අලවතුර ගනේගොඩ ලෙන් විහාරය

2018-03-03 11:03:00       198
feature-top
කෑගල්ල - බුලත්කොහුපිටිය මහා මාර්ගයේ අලවතුර කඩපිල අසලින් හැරී තරමක් දුර ගිය විට හමුවන 250 කට ආසන්න  පියගැට සංඛ්‍යාව නැඟී  පසු මේ සිත්ගන්නා විහාරය හමුවේ.දකුණු  ඉන්දියාවේ සොලී දේශයේ ධාන්‍ය කටක ප්‍රදේශයේ  කලක් වාසය කළ ධර්මකීර්ති  නම් ලාංකික හිමි නමක් විසින් මේ ලෙන් විහාරය  තනවන ලද බව කියවෙයි.ඒ හිමියෝ  මේ විහාරය පමණක් නොව ගඩලාදෙණිය සහ ලංකාතිලක විහාර කර්මාන්ත  සමගද සම්බන්ධ බව පැහැදිලිය.එම විහාරවල දක්නට ලැබෙන ගෘහ නිර්මාණ ශිල්ප සහ කැටයම් කලා ලක්ෂණ ගනේගොඩ ලෙන් විහාරයේ ද දක්නට ලැබේ.

බෙල් සඳහන්  කරන පරිදි  අලවතුර ඇල තරණය අඩි 6-8 තරම් දිග ,1 -2 තරම්  පුළුල්  ශෛලමය පියගැට පෙළක් දිගේ ඉහලට ‍නැඟී කල් හි  මේ අපුරු ස්ථානය දැක ගත හැකිය.පියගැටපෙළ යොමුවන්නේ අඩි 5ක් පමණ උසට ගොඩනන්වන ලද ගලින් තැනු වේදිකාවකටයි.මේ වේදිකාව අවටින් ගල් ස්ථරයෙන් අලංකෘත වූ ආරක්‍ෂිත ප්‍රාකාරයක් තිබු බවට අද ද තැන් තැන් හි දක්නට ඇති සාක්ෂි දරයි.මෙම විහාරය කොටස් 2කට බෙදිය හැක.එනම්,ස්වභාවික ගල් ලෙන ඉදිරියෙන් තනා ඇති ආලින්දය සහිත පෝටිකෝව සහ නියමගල් ලෙන් විහාරයයි.පියගැටපෙළ නැග වේදිකාවට පා තැබූ පසු ඉදිරියෙන් හමුවන පෝටිකෝව,කණු 8ක් බැගින් දෙපසින් සිට වූ ගල් කණු පේලි 2කින් සමන්විතය.හිඳී  බුදු  පිළිමය සහිත ස්වභාවික ඇතුළු  ගල් ලෙනට පිවිසෙන්නේ එම ගල් කණු මත හරස් බාල්ක යොදා තැනුණු ආරුක්කුමය ශාලාවක් තුලිනි.

යාපහුව ගල් කැටයම්වල සමාන ගති ලක්ෂණ පෙන්වන අලංකාර මල්,ලිය හා වාමණ කැටයම්වලින් සරසා ඇති මේ කුළුණු සියල්ලේම මැද කොටසේ ඍජුකෝනාශ්‍ර  රාමුවක් තුල බුදු පිළිම හෝ බෝසත් පිළිම කැටයම් කර තිබීම ද ඉතා පැහැදිලි රේඛාමය ලක්ෂණ හේතු කොට ගෙන දෙනෙතට පහසු දර්ශනීය  ගතියක් පෙන්නුම් කරයි.පිළිම ගෙට ගොඩවන පියගැට දෙපස දක්නා කොරවක් ගල් දෙක විශිෂ්ට ගණයේ ඒවාය.එහි නිරූපණය කොට ඇති  ගජසිංහ කැටයම් ද පෙර කී පිළිම පරිදි ම පිරුණු රේඛාමය  ගති ලක්ෂණ පෙන්වන අගනා කෘතීන්ය.පෝටිකෝවේ ඇතුලත කෙළවර  නැවත වමට සහ දකුණට විහිදෙන ආලින්දයකි.එය ස්වභාවික ගල්ලෙනේ පහලට  සමානව තිබෙන්නටඇත.ස්වභාවික ගල් ලෙන් විහාරය ජලය කාන්දුවීම වැලැක්වීම සඳහා එහි ඉහළ දාරයෙන් බේරන  ලද කටාරමකින් යුක්තය.පිළිම ගෙටඇතුළුවන තැන ගල් උළුවස්සේ ද සිත්ගන්නා කැටයම් කොටා තිබේ.කළු ගලින්ම නෙළන ලද හිඳී පිළිමය වඩාත්ම දක්වන්නේ දක්ෂිණ භාරතීය දේව ලක්ෂණයි.ගඩලාදෙණිය හා ලංකාතිලක  විහාරයන් හි පිලිමවලද මෙමෙ ලක්ෂණ පෙන්නුම් කෙරේ.දෑස්වල දිගටි ස්වරූපය හා ඉදිරියට  නෙරා ඇති ස්වරූපය,සිරස්පත සහ කැරලි සහිත හිසකේ ලක්ෂණ ඊට උදාහරණයි.දෙපා පිහිටුවා ඇති ආකාරය ද අනුරාධපුර පොළොන්නරු ධ්‍යාන ලක්ෂණවලට වඩා පෙන්නුම් කරන්නේ හින්දු යෝගී ස්වභාවයයි.පිබිදුනු නෙලුම් පෙති රටාවක් ආසනය වටා දක්වා ඇත.

1892දි බෙල් මේ ස්ථානය නිරීක්ෂණය කළ අවස්ථාවේදී ද ගොඩනැගිල්ල ඇතුළු බොහෝ කැටයම් හාගල් ලෙන් වහලයේ චිත්‍ර ද විනාශය මුඛයට යමින් පැවතුන බව පෙනේ.ඔහු හේවිසි මණ්ඩපය යනුවෙන් සඳහන් කරන ඉදිරිපස කොටස දිග අඩි 21 සහ පළල අඩි 16 1/2ලෙසද දක්වයි.ලෙන ඉදිරිපස දිගද ඉහත  දිගටම සමානය.මුළු කෑගලු  දිස්ත්‍රික්කය තුලම තමන්ට හමු වූ ගලින් තනන ලද එකම ලෙන් විහාරය මෙය බවට‍ බෙල් කරන සඳහන සත්‍යකි.මෙහි නිර්මාතෘ  ධර්ම කිර්ති හිමියන් ගම්පල IV බුවනෙකබාහු රජුගේ සම්මානයට පාත්‍ර වූ හිමිනමක් හැටියට සැලකෙන අතර ,එතුමාගේ සමකාලීන දකුණු ඉන්දීය ශෛලය ගැනිමට හේතු වූ බව ද සඳහන් කළ හැකිය.

courtesy : sinhalajanakatha


More News »