පිළිකුත්තුව රජමහා විහාරයේ

2018-02-09 01:39:00       198
feature-top
ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සියනෑ කෝරළයේ පුද බිම් අතුරින් ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. සොළීන් හා යුද වැදී පැරද රහසිතව වන මැද සිටින අවස්‌ථාවේ වළගම්බා රජතුමන් විසින් කරවන ලදැයි ඉතිහාසගතව ඇති පුද බිමකි මෙම විහාරස්‌ථානය.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මිරිස්‌වත්ත මංසන්ධියෙන් හැරී වතුරුගම මාර්ගයෙන් හෝ යක්‌කල මංසන්ධියෙන් හැරී රදාවාන මාර්ගයේ බටගොල්ල මංසන්ධියෙන් හැරී කිලෝ මීටර් පහ මාරක පමණ දුර ගෙවා මෙම ඓතිහාසික පුද බිමට පිවිසිය හැකිය.

පිළිකුත්තුව ගම ඉස්‌මත්තේ කඳු ශිඛරයේ ඉතාමත් නිසංසල රමණීය භූමියක අංග සම්පූර්ණ විහාර පුද බිම පිහිටා ඇත. මෙම පුද බිම පිහිටි පිළිකුත්තුව කඳුවැටියෙහි කිලෝ මීටර් කිහිපයක දුරින් ඌරුවල වලගම්බා රජමහා විහාරය, මාලිගාතැන්න, කොස්‌කඳවල, හැවනිවල සහ වාරණ යන රජමහා විහාරස්‌ථාන පිහිටා තිබේ.

අක්‌කර සිය ගණනක කඳුකරයේ කටාරම් කොටා සකස්‌ කළ ගල්ලෙන් අනූවක්‌ පමණ ඇත. ගල්පඩි මතින් සහ ගිරි දුර්ගය මැදින් එම ගල්ලෙන්වලට ළඟාවිය හැකිය. පිළිකුත්තුව කඳු වැටියෙහි පිහිටි අනෙකුත් ඓතිහාසික ස්‌ථාන දෙස බලන විට මෙම විහාරස්‌ථානය වළගම්බා රජ සමයෙහි පරසතුරු ආක්‍රමණය නිසා බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා ආරක්‌ෂා සහිතව සැකයක්‌ බියක්‌ කුමන අන්දමේ අපහසුතාවයකින් තොරව බවුන් වැඩීමට රජතුමා විසින් ක්‍රමවත් බවකින් සකස්‌ කළ ස්‌ථානයක්‌ බවට බොහෝ හේතු සාධක සහිතව අදටත් දිස්‌වේ.

පෞරාණික විහාරස්‌ථාන පිවිසුම සංරක්‌ෂණය කළ යුතුව ඇතත් ඊට වගකිව යුත්තන්ගේ අවධානය මෙතෙක්‌ යොමු වී නැත. අභිනව සුවිශාල පිවිසුමක්‌ ඉදිකර ඇතත් එම පෞරාණික පිවිසුම ආරක්‌ෂා කර ගැනීමට අවධානය යොමු නොවීම ඇත්තටම කනගාටුදායකය. එම පැරණි පිවිසුමෙන් ඇතුල්වත්ම විහාර මළුව වටා ඇති වලාකුළු බැම්ම දිස්‌වේ. ක්‍රමවත් සංරක්‌ෂණයක්‌ නොමැති කමින් ඉතිරිව ඇති බැම්ම කඩා වැටීමට ආසන්නව ඇති සෙයකි. මරණ මංචකයේ පණ අදින සෙයHdවක්‌ ඉන් දිස්‌වේ. වළාකුළු බැම්ම පිවිසුමෙන් විහාර මළුවට ඇතුළත් වත්ම සතර දෙසින් පිවිසිය හැකි තුන් මහල් ධර්මශාලා මන්දිරය දිස්‌වේ. ශෛලමය කණු මත ඉදිකර ඇති එම ධර්ම ශාලාවේ බිම ඔප මට්‌ටම් කළ කළුගල් අතුරා ඇත. තුන් මහල් පියස්‌සේ සෙවණ ලබමින් අලංකෘත සියුම් ලී කැටයමින් ධර්මාසනය තනවා ඇත. දැව සහ ශෛලමය නිර්මාණයක දුලභ දසුනක්‌ ලෙස මෙම ධර්ම ශාලාව විරාජමාන වුවද එහි දොරගුළු ඉබිa යතුරු දමා ඇත. ශාලාව තුළට ගොස්‌ එහි නිර්මාණ ශෛලිය නැරඹීමේ අවස්‌ථාව එලෙස ගල්කර ඇත්තේ දොරගුළු දැමීමෙනි.

මෙම ධර්ම ශාලාව ඉදිරිපිට මනරම් පොකුණක්‌ දිස්‌වේ. පිළිකුත්තුව කඳුවැටියෙහි සිට උමඟක්‌ දිගේ ගලනා ජල දහරාවක්‌ මෙම පොකුණට ගලාගෙන පිවිසේ. කොතරම් වැසිබර කාලසීමාවකදී වුවද මෙම පොකුණ පිටාර ගලා යැමක්‌ සිදුවන්නේ නැත. එම ජල දහරාව කුමන දිසාවකින් පිවිසෙන්නේ දැයි මෙතෙක්‌ කිසිවකු සොයාගෙන නැත. මෙම පොකුණ සහ ධර්ම මන්දිරය ඉදිරිපසට පිය මනින විට පිහිටි භූමියෙන් උස්‌ව සංඝාවාසය දිස්‌වේ. 

එම සංඝාවාසය ඉදිරිපිට දී "අපේ හාමුදුරුවනේ ...යාගොඩ ධර්මප්‍රභ නායක හාමුදුරුවෝ වැඩ හිටි කාලයේ මේ පන්සලේ තිබුණ පෞරාණික පුස්‌කොල පොත්, පන්සිය පනස්‌ ජාතක පොත්වහන්සේaත් ඒ අතර තිබුණා. මට හමුවූ ඒ හිමිනමට පැවැසීමට ලැබුණේ එපමණකි. එක පුස්‌කොළ පොතක්‌ වත් නැහැ මහත්මයා මෙහේ. පොඩ්ඩක්‌ ඉන්න අපේ නායක හාමුදුරුවන්ට එන්ඩ කියනකම්.

අපේ හාමුදුරුවනේ මෙහේ තිබුණ දෙන්නෙකුටවත් ඔසවාගෙන යන්න අපහසු පුස්‌කොළ පොතක්‌ තිබුණා තමයි.... ඒක කොළඹ ගෙනිච්චා සංරක්‌ෂණයට කියලා. කෝ ඒක තවම අපට ලැබුණෙ නෑ. අන්න ඒක ගෙනත් දෙන්න කියල පත්තරයට ලියන්න. ඔබ වහන්සේ.... මම විහාරාධිපති යක්‌කඩුවේ රාහුල. මම පින්තූර ටිකක්‌ අරගෙන එන්නම් ඔබ වහන්සේ එක්‌ක ටිකක්‌ කතා කරන්න.... හොඳමයි..... උන්වන්සේ එසේ පැවසූහ. 

එම ආවාසය පසු කරමින් ඉදිරියට යත්ම ගල්ලෙන වටා බිත්ති බැඳ ඇති පුරාවිද්‍යා ස්‌මාරකය හමුවේ අදෝමැයි......නමටද කැළලකි. ලෙන වටා ඇති තාප්ප බිත්තිය පැත්තක්‌ කඩා වැටී ඇත. එය දකින කාටවුවද ඇතිවන සංවේගය.... මැදින් ඉදිරියට පියමනින විට ඕලන්ද යුගයට අයත් ආවාස දිවිත්වය හමුවේ හිස ඔසවා පියස දෙස බලන කල උළු අතරින් අහස දිස්‌වේ. මෙම ආවාස අසල ජල කරාමය පාවිච්චි කරමින් සිටි මැදි වයසේ පුද්ගලයකුගෙන් පුරාණ දේවල් තව මොනවද තියෙන්නේ යෑයි මම විමසුවෙමි. මම නම් දන්නැහැ. හාමුදුරුවන්ගෙන් අහගන්න යෑයි පැවසූ එම පුද්ගලයා පෞරාණික ආවාසය තුළට ගොස්‌ දොර ගුළු ලා ගත්තේය.

මෙම ඕලන්ද යුගයට අයත් එම ආවාසය ඉහළින් ගල් තලාව මත මෑතකදී ඉදිකළ සිරිපා අනුරුව දිස්‌වේ. එම ආවාස දෙක අතරින් ඉදිරියට පියනඟන විට දැව පාලම දිස්‌වේ. භුගත උමංන් මඟවල් ඔස්‌සේ ගලා එන ජල ධාරා මෙම දැව පාලමට පහතින් ඇති වැවට සම්බන්ධ වේ.

මෙම පුද බිමේ පෞරාණික ශ්‍රී විභූතිය අදටත් විරාජමාන කරන මෙම දැව පාලම තවත් චිරාත් කලයක්‌ සංරක්‌ෂණය කර ගත යුතු අමිල වස්‌තුවකි.

මෙම දැව පාලමට දකුණු පසින් පැරණි ලෙන දිස්‌වේ. කටාරම් කොටන ලද යෝධ ගල් කුළක්‌ යට මෙම පෞරාණික ලෙන දිස්‌වේ. උළුවහු තුනකින් සමන්විත මෙම ලෙන වට කර බිත්ති බැඳ ඇත. ලෙන ඉදිරිපස පියස්‌ස උළු සෙවිලි කර ඇතත් ඒවාද බිඳී ගොස්‌ ඇත. එම ලෙන ඉදිරිපස යෝධ ලී උළුවස්‌සක්‌ සහිත ලෙන දිස්‌වේ. සංරක්‌ෂණයක්‌ නොමැති කමින් වැස්‌සට තෙමෙමින් අව්වට වේළෙමින් ඇත. 

නැවතත් ගිය මග ඔස්‌සේ ධර්මශාලාව ළඟට පැමිණියෙමි. ශාලාවට ඉදිරිපසින් විහාර මළුවට පිවිසිය හැකිය. විහාර මළුවේ දකුණු පස පෞරාණික බෝධිය දිස්‌වේ. බෝධි මළුවට මඳක්‌ උසින් විහාර ලෙනට පිවිසෙන දොරකඩ පියස්‌සෙහි විහාරස්‌ථානයන්හි බොහෝ සෙයින් දක්‌නට නොලැබෙන නවග්‍රහ මණ්‌ඩලය අයත් රාශි දොළස සිතුවමට නගා ඇත. එම සිතුවමට දෙපස දොරටු පාල සිතුවම් දෙකක්‌ සහ මහා ඝාණ්‌ඩහ, ධර්මපාල, වෙස්‌සන්තර යන ජාතක කතා සහ අපාය සවිස්‌තරව සිතුවමට නගා ඇත. කාලයාගේ ඇවෑමෙන් එම සිතුවම් ජරාජීර්ණ වූ අතර පසුකලෙක සංරක්‌ෂණය කෙරිණි. එම චිත්‍ර මත මුස්‌නයක්‌ තබා තිබෙන අයුරු දක්‌නට ලැබුණද මා ඡායාරූප ගත කිරීමේදී එය ඉවත් කරන ලදී. එම සිතුවම් ඇති දොරටුවෙන් ඇතුල්වත්ම දහ අට රියන් රන්වන් පැහැ සැතපෙන බුද්ධ ප්‍රතිමාව ලෙන් විහාරය තුළ විරාජමාන වේ. සමන් හා විෂ්ණු ප්‍රතිමා සහ මහනුවර යුගයට අයත් බිතු සිතුවම් ලෙන් විහාරය තුළ සිත්තම් කර ඇත. ඒවා අජන්තා බිතුසිතුවම්වලට බෙහෙවින් සමාන යෑයි ආචාර්ය පරණවිතාන ශූරීන් සනාථ කර ඇත. 

ලක්‌දිව බොහෝ විහාරස්‌ථානවල දක්‌නට නොලැබෙන තවත් දර්ශනයක්‌ මෙහි තිබේ. විහාරගෙයට දකුණු පසින් ගල් පර්වතයට සුදෝ සුදු ඝාණ්‌ටාකාර චෛත්‍යය දිස්‌වේ.

විහාර මළුවට වම් පසින් දොළොස්‌මහ පහන්ගෙය පිටු පසින් උඩමළුව පිහිටා ඇත. දැකුම්කලු ලෙනට පිවිසීමට ගල් පඩිපෙළ නැගිය යුතුය. මෙම ලෙන තුළ ඔත් බුදුපිළිමය ලියවැල් හංස කැටයම් සහ දේව රූපයක්‌ දැකිය හැක. මෙම දේවරූපයද මෙම පුද බිමේ සෙසු නිර්මාණ අනුව විහාරයට ආවේණිකය ශෛලයකින් නිර්මාණය වූවක්‌ වැනිය. මෙම ලෙන තුළ බිත්තිය තාප්පය කොටසක්‌ විනාශ වී ඇත. කෙම්මුර දිනවලට මෙම දේවරුව ඉදිරිපිට පහන් දල්වා කටයුතු කරන එම භාරකරු උඩුමළුව ශුද්ධ පවිත්‍ර කර පිළිවෙලකට තබා ගැනීමද විහාරස්‌ථානයේ සෙසු ස්‌ථාන ගැන අවධානය යොමු කරන විට ඇගයිය යුතුව ඇත.

උඩුමළුවේ පියගැට පෙළට දකුණු පසින් මනෝරම්‍ය ලෙන පිහිටා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කලාප කාර්යාලය බස්‌නාහිර අංක 2 ලෙස නම් කරමින් පුරාවිද්‍යා කාර්යාලය එහි පිහිටුවා ඇත.

විහාර පරිශ්‍රයෙහි ඡායාරූප ගත් මම නැවත විහාරාධිපති හිමියන් හමුවීමට ගියෙමි. ධර්මශාලාව ඇතුළේ වහලේ එල්ලලා තිබුණ වළගම්බා රජතුමා පාවිච්චි කළා කියල කට වහරේ එන දෝලාව ඒක කොහොද අපේ හාමුදුරුවනේ ඒක ඔය කඩා වැටිල තියෙන ලෙන ඇතුළට දාලා තිබුණ දැන් ඒක එහා පැත්තට දමලා වහලා තියෙන්නේ. මම යනවා මහත්තයෝ නාගන්න. උන්වහන්සේ ගෙන් තව බොහෝ දේ විවසීමට සිතා සිටියත් උන්වහන්සේ එලෙස නෑමට පිටත්ව ගිය හෙයින් වෙනයමක්‌ විමසීමට නොහැකි විය.

විහාර පරිශ්‍රයෙහි පිහිටි පුරා විදු කාර්යාලයට දකුණු පසින් ගල් පඩිපෙළ නැග වන රොදට පිවිසීමට හැකිය. ඒවගෙහි ඉදිරියට ගල් මතින් ගමන් කර ඇති දැවැන්ත පුස්‌වැල සමීපයට පැමිණිය හැකිය.

ලෝක සිතියමේ අපේ කාලයේ දැවැන්තම පුස්‌වැල ලෙසට මෙම පෞරාණික පුස්‌වැල අන්වර්ථනාමද හිමිකර ගෙන ඇතත් මෙය නොදකින ඇස්‌ කුමකට දැයි කෙනකුට සිතෙන්නේ, ඇත්තටම මෙය දුටු විටදීය. දැවැන්ත ගල් කුළුමතින් සැගවී රෑස්‌ස ගස්‌වල එකී බිමට පහත්ව විශාල භූමිභාගයක තම අණසක පතුරුවමින් මෙම යෝධ පුස්‌වැල වන මැදට යෝධයෙකි.

එම යෝධ පුස්‌වැල පසුකරමින් ඉදිරියට පිය නගන විට එදා යෝගාවචර මහා සංඝරත්නයට බවුන් වැඩීමට සෙවණ දුන් ලෙන් කිහිපයක්‌ හමුවේ. මේ ලෙන් කිසියම් සම්බන්ධ කමක්‌ ඇතිව එකකට එකක්‌ මඳ දුරින් පිහිටා තිබේ. දැන් මා සිටින්නේ අංක 23 ලෙස නම්කර ඇති පැරණි ගල්ලෙන (සෙල්ලිපි ලෙන) තුළයි. මෙම ලෙනෙහි කටාරම් කෙටූ ප්‍රදේශයට මඳක්‌ ඇතුළතින් සෙල්ලිපියක්‌ දිස්‌වේ. (මෙය කලින් දුටුවකුට මිස නවකයෙකුට සොයාගත නොහැක. ) එහි පුරා විදු සටහන මෙසේයි.

පිළිකුත්තුව රජ මහා විහාර ලෙන් ලිපිය කාලය ක්‍රිස්‌තු පූර්ව 3 ක්‍රිස්‌තු වර්ෂ 1 සියවස අක්‌ෂර පූර්ව බ්‍රාහ්මි භාෂාව පුරාණ සිංහල අන්තර්ගතය- අශ්වාරෝහක නිලධාරියාගේ සොහොයුරු අග්නි ගුණගේ ලෙන පැමිණි නොපැමිණි සතර දිග සංඝයා වහන්සේලාට පූජා කරන බව සෙල්ලිපියෙහි සඳහන් වේ.

මෙම ලෙන පසුකර ඉදිරියට පිය මනින විට කොරකහ, කුකුල් මැස්‌ස වල්ලාපට්‌ට ගසක්‌, දැවැන්ත වේවැල් ශාකයක්‌ද ඖෂධමය වටිනා කමකින් යුත් (මෙහි එම නම් සඳහන් නොකරමි) ශාකද නම් සහ ඡායාරූප පළකරනවාට අකැමැතිවූ මගේ ගමන් සහකරුවා මටත් මේ ගමනට එක්‌වූ පූර්ණ පබසර දරුවාටත් පෙන්වා දෙන ලදී. 

මෙම ලෙන් සමූහය පිහිටි වන රොදෙහි "සුදු රෙදි හොරා" ලෙස ජනවහරේ හඳුන්වන හිස පමණක්‌ කළු එම කුරුල්ලකු අපට දැක ගැනීමට හැකි වුවද තුන්වැනි ඇසට හසු කර ගැනීමට මා උත්සාහ කළත් එය අසාර්ථක වීම ගැන කනගාටු වෙමි. එම කනගාටුව පහ වූයේ අප ඉදිරියේ ඇති නිල්වන් වතුර පිරි ගල් අතර, පිහිටි ළිඳ දැකීමෙනි. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »