කෑගලු දිස්ත්‍රික්කයේ ඓතිහාසික ටැම්පිට විහාර​

2018-01-05 10:45:00       0
feature-top
සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කය මධ්‍ය කඳුකරයේ පාවුල් කඳුවලින් යුක්ත සුන්දර ප්‍රදේශයක්. උඩරට රාජධානි සමයේ දී හතර කෝරළය සහ තුන් කෝරළය පැතිර තිබුණේ කෑගල්ල දිසාවේ. සෙංකඩගල රාජධානියට යාබදව පිහිටි නිසා හතර කෝරළය ඉතා වැදගත් පාලන ප්‍රදේශයක් වුණා. මේ නිසා හතර කෝරළේ බොහෝ විහාරස්ථාන සඳහා රාජකීය අනුග්‍රහය ලැබී තිබෙනවා.

ලෙන් විහාර රාශියක් මෙහි කඳු ආශ්‍රිතව පැතිර තිබෙන අතර ටැම්පිට විහාර සංඛ්‍යාවද ඉතා විශාලයි. අපගේ අධ්‍යයනයකට අනුව ලංකාවේ වැඩිම ටැම්පිට විහාර සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ කෑගල්ල දිසාවේ. ඒ සංඛ්‍යාව 48ක්. මේවා අතරින් වැඩිම සංඛ්‍යාවක් උඩරටට යාබද හතර කෝරළයේ පැතිර තිබෙනවා. රජවරු වගේම ප්‍රාදෙශීය ප්‍රධානින් ද මේ විහාර ඉදිකරවීමට අනුග්‍රහය දක්වලා තිබෙනවා.

ටැම්පිට විහාර 48ක්

මේ එම ටැම්පිට විහාර නාමාවලියයි.

1 නෙලුන්දෙනියේ නාපෙ බෝධිරුක්ඛාරාමය, 2 රංවල පුරාණ විහාරය, 3 මංගලගම බෝධිමාලකාරාමය, 4 හිඟුල රජමහා විහාරය 5 මාවනැල්ල මල්වතු විහාරය 6 ලෙවන්ගම ටැම්පිට විහාරය, 7 මැණික්කඩවර ටැම්පිට විහාරය, 8 නිකපිටිය සංඝසේල විහාරය, 9 රඹුක්කන දියසුන්නත විහාරය, 10 අම්බුලුගල, 11 දොඩන්තලේ, 12 ලෙව්කේ, 13 අස්මඩල, 14 ගම්මන්නාගොඩ, 15 මාකුර 16 ජීවාන, 17 මෝරාගම්මන, 18 මැදිලිය, 19 ගොන්දිවෙල, 20 නවගමුව විහාරය රඹුක්කන, 21 මුවපිටිය, 22 වාකිරිගල, 23 බුරුන්නෑව, 24 මාවනැල්ල පොල්අඹේගොඩ, 25 මාකෙහෙල්වල කැප්පෙටිපොල විහාරය 26 මාවනැල්ල කිරියාතැන්න 27 කඩිගමුව 28 උදන්විට, 29 මාලියැද්ද, 30 අල්කේගම, 31 වල්පොල, 32 පරපේ, 33 කිවුල්පොත, 34 කෙසෙල්වත්ත, 35 තම්මිට, 36 තල්ගස්පිටිය, 37 පෝඩාපේ, 38 මැදගොඩැල්ල, 39 රඹුක්කන යටගම, 40 නිල්වක්ක 41 හීනටිපොනේ 42 කෙම්පිටිකන්ද, 43 දෙබත්ගම, 44 උඩුගම, 45 මැදගම, 46 අල්ගම, 47 මිනුවන්ගමුව, 48 වතුර කෙසෙල්වත්ත

මේ අතරින් විහාර වැඩි ප්‍රමාණයක් කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරයි. අස්මඩල, හිඟුල, මංගලගම යන ටැම්පිට විහාර නවීකරණය නිසා මුල් ස්වරූපය බොහෝදුරට වෙනස් වෙලා. මැණික්කඩවර, දියසුන්නත, වාකිරිගල, මාකුර වැනි විහාරවල උඩරට සම්ප්‍රදායේ අගනා බිතුසිතුවම් හා දැව කැටයම් දක්නට ලැබෙනවා. අම්බුලුගල විහාරයේ විශිෂ්ට ගල්කැටයම් සහිත උළුවස්සක් දැකගත හැකියි. ඒ අතර රඹුක්කන කඩිගමුව විහාරයේ ටැම්පිට විහාර මන්දිර දෙකක් පිහිටා තිබීමත් විශේෂත්වයක්. අපි දැන් ඒ අතරින් විහාර කිහිපයක් නරඹන්නට යමු.

රඹුක්කන දියසුන්නත විහාරය

රඹුක්කන මාවනැල්ල පාරේ රඹුක්කන නගරයේ සිට මීටර් 500ක් දුරින් පිහිටා තිබෙන මෙම විහාරයේ ටැම්පිට විහාරයක් සහ තවත් පැරණි පිළිම ගෙයක් දක්නට පුලුවන්. ටැම්පිට විහාරය කරවා ඇත්තේ පැරණි පෝය සීමා මන්දිරයේ ඉහළ මාලයෙයි. ඉහළ මාලයට ගමන් කිරීමට දැව තරප්පු සකසා තිබෙනවා. පිළිම ගෙට පිවිසෙන දැව උළුවස්ස අගනා කැටයම්වලින් යුක්තයි. මෙහි සිතුවම් පසුකාලීනව අලුත්වැඩියාවට ලක්ව තිබෙනවා. හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් ද මෙහි පිහිටා තිබෙනවා. ප්‍රදක්ෂිණා පථය වටේ ඇඳ ඇති පැරණි සිතුවම් සමහරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කර මතු කර තිබෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මෙහි වැඩහුන් කදිරාගොඩ හිමි සංඝරාජ සරණංකර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනමක්. ආයිත්තාලියද්දේ මුහන්දිරම් ලියූ සංඝරාජ සාධු චරියාවේ මෙම පුදබිම සඳහන් වන්නේ දියහුන්නත නමින්.

අස්මඩල

කෑගල්ලේ මාවනැල්ලෙන් හැරී අරණායක පාරේ ගමන් කර ළඟාවිය යුතු අස්මඩල තරමක් දුෂ්කර ගම්මානයක්. එහි පසුබිමේ පිහිටා ඇත්තේ ඌරාකන්දයි. කඳු පාමුල බෑවුමක පිහිටි විහාරය කුඩා ටැම්පිට විහාරයක්. මෙහි විශේෂත්වය නම් අලුත්වැඩියා කිරීමේදී ටැම්පිට කුලුනු නොපෙනෙන සේ කොන්ක්‍රීට් යොදා තිබිමයි.

නමුත් විහාර මන්දිරය තුළ දී පොළොවට යෙදූ දැව ලෑලි දක්නට ලැබෙනවා. ඒ වගේම උඩරට සම්ප්‍රදායට අයත් හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි බුදු පිළිම දෙකක් මෙහි දැකගත හැකියි. එක් හිටි පිළිමයක් නම් සම්පූර්ණයෙන් විනාශ වී ගිහින් බවයි අපට දැකගැනීමට ලැබුණේ.

දොඩන්තලේ

උතුවන්කන්ද හන්දියෙන් හැරී යන දාස්වත්ත පාරේ කි. මී. 4ක් දුරින් පිහිටා තිබෙන විශාල දෙමහල් විහාරයක්. බණමඩුවේ ඉහළ මාලයේ කොටසක පිළිම ගෙය දක්නට ලැබෙනවා. එයට පිවිසීමට දැව පියගැට පෙළක් නිර්මාණය කර තිබෙනවා. ප්‍රතිමා මන්දිරය මහනුවර යුගයේ අගනා බිතුසිතුවම් හා මූර්තිවලින් යුක්තයි.

මෙය තරමක් විශාල ප්‍රතිමා මන්දිරයක්. හිඳි බුද්ධ ප්‍රතිමා දෙකක් සහ හිටි බුදු පිළිමයක් දැකගත හැකියි.

බිත්තිය අලංකාර කර තිබෙන්නේ සූවිසි විවරණ චිත්‍රාවලියකින්. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහ මොල්ලිගොඩ දිසාවගේ සිතුවම්ද මෙහි ඇඳ තිබෙනවා.

කඩිගමුව නාගවනාරාමය

රඹුක්කන මාවනැල්ල මාර්ගයේ කි. මී. 5ක් දුරින් පිහිටි කඩිගමුව හන්දියෙන් හැරී යා යුතුය. මෙහි ටැම්පිට විහාර දෙකක් පිහිටා තිබෙනවා. ඒ අතරින් පැරණි ටැම්පිට විහාරය 1758 දී ඉදිකරන ලද බව සඳහන්. අඩි 4ක් උස ගල්ටැම් 12ක් මත ඒ විහාරය තනා තිබෙනවා. විහාරයේ කුලුනුවල අලංකාර දැව කැටයම් දක්නට පුලුවන්.

දෙවන ටැම්පිට විහාරය අඩි තුනහමාරක් උස ගල්ටැම් 16ක් මත තනා තිබෙන්නක්. මෙහි සිතුවම් උඩරට සම්ප්‍රදායේ පසුකාලීන අවදිය නියෝජනය කරන බව පේනවා. මූර්ති සමහරක් පසුකාලීනව අලුත්වැඩියා කරලා. චෛත්‍යඝරයක් ඇතුළු පැරණි විහාරාංග රැසකින් යුතු අලංකාර විහාරයක්.

කැප්පෙටිපොළ‍

මාවනැල්ලේ සිට රඹුක්කන පාරේ කි. මී. 11.5ක් දුරින් කැප්පෙටිපොළ හන්දියේ ශ්‍රී අභයරාජ විහාර භුමියේ පිහිටා තිබෙනවා. කුප්පෙටිපොළ මහ දිසාව සිහිපත් වීමට එම පවුලේ ඥාතීන් විසින් ඉදිකළ ටැම්පිට විහාරයක්. එය තනවා පූජා කර තිබෙන්නේ 1855 ඔක්තෝබර් 2 දායි. දැනට දක්නට ලැබෙන්නේ පසුකාලීනව අලුත්වැඩියා කළ විහාරයක්. අඩි 7ක් උස ගල්ටැම් 21ක් මත විහාරය ඉදිකර තිබෙනවා.

වාකිරිගල

මාවනැල්ල සිට මඳක් දුරින් පිහිටි මෙම පුදබිමේ ඉතිහාසය පළමුවන විජයබාහු රජ දවස දක්වා ඇදී යනවා. එකල මෙහි පිහිටි පර්වතය මත බලකොටුවක් ඉදිකර තිබූ බව සඳහන්. බලකොටුව පාමුල පිහිටි ටැම්පිට විහාරය සිතුවම්, මූර්ති මෙන්ම ලී කැටයම්ද දැකගත හැකි ස්ථානයක්.

මෝරාගම්මන මයුරපාද විහාරය

මාවනැල්ලේ සිට අරණායක පාරේ පැමිණ ගැවිලිපිටිය හන්දියෙන් හැරී ගමන් කළ යුතුය. කුඩා ටැම්පිට විහාරයක් මෙන්ම ටැම්පිට තැනූ පැරණි සංඝාවාසයක් ද මෙහි පිහිටා තිබෙනවා. අඩි 2ක් උස ගල්කණු 4ක් මත විහාරය ඉදිකර තිබෙනවා. එයට පසුකාලීනව මණ්ඩපයක් එක්කර තිබෙනවා. මෙහි පිහිටි බුද්ධ ප්‍රතිමා දැවයෙන් තනා පසුව බදාම ආලේප කළ ඒවායි.

මාකූර ටැම්පිට විහාරය
කෑගල්ල නගරයෙන් හෙට්ටිමුල්ල පාරට හැරී ගමන් කරන විට මාකුර හන්දිය හමුවෙනවා. එහි සිට මඳ දුරක් හැරී පියමං කළ විට විහාර භූමියට ළඟාවිය හැකියි. හොඳ තත්ත්වයේ පවතින අලංකාර බිතුසිතුවම් හමුවන ස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. අඩි 3ක් උස ගල්කණු 9ක් මත පිළිම ගෙය ඉදිකර තිබෙනවා. එයට ඉදිරිපසින් විවෘත මණ්ඩපයක්ද දැකගත හැකියි. පිළිම ගෙය වටා යන සේ ප්‍රදක්ෂිණා පථයක්ද පිහිටා තිබෙනවා. හිඳි බුද්ධ ප්‍රතිමාවක් විහාරය තුළ දැකගත හැකියි. මෙහි බිතුසිතුවම් 19 වන සියවසේ අගභාගයේ සිතුවම් කලාවට හොඳම උදාහරණ සපයන බව මහාචාර්ය සිරි ගුණසිංහ සහ එල්. ටී. පී. මංජු ශ්‍රී පවසනවා. සූවිසි විවරණය, සොළොස්මස්ථාන, ශ්‍රාවක රූප ඇතුළු බිතුසිතුවම්වලින් විහාරය සරසා තිබෙනවා

මිනුවන්ගමුව
අප රටේ අවසන් ටැම්පිට විහාරය වශයෙන් සැලකිය හැකි මෙය පිහිටා ඇත්තේ කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ හෙට්ටිමුල්ල සිට කි. මී. 1.6ක් දුරින්. කටාරම් කෙටූ ලෙන් කිහිපයක් ද මෙහි දැකගත හැකියි. ටැම්පිට විහාරය ඉදිකර තිබෙන්නේ 1886 දී බව විහාරයේ තිබෙන ලේඛනවලින් පැහැදිලි වෙනවා. එහි චිත්‍ර නිර්මාණය කර තිබෙන්නේ පොල්කොටුවේ ගෙදර කිරිඅප්පු නම් සිත්තරා විසින්. අඩි 3ක් උස ගල්ටැම් 6ක් මත විහාරය තනා තිබෙනවා. විහාරය තුළ හිඳි බුද්ධ ප්‍රතිමා තුනක් දක්නට ලැබෙනවා. විෂ්ණූ සමන් යන දේවරූප සහ සූවිසි විවරණයත් මෙහි චිත්‍රගත කර තිබෙනවා.


(under the courtesy of roar.media web)

More News »