ශ්‍රී ලංකාවේ අපූර්වතම ලෝක උරුමයන් අට

2018-03-09 11:18:00       198
feature-top
නිකමට හිතන්න කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියල: දඹුල්ල ලෙන් විහාරයයි, ගීසාහි මහා පිරමීඩයයි, ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයයි අතර තියෙන සමාන කම මොකක්ද?

මේ වගේ දෙයක් ඇහුවාම ගොඩක් දෙනෙක් හිතන්නේ නරක විහිළුවක් කරන්න ලෑස්ති වෙනවා කියලයි. මොකද අපේ රටේ තියෙන ලෙන් විහාරයක් ගීසා වල පිරමීඩ එක්ක සංසන්දනය කරන්න බැහැ කියලයි වැඩි දෙනා හිතන්නේ. කොහොම වුණත් ගීසා හි පිරමීඩය වගේම දඹුල්ලේ ලෙන් විහාරයත් යුනෙස්කෝ ලෝක උරුම (UNESCO World Heritage Sites) කියල හඳුන්වන වර්ගීකරණයකට අයත් වෙනවා. මේ දෙකම එක විදිහටම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ තියෙනවා දැක ගන්න පුළුවන්.

ගොඩබිම් භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 62,720ක් තරම් පුංචි රටක් වුණත් අපේ රට පුරාම තියෙන ස්වභාවික සහ මිනිසුන් හදපු පුදුමාකාර තැන් ගණන නම් හිතාගන්නත් බැරි තරම් ඉහළයි. මේ අතරේ අධිරාජ්‍ය පාලන සමයේ නිර්මාණ, ඉපැරණි නගර වගේම ගල් උඩ, ගල් ගුහා ඇතුලේ ඉදි කරපු ලෙන් විහාර වගේ උරුමයන් ගණනාවක් දකින්න පුළුවන්. මේ අතරින් අටක් ලෝකයට අතිශයින්ම වැදගත් නිසාම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ අන්තර්ගත කරලා තියෙනවා. ඇතෑන්ස් නුවර ඇක්‍රෝපොලිස් නගරය, චීන මහා ප්‍රාකාරය වගේ ලෝක ප්‍රසිද්ධ උරුමයන් එක්ක කරට කර ඉන්න පුළුවන් මේ දේශීය උරුමයන් ආරක්ෂා කරන්න ලෝක වාසීන් සියලු දෙනාම පෙළ ගැසෙන බව තමයි ඒකෙ තේරුම.

ලෝක උරුමයක් රට ඇතුලේ තියෙනවා කියන එකෙන් හැඟවෙන්නේ ඒවාට ඔහේ තියෙන්න දීලා බස් ගණනින් එන සංචාරකයන්ට බලන්න දෙනවා කියන එකම නෙවෙයි. මේවා බොහොමයක් ශතවර්ෂ ගණනාවක් තිස්සේ අව්වට වැස්සට හසු වෙලා අබලන් තත්වයට පත් වෙලයි තියෙන්නේ. ඒ නිසා ඉස්සර කාලේ තිබුණු අභිමානනීය තත්වයට එන විදිහට ප්‍රතිසංස්කරණය කරලා රැක බලා ගන්න ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. උදාහරණයක් විදිහට අලුතින් ප්‍රතිසංස්කරණය කරලා පසුගිය අවුරුද්දේ ජූලි මාසයේ විවෘත කෙරුණු අභයගිරිය ස්ථූපය හඳුන්වන්න පුළුවන්. මේ සෑය ප්‍රතිසංස්කරණය කරන්න යුනෙස්කෝ ආධාර යටතේ අපේ රටේ මධ්‍යම සංස්කෘතික අරමුදලට වසර 15ක විතර කාලයක් මහන්සි වෙන්න සිදු වුණා. මේ ව්‍යාපෘතියේම කොටසක් විවිහට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයට අයත් වෙන අනෙකුත් සංස්කෘතික ස්ථානත් පිළිසකර කෙරෙනවා. ජේතවනාරාම ස්ථූපය මේ අතරින් ප්‍රධානයි.

ලෝක උරුමයන් කියන්නේ අන්තර්ජාතිකව ආරක්ෂිත ස්ථාන වුණත් අපේ රටේ තියෙන ලෝක උරුමයන් අවශ්‍ය තරමින් රැක බලා ගැනෙන්නේ නැති ගැටළුවක් තියෙනවා. හොඳම උදාහරණය පසුගිය මාසයේ සිදු වුණු සිද්ධියක්. ළඟදී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනු යුනෙස්කෝවේ ප්‍රධාන අධ්‍යක්ෂක ඉරිනා බෝකොවා (Irina Bokova) මහත්මිය දඹුල්ලේ ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන්නට සිදු වේවි කියලා අනතුරු අඟවලා තිබුණා. ශ්‍රී ලංකාව තමන් සතු ලෝක උරුමයක් වන දඹුලු ලෙන් විහාරය ආරක්ෂා කරන්න අන්තර්ජාතික කෙටුම්පතක් මගින් (ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබද සමුළුව) බැඳිලා හිටියත් නඩත්තු කටයුතු හරි හැටි නොකරන එක වගේම ඒ අවට ඉදි කරලා තියෙන නුසුදුසු ගොඩනැගිලි නිසා එහි පෞරාණික බව හීන වෙනවා කියන එකත් එතුමිය පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ලෝක උරුමය වන සීගිරිය 1982 ඉඳලා යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ තිබුණත් එයටත් අලාභ හානි වෙන අවස්ථා තියෙන බව මෑතකදී සිදු වුණු කාරණා වලින් වටහා ගන්න පුළුවන්. නිසි ලෙස සංචාරකයන් හැසිරවීමක් නැති කම වගේම වගකිවයුතු නිලධාරීන්ගේ නොසැලකිල්ල වගේ බොහොම පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් දේවල් වලින් පවා සීගිරියට හානි සිදු වෙලා තියෙනවා.

ලෝක උරුමයන් සහිත රටක් කියන එක ආඩම්බරයට කාරණාවක් වුණත් ඒ එක්කම ලැබෙන වගකීම් කිහිපයකුත් තියෙනවා. නම් වශයෙන් කිව්වොත් මේ ස්ථාන ආරක්ෂා කර ගන්න, රැක බලා ගන්න වගේම නිසි ලෙස ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්න සුදුසු ඵලදායි සහ ක්‍රියාකාරී ක්‍රමවේද පවත්වාගෙන යන එක අත්‍යාවශ්‍යයි. මේ හැම දෙයක්ම අදාළ උරුමය පිහිටලා තියෙන රටේ වගකීම් බවට පත් වෙනවා. ඉරිනා බෝකොවා මහත්මිය පෙන්වා දුන්නු විදිහටම ඒ ගැන වගකිව යුත්තේ අදාළ රටේ පාලන තන්ත්‍රය, නැතිනම් අපේ රටේ විදිහට නම් ශ්‍රී ලංකා රජය. අපේ රටේ තියෙන හැම ජාතික උරුමයක්ම ඒවායේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා වෙන විදිහට පවත්වා ගැනීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා රජයට භාර ගන්න වෙනවා.

ලෝක උරුමයක් කියන සංකල්පය වැදගත් වෙන්න හේතු කාරණා ගණනාවක් තිබුණත් ප්‍රධානතම හේතුව එමගින් ජාතික, දේශපාලනික සීමා මායිම් නැතිව ලෝකය පුරාම තියෙන උරුමයන්ට ආරක්ෂාවක් ලැබෙන එක. නියම විදිහට නම් යුනෙස්කෝ ලෝක උරුමයක් මොන රටේ තිබුණත් ඒකෙ අයිතිය තියෙන්නේ මුළු ලෝකයටමයි. ඒ වගේ අපේ රටේ තියෙන ලෝක උරුම අට ගැනත් අපි මේ ලිපියෙන් කතා කරන්න හිතුවා. මේ ලෝක උරුමයන් නම් කළ දිනය අනුව පෙළගස්වා තියෙන්නේ.

සීගිරිය ඓතිහාසික නගරය 
අපේ ඉතිහාස කතා අනුව කාශ්‍යප රජතුමා තමන්ගේ සොහොයුරාට උරුම වුණු රජකම පැහැර ගත්තු, තමන්ගේ පියාව පණ පිටින් මැටි ගහලා මරවපු කෲර, මුග්ධ පාලකයෙක් විදිහට හංවඩු ගහලා තියෙනවා. නමුත් ඔහු තමන්ගේ ආරක්ෂාව තකා ඉදි කරපු සීගිරිය රාජධානිය ලෝක ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම වල මහාර්ඝම වික්‍රමයක් විදිහටයි ලෝකය පුරාම පිළිගැනෙන්නේ. කිසිම සතුරෙකුට ආක්‍රමණය කරන්න වෙන්න බැරි, “අහසේ හදපු රාජධානියක්” විදිහට සීගිරිය ඒ කාලේ ඉඳලාම ප්‍රසිද්ධව තිබුණා.

සීගිරිය රාජධානියට යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුව ප්‍රකාශයට පත් කරපු දිනයේ ඉඳන් මුල් තැනක් හිමි වුණේ ඇයි කියන එක නම් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. අඩි 660ක් ඉහළ කළු ගලක් මත ඉදි කරපු රාජධානිය වගේම සීගිරි ගල පාමුල තියෙන නගරයේ නටබුන් අතීතයේ අපේ රටේ ජීවත් වුණු ශිල්පීන්ගේ හැකියාව සහ නිර්මාණශීලීත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඉඩ සලසනවා. සීගිරිය ප්‍රදේශය පුරාවටම පැතිරිලා තියෙන්නේ පුදුමාකාර නිර්මාණ: කන්නාඩියක් තරමටම සුමට කැටපත් පවුර, ලෝක ප්‍රසිද්ධ බිතු සිතුවම්, අදටත් ක්‍රියාත්මක ජල අලංකරණ පද්ධති, සීගිරි ගලට පිවිසෙන තැන තියෙන දැවැන්ත සිංහ පාද ඇතුළු හැම නිර්මාණයක්ම සීගිරිය සතු අපූර්වත්වය සහ එහි ඓතිහාසික හා සංස්කෘතික උරුමය විදහා පානවා.

