මහ වන මැද කුඩුම්බිගල ආරණ්‍යය​

2017-12-18 11:35:00       198
feature-top
කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කි. මී. 340ක් පමණ දුරකින් කුඩුම්බිගල ආරණ්‍යය පිහිටා තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගම්මානය මෙයට ආසන්නතම මිනිස් ජනාවාසයයි. පොතුවිල් සිට මේ පුදබිමට දුර කි. මී. 30ක්. මොණරාගල සිට කි. මී. 84ක් දුරයි. මෙහි සිට කුමන උද්‍යාන ප්‍රවේශය කි. මී. 27ක දුරකින් පිහිටා තිබෙනවා. පානම සිට රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ කුමන වනෝද්‍යාන සීමාවේ කුඩුම්බිගල අභය භූමිය තුළ මෙම ස්ථානය පිහිටා තිබෙනවා.

මුහුදට ආසන්න පර්වතවලින් පිරි වනගත කඳුවැටි කිහිපයක් පාදක කරගෙන පුරාණයේ ගොඩනැගූ ආරණ්‍යයක් වන කුඩුම්බිගල අදටත් බවුන් වඩන භික්ෂුන් වහන්සේලා රැසකට වාසභූමිය වී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 500-800 දක්වා උසකින් මේ භූමිය පැතිර යනවා. බොහෝ වන්දනාකරුවන් අම්පාරේ බුද්ධංගල, දීඝවාපිය වැනි පුදබිම් වැඳපුදා ගන්නා අතර කුඩුම්බිගලටත් පැමිණෙනවා. දානමානාදිය පූජා කරනවා. මෙම පෙදෙස අභය භූමියක් ලෙස ප්‍රකාශ කළේ 1973දීයි.

පානම ගම්මානය දක්වා කාපට් දැමූ මාර්ගයක් පිහිටා තිබෙන අතර එහි සිට අභයභූමි සීමාව තුළ ඇත්තේ බොරලු මාර්ගයි. මේ මාර්ග හොඳින් නඩත්තු කරන නිසා වෑන් රථයකට වුවත් කුඩුම්බිගල යාහැකියි.

අනුරාධපුර මුල් යුගයට අයත් රෝහණ රාජධානි සමයේදී මේ අවට බෞද්ධ ප්‍රබෝධයක් පැවති බව හෙළිකරන කටාරම් කෙටූ ලෙන්, සෙල්ලිපි, පැරණි දාගැබ් මෙහි වනගතව පැතිර තිබෙනවා. සමහර ලෙනක වර්තමාන ආරණ්‍යයේ හිමිවරු වැඩ වසනවා.


ඈතට පෙනෙන කුඩුම්බිගල- කුසුම්සිරි විජයවර්ධන

මෙහි පිහිටා තිබෙන පර්වත 5ක් ඇසුරේ කටාරම් කෙටූ ලෙන් 50ක් පිහිටා තිබෙනවා. විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් ඇති අතර සමහරෙක ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපි දැකිය හැකි ය. සමහර ගල්තලා මත ගොඩනැගිලිවල අවශේෂයන් ද තිබෙනවා. 1980 දශකයේ දී කුඩුම්බිගල වැඩවිසූ තාඹුගල ආනන්දසිරි නායක හිමියන් ලියූ පොතක මෙලෙස සඳහන්.

මුලු පෙදෙසම රුදුරු වනගහනයකින් වැසී තිබෙතත් මෙහි සිට ක්ෂිතිජය දෙස නෙත් යොමන විට අත්වන වින්දනය කුඩුම්බිගල තපෝවනයෙන් දෙන නිවන් සුවයට පෙර නිමිත්තකැයි සිතමි. තුරින් තුරට කුලින් කුලට පනිමින් යන රිළා වඳුරු රැළින් මෙන්ම මිහිරි ගී ගයමින් වන පියස නළවන සියොතුන් සිනා මෙහි සිරිය වැඩෙනුයේය. (විසිපස් වසරක වනදිවි තොරතුරු- තාඹුගල ආනන්දසිරි හිමි)

පානම සිට කුඩුම්බිගල

පානම ගම්මානයේ සිට දිවෙන බොරළු මාර්ගය වැටී ඇත්තේ වනාන්තරය මැදින්. අවට පලු, වීර, වැනි වෘක්ෂ බහුලට වැවී තිබෙනවා. වනය මැද පිහිටි වැව්ද, ඈතින් මුහුද ද දකිමින් යන මේ ගමන හරිම සුන්දරයි. මේ යන අතර ශාස්ත්‍ර  වෙල නටබුන් දැකබලා ගැනීමටත් ඔබට පුලුවන්. කරදිය කලපු, අලි ලගින වළවල්, වනමැද කෙත්යායන් දාදියත් දැකගත හැකියි.  මේ නිදහස් වන අරණේ දිවිගෙවන තිත්මුව රංචු වනබැදි අතර තණ උලාකමින් සිටින අන්දම වාහනෙයේ ගමන් කරන අතරම දැකගත හැකියි. ඉඳහිට අලියෙක් දැකගැනීමටත් වාසනව ලැබේවි. දකුණු පසින් දිස්වන කුඩුම්බිගල පර්වත පෙළත් කදිමට දැකගැනීමට ලැබෙනවා. පර්වත මත පිහිටි  නටබුන් දාගැබ් ඈතට කුඩාවට දිස්වෙනවා.

වෙහෙරකෙම
වෙහෙරකෙම පර්වතය මාවත අද්දරදී දැකගත හැකි පැරණි නටබුන් ස්ථානයක්. එය පාමුල දේවාලයක්ද දැකගත හැකියි. මේ ස්ථානයේදී වනයට ඇතුළුවීමට පෙර කොළ අත්තක් කඩා එල්ලීම ගැමියන්ගේ සිරිතක්.

කුඩුම්බිගල  ඉතිහාසය

අනුරාධපුර යුගයෙන් පසු වනගතව පැවති මේ නටබුන් යළිත් මෑත අතීතයේ දී බොදුනුවන් සඳහා වැඳ පුදා ගැනීමට ඉඩ සලසා දුන්නේ 1954 දී මෛත්‍රී උපාසක නම් සැදැහැවත් පුද්ගලයා විසින්. ඊට පසු තාඹුගල ආනන්ද සිරි හිමියන් මේ පුදබිමට කැඳවාගෙන එන්නේද මෛත්‍රී උපාසක විසිනුයි. මුලින්ම ලෙන් 10ක පමණ බිත්ති බැඳ කුටි වශයෙන් සකසාගෙන බණභාවනා කිරීම ආරම්භ කර තිබෙනවා. ඊට පසු ක්‍රමයෙන් මේ වන ආරණ්‍යය බොදු වන්දනාකරුවන් අතර ප්‍රචලිත වුණා. 1971 සැප්තැම්බර් 10 දා මෛත්‍රී උාපසක මිය යනවා.

එදා පොතුවිල් කලපුව තරණය කිරීමෙන් පා ගමනින් ගමන් කළ යුතු වුවත් අද වනවිට මේ සියලු මාර්ග නවීකරණය කරලා. 1990 දශකයේ දී කොටි ත්‍රස්තවාදී ප්‍රහාර මේ පුදබිමට එල්ල වෙනවා. නායක හිමියන් වූ ආනන්දසිරි හිමි 1989 දී නාඳුනන​ තුවක්කුකරුවකුට ගොදුරු වෙනවා. බවුන් වැඩූ හිමිවරු මොණරාගල ආරණ්‍යයකට පිටත් වෙනවා. යළිත්  වනගතව පැවති මේ බිම ත්‍රස්තවාදී කලබල ඉවත්වූ පසු භික්ෂු වාසයට පත්වෙනවා.

සෙල්ලිපි

ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි 10කට වැඩි ප්‍රමාණයක් මින් හමුවෙනවා. ඒ සෑම ලිපියක්ම කටාරම් කෙටූ ලෙන්වල පිහිටා ඇත්තේ ලෙන් කරවූ අය ගැන සාධක සපයමින්. මෙහි ලෙන් තුනක් කරවා ඇත්තේ භික්ෂූන් වහන්සේ වීම තවත් විශේෂත්වයක්.

ඒ අතරින් සුදර්ශන ලෙන අද බුදුමැදුරක් වශයෙන් භාවිත කරනවා. සීත පොකුණ නම් ලෙන තුළ සීත ජලයෙන් පිරි ස්වභාවික පොකුණක් පිහිටා තිබෙනවා.

සෑගිරි පව්ව

කුඩුම්බිගල ආරණයේ දී නටබුන් දාගැබ් අටක් දැකගත හැකියි. ඒ අතරින් තුනක් පිහිටා ඇත්තේ සෑගිරි පර්වතයේ. මෙය කුඩුම්බිගල උසම පර්වතයයි. මෙම දාගැබ් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා. ඉන් එකක් සිලින්ඩරාකාර හැඩයක් ගන්නවා.

මෙම පර්වතයට පිවිසීම සඳහා ගලේ කෙටූ පියගැට සකසා තිබෙනවා. අවට අලංකාර දර්ශනයක් දැකගැනීමටත් මේ පර්වත මස්තකය ඉඩ සලසනවා.

මධ්‍ය මණ්ඩලය

සෑගිරි පව්වේ සිට කි. මී. 1ක් දුරින් පර්වත කූට අතර පිහිටා සමතලා භූමීයක්. මෙම තැනිබිමේ විශාලත්වය අක්කර 641ක්. ආරණ්‍ය ප්‍රධාන සංඝාවාස ලෙන ද නටබුන් දාගැබ්, පොකුණු සහ පැරණී පූජනීය ගොඩනැගිලි රාශියක්ද මෙහි පැතිරි තිබෙනවා. ඒ අතරින් සමහරක් කැණීම් කර සංරක්ණය කර තිබුණත් තවත් නටබුන් රාශියක් වනයට යටවී තිබෙනවා.

සුමන කූටය

මධ්‍ය මණ්ඩලයේ සිට තරමක් දුරින් වනමැද ඉහළ නගින මේ පර්වතය මත තවත් දාගැබ් තුනක් පිහිටා තිබෙනවා. ගල්ලෙන් කිහිපයක් ද එහි දැකගත හැකියි. ඒ එක් ලෙනක මෛත්‍රී උපාසකගේ ඇටසැකිල්ල ද තබා තිබෙනවා.

සුමන කූටයට නැගෙනහිරින් පිහිටි පියංගල කන්ද කටාරම් කෙටූ ලෙන් කිහිපයකින් සමන්විතයි. එහි පිහිටි එක් ලෙනක් බුද්ධරක්ඛිත නම් තොරුන් විසින් කරවා තිබෙනවා. පටිබණ කූටය නම් ලෙන් පිහිටි පර්වතය ද මෙයට නුදුරින් පිහිටා තිබෙනවා.

වන සතුන්
වියළි කලාපයේ දැකගත හැකි අලියා, කොටියා, තිත්මුවා, අඳුන් දිවියා, වල්ඌරා, වැලිමුවා, ගෝනා, වලසා, කබල්ලෑවා වැනි ක්ෂීරපායීහු මෙම වනපෙත අලංකාර කරනවා.

මෑත අතීතයේ මෙහි පූජනීය නිස්කලංක වටපිටාවට බාධාවක් වන අයුරින් නවීකරණ කටයුතු කර තිබෙනවා. පුරාවිද්‍යා අනුමැතියකින් තොරව කළ එම ඉදිකිරීම් නිසා පුරාණ පුරාවස්තුවලට පවා බාධා වී තිබෙන බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.

බොහෝ වන්දනාකරුවන් වැඳපුදා ගැනීමට යන ඔකද දේවාලයටත් මෙහි සිට පහසුවෙන් ගමන් කළ හැකි ස්ථානයක්.


(under the courtesy of roar.media web)

More News »