මාතර සුන්දරත්වය සහ ප්‍රෞඪ ඉතිහාසය

2017-12-21 11:17:00       107
feature-top
ඉස්සර කොළඹ ඉඳන් මාතරට දුර කිව්වෙ හැතැප්ම වලින්. හරියට ම හැතැප්ම 100යි. කි. මී නම් 160යි. දැන් අධීවේගී මාර්ගය නිසා මාතර තවත් ළංවෙලා. කොට්ටාව සිට මාතර ගොඩගමට දුර කි. මී. 126යි. පැය එකහමාරකටත් අඩු කාලයකින් ඒ ගමන යාමට පුළුවන්. ගාල්ල තරම් ම සංචාරක ආකර්ශණයක් නැතත් මාතර දැකබලා ගත යුතු තැන් බොහෝම යි. ඒ අතරින් පහසුවෙන් නැරඹිය හැකි වැදගත් හා සොඳුරු ගමනාන්ත කිහිපයක් ගැන ඔබ දැනුවත් කිරීමට යි මේ උත්සාහය.

මහානාම පාලම උඩින් එන්න

මාතර නගරය මැදින් ගලාගෙන යන්නේ දෙණියාය ගොංගල කඳුවලින් උපත ලබා පැමිණෙන නිල්වලා ගංගාවයි. නිල්වලාව පුරාණයේ පමණක් නොව අදටත් කිඹුලන්ට ප්‍රසිද්ධයි. ඒ වගේම මේ ගඟ හරහා ඉදිකළ මහානාම පාලම නම් ප්‍රසිද්ධ වී ඇත්තේ සියදිවි නසාගැනීමට යි. මේ වන විටත් පාලමෙන් පැන පුද්ගලයන් රාශියක් දිවි අහිමිකරගෙන තිබෙනවා.

පාලම පසුකරගෙන යන අපට නිල්වලා ගඟබඩ පිහිටි පැරැණි ඕලන්ද කොටුවේ ඔරලෝසු කණුව දිස්වෙනවා.

ඕලන්ද කොටුවට ගොඩවදින්න

පළමු වරට මෙම ‍කොටුව ඉදි කරන ලද්දේ පෘතුගීසීන් විසින් යැයි පිළිගැනෙනවා. පෘතුගීසීන් ‍ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය ආරම්භ කළ පසු කෝට්ටේ ‍දොන් ජුවන් ධර්මපාල රජු‍ගේ සහාය මත ක්‍රි.ව. 1595 දී මාතර ‍කොටුවක් ඉදි කළ බව පැවසෙනවා.  අද දක්නට ලැබෙන ‍කොටුව ඉදිකර තිබෙන්නේ ලන්දේසීන් විසින් ක්‍රි.ව. 1645 දීයි. නිල්වලා ගං ‍මෝය, කලපුව හා මුහුද අතර වූ ත්‍රිකෝණාකාර බි‍මෙහි  ඔවුන් එය තකා තිබෙනවා. කොටුවේ පිවිසුමෙහි දැනට සටහන්ව ඇති දිනය ක්‍රි.ව. 1789 වන අතර, එය ‍කොටුව ඉදි කළ දිනය ‍නොව නැවත ප්‍රතිසංස්කරණය කළ දිනයක් බවට සාධක තිබෙනවා.

ලන්දේසීන් ඉදිකළ ‍කොටුව 1761 දී මාතර කැරැල්ල නමින් හැඳින්වෙන උඩරට ආක්‍රමණය හේතු‍‍වෙන් සිංහල හමුදාව අත්පත් කර ගත්තා. නමුත් 1762 ‍‍පෙබරවාරි 02 දා වෑන් එක් ආණ්ඩුකාරයා යටතේ කළ සටනකින් පසු නැවත ලන්දේසීන් ‍කොටුවේ බලය තහවුරු කර ගත්තා. ලන්දේසීන් සතුව පැවති ගාලු කොටුව මෙන්ම මාතර කොටුවත් පසුව ඉංග්‍රීසින් විසින් යටත් කර ගත්තා. ඉංග්‍රීසින් මාතර බලය තහවුරු කරගත්තේ 1796 ‍‍පෙබරවාරි 24 වන දින යි.

මෙම ‍කොටුව කළු ග‍ලෙන් හා හුණු ග‍ලෙන් නිර්මාණය කර තිබෙනවා. ‍කොටු බැම්ම හා දොරටුව ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන බව දැක ගැනීමට පුළුවන්.  ලන්දේසි පාලන සම‍යේදී ‍කොටුව තුළ ඇත්ගාලක්, දිසාපති නිල නිවස, පැරණි පල්ලිය, කුරුඳු, පුවක් හා ‍වෙඩි ‍බෙ‍හෙත් ගබඩා පැවතුණා. ‍

මෙහි පිහිටි පැරණිතම ‍ගොඩනැගිල්ල වන්නේ කැණිමඩල සහිත වහලකින් යුක්ත ලන්දේසි වාස්තු විද්‍යා‍‍ ලක්ෂණ පිළිබිඹු කරන ඕලන්ද රෙපරමාදු දේවස්ථානයයි.. එහි බිමට සහ බිත්තිවලට අල්ලා ඇති කළු ගලින් කළ සොහොන් ඵලක මඟින් එකල මාතර ජීවත්වූ ලන්දේසි, ඉංග්‍රීසි මෙන්ම සිංහලයන්ගේද ඇතැම් තොරතුරු අනාවරණය වෙනවා. සිංහලයන් හා කළ යුද්ධවලදී මිය ගිය තරුණයන්, දරුවන් සහ දරු ප්‍රසූතියේ දී මිය ගිය කාන්තාවන්, එකල සිටි මහමුදලිවරුන් ආදීන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන කෞතුකාගාරයක්‌ ලෙසත් මෙම ඕලන්ද පල්ලිය වැදගත්. එහි ඉදිරියේ “1767 – ඩැනියල් බර්රාට්‌ ඔ’ ඔපර්කූප්මන්ට්‌” යන වදනක්‌ සඳහන් කර තිබෙනවා.

මාතර ඕලන්ද දේවස්‌ථානයේ ගෙබිම සහ බිත්තිවලට තබා සවි කරන ලද ශෛලමය සොහොන් ස්‌මාරක 22 ක්‌ පමණ තිබෙනවා. පල්ලි‍යේ ඇති පැරණි ඕලන්ද ‍‍සොහොන් අතර පැරණිතම සොහොන් ගල ක්‍රි.ව. 1686ට අයත් එකක්. සොහොන් ස්‌මාරක බොහොමයක්‌ ඉංග්‍රීසියෙන් ලියා තිබේ. තවත් සමහරක්‌ ඉංග්‍රීසියට සමානකම් සහිත ලන්දේසි භාෂාවෙන්ද ලියා තිබේ.  මියගිය අයගේ තනතුරු, නම, උපත, විපත ආදී තොරතුරු රැසක්‌ ඒවායෙහි සඳහන් කොට තිබෙනවා.

ඕලන්ද දේවස්‌ථානයේ සොහොන් ගල්වල සඳහන් කොට ඇති නම් අතර දෙවිනුවර දේවාලයේ බස්‌නායක නිලමේ සහ තෝල්ක මුදලි ධුරයක්‌ දැරූ ඩැනී ආබ්‍රහම් දිසානායක නමක්‌ ද තිබෙනවා. ඔහු 1782 දෙසැම්බර් 24 උපන් 1850 පෙබරවාරි 10 වැනිදා මියගිය මුදලිවරයෙක් බවයි සඳහන් කර ඇත්තේ. ඔවුන් එකල පැවති පාලනයට සහාය දැක්වූ සිංහල පාලකයන් වශයෙන් සැලකිය හැකියි.

ගජනායක හෙවත් අලි ඇල්ලීමේ මහ මුදලි ධුරය දැරූ දොන් ඩේවිඩ් අබයසිරිවර්ධන ඉලංගකෝන් මහමුදලිගේ සොහොන් ස්‌මාරකයද මෙහි පිහිටා තිබෙනවා. ඔහු  1772 අගෝස්‌තු 5 වැනිදා උපන් ඔහු මියගොස් ඇත්තේ 1848 සැප්තැම්බර් මාසයේදී යි.

මාතර කොටුවට බ්‍රිතාන්‍ය පාලන සම‍යේ එක් වූ ‍ගොඩනැගිලි කිහිපයක් ද දැකගත හැකියි.  උසාවි ‍ගොඩනැගිල්ල, තානායම, මාතර ‍පොලිස් ‍ගොඩනැගිල්ල ඒවා වෙනවා.

