ලොව පළමු චෛත්‍යය ගිරිහඬුසෑය

2018-02-26 12:58:00       517
feature-top
සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය.ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාවද මනරම්ය. එහෙත් ඒ කතාව කියන්නට නම් අපේ අසල්වැසි භාරතයට යා යුතුය.

සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු මිට්ගාමතේ පුෂ්කර නම් ගම්මානයකි. එගම විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි.
අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ.
හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු භල්ලූකට දුන්හ.මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ.
වෙළෙඳුන් ලංකාවට ආවේ ගල්වරාය ඔස්සේය. ගල්වරායෙන් යාංඔයට පිවිසි මොවුහු යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි නැගුණහ. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දර දිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති ගල්ගොඩකින් මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බවත් කියැවේ......
එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. පෙර කී ජනප‍්‍රවාදයට වඩා මේ මතය පිළිගත හැක්කකි.
කෙසේ හෝ වේවා අප දැන් සිටින්නේ එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටි නිතුපත්පානේය.
වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය......

එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.
ඉතින් අපි ගිරිහඬු සෑය වැඳගනු පිණිස ගිරිහඬු කන්ද දෙසට ඇවිද යමින් සිටිමු. කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලකි. ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. ගල් පඩි පෙළකින් ආවරණය කරන ලද ඒ නිවුන් පොකුණේ ඇති කළුවට හුරු ජලය වැස්සෙන් එක් රැස්වූ වතුර විය හැකිය. රූස්ස ගස් කිහිපයකින් සෙවණ වුණු ඒ නිවුන් පොකුණු පිසගත් සුළඟ කඳු හිස දෙසට ඇදී යන්නේ තුරු හිස් අතරද වැදෙමිනි. මේ ශෛලමය පියගැටපෙළද රජ සමයේම ඉදිකෙරුණකි. අපි ඒ පියගැට පෙළේ පඩි එකින් එක ඉහළට නගිමු. අපිට පසුවී යන මිටියාවතෙන් නිවුන් පොකුණේ හැඩරුවත් එහි ඇති ගල්පඩිත් මනාවට පෙනෙයි.
ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. අපි ඒ පුවරුව සමීපයෙන් පසෙක වූ ගල් තලාවට ඇවිද ගියෙමු. එක් ගල්තලයක් මතුපිට කොටුකරන ලද තැනකි. ඒ සෙල්ලිපියයි. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මෙම සෙල්ලිපිය හමුවනවිටත් එක ශ්ලෝකයක අකුරු කිහිපයක් වැනසී තිබිණි.

අපි යළිත් පියගැටපෙළේ තවත් අඩි පනහක් පමණ ඉහළට නැග්ගෙමු. ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණ සිටි අපට දැන් පිවිසෙන්නට ඇත්තේ වැලි මළුවටය. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළය දෙසත් බලා දෑත් එක්කර වැඳ සිටිය යුතුමය.
ලංකා පොකුණට යනුවෙන් දකුණටද පුවරුවකි. එහෙත් ඊට කලින් පියගැට පෙළේ ඉතිරි පඩි කිහිපයක් නැග වැලිමළුවට පිවිසුනෙමු.
නෙත් ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙයි.
අපි වැලිමළුව වටේ වටදාගෙය පැදකුණු කළෙමු. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය ලෝක පූජිතය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි.
වටදාගෙයි දොරටු හතරකි. ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය. දෝත් එක්කර හිසෙහි තබාගත් වනම අපි මේ උතුම් පින්බිමට පිවිසුනෙමු. චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය.
වැලි මළුවෙහි පිළිම ගෙවල්ද දෙකකි. එකක ඔත් පිළිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබිණි.
නික්ම යන්නට හිත නොදෙන බැවින් බොහෝ වේලාවක් සෑ මළුවට වී ඔබ මොබ ඇවිදිමින් සිටියෙමු.
නැගෙනහිර දොරටුවෙන් පිවිසුණු අපි නික්ම ගියේ උතුරු දොරටුවෙනි. නැගෙනහිර දොරටුව සේම උතුරු දොරටුවද පියගැට පෙළින් හැඩවුණු අලංකාර එකකි. මේ පිවිසුම් මග දෙපසම නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය.
පසෙක ඇත්තේ ලංකා පොකුණයි. ලංකාවේ හැඩයට තනන ලද ඒ පොකුණ අද නෙළුම් විලකි.
මෙතැනට නිතුපත්පාණ වැව මොනවට පෙනෙයි. එහෙත් තුරු යායකින් වැසීගත් වනපෙත අතුරින් නිතුපත්පාණ වැවෙන් අපට පෙනෙන්නේ සුළු කොටසකි.
එහෙත් මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය......... මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.

මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය.
ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය


More News »