නුදුරුව පිහිටි විහාරයන්හි බිතු සිතුවම්

2017-12-14 11:11:00       0
feature-top
පැරණි භාරතීය චිත්‍ර කලා සම්ප්‍රදායට නව අරුතක් එක් කරමින් සිංහල බෞද්ධ චිත්‍ර කලා සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ නිර්මාණය වන්නේ මහින්දාගමනයත් සමගයි. පසුව එක් එක් රාජ යුගයන්හි විවිධ වෙනස්කම්වලට ලක් වූ බෞද්ධ චිත්‍ර කලාවට, ඉංග්‍රීසින් විසින් ලංකාව යටත් කරගැනීමෙන් පසුව යුරෝපියානු අභාෂයද ලැබෙනවා. එසේ නොයෙකුත් චිත්‍ර සම්ප්‍රදායන්ගෙන් අභාෂය ලබාගෙන එක් එක් විහාරයන්හි මෑත යුගයේ නිර්මාණය වූ සිතුවම් ඒ ඒ විහාරයන්ට අනන්‍ය වෙනවා. ඉතින් අද ලිපියෙන් ගෙන එන්නට අදහස් කරන්නේ කොළඹට නුදුරු විහාරයන් කිහිපයක බිතු සිතුවම් පිළිබඳව කටි සටහනක්.

 කැළණි රජමහා විහාරයේ බිතු සිතුවම්
සාමාන්‍යයෙන් රජමහා විහාර වැඩි ප්‍රමාණයක් කන්ද උඩරට පිහිටා තිබෙන බැවින් උඩරටින් බැහැරව කොළඹට ආසන්නව පිහිටා තිබෙන කැළණි රජමහා විහාරයට විශේෂ ස්ථානයක් හිමි වනවා. “උඩරට සිතුවම් සම්ප්‍රදාය” හෙවත් උඩරට ජීවත් වූ සාමාන්‍ය උඩරට ගැමි සිත්තර පරම්පරාවලට අයත් ශිල්පීන් විසින් අදින ලද සිතුවම් සෑම රජමහා විහාරයකම පාහේ දකින්නට පුළුවන්.

නමුත් කැලණිය රජමහා විහාරයේ දකින්නට ලැබෙන්නේ උඩරට සිතුවම් සම්ප්‍රදාය පමණක් නොවේ. කැළණි විහාරයේ බිතු සිතුවම් පිළිබඳව කතාකරන විට මතකයට නිතැතින්ම නැගෙන සෝලියස් මැන්දිස් නම් චිත්‍ර ශිල්පියාගේ නව චිත්‍ර සම්ප්‍රදායක්ද එහිදී දකින්නට පුළුවන්. ඔහුගේ චිත්‍ර සම්ප්‍රදාය උඩරට සිත්තර සම්ප්‍රදායට වඩා වෙනස් වන අතර ඒවා ඉන්දියාවේ අජන්තා ලෙන් සිතුවම්, සීගිරි සිතුවම්, හා පොළොන්නරු සිතුවම්වලට වඩා සමීප බව කලා විචාරකයන් විසින් පෙන්වා දෙනවා.

විහාර බිතු සිතුවම් වලින් සෑම විටම පාහේ නිරූපණය වන්නේ බුද්ධ චරිතය හා ජාතක කතා පිළිබඳව සිතුවම් වූවත් කැළණි විහාර සිතුවම් වලදී බුද්ධ ශාසන ඉතිහාසය හා බැඳුනු සිදුවීම් දක්වන සිතුවම් රාශියක්ද දැක ගන්නට පුළුවන්. එම සිතුවම් සියල්ලම නිර්මාණය කරන්නේ සෝලියස් මැන්දිස් නම් කලා ශිල්පියා විසින්.

උඩරට සිතුවම් සම්ප්‍රදාය

ඊශ්වර දෙවියෝ – ඇස් තුනක් හා අත් හතරකින් යුක්තයි. එක අතක මුව දෙනක්ද අනෙක් අතේ ත්‍රිශූලයක්ද, අනෙක් අත් දෙකෙන් අභය මුද්‍රාව හා වර මුද්‍රාව නිරූපණය කරයි. කර වටා නාගයෙක්ගේ හිස සහිත මාලයකි. 

කැලණිය විහාරයේ පැරැණිම සිතුවම් දකින්නට ලැබෙන්නේ බුදුගෙයි පැරැණිම කොටස ලෙස සලකන “රජ පිළිමගේ”හා “ඔත් පිළිමගේ” යන කුටි දෙකෙයි. ඔත් පිළිමගේ බිත්තියේ ඇඳ ඇති භික්ෂු රූප සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක දකින්නට ලැබෙන්නේ නෑ. මෙම කුටිවල බිත්තිවලත් වහලයේ වියනෙහිත් ඇති සිතුවම් මූලික ලෙස තේමා හයකට වෙන් කර දක්වන්න පුළුවන්.


වෙස්සන්තර ජාතකය – වැසි වස්සන්නට සමත් සුදු ඇතෙක් වෙස්සන්තර රජතුමාගේ මාලිගාවේ විය. කාලිංග නම් නුදුරු ජනපදයක නියං සමයක් ඇති වූ අතර එය දුරු කරවා ගැනීමට සුදු ඇතෙකු රාජධානියට ගෙන ආ යුතු බව බමුණන් විසින් කාලිංග රජුට දැන්වීය. කාලිංග රජුගේ ඉල්ලීමට අනුව වෙස්සන්තර රජු තම සුදු ඇතා රන් කෙන්ඩියකින් පැන් වත්කොට අසල්වැසි රාජධානියට දන් දුන් බව දැක්වෙන රජ පිළිමගේ සිතුවමක් 

බුද්ධ චරිතය –  බුදු හිමියන්ගේ සත් සතිය දැක්වෙන සිතුවම් පෙළක් “රජ පිළිමයට” දකුණු පැති බිත්තියේ නිරූපනය කර ඇති අතර එය එම බිත්තියේ දකුණු කෙළවරේ සිට වම් කෙළවරට ඇද තිබෙනවා.
කැළණි වංශය –  බුදුන් වහන්සේ මණි අක්ඛිත නා රජුගේ ආරාධනාව අනුව රහතන් වහන්සේලා පන්සියයක් සමඟ කැළණියට වැඩම කර ධර්මය දේශනා කළ ආකාරය දැක්වෙන සිතුවම් වියනහි නිර්මාණය කර තිබෙනවා.
සොළොස්මස්ථාන – බුදුන් වහන්සේ ලංකාගමනයේදී වැඩම කළ ස්ථාන 16 දැක්වෙන සිතුවම් පෙළ.
ජාතක කතා – ධර්මපාල, සාම හා වෙස්සන්තර ඇතුළු ජාතක කතා හතක් සිතුවම් කර ඇත.
බෞද්ධ ලෝකය -බෞද්ධයන්ගේ ඇදහිලි හා විශ්වාස හේතුවෙන් නිර්මාණය වන ලෝකය, බෞද්ධලෝකය ලෙස සැළකෙන අතර ඊට අදාළ රූප සටහන් උඩු වියනේ ඇද තිබෙනවා. රාශි චක්‍රය හා අෂ්ට දිශාපති මණ්ඩලය ප්‍රධාන වෙයි.
බුද්ධ වංශය – ගෞතම බුදුන්ට කලින් පහළ වූ බුදුවරු සියල්ලන්ගෙන්ම නියත විවරණ ලැබූ ආකාරය දැක්වෙන සිතුවම් ඔත්පිළිමගෙයි දකින්නට ලැබෙනවා.
නූතන සිතුවම්

මහියඪගණං – “මහියඪගණං” ලෙස නම් කර ඇති මෙම සිතුවමෙන් දක්වෙන්නේ බුදුන්ගේ පළමු ලංකා ගමනයි. මයියංගනයට වැඩම කරවන උන් වහන්සේ අහසේ මැවූ අන්ධකාරය හේතුවෙන් බියට පත් වූ යක්ෂ ගෝත්‍රිකයන් බුදුන්ගෙන් අභය ඉල්ලූ බව සදහන් වේ. බුදුන් වැඩ සිටි පත්කඩය ගිනිදැල් විහිදුව බවද සෝලියස් මැන්දිස් විසින් මෙහිදී තියුණුව නිරූපණය කර තිබෙනවා. 

චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කැළණි විහාරයේ බුදු ගෙයි ආශ්‍රිත සෙසු කුටිවල බිත්තිවල හා වහලෙහි මෙන්ම නව විහාරගෙයිද දකින්නට පුළුවන්. ඔහු ඇද ඇති බිතු සිතුවම් ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකියි. ඒ බුද්ධ චරිතය හා ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය ලෙසයි.


නාගදීපං – මෙම සිතුවමෙන් නිරූපණය වන්නේ බුදු හිමියන්ගේ දෙවන ලංකා ගමනයි. මිනි පළඟක් නිසා නාගදීපයේ හටගන්නට ගිය යුද්ධය වළක්වා දෙපිරිස  සාමදාන කළ බව ඉතිහාසයේ සදහන් වේ. මෙම සිතුවමේ දැක්වෙන ආකාරයට බුදු හිමියන්ට සෙවන සලසන්නේ සිමිද්ධිසුමන නම් දිව්‍ය පුත්‍රයායි

බුද්ධ චරිතය හා සම්බන්ධ ප්‍රධාන අවස්ථා 11ක් සෝලියස් මැන්දිස් විසින් ඇඳ ඇති අතර සිද්ධාර්ථ කුමෝරෝත්පත්තිය, බුද්ධත්වයට පත් වීම, පිරිනිවන, මහාමායා දේවිය දුටු සිහිනය, සුජාතාවගේ කිරිපිඩු දානය හා බෝසතුන් ශිල්ප හැදෑරීම ඒ අතර වෙනවා. මෙම සිතුවම් රන් පිළිමගෙයි හා ඒ ආසන්න කුටිවල ඇද තිබෙනවා. ලංකාවේ බුද්ධ සාසන ඉතිහාසය පිළිබඳව වැඩි සිතුවම් ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ කැළණි විහාරයේයි. දෙවන පෑතිස් රජ ශ්‍රී මහා බෝධිය පිළිගැනීම, හේමමාලා කුමරිය​ හා දන්ත කුමරු විසින් දළදාව වැඩම කරවීම හා අළු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ කිරීම එම සිතුවම් ගොන්නට අයත් වෙනවා.එම සිතුවම් ඇද තිබෙන්නේ රන් පිළිමගෙයට ආසන්න කුටි වලයි.


බුද්ධඝෝෂ හිමියන් විසින් මහාවිහාරික භික්ෂූන්ට විශුද්ධි මාර්ග නම් ග්‍රන්ථයේ පුස්කොළ පිටපත් තුනක් පිරිනමන ආකාරය 
ඔහුගේ අනෙක් සිතුවම් නව විහාර ගෙය තුලදී හමුවෙනවා. එහි ප්‍රධාන සිතුවම් සියල්ල බැදී ඇත්තේ බුදු හිමියන්ගේ ලංකාගමනය හා සම්බන්ධවයි. එහිදී බුදු හිමි මයියංගනයට, නාගදීපයට, කැළණියට හා ශ්‍රී පාදයට වැඩම කළ ආකාරය නිරූපනය වෙනවා. සෙසු සිතුවම් වලින් මෑත යුගය දක්වා කැළණි විහාර වංශය පැහැදිලි කර තිබෙනවා.

 බෙල්ලන්විල බිතු සිතුවම්

ශිල්ප දැක්වූ සිදුහත් කුමරුට සුප්‍රබුද්ධ රජුගේ දියණිය වන යශෝදරා සරණ පාවා දීම. කුමරා ලෞකික සැපවත් ජීවිතයේම රදවා ගැන්මට අදහස් කළ සොදෝවුන් රජු අති උත්කර්ශවත් ලෙස සරණ මංගල්‍යය සිදුකරනු ලබනවා. 
පොළොන්නරුවේ තිවංක පිළිමගෙය පූර්වාදර්ශය කරගනිමින් නිර්මාණය කර ඇති බෙල්ලන්විල බුදු මැදුරේ සිතුවම් ඇද තිබෙන්නේ නූතන චිත්‍ර ශිල්පී සෝමබන්ධු විද්‍යාපති විසින්. පුරාණ සිංහල සම්භාව්‍ය සම්ප්‍රදාය හා ඉන්දියානු සම්ප්‍රදාය සංකලනය කරමින් ඉදිරිපත් කරන ලද නව සම්ප්‍රදායක් ලෙස මෙය හදුන්වනවා. මෙම සිතුවම් වල කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මානව රූප විසිතුරු ලෙස චිත්‍රණය කර තිබීමයි. වර්ණ භාවිතා කිරීම තේමාවට ඉතා උචිත ආකාරයෙන් සිදු කර තිබෙනවා.

චිත්‍ර ඇද තිබෙන්නේ බුදු මැදුරේ අතුලත උතුරු හා දකුණු බිත්තිවලයි. බුද්ධ චරිතයේ සිදුවීම්ද, අශෝක රජුගේ ජීවිතයේ සිදුවීම් සමහරක්ද මේ සඳහා වස්තු බීජය වී තිබෙනවා. මහාමායා දේවියගේ සිහිනය, සිදුහත් කුමරුගේ උපත, ශිල්ප හැදෑරීම, දුෂ්කර ක්‍රියාව හා බුද්ධත්වය වැනි චිත්‍ර බුද්ධ චරිතයේ සිදුවීම් නිරූපනය කරනවා. අශෝක රජුගේ චරිතය හා බැඳුනු සිදුවීම් අතුරෙන් රජුගේ කනස්සල්ල, යුද්ධය හේතුවෙන් රජු තුළ ඇති වූ කම්පනය නිරූපනය වෙනවා. ශ්‍රී ලංකාවේ බුදු දහම හා සම්බන්ධ සිදුවීම් අතුරෙන් ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම, දෙතිස් බෝධීන් බෙදා දීම හා ඉන් එක් බෝ පැළයක් බෙල්ලන්විල රෝපණය කිරීම වැනි සිතුවම් දැකිය හැකියි. පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියන්ගේ ඉල්ලීම පරිදි සෝමබන්ධු මහතා වසර 3ක් සිතුවම් සිතුවම් නිර්මාණය කිරීම සඳහා ගත කර තිබෙනවා.

ඒකාබද්ධ සිතුවම් ලෙස නිර්මාණය කර ඇති සිතුවම් 13 අතරෙන් විශාලම සිතුවම පළලින් මීටර් 6ක් හා දිගින් මීටර් 14ක් වෙනවා. නිර්මාණයේදී තෙල් සායම් යොදාගෙන ඇති අතර වර්ණ සරල නමුත් බෙහෙවින් කහ, රතු, දුඹුරු හා කළු වර්ණයන් යොදාගෙන තිබෙනවා. පර්යාවලෝකනය ඉතා සංකීර්ණ ලෙස භාවිතා කර තිබෙන අතර සිතුවම් අඳුරු කර ඉස්මතු කිරීම මගින් ත්‍රිමාණ පෙනුම ඇති කර තිබෙනවා. තවද ආභරණ වල දීප්තිය පෙන්වීම සඳහා අඳින ලද සළුපිලි ලෙළ දෙන අයුරින් දක්වා තිබෙනවා. ඔහුගේ මෙම චිත්‍ර මගින් අදහස් ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන්නට සමත් වී තිබෙන බවත් මේ සමඟ ලංකාවේ චිත්‍ර කලාවේ දීප්තිමත් නව පිටුවක් ආරම්භ වන බවත් කැලණිය සරසවියේ මහාචාර්ය ඇල්බට් චන්ද්‍රසිරි පවසනවා.

බොරැල්ලේ ගෝතමී විහාරයේ සිතුවම්

විසි වන සියවසේ චිත්‍ර කලාවට ලැබුණු අගනා දායාදයක් ලෙස ජෝජ්  කිට් විසින් බොරැල්ලේ ගෝතමී විහාරයේ අදින ලද නවීනත්වයෙන් යුත් බිතු සිතුවම් නම් කල හැකියි. බොරැල්ලේ ගෝතමී මාවතේ පිහිටා තිබෙන මෙම විහාරය කොළඹ යුගයේ විහාර බිතු සිතුවම් කලාවේ එක් සන්ධිස්ථානයක් ලෙස සලකනවා.

ජෝර්ජ් කිට් විසින් 1940 වසරේදී නිර්මාණය කරන ලද මෙම චිත්‍ර නවතම සම්ප්‍රදායක් ගෙන තිබෙනවා. සෝලියස් මෙන්දිස් මෙන් එක් චිත්‍රයක් සම්පූර්ණ බිත්තියක් පුරාවට හෝ විශාල කොටසක් යොදා ගනිමින් එකම තේමාවකට සිතුවම් කර තිබෙනවා.

පුරාණ හින්දු චිත්‍ර කලාවද, ලයනල් වෙන්ට්ගේ අනුග්‍රහය යටතේ යුරෝපියානු චිත්‍ර කලාවද හදාරා ඇති ජෝර්ජ් කිට්ගේ මුල් කාලින සිතුවම් වලින් පිකාසෝ, මටිසේ හා බ්‍රාක්ගේ සිතුවම් කලා ආර යම් තරමක් ඉස්මතු වෙනවා. ජෝර්ජ් කිට්ගේ ඥාතියෙකු වන හැරල්ඩ් පීරිස්ගේ ආරාධනාවකට අනුව ගෝතමී විහාරයේ චිත්‍ර නිර්මාණය කිරීම ජෝර්ජ් කිට් විසින් භාරගත් අතර මානව රූපවල මුහුණු හා කය නිර්මාණය ඔහුටම අවේණිකයි. ගෝතමී විහාරයේ සිතුවම් නිම කිරීමට ඔහුට ගත වන්නේ මාස හයක් තරම් අඩු කාලයක්. මෙම සිතුවම් කරණය ඔහුගේ ජිවිතේ උච්චතම අවස්ථාවක් වූ අතර ඔහුට මේ හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් පවා ලැබෙනවා.

රේඛාමය ප්‍රභලත්වය හා කහ, රතු, කළු,නිල් යන සීමිත වර්ණ ප්‍රමාණයක් දීප්තිමත් ලෙස භාවිතා කරමින් මහමායා දේවිය සිහින දැකීමේ සිට මාර පරාජය දක්වා බුදු සිරිත චිත්‍රණයට නගා තිබෙනවා. නමුත් මිනිස් සිරුර අනුරාගී අන්දමට විහාර සිතුවම්වල නිරූපනය කිරීම හේතුවෙන් විචාරකයන්ගේ දැඩි විවේචනයන්ට වරෙක ඔහු හසු වෙනවා. ඒ තුලින් බෞද්ධ විහාරයක සිතුවම්වලින් අපේක්ෂිත මූලික අරමුණු වන නරඹන්නන් තුළ ශ්‍රද්ධාව ජනිත කිරීම මෙම චිත්‍රවලින් සිදු නොවන බවයි විචාරකයන්ගේ අදහස වෙන්නේ.

මහමායා දේවිය දුටු සිහිනය, කුමෝරෝත්පත්තිය, ශිල්ප හැදෑරීම, මාළිගාවෙන් පිටවීම, නේරන්ජනාවෙන් එතෙර වීම, පළමු ධර්ම දේශණය හා පරිනිර්වාණය එම සිතුවම් අතරින් කිහිපයක් වෙනවා.

කවරයේ ජායාරූපය – බුදු හිමියන්ගේ පළමුවර ලංකාගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව පරිදි සමන්කුළු පව්වේ ශ්‍රී පාදය පිහිටුවීම. සෝලියස් මැන්දිස් විසින් කැළණි විහාරයේ ඇඳි සිතුවමක් 


(under the courtesy of roar.media web)

More News »