තාරකා කොටුව

මාතර කොටුව ක්‍රි.ව. 1761 දී කැරැල්‍‍ලෙන් පසුව සිංහලයන්ට අයත් වූ  පසු 1762 දී නැවත ලන්දේසීන්  කොටු‍වේ බලය තහවුරු කරගත්තත් ඔවුන්ට ආරක්ෂාව ගැන බියක් තිබුණා. ඒ නිසයි  1763 දී මාතර ‍කොටුවට අමතර ආරක්ෂාවක් ලබාදීමට එම කොටුවට පිටින් තාරකාවක ස්වරූප‍යෙන් යුතු තාරකා කොටුව නිර්මාණය කළේ. වර්ෂ. 1763 දී ඉදිකිරීම් ආරම්භ කළ තාරකා කොටුව ක්‍රි.ව. 1765 දී නිම කර තිබෙනවා. විශේෂත්වය නම් මෙම බලකොටුව ඉදිකිරිමේ කටයුතු භාරව සිට ඇත්තේ එකල ඕලන්ද පෙදෙස්වල ප්‍රාදේශීය පාලකයෙක් වූ ඔරුකෙම මුහන්දිරම් විසින්. රිඩවුට් වෑන් ආණ්ඩුකාරවරයා යට‍තේ තමයි මෙය ඉදිකෙරුණේ. කුඩා ලන්දේසි භට කණ්ඩායම් නවතා තැබීමට තාරකා ‍කොටුව භාවිත කළත් එතරම් කලක් එය භාවිත කිරීමට ලන්දේසීන්ට ඉඩ නොලැබුණේ ඉංග්‍රීසින් 1796 දී මුහුදුබඩ පළාත් යටත් කරගත් නිසා යි.

කොටුව ව‍ටේ දිය අගලක් ඉදිකර ඇති අතර ඉන් එතෙරවීමට ඉවත් කළ හැකි පාලමක් තිබෙනවා. අදත් මෙම දිය අගලේ කිඹුලන් සිටිනවා. ආරුක්කු සහිත ප්‍රධාන ‍දොරටු‍වෙන් ඇතුළු වූ පසු නැවත එවැනි ම දොරටු දෙකක් ද ඇතුළත කාමර ද පිහිටා තිබෙනවා.  ‍කොටුව මධ්‍යයේ ළිඳක් ද පිහිටා තිබෙනවා. මාතර මහජන පුස්තකාලය වශයෙන් භාවිත කළ මෙම ස්මාරකය 1980 සිට පුරාවිද්‍යා ‍දෙපාර්ත‍‍මේන්තුවට පවරාගෙන පැරණි පෙනුම ලැබෙන පරිදි සංරක්ෂණය කළා. අද එහි  ප්‍රාදේශීය පුරාවිද්‍යා කෞතුකාගාරය පිහිටා තිබෙනවා.

මාතර බෝධිය වැඳගන්න
නගරය මැද පිහිටි බෝධිය දිගු කලක් පුරා බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවූ වෘක්ෂයක්. මෙහි ඉතිහාසය අනුරාධපුර යුගයේ කුමාරදාස රජ දවස  සිදුවු පුවතක් හා බැදී පවතින බව ජනප්‍රවාද පවසනවා.  එවක ඉන්දියාවේ සිටි කාලිදාස කවියාත් කුමාරදාස රජුත් කවිකම නිසාම මිතුරන්ව සිටි අතර  රජුගේ ඇරයුමින් ලංකාවට පැමිණි කාලිදාස කවියා නතරව සිට ඇත්තේ මාතර ප්‍රදේශයේයි.  අවාසනාවන්ත ලෙස ගණිකාවක් නිසා කාලිදාස කවියා මරණයට පත්වුණා. මිතුරාගේ වෙන්විම දරාගත නොහැකි රජු කාලිදාස කවියාගේ චිතකයට පැන දිවි නසා ගන්නවා. මේ පුවත සැලවු රජුගේ බිසෝවරුන් පස් දෙනාද එම චිතකයටම පැන දිවි නසාගත් බවත් පසු කාලයේ  එම සත් දෙනා සිහිවිමට බෝධීන් හතක් රෝපණය කර තිබෙන බවත් පැවසෙනවා. හත් බෝධිවත්ත ලෙස අද ද හඳුන්වන්නේ එය බවත් එක් බෝධියක් මාතර බෝධිය බවටත් විශ්වාසයක් පවතිනවා.

ඉංග්‍රිසි පාලන සමයේ බෝධීන් වහන්සේ ඉවත් කිරීමට සුදානම් වු අවස්ථාවේ ප්‍රදේශවාසීන් දැඩි විරෝධය මත සිය අදහස අත්හැරිමට සිදුවී තිබෙනවා. බෝධීයේ වැඩිදියුණුව සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව 1962 දී  පිහිටුවා ගත්තා.

රන් දූපත හෙවත් පරෙවි දූපත

වෙරළට ආසන්නව මුහුද මැද තිබුණු මේ දූපත කලක්‌ ගල් පරෙවියන් විසූ ස්ථානයක්. පසුව විවිධ කටයුතුවලට යොදාගත් මේ දූපත දැන් භාවිත කරන්නේ සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය වශයෙන්.

රෝහණ පාර්ශවයේ භික්‍ෂූන්ගේ උපසම්පදා විනයකර්ම මෙහිදී සිදුකෙරෙනවා.‍ දූපතට ගමන් කිරීමට අලංකාර කම්බි පාලමක් තනා තිබෙනවා.

අප ස්‌වාමිදුවගේ දේවස්‌ථානය (ශාන්ත මේරි පල්ලිය)

මාතර වෙරළ උද්‍යානය ඉදිරිපසින් පිහිටි ශාන්ත මේරි දේවස්ථානයේ කිතුණුවන් “මාතර මෑණියන්” ලෙස හඳුන්වන  ප්‍රතිමාව තැන්පත් කර තිබෙනවා.  වසර 500 කටත් වඩා ඉතිහාසයක්‌ තිබෙන බව කියන මෙම ප්‍රතිමාවේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ලාබාල අවධියේදී මරියතුමිය විසින් වඩාගෙන සිටින ආකාරය පිළිබිඹු කෙරෙනවා. මෙම ප්‍රතිමාව ආශ්චර්යවත් එකක්‌ ලෙසයි කිතුනු බැතිමතුන් සලකෙන්නේ. ඒ කිහිප විටක්‌ම මුහුදු බත් වෙලා නැවත නැවත හමුවෙලා තියෙන නිසයි.

1912 නොවැම්බර් 12 තමයි මේ සුරුවම වත්මන් දේවස්‌ථානයේ තැන්පත් කරෙ තිබෙන්නේ.  2004 දෙසැම්බර් සුනාමියට මේ දේවස්‌ථානයත් හසුවෙලා නැවතත් ප්‍රතිමාව මුහුදට ගසාගෙන ගියත් දින තුනකින් පුද්ගලයකුට හමුවීම තවත් පුදුමයක්. සෑම වර්ෂයකම සැප්. 8 දා මෙහි වාර්ෂික මංගල්‍යය පවත්වනවා.

නූපේ පොදු වෙළෙඳ පොළ

මාතර සිට කිලෝ මීටර දෙකක් දුරින් පිහිටි මෙම ගෙඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනැගූ ඉංග්‍රීසි පාලන කාලයේ මුල් යුගයට අයත් වූවක්. නුපේ ප්‍රා‍දේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් ‍මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයන් මාතර පාලනය කරන අවධියේදී වෙ‍ළෙඳ පොළක් ‍ලෙස භාවිත කිරීම සඳහා ඉදි කර තිබෙනවා. ඉංග්‍රීසි “ටී” අක්ෂරයේ හැඩයට විවෘත කුළුණු මත ඉදි කර ඇති ‍මෙම ගොඩනැගිල්ලට සෙවිලි කර ඇත්තේ ‍පෙති උළුයි. ඉදිරිපස දිග අඩි 200ක් සහ පළල අඩි 30ක් පමණ ද වූ ගොඩනැගිල්ල මධ්‍යයේ දැවමය ‍පෝටි‍‍කෝවක් තිබෙනවා. වහලට ඉහළින් කුඩා වහලවල් තුනක් ඉදි කර තිබෙන්නේ අලංකාරය සඳහා යි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

පොල්හේන වෙරළ

නූපේ හන්දියෙන් හැරී වෙරළ දෙසට ඇති මාවතේ කිලෝ මීටරයක් පමණ ගමන් කිරීමෙන් පොල්හේන වෙරළට ළඟාවිය හැකියි. මෙය දේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයක්. ආරක්ෂිතව මුහුදේ නෑමට හැකි මේ වෙරළ තීරයට සංචාරකයන් විශාල පිරිසක් දිනපතා ඇදී එනවා.

ගජමන් වලව්ව

රුහුණේ ප්‍රකට කිවිවරිය වූ ගජමන් නෝනා වැඩිදුර කාව්‍යකරණය ඉගෙන ගත්තේ  මාතර වල්පොල පිහිටි වේරගම්පිට රජමහා විහාරයේ කරතොට ශ්‍රී ධම්මාරාම හාමුදුරුවන්ගෙන්. ඒ පිරිමියෙක්‌ වගේ වෙස්‌ වලාගෙන යි. වේරගම්පිට විහාරය ආසන්නයේ ම ගජමන් නෝනා එකල දිවිගෙවූ ගජමන් වලව්ව තාමත් නිරුපද්‍රිතව තියෙනවා. ඒත් අද එය වැඩකට නොගෙන අත්හැර දැමූ රජයට අයත් ගොඩනැගිල්ලක්. මාතර නගරයේ සිට වල්පොල පාරේ කිලෝ මීටර එකහමාරක් පමණ ගියවිට මෙම ස්ථානයට ළඟාවිය හැකියි.


(under the courtesy of roar.media web)

More News »