මේ තරම් වටිනා සම්පතක් වුණත් සීගිරිය නිසි ලෙස රැක බලා ගැනෙනවාද කියන එක ගැන මෑත සිදු වුණු කාරණා නිසා සැකයක් මතු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සීගිරියේ ලෝක ප්‍රසිද්ධ බිතු සිතුවම් වලට හානි සිදු වෙන එක නිතරම ප්‍රවෘත්ති වාර්තා වලින් අහන්න ලැබෙනවා. අවුරුදු 1000කටත් වඩා කාලයක් මේ බිතු සිතුවම් ආරක්ෂා වෙලා තිබුණත් සංචාරකයන් නිසි ලෙස හසුරුවා නොගන්න එක නිසා වගේම නිලධාරීන්ගේ නොසැලකිලිමත් කම නිසාත් ඉතාම කෙටි කාලයක් තුල විනාශ වෙන්න යන බව දැකගන්න පුළුවන්. අපේ රටේ වැදගත්ම ලෝක උරුමයක් වන සීගිරිය වසර දහස් ගණනක් අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා තිබිලත්  ආරක්ෂක නිලධාරීන් මදි කම වගේ ළඳ බොළඳ හේතුවක් නිසා විනාශ වෙනවා නම් අපිට ඒ ගැන රටක් විදිහට ඇත්තටම ලැජ්ජා වෙන්න සිදු වෙනවා.

අනුරාධපුර ඓතිහාසික නගරය 

ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය සහ අතිවිශාල ජේතවනාරාම දාගැබ වගේ ඓතිහාසික, පෞරාණික වගේම පූජනීය වටිනාකමක් තියෙන ස්ථාන ගණනාවක්ම පිහිටලා තියෙන අනුරාධපුර ඓතිහාසික නගරය අදටත් දෙස් විදෙස් සංචාරකයන් වැඩිම ගණනක් පැමිණෙන ස්ථානයක්. ලංකාවේ වැඩිම කාලයක් පැවතුණු සශ්‍රීකම රාජධානියේ හදවත වගේ ප්‍රදේශය තමයි අනුරාධපුර ඓතිහාසික රාජධානිය විදිහට අද අපි නරඹන්නේ. අපේ රටේ වැදගත්ම සන්ධිස්ථාන වුණු බුදු දහම හඳුන්වා දීම, ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම ඇතුළුව අපේ රටේ සංස්කෘතියට අයත් බොහෝ දේවල් සිදුවුණේ අනුරාධපුර කේන්ද්‍ර කරගෙනයි. යුද්ධ සහ ආක්‍රමණ වගේම සාමකාමී සශ්‍රීක යුගයන් ගණනාවකුත් අත්දැකපු, වෙහෙර විහාර, මනරම් ජල උයන් වගේ නිර්මාණවලින් විසිතුරු වුණු, රජවරුන් රැජිනියන් 100කට වඩා රජකම් කරපු අනුරාධපුර රාජධානියේ ඉපැරණි ශ්‍රී විභූතිය වසර දහස් ගණනකට පසුව තවමත් පවතින නටබුන් වලින් වටහා ගන්න පුළුවන්. අනුරාධපුර පිහිටා තියෙන අති විශාල ජේතවනාරාම දාගැබ කාලයක් ගීසාහි මහා පිරමීඩයට පමණක් දෙවැනි වූ සුවිශාලතම මිනිස් නිමැවුම විදිහට පිළිගැනෙනවා. ඒ වගේම පූජනීය ශ්‍රී මහා බෝධිය මිනිසෙකු රෝපණය කරපු බවට සාක්ෂි සහිත පැරණිතම ශාකයයි.

අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාවේ පළමු අග නගරය බවට පත් වුණේ මීට අවුරුදු 2000කටත් වඩා ඈත අතීතයේ. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ පණ්ඩුකාභය රජතුමාගේ පාලන කාලයේ ආරම්භ වුණු අනුරාධපුර රාජධානිය සහශ්‍ර වර්ෂයකටත් වඩා (වසර 1000ක්!)  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය විදිහට පැවතුණා. රටේ දේශපාලනික, ආගමික සහ ජීවන කේන්ද්‍රස්ථානය විදිහට වැජඹුණු අනුරාධපුර රාජධානිය ආක්‍රමණිකයන් කළ විනාශය නිසා අතහැර දැම්මාට තමයි පසුව පොළොන්නරුව වෙතට මාරු වුණේ. ඉතා මෑත කාලයේ එළි පෙහෙළි කරලා සොයා ගන්නා තුරු මේ මුල් ගොඩනැගිලි ඇතුළු ගෘහ නිර්මාණ හැම දෙයක්ම කැලෑවෙන් වැසිලා නටබුන් විදිහට ආරක්ෂා වෙලා තිබුණා.

දැන් ප්‍රතිසංස්කරණය කෙරුණු දාගැබ්, මන්දිර, වෙහෙර විහාර සහ වැව් පොකුණු ගණනාවක් දකින්නට ලැබෙන දැකුම්කළු ප්‍රදේශයක් විදිහට අනුරාධපුර නගරයේ අතීතයේ පැවතුණු ප්‍රෞඩත්වය යම් තරමකින් හරි යළි ගොඩනැගිලා තියෙන බව දකින්න පුළුවන්. ලෝකය පුරාම 0ජීවත් වෙන බෞද්ධ ජනතාවගේ වැඳුම් පිදුම් ලබන අනුරාධපුර ඓතිහාසික නගරයත් 1982 අවුරුද්දේ ඉඳන්ම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ තැනක් වෙන් කරගෙන තියෙනවා.

පොළොන්නරුව ඓතිහාසික නගරය 
ඔබට අපේ රටේ ඉතිහාසය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් පොළොන්නරුවේ සංචාරය කරන එක හොඳම අදහසක් කියලා කියන්න පුළුවන්.

ශ්‍රී ලංකා භූමියේ දෙවැනි අගනගරය බවට පත්වුණු පොළොන්නරුව රාජධානිය ඓතිහාසික වටිනාකම අතින් දෙවැනි වන්නේ අනුරාධපුර රාජධානියට විතරයි. කොහොම වුණත් අනුරාධපුර රාජධානිය වසර 1000කටත් වඩා ආරක්ෂා වෙලා තිබුණාට චෝල ආක්‍රමණයක් නිසා පොළොන්නරුව රාජධානිය ශතවර්ෂ තුනක් වගේ කාලයක් ඇතුලත අතහැරලා දාන්න සිදු වුණා. නමුත් පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා සහ ඔහුගේ ඥාති පුත්‍රයෙක් වුණු නිශ්ශංකමල්ල වගේ පාලකයන් නිසා මේ කෙටි කාලය තුල පවා පොළොන්නරුව රාජධානිය ස්වර්ණමය යුගයක් ගත කළා. (නිශ්ශංකමල්ල රජතුමා නිසා අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණත් ඔහුගේ පාලන සමයේ වැදගත් නිර්මාණ ගණනාවක් රටට දායාද වුණා)

සංකීර්ණ වාරිමාර්ග පද්ධති, පරාක්‍රම සමුද්‍රය වගේ සුවිසල් වැව්, ගල් විහාරය සහ උයන් නගරය වගේ ලෝක ප්‍රසිද්ධ අපූරු ගෘහ නිර්මාණ ගණනාවක් පොළොන්නරුව යුගයේදී ශ්‍රී ලංකාව තුල බිහි වුණා. ඒ වගේම සැරින් සැරේ පොළොන්නරුව ආක්‍රමණය කරලා බලය අල්ලා ගත්තු චෝල පාලකයන් ඉදි කරපු බ්‍රාහ්මී වර්ගයට අයත් ඉදිකිරීම් පවා පොළොන්නරුවේ දකින්න ලැබෙනවා.

සිංහරාජ රක්ෂිත වනාන්තරය 
ශ්‍රී ලංකාව සතු ඓතිහාසික උරුමයේ ස්වභාවික උරුමයන්ගෙන් ප්‍රධානතම තැන ගන්න සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකා භූමිය තුළ ඉතිරි වී තියෙන, කිසිදිනක මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑමකට ලක් නොවුණු, එකම ඉපැරණි ඝර්මකලාපීය සදාහරිත වැසි වනාන්තර ප්‍රදේශය විදිහට සැලකෙනවා.

සිංහරාජ වැසි වනාන්තරය “මිනිසා හා ජෛවගෝලය” (Man and Biosphere) නැතිනම් MAB ව්‍යාපෘතිය යටතේ ප්‍රකාශයට පත් කෙරුණු ජෛවගෝල සංරක්ෂිතයක් විදිහටත්, යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙන එකම මේ වනාන්තරය දේශීය වශයෙන් වගේම අන්තර්ජාතිකවත් දරන වැදගත් කමට හොඳ සාක්ෂියක්. 1970 ගණන් වලදී සිංහරාජ වනාන්තරයේ දැව ලබා ගැනීම සඳහා ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණා. ඒ වගේම සිංහරාජයට අයත් අක්කර 2,500ක භූමි ප්‍රදේශය ඒ තුළ පවතින සියලු ශාක සහ සත්ව කොට්ඨාශ ආවරණය වෙන විදිහට සොබාදහම රැකගැනීමේ අන්තර්ජාතික සංගමයේ (IUCN) අන්තර්ජාතික ජෛවවිද්‍යාත්මක වැඩසටහන යටතේ (IUCN – IBP) දැඩි රක්ෂිතයක් බවට පත් කෙරුණා.

සිංහරාජ වනාන්තරය සාරවත්ව වැවුණු හරිත ශාක, ඝනව වැඩුණු තුරු වදුළු, අභ්‍යන්තර ජල තටාක සහ දිය දහරා ගණනාවක් සහිත ලෝකයේ වැඩිම ජෛව විවිධත්වයක් තියෙන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ අතීතයේ සිටම සුරැකී තියෙන ඝන වන වැස්ම ඇතුලේ සරුවට වැඩෙන ගස්වැල් විශේෂ වගේම සත්ව විශේෂ විශාල ගණනාවක් දකින්න ලැබෙනවා: උස ගස් දිගේ ඉහළ නගින නිමක් නැති වැල් වර්ග, උඩවැඩියා වර්ග, කුරුළු වර්ග ගණනාවක්, ඉතාම දුර්ලභ සර්ප විශේෂ, අපටම ආවේණික දැකුම්කලු කෘමි විශේෂ, උභයජීවී වර්ග විශාල ගණනක් වගේම ජල තටාක වල ජීවත් වෙන නානාප්‍රකාර මත්ස්‍ය විශේෂ සිංහරාජ වනාන්තරයේ දැක ගන්න පුළුවන්. මේ සත්ව සහ ශාක විශේෂ ඉතා ඉහළ ප්‍රතිශතයක් අපටම ආවේණික නිසා සිංහරාජ වනාන්තරය මිල කළ නොහැකි සම්පතක්. උදාහරණයක් විදිහට ලංකාවට ආවේණික කුරුළු විශේෂ 20න් 18 ක්ම සිංහරාජය තුල දැකගන්න ලැබෙනවා වගේම සිංහරාජයේ ගස් වර්ග වලින් 60%ක්ම අපේ රටට අවේණිකයි කියලා සැලකෙනවා.

අවුරුදු ගණනාවක් තිස්සේ කෙරුණු පරීක්ෂණ වලට පසුව වුණත් අදටත් මෙතෙක් සොයා ගන්න බැරි වුණු සත්ව විශේෂ සිංහරාජය තුලින් වරින් වර හමු වෙනවා. මෑත කාලයේදී සිංහරාජයේ උඩු රෝපණයේ ජීවත් වෙන අලුත්ම සර්ප විශේෂයක් සොයා ගැනුණා. මොවුන්ව නම් කෙරුණේත් “සිංහරාජ ගස් සර්පයා” කියන අරුත දෙන “Sinharaja tree snake” කියලයි.

පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව 

ඉපැරණි ගාලු කොටුව තුල දකින්නට ලැබෙන සාරවත් 
ගාල්ල කිව්වාම වැඩිදෙනෙකුට මතක් වෙන්නේ මුහුදු වෙරළේ නිවාඩුව ගත කරන්න හොඳ ප්‍රදේශයක්. නමුත් ගාල්ල වඩාත්ම ප්‍රසිද්ධ නම් මුහුදු වෙරළවල් වලටත් වඩා සුවිසල් ගාලු කොටුව නිසයි. යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ තැනකුත් හිමි කරගෙන තියෙන පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව අලංකාරත්වයෙන් වගේම ඓතිහාසික වැදගත්කම අතිනුත් සුවිශේෂී ස්ථානයක්.

ගාල්ලේ පිහිටා තියෙන කොටු පවුර මුලින්ම ඉදිකෙරුවේ මේ ප්‍රදේශය පාලනය කරපු පෘතුගීසි ජාතිකයන් වුණත් අද තියෙන තත්වයට ඉදි වුණේ ලන්දේසි පාලන සමයේදී. 18 වැනි ශතවර්ෂයේ ඔවුන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන අවධියේ ප්‍රධානම වරායක් වුණු ගාලු වරයාට ආරක්ෂාව සපයන්න මේ කොටු පවුර ඉදිවුණා. ඉස්සර කාලේ ගාලු කොටුව ඇතුලේ ඉදිවුණු මහේශාක්‍ය ආරක්ෂිත නගරය අද දකින්න නොතිබුණත් අදටත් දකින්න ලැබෙන තද කළු පාට සුවිසල් බිත්ති සහිත කොටු පවුර, ඉපැරණි ප්‍රදීපාගාරය, ගල් කැබලි ඇල්ලූ මං මාවත්, ඔරලෝසු කණුව සහ අතීත ගෘහ නිර්මාණ ලක්ෂණ ඇති ගොඩනැගිලි අදටත් ශ්‍රී ලංකාව අධිරාජ්‍යයන්ගේ පාලනය යටතේ තිබුණු තත්වයේ ප්‍රතිමූර්තීන් වගේ.

යුනෙස්කෝ සංවිධානයට අනුව “යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම සහ දකුණු ආසියානු සම්ප්‍රදායන් වල අසාමාන්‍ය සංකලනයක් වන ගාලු කොටුව දකුණු හෝ ගිණිකොනදිග ආසියාවේ යුරෝපීයයන් ඉදි කරනු ලැබූ, දැනට ඉතිරිව පවතින සමකළ නොහැකි මට්ටමේ” බලකොටු නගර වලින් එකක්. වසර සිය ගණනක් පුරාවට අව්වෙන්, වැස්සෙන් පීඩා සිදු වුණත් සංරක්ෂණ ක්‍රියාමාර්ග නිසා ගාලු කොටුව අදටත් ඉතා සුරැකිව පවතිනවා. අතීතයේ ගාල්ලට මුහුද පැත්තෙන් එල්ල විය හැකි කාලතුවක්කු ප්‍රහාර වලින් පවා ආරක්ෂා වෙන විදිහට නිර්මාණය කෙරුණු ගාලු කොටුවට 2004 අවුරුද්දේ සුනාමියෙන් පවා ඒ තරම් හානියක් සිදු වුණේ නැහැ. හානි සිදු වුණු තැන් පවා ඉතා ඉක්මණින් පිළිසකර කෙරුණා.

මහනුවර පූජා නගරය

ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් තුන් වෙනි වරටත් ලෝක උරුමයක් විදිහට නම් කෙරුණේ 1988 අවුරුද්දේ. අවුරුදු 300කට වැඩි කාලයක් යුරෝපීය අධිරාජ්‍ය පාලකයන්ට යටත් නොවී ආරක්ෂා වෙලා තිබුණු අපේ රටේ අන්තිම රාජධානිය වන මහනුවර 1815දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයට ගැනීමත් එක්ක බිඳවැටුණා.

මහනුවර ප්‍රදේශයේ තියෙන සුන්දර කඳුවැටි, මිටියාවත් සහ සාරවත් ගහකොළ ඇතුළු හැම දේකටම වඩා වැදගත්කමක් ගන්නේ මහනුවර නගරයේ පිහිටා ඇති දළදා මාළිගාවයි. ලෝකය පුරා බෞද්ධයන්ගේ උසස්ම ගෞරවයට පාත්‍රවුණු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදා කරඬුව දළදා මාළිගාව තුළ තැන්පත් කරලා තියෙනවා. මහනුවර කලාශිල්ප විදහා දැක්වෙන ගෘහ නිර්මාණාත්මක, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත තවත් නිර්මාණ ඒ අවට දකින්න පුළුවන්. ඒ අතරින් පළමු විමලධර්මසූරිය රජතුමාගේ රජ මාළිගාව සහ සුප්‍රසිද්ධ මහනුවර මගුල් මඩුව වැදගත් ස්ථානයක් ගන්නවා. අතීතයේ මහනුවර රජු ඇතුළු පාලකයන් රැස් වෙලා රාජධානිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ ගන්න භාවිත වුණු මේ මගුල් මඩුව තුළ තමයි 1815 ගිවිසුම අත්සන් කෙරුණේත්.

සෙංකඩගලපුර සහ කන්ද උඩරට කියන නම් දෙකෙන් හැඳින්වෙන මහනුවර ප්‍රදේශයට ඉංග්‍රීසියෙන් කියවෙන කැන්ඩි (Kandy) කියන නමත් “කන්ද” කියන වචනයේ උච්චාරණය වෙනස් වීම නිසා ඇති වුණු එකක්. අනුරාධපුර සහ පොළොන්නරුව රාජධානි වලට වඩා මහනුවර රාජධානිය තුළ පැහැදිළි වෙනස්කමක් දැක ගන්න පුළුවන්. මහනුවර ප්‍රදේශයට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පය වගේම අධිරාජ්‍ය පාලකයන්ගෙන් ලැබුණු ගෘහ නිර්මාණ ලක්ෂණත් බොහෝ තැන් වල දැකගන්න ලැබෙනවා.

රංගිරි දඹුලු රජමහා විහාරය (1991)
දඹුල්ල ලෙන් විහාරයේ ගල් ගුහාව තුළ නෙලා ඇති බුදු පිළිම. ගල් ගුහාවේ බිත්ති සහ වහලය මත තියෙන සියුම් චිත්‍ර වලින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා පෙන්නුම් කෙරෙනවා.
දඹුල්ල ලෙන් විහාරයේ ගල් ගුහාව තුළ නෙලා ඇති බුදු පිළිම. ගල් ගුහාවේ බිත්ති සහ වහලය මත තියෙන සියුම් චිත්‍ර වලින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා පෙන්නුම් කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ ඉතිහාස කතාවේ වැදගත් තැනක් හිමි කරගන්න දඹුල්ල ලෙන් විහාරය අවුරුදු 2,200කටත් වඩා පැරණි නිර්මාණයක්. අපේ රටේ අතීත ශ්‍රී විභූතියට ඉතා හොඳ සාක්ෂි සපයන ස්ථානයක් වන රංගිරි දඹුල්ල විහාරයත් යුනෙස්කෝ ලෝක උරුමයක් හැටියට ප්‍රකාශයට පත් කෙරුණා.

දඹුල්ල ලෙන් විහාරය රට පුරාම බෞද්ධ බැතිමතුන් වසර සිය ගණනක් තිස්සේ වන්දනා ගමන් ගිය පූජනීය ප්‍රදේශයක් විදිහට ප්‍රසිද්ධියක් උසුලනවා. මේ විහාරය පිහිටා තියෙන ලෙන් පද්ධතිය බොහෝ දුරට ශ්‍රී ලංකාවේ තියෙන විශාලතම සහ වඩාත්ම හොඳින් ආරක්ෂා වෙලා තියෙන විහාර සංකීර්ණය වෙන්න පුළුවන්. වෛවර්ණ බිතු සිතුවම්, සියුම්ව අඹපු ගල් පිළිම සහ පෞරාණික වස්තූන්ගෙන් පිරුණු ගල් ගුහා 5ක් මේ විහාර භූමියේ දැක ගන්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එබී බලන්න හොඳම තැනක් කියන්න පුළුවන් මේ රංගිරි දඹුලු ලෙන් විහාරයට අදටත් සංචාරකයන් ඇදී එන්නේ දහස් ගණනින්.

ආගමික වශයෙන් තියෙන වටිනාකමට අමතරව ශ්‍රී ලංකාවේ අතීත දේශපාලනයටත් මේ ප්‍රදේශය ලොකු සම්බන්ධයක් දක්වනවා. පළමු ශතවර්ෂයේ සිදුවුණු චෝල ආක්‍රමණයෙන් දිවි බේරා ගත්තු වළගම්බා රජතුමා පැනලා ගිහින් හැංගිලා ඉන්න පාවිච්චි කළේ මේ ලෙන් ගුහා බව ඉතිහාස කතා වල දැක ගන්න පුළුවන්. වසර 15කට පස්සේ ඔහු නැවත රජකම ලබා ගත්තු ගමන් කරපු මුල්ම රාජකාරිය තමයි මේ ගුහා පද්ධතිය අනර්ඝ ලෙන් විහාරයක් බවට පත් කරන එක. වළගම්බා රජුගෙන් පසුව රට පාලනය කල රජවරුන් කිහිප දෙනෙක්ම මේ ලෙන් විහාරය දැන් තියෙන තත්වය දක්වා සංවර්ධනය කරපු බවත් ඉතිහාසයේ දැක්වෙනවා. වර්තමානයේ පවා රංගිරි දඹුලු ලෙන් විහාරයේ බුදු පිළිම 157 ක් සහ වර්ග මීටර් 2100ක් (වර්ග අඩි 22,600ක්) පුරා පැතිරුණු බෞද්ධ බිතු සිතුවම් දැක ගන්න පුළුවන්.

මේ තරම් ආගමික සහ සංස්කෘතික වැදගත් කමක් උසුලන ලෝක උරුමයක් වුණත් රංගිරි දඹුලු ලෙන් විහාරය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වෙන්නත් ඉඩ තියෙන එක අපි හැමෝගෙම අවධානයට ලක්වියයුතු කරුණක්. අපි කලිනුත් කියපු විදිහට මේකට ප්‍රධාන හේතුව නඩත්තු කටයුතු හරිහැටි සිදු නොවීම සහ ලෙන් විහාරයේ පෞරාණිකත්වය විනාශ වෙන ඉදි කිරීම් ඒ අවට සිදු කෙරෙන එක. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා රජය මේ ගැන දක්වන නිද්‍රාශීලී ප්‍රතිචාරය වෙනස් කරගෙන අනාගත පරම්පරාවන්ටත් දැක ගන්න පුළුවන් විදිහට මේ ලෙන් විහාරය ආරක්ෂා කරන්න ඉක්මණින්ම කටයුතු කරාවි කියලා.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශය 

ශ්‍රී ලංකාවේ තියෙන යුනෙස්කෝ ලෝක උරුම අට අතරින් වඩාත්ම මෑත කාලයේ නම් කෙරුණේ මධ්‍යම කඳුකර ප්‍රදේශයයි. 2010 අවුරුද්දේ ලෝක උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කෙරුණු මේ ප්‍රදේශය හෝර්ටන් තැන්න, නකල්ස් රක්ෂිත වනාන්තරය සහ කඳුකර රක්ෂිත වනාන්තර පෙදෙස කියන කොටස්වල එකතුවක්. ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය වගේම වැදගත් ජීවී කලාපයක් විදිහට මේ ප්‍රදේශය නම් කරලා තියෙනවා.

ඔබත් හෝර්ටන් මිටියාවතේ තියෙන මීදුම පිරුණු තැනිතලා දිගේ ඇවිදලා තියෙනවා නම්, නකල්ස් කඳුකර ප්‍රදේශයේ ගස් අතරින් වැටුණු රහස් මාවත් වල ගිහින් තියෙනවා නම් මේ ප්‍රදේශය ලෝක උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න යුනෙස්කෝවට සිදු වුණේ ඇයි කියන එක පුදුමයක් නොවෙන්න ඇති. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය කියන්නේ ස්වභාවික නිධානයන්ගේ එකතුවක් කියලා හැඳින්වුවොත් වරදක් නැහැ. ඇස් අදහා ගන්න බැරි තරම් දැකුම්කලු මිටියාවත්, කඳු පුරා පැතිරුණු වනගැබ්, මේ ප්‍රදේශයටම ආවේණික ගස් වැල් සහ සතුන් පිරුණු මේ ප්‍රදේශය විශ්වාස කරන්න අපහසු තරම් ඉහළ ජෛව විවිධත්වයක් පවතින ප්‍රදේශයක්.

අපේ රටේ කඳු ප්‍රදේශ වලට විතරක් ආවේණික සතුන් වගේම ශ්‍රී ලංකා දිවියා, හෝර්ටන් තැනිතලාවටම ආවේණික කෙට්ටු උණහපුළු විශේෂය, දම් මුහුණු ලැන්ගූර් වඳුරන් ඇතුළුව මේ ප්‍රදේශයේ ජීවත් වන සත්ව විශේෂ වැඩි ගණනක් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින බවට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම අපේ රටටත්, සමහර විට මේ ප්‍රදේශයටම විතරක් ආවේණික සත්ව විශේෂ පවා මෙහි දකින්න ලැබෙනවා.

කොහොම වුණත් කණගාටුවට වගේ ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශය බරපතල ගැටළු වලට මුහුණ පා තිබෙන තවත් ලෝක උරුම ප්‍රදේශ වලින් එකක්. සමහර ප්‍රදේශ, විශේෂයෙන් නකල්ස් කඳු ප්‍රදේශය වගේ තැන් වියළි කාලයේදී ලැව් ගිනි වලින් විනාශ වෙන එක නිතරම අහන්න ලැබෙනවා. පසුගිය මාසයේදීත් මේ විදිහටම ඇති වුණු ලැව් ගින්නක් නිසා නකල්ස් ප්‍රදේශයේ අක්කර සිය ගණනක ගස් වැල් පිළිස්සුණා. ගස්වැල් වලට සිදු වුණු හානියට අමතරව ප්‍රදේශයේ ජීවත් වන සත්ව විශේෂ වලටත් ලොකු හානියක් සිදු වුණු බව දැකගන්න පුළුවන්. මොකද මේ ප්‍රදේශයේ තියෙන ඝන කැලෑ ප්‍රදේශය ජෛව විවිධත්වය අතින් ඉහළම ප්‍රදේශයක්. සමහරවිට ප්‍රදේශයට ආවේණික සත්ව හා ශාක වර්ගයක් සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගියා වෙන්නත් බැරි නැහැ.

මේ ලැව් ගින්න හටගන්න හේතුව ස්වභාවික එකක් කියලා කිව්වත් සමහර විට මිනිසෙක් සිදු කළ ගිනි තැබීමක් නිසා ආරම්භ වුණා වෙන්නත් පුළුවන්. ඒ වගේම ගින්න පැතිරී යාම වළක්වා ගන්න බැරි වුණේ ඇයි කියන එකත් ගැටළුවක්. සමහර විට මීට වඩා සැලකිලිමත් වුණා නම් සිදුවුණු විනාශය අවම කරගන්න ඉඩ තියෙන්න ඇති.

පුංචි දූපතක් වෙලත් ලෝක උරුම අටකටම හිමිකම් කියන්න තරම් අපි වාසනාවන්ත වුණත් ඒ ගැන ඇත්තටම ආඩම්බර වෙන්න නම් අපිට ඒ තැන් ආරක්ෂා කර ගන්න මීට වඩා වැඩ කොටසක් ඉටු කරන්න සිදු වෙනවා. ලෝක උරුමයක් කියන්නේ අද බොහෝ දුරට වචනයකට විතරක් සීමා වුණු දෙයක් විදිහටයි පෙනෙන්න තියෙන්නේ. සංචාරකයන් ගෙන්වා ගන්න හැම තැනකම “ලෝක උරුමයක්” කියලා දිලිසෙන ලොකු අකුරු වලින් ප්‍රචාරය කළාට ඒ පිටුපස තියෙන වගකීම තේරුම් ගන්නවාද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. යුනෙස්කෝ ලෝක උරුමයක් කියන නම්බු නාමය ලැබෙන්නේ ඒ ස්ථානය ආරක්ෂා කර ගන්න නීතිමය සහ සදාචාරාත්මක වගකීමක් එක්කයි කියන එක අපි වටහා ගන්න අවශ්‍යයි.

අපි මේ කියන්නේ වගකිව යුතු පිරිස් කිසිවක් නොකරන බව නෙවෙයි. මධ්‍යම සංස්කෘතික අරමