බුදුරැස් විහිදෙන සෝමවතියේ කතාව

2018-02-23 10:36:00       198
feature-top
බුදුරැස් විහිදෙන සෝමවතිය දාගැබ වන්දනා කිරීමට බෞද්ධයන් තුළ ඇත්තේ මහත් කැමැත්තක්. රටේ බොහෝ පළාත්වලින් වන්දනා නඩ සෝමවතිය දාගැබ වැඳීමට, කිරිපිඬු පූජා කිරීමට පැමිණෙනවා. ඒ නිසා සෑම දිනකම පාහේ දාගැබ් බිමේ පිහිටි විශ්‍රාම ශාලාව බැතිමතුන්ගෙන් පිරී පවතිනවා. සෝමවතිය දාගැබේ ආශ්චර්යමත් සිදුවීම් අත්දැකීමට ලැබෙන බවට කතන්දර රැසක් ද බොහෝ දෙනා අතර පැතිරිලා.

මෙම දාගැබ පිහිටා තිබෙන්නේ මහා වනාන්තරය මැදයි. එය සෝමවතිය ජාතික උද්‍යානයට අයත් වෙනවා. මහවැලි නදිය ගලා බසින්නේ දාගැබට නුදුරින්. කොළඹ සිට පොළොන්නරුව හරහා සෝමවතිය වෙත දුර කි. මී. 244ක්. පොළොන්නරුවේ සිට දුර කි. මී. 41ක්. මේ මාර්ගය ගංවතුර කාලයට යටවෙනවා. ඒ මහවැලි ගංගාව උතුරා යාම නිසයි. ඒ වගේම දාගැබ් මළුවත් යටවෙනවා.

කාන්තාවකගේ නමින් ඉදිව ඇති ලංකාවේ ප්‍රධානම ස්තූප දෙකින් එකක් ලෙස ඓතිහාසික සෝමවතී මහාසෑය හැඳින්වීමට පුළුවන්. ලංකාවේ මහා ස්ථූපය වූ රුවන්වැලි මහා සෑ රදුන් ස්වර්ණමාලි මහා සෑය වශයෙන් දෙවඟනක නමින් හැඳින්වීම ද කාන්තා නමක් සඳහන් වීමක්.

ඉතිහාස කතාව
රාජ්‍ය වර්ෂ පූර්ව දෙවැනි සියවසේ දී, සෝම නම් නුවර සෝමවතිය මහා සෑය ඉදිකරවන ලද්දේ ගිරිඅභය නම් රජෙක් විසින් බව ධාතු වංශය සඳහන් කරනවා. කැලණියේ පාලකයා වූ ශිව රජු තම බෑණා වූ අභයරාජ (ගිරිඅභය) කුමාරයාට කාවන්තිස්ස රජුගේ සොහොයුරියක වූ සෝම කුමරිය විවාහ කර දුන්නා. මේ විවාහයෙන් පසුව කාවන්තිස්ස රජු අභය කුමරුට මාගම ආසන්නයේ වූ ගිරි නුවර පාලනය භාර දුන්නා. ඒ නිසා අභය, ගිරි අභය වුණා. ඉන් පසුව කාවන්තිස්ස රජු දුටුගැමුණු කුමරුගේ ආරක්‍ෂාව සඳහා ඔහුව ගිරිනුවරට පිටත්  කර යැව්වා. පසු කලෙක  ගැමුණු කුමරු සමඟ ඇති වූ ආරවුලක් නිසා අභය රජු තම බිසව වූ සෝම දේවිය ද සමඟ සේරු නුවර තම හිතවත් ශිව රජුගේ පාලන ප්‍රදේශයට පිටත් වුණා. සේරුනුවර ශිව රජු හා අභය රජුගේ හමුවීම ඉතා මිත්‍රශීලී වුණා. ශිව රජතුමා පසුව ගිරි අභය රජතුමාට තම රාජධානියේ සුදුසු භූමියක් සොයා දීමට වෙහෙස වුණා. මහා වාලුකා නදිය අසබඩ (මහවැලි නදිය) විල් වලින්, තණ පිටිවලින් යුක්ත වූ සෞම්‍යවූ ද මනෝරම්‍ය වූ ද එම භූමියෙහි ගිරි අභය රජු රාජධානිය ගොඩ නැංවූවා. රාජධානියට ගිරි අභය රජතුමා තම දේවියගේ නමින් ‘සෝම නුවර’ ලෙස එයට නම් තැබුවා.

ඉන්පසු දේවියගේ ඉල්ලීම වූයේ රාජධානියට අඩුවක්ව පවතින  දාගැබක් හා විහාරයක් ඉදිකර දෙන ලෙස යි.

රජු මහා දාගැබක් ඉදිකිරීම ආරම්භ කළා.  තුන්මහල් පේසාව දක්වා ස්ථූපය ගොඩනැගෙන විට නුදුරින් බණ භාවනා කළ මහින්ද නම් තෙරුන් වහන්සේ අවශ්‍ය ධාතූන් වහන්සේ එහි නිධන් කිරීමට භාර දුන්නා. මෙය මහාර්ඝ සර්වඥ ධාතුවක් වූ  බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වීම සුවිශේෂී කරුණක්. රජු මේ දාගැබටත් තම බිසව සිහිපත් කිරීමට සෝමවතී යන නම ලබාදුන්නා.  එය එසේ සිදු වූයේ මීට වසර 2100කට පමණ පෙරදී ය. ඒ වන විට ලක්බිමේ මහා සෑය වන රුවන්වැලි සෑය හෝ ඒ ආසන්නයේ වූ සේරු නුවර ස්තූපයවත් (සේරුවිල දාගැබ) ඉදිවී තිබුණේ නැහැ.

ඉන්පසු යුගයේ දී කූටකණ්නතිස්ස (රාජ්‍ය වර්ෂ 41 – 19 ) මහාදාඨික මහානාග (රා.ව. 9-21) ආමණ්ඩගාමිණී අභය (රා.ව. 22 – 31) කණිට්ඨතිස්ස (රා.ව. 164 – 192) ආදී රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය සෝමවතී චෛත්‍යය වෙත ලැබුණු බව වංශකතා හා සෙල්ලිපි ආදියෙන් හෙළි වෙනවා. අනුරාධපුර යුගයෙන් පසුව ජනාවාස වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමෙන් මෙම ප්‍රදේශයත් ජනශූන්‍ය වුණා. රාජධානියේ ගෙඩනැගිලි මෙන්ම විහාරාරාම ද වනයට යට වුණා.  ඉන් පසු මෙම පුදබිමද වන සතුන්ගේ කෙළිබිමක් බවට  පත්ව සියවස් ගණනාවක් පැවතුණා.

සෝමවති දාගැබ් මළුවේ සෙල්ලිපි
දාගැබ කැණීම් කරන විට එම භූමියේ තිබී පුවරු ලිපි දෙකක් හමුවුණා. දැන් මේවා දාගැබ් මළුවේ දී දැකගත හැකියි. ඉන් එකක් කණිට්ඨතිස්ස රජුට අයත්. අනෙක් ලිපිය අයත් වන්නේ මහාදාඨික මහානාග රජ සමයට. එකල විහාරයට කරන ලද පුදපූජා ගැන මේ සෙල්ලිපිවල සඳහන්.

එරික් ස්වෝන් පර්වතයේ සෙල්ලිපි

දාගැබට කිලෝ මීටරයක් පමණ දුරින් පොලොන්නරුවට යන මාර්ගය අසල ඇති පර්වතය හඳුන්වන්නේ එරික් ස්වෝන් පර්වතය නමින්. එයට හේතුව එරික් ස්වෝන් නම් ඡායාරූප ශිල්පියා 1952 දී අලියකුගේ සේයාරුවක් ගැනීමට ගොස් එම ස්ථානයේදී අලි පුහාරයට ලක්ව මියයාමයි. එම පර්වතය මත සෙල්ලිපි හතරක් කොටා තිබෙනවා. කූටකණ්නතිස්ස, ගජබාහු, ආමණ්ඩගාමිණී අභය යන රජවරුන්ගේ සෙල්ලිපි එහි කොටා තිබෙනවා. මේ ලිපිවල ආරක්ෂාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යකඩ කම්බිවලින් වැට සකස් කර තිබෙනවා.

නැවත සොයාගැනීම
ඓතිහාසික හා වංශකථා මෙන්ම මුඛ පරම්පරාගත ජනප්‍රවාද අනුවත් ධාතු වංශයට අනුවත් දකුණු දළදා වහන්සේ නිදන් කර තිබෙන්නේ සෝමවතී දාගැබේ බව  මහනුවර මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනගත්තා. උන්වහන්සේ විසින් 1947 අගෝස්තු 29 වන දින අංක 9760 දරන රජයේ ගැසට් නිවේදනයෙන් එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරව සිටි  හෙන්රි මුවර් මහතාගෙන් සෝමවතී චෛත්‍යය හා ඒ අවට භූමි භාගය ලබාගත්තේ එය නැවත බොදුනුවන් අතට පත්කිරීමටයි. 1948 පොසොන් පුර පසළොස්වක පොහෝ දින කැළය කැපීම, දාගැබ අවට එළිකිරීම් ආදි කටයුතු ශ්‍රමදානයෙන් ආරම්භ කළා. එතැන් පටන් සැදැහැවත්තු පොළොන්නරුවේ සිට සුංගාවිලට පැමිණ වන මැදින් දිවෙන දුෂ්කර මාර්ගය ගෙවා පා ගමනින් චෛත්‍යරාජයා වෙත ළඟා වන්නට වුණා.

1963 වන විට සෝමවතී චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවාගෙන දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු සූදානම් කෙරුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දාගැබේ කැණීම් කටයුතු ආරම්භ කළා.  ඒ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේගේ ප්‍රධානත්වයෙන්. මෙම කැණීම්වලදී අවස්ථා කිහිපයක දී කළ ප්‍රතිසංස්කරණ ගැන හෙළි  වුණා. ඒ අවස්ථා අදත් නරඹන්නන්ට දැකබලා ගැනීමට හැකිවන සේ දාගැබ් ගර්භයේ ප්‍රතිසංස්කරණය නොකර ඉතිරි කර තිබෙනවා. පුරාවිද්‍යා කැණීම්වලදී සඳකඩ පහණ, සිරිපතුල් ගල්, මලසුන් ගෙවල් ආදී නටබුන් රැසක් හමුවුණා.

එදා භික්ෂුන් වහන්සේ වැඩසිටි සංඝාරාම කිහිපයක නටබුන් ද අවට දක්නට ලැබෙනවා. ඒවා වනයට යටවී ගල්කණු පමණක් මතුවී පෙනෙනවා. සමහර විශාල ගල්කණු සහිත ගොඩනැගිලි දෙමහල්ව පවතින්නට ඇති බව පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා. මළුවෙන් අඩි 600ක් පමණ දුරින් පැරණි ගඩොල් ප්‍රාකාර බැම්මක අවශේෂ දක්නට ලැබෙනවා. එහි කොටසක් පමණක් සංරක්ෂණය කර තිබෙනවා. පුරාණ දාගැබට අයත් ඡත්‍ර ගල් සහ යූප කණුව ද අද දැකගත හැකියි.

ප්‍රතිසංස්කරණය
දාගැබේ ධාතු නිධානෝත්සවය පැවැත්වූයේ 1974 වසරේදී ය. සියලු ප්‍රතිසංස්කරණ කාර්යයන් නිමා කරමින් නැවත කොත් පැළඳීමේ උත්සවය සිදු වූයේ 1981 ජූලි 4 වන දා එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා අතින්.  ඊට පසු බොහෝ බැතිමතුන් සෝමවතිය වන්දනා කිරීමට යාමට පටන් ගත්තා. නමුත් ටික කලකින් හටගත් කොටි ත්‍රස්තවාදී උවදුර නිසා මෙම පුදබිම වන්දනා කිරීමට බාධා එල්ල වුණා. 1987 වසරේ දී එසේ කොටි ප්‍රහාරයක් එල්ල වුණා. අවට ගම්මානවල විශාල පිරිසක් කොටි ඝාතනය කළා. මෙසේ විටින් විට මේ අවට සිදු වූ භික්‍ෂූන් වහන්සේ මෙන්ම වෙනත් මිනිස් ඝාතන හමුවේ මේ පුදබිම ජන ශූන්‍ය වුණා.

1987 දෙසැම්බර් 15 දින ත්‍රස්තවාදීන් දාගැබේ චූඩාමාණික්‍ය ගලවා දමා චෛත්‍යයේ ගර්භය අඩි 1 1/2 ක් පමණ සාරා නිදන් සෙව්වා.  මෙම  චූඩාමාණික්‍යය සොයා ගැනීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ සුරක්‍ෂිව තිබී 2002 ජූනි 19 දින නැවත පැළඳවූවා.

2009 වසරේ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ පසුව නැවත විශාල වශයෙන් බැතිමතුන් සෝමවතිය වැඳපුදා ගන්නට යාමට පටන් ගත්තා. මෑතක දී බොරළු පාරක් වශයෙන් පැවති මාර්ගය කොන්ක්‍රිට් යොදා සකස් කර තිබෙනවා. සෝමවතිය අසල මහවැලි නදියේ පාලමක් ඉදිකර ඇති නිසා දැන් සේරුවිල දක්වා පහසුවෙන් යාමට ද අවස්ථාව ලැබෙනවා.

සෝමවතී අභය භූමිය පුරා මෙන්ම සෑ රදුන් සමීපයේම සිත් සේ සැරිසරණ වන අලි වන්දනාකරුවන් පිනවන දසුනක් වෙලා. වන්දනාකරුවන්ගේ ආරක්ෂාවට දැන්නම් පූජා භුමිය වටා අලි වැටක් සකසා තිබෙනවා.

සෝමවතිය ජාතික වනෝද්‍යානය

මහවැලි නදියේ ඩෙල්ටා ප්‍රදේශය පිහිටා ඇත්තේ සෝමවතිය අවට වනයේයි. මේ අවට විල්ලු රාශයක් දක්නට ලැබෙනවා. වර්ෂා කාලයේදී ගංගාව උතුරා යාම නිසා තැන්පත්වූ සාරවත් දියලු පසක් මෙහි දැකගත හැකියි. මේ පාරිසරික වැදගත්කම නිසා 1986 සැප්තැම්බර් 2 දා මේ වනාන්තරය ජාතික වනෝද්‍යානයක් බවට පත් කළා. එහි විශාලත්වය හෙක්ටයාර් 37762ක්.

මෙම වනෝද්‍යානයේ වැඩි කොටසක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් මෙහි කොටසක් අයත් වෙනවා. විල්ලු සහිත තෙත් පරිසර පද්ධතිවල ලක්ෂණ ද වියළි මෝසම් වනාන්තරවල ලක්ෂණ ද මෙහි දක්නට පුළුවන්. නටබුන් සහිත ස්ථාන කිහිපයකුත් මෙම වනයේ පිහිටා තිබෙනවා. මෙම ජාතික උද්‍යානය තවමත් සංචාරකයන් සඳහා විවෘත කර නැහැ. ඒ නිසා නවාතැන් පහසුකම් හෝ කඳවුරු බිම් මෙහි නැහැ. නමුත් දාගැබ නැරඹීමට යාමේ දී මෙහි විල්ලුවල තණ බුදිමින් සිටින අලිඇතුන් නම් සුලබව දැකගත හැකියි. වලසා, ගෝනා, තිත්මුවා, කොටියා, කුළු හරකා, වල්ඌරා වැනි සතුන් ද මෙහි දිවි ගෙවනවා.


(under the courtesy of roar.media web)

More News »