වනගත බුද්ධංගල ආරණ්‍යය

2018-01-08 11:09:00       0
feature-top
අම්පාර අවට වන්දනාවේ යන කවුරුත් වැඳපුදා ගන්නා තැනක් ලෙස බුද්ධංගල ආරණ්‍යය ප්‍රසිද්ධයි. කලකට පෙර වටවන්දනාවේ යන අයත් අනිවාර්යයෙන් යන තැනක් බවට බුද්ධංගල පත්ව තිබුණා. අම්පාර නගරයේ සිට කි. මී. හතක් පමණ දුරින් පිහිටි ඒ වෙත පැමිණීමට කාපට් යෙදූ මාර්ගයක් දැන් තනා තිබෙනවා. කොළඹ මහනුවර පදියතලාව හරහා බුද්ධංගලට දුර කි. මී. 320ක්. රත්නපුර බෙරගල, වැල්ලවාය, මොණරාගල හරහා කි. මී. 340ක්.

වැව්ගම්පත්තුව

වැව්ගම්පත්තුව උතුරු ප්‍රාදේශීය ආදායම් කොට්‌ඨාසයේ අම්පාර වසමට එය අයත් වෙනවා. එහි විශාල විශ්‍රාම ශාලාවක් ද නවාතැන් ගත හැකි කාමර කිහිපයක් ද පිහිටා තිබෙනවා. නමුත් විශේෂ පහසුකම් කිසිවක් නම් නැහැ. එහෙත් රාත්‍රියේ නවාතැන් ගෙන වනගත පරිසරයේ මිහිර වැඳ ගැනීමට කදිම ස්ථානයක් තමයි බුද්ධංගල.

බොහෝ වන්දනාකරුවන් බුද්ධංගල නවාතැන් ගෙන පසුදින භික්ෂුන් වහන්සේට දානය ද පිරිනමා යාම සාමාන්‍ය සිරිතක්.

අභය භූමිය

පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ බුද්ධංගල අභයභූමිය තුළයි. වර්ෂ 1974 නොවැම්බර් 9 දා මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශ කළා. එහි විශාලත්වය හෙක්ටයාර් 1814ක්. පූජා භුමියට අක්කර 200ක පමණ භූමියක් අයත් වෙනවා. මෙහි වනය පලාගෙන අඩි 500ක් පමණ ඉහළට නගින පර්වත කූට 5ක් පැතිර තිබෙනවා. එම පර්වත පාමුල අලංකාර ස්වභාවික පොකුණු දක්නට ලැබෙනවා. පොකුණු මැදින් ඉහළ නගින පර්වත මත ඉපැරණි නටබුන් සහ මෑතක දී ඉදිකළ විහාරාරාමත් දැකගත හැකියි. එය සිත් සනහන දර්ශනයක්. මෙම පර්වත මතට අම්පාරේ කඳු හිස් වන වඩිනාගල, රජගල ආදී කඳු අපූරුවට දිස්වෙනවා. මොණරාගලට අයත් ගෝවින්දහෙළත් යාන්තමින් දැකගන්න පුලුවන්.

අවට පැතිර තිබෙන්නේ වියළි කලාපීය වනාන්තරයක්. එහි අලියා සුලබයි. නමුත් බැතිමතුන්ට අලින්ගෙන් අනතුරු සිදුවී නම් නැහැ. තිත්මුවා, කළු වඳුරා, වල්ඌරා, සිවලා, දඩුලේනා, රිළවා ආදී ක්ෂිරාපායී විශේෂ රැසක් මෙම වනපෙත තුළ ජීවත් වෙනවා.

අරළු, මොර, මිල්ල, ඇටඹ, කළුවර, බුළු, මොර, හල්මිල්ල, බුරුත, නුග, ඇහැටු ඇතුළු ගස්වැල්වලින් වනය සමන්විතයි.

යළිත් පුදබිමක් වීම

අනුරාධපුර යුගයේ දී කුඩුම්බිගල, රජගල මෙන්ම බුද්ධංගල ද පළාතේ ප්‍රකට බෞද්ධ ආරණ්‍ය ලෙස පැවතුණ බව හෙළිවී තිබෙනවා. පැරණි දිගාමඩුල්ල රාජධානියට අයත්ව තිබූ මේ පුදබිම අනුරාධපුර යුගය බිඳ වැටීමත් සමඟ වනයට යටවී වනසතුන්ගේ අභයබිමක් බවට පත්වෙනවා. මේ පුදබිම යළිත් බෞද්ධ භික්ෂූ වාසයට නතු වන්නේ 1964 දී කළුතර ධම්මානන්ද හිමියන් වැඩම කිරීමත් සමඟයි. ඒ වනවිට මේ පර්වත භුමිය දඩමස් වේලන්නන්ගේ කෙම්බිමක්ව පැවති බව පැවසෙනවා. උන්වහන්සේ සමඟ මෙම පූජා භූමිය යළිත් සංවර්ධනය කිරීමට බටයායේ ආරියවංශ හිමිත් එක්වී තිබෙනවා. ආරණ්‍ය අසල බුද්ධංගල සිංහල ගොවි ජනපදය පිහිටුවීමටත් උන්වහන්සේ මූලික වුණා. ඊට පසු මෙම පුදබිම යළිත් භික්ෂු වාසයට සුදුසු භූමියක් බවට පත් වුණා.

බුද්ධංගල මෑත අතීතයේ දී කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑමට යටත්ව තිබුණත් එම ත්‍රස්තවාදීන්​ පරාජය කිරීමෙන් පසු රටේ සෑම ප්‍රදේශයකින්ම විශාල වශයෙන් බැතිමතුන් එය වැඳපුදා ගැනීමට පැමිණෙනවා.

නටබුන් දාගැබෙන් ධාතු

ධම්මානන්ද හිමියෝ පර්වතය මත ඉදිකර තිබූ නටබුන් දාගැබ ප්‍රතිසංස්කරණය කරවා ඒ අසල නව විහාර මන්දිරයක්ද තැනවූවා. ඒ සඳහා බොහෝ බැතිමතුන් ආධාර උපකාර කර තිබෙනවා.

උන්වහන්සේ වලසුන්, කොටි සහ ඉත්තෑවන්ගේ ලැගුම් පොළවල් ලෙස තිබූ ලෙන් පිරිසිදු කරවා සංඝාවාසය ඉදිකළා. මේ ලෙන් සංඝාවාසය අදටත් භාවිත කරනවා. ආරණ්‍යයට ජල පහසුව සලසා ගන්නේ පර්වත දෙකක හරස් කර බැම්මක් බැඳ තනා ඇති විශාල පොකුණෙන්. ඒ කාලේ එය ඉදිකිරීමට ගංගානිම්න සංවර්ධන මණ්ඩලය සහාය දක්වා තිබෙනවා.

1972 වසරේදී වත්මන් චෛත්‍යය ඉදිකිරීම පිණිස පුරාණ වටදාගෙය කැණීම් සිදුකරද්දී ධාතු කරඬුවක් හමුවීම බුද්ධංගල නවෝදයේ ප්‍රධානතම සාධකය වශයෙන් සැලකෙනවා. මෙහි දාගැබ කැණීම් කිරීමේ දී ලැබුණු කරඬුවක වූ නෙලුම් මල් දෙකක ශරිපුතශ සහ මොගලන යන්න කොටා තිබූ අතර ඒවාය් තිබූ ධාතුන් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක​ ධාතු බව හෙළිවී තිබෙනවා. මේ ධාතු නැත්පත් කර දාගැබ ප්‍රතිසංස්කරණය කර ඇත්තෙත් අමුතු අන්දමකටයි. ඒ වාර්ෂික පොසොන් උත්සව කාලෙයේ දී දාගැබ් ගර්භය අසළට​ ගොස් ධාතු නැරඹිය හැකි අයුරින්. කොන්ක්‍රීට් පුවරුවක් තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ධාතු ගර්භය විවෘත කළ හැකි ලෙස දාගැබ තනා තිබෙනවා. එයට පිවිසීමට යකඩ බාල්ක යොදා අටල්ලක් නිර්මාණය කර තිබෙනවා. මෙම දාගැබ 1974 දී විවෘත කර තිබෙන්නේ එවකට ජනාධිපති විලියම් ගොපල්ලව විසින්.

පර්වතය මත නටබුන්

දාගැබ අසලම පර්වතය මත තවත් ගොඩැලි දෙකක් දැකගත හැකියි. ඒ අවට තැන තැන කළුගල් කුලුනු ද තිබෙනවා. මේවා පැරණි දාගැබ් විය හැකියි. බොරදම් සහිත කළුගල් කුලුනු කොටස්, ශිලා මල් ආසන, ශෛලමය ඡත්‍ර ආදියත් දාගැබ අවට පැතිරී තිබෙනවා. නැගෙ‍නහිර බෑවුමේ සක්කා ගල් වලින් කරන ලද ආධාරක බැම්මක සාධක ද චාම් මුරගල් දෙකක් හා කොරවක් ගලක් ද දක්නට ලැබෙනවා.

සඳකඩ පහණ
බුද්ධංගලින් පැරණි සඳකඩ පහණ තුනක් ලැබී තිබෙනවා. එක් සඳකඩ පහණක කැටයම් දකින්න නැහැ. නෙළුම් පෙති රටාව සහිත සඳකඩ පහණක් ද මින් හමුවුණා. ඒවා අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බවයි පෙනෙන්නේ.

පුරාවස්තු හොරු අරන්
දාගැබ කැණිමෙන් හමුවූ ලෝකඩ බහිරව රූප, අලි රූප, රන් පබලු, ගව රූප, කුඩා මුදු, පැරණි කාසි, අශ්ව ප්‍රතිමා ආදී නිදන් වස්තු ලෙන් සංඝාවාසයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබුණා. නමුත් 2013 වර්ෂයේ දිනක් මෙම පුරාවස්තු සොරුන් විසින් අරන් ගිහින් බව වාර්තා වුණා.

පොකුණු

පර්වතය මත දිගින් දිගට ගමන් කිරීමේ අවස්ථාව මෙහි දී ඔබට හිමිවෙනවා. අවට වනය නරඹමින් අත්දැකීමක් ලබාගැනීමටත් පුලුවන්.

දාගැබ සහිත පර්වතයේ පැරණි පොකුණක් පිහිටා තිබෙනවා. එයට බැසීමට පියගැට පේළි දෙකක්ද කපා තිබෙනවා. එයට අමතරව ජලය ලබාගැනීමට තැනූ විශාල පොකුණක්ද මේ භූමියේ සුන්දරත්වය ඔප කරනවා. වන්දනාකරුවන්ට ස්නානය කිරීමට ඉදිකළ කුඩා වැවක්ද මෙහි පිහිටා තිබෙනවා.

සෙල්ලිපි
ලෙන් කරවූ උපාසක උපාසිකාවන් ඒවා ගැන සෙල්ලිපි කොටවා තිබෙනවා. එක් ලිපියක සඳහන් වන්නේ කරජිකගල ගමේ ස්වාමි දීඝිතිගේ ලෙන සංඝයාට පුජාකළ බවයි. තවත් සෙල්ලිපියක චිත්‍රා නම් දේවියකගේ අයකැමිවරයකුගේ පුතකුගේ ලෙන් පූජාවක් ගැන සඳහන්. මේ සෙල්ලිපි ක්‍රි. පූ. 3-2 සියවස්වලට අයත් වීමෙන් මෙම ආරණ්‍යයේ ආරම්භය ගැන ඉඟියක් අපට ලබාගත හැකියි. මෙහි පැරණි නාමය කරජිකගල බවට ඇතැම් පුරාවිද්‍යාඥයන් මත පළකර තිබෙනවා.

නවීන ගොඩනැගීම්

පර්වතය මත දාගැබට තරමක් ඈතින් තනා තිබෙන්නේ විවෘත පිරිත් මණ්ඩපයක්. පිංකම් අවස්ථාවලදී එහි සිට පිරිත් කීම සිරිතක්. මේ පිරිත් හඩ වනය හරහා බොහෝ ඈතට ඇදී යන බව පැවසෙනවා. පර්වතයේ තවත් තැනක ඉදිකර ඇත්තේ පොළොන්නරුව ගල් විහාරයේ ආකෘතියක්. එය නම් මේ නිසංසල වාතාවරණයට නොගැලපෙන බවයි අපට හැඟුණේ. තවත් තැනක දම්සක් පැවතුම් සූත්‍රය කෙටූ ගල්පුවරුවක්ද ඉදිකර තිබෙනවා. බුද්ධංගල මනසින් අතීතයට ගමන් කිරීමට කදිම තැනක් බව අපට සිතුණා.


(under the courtesy of roar.media web)

More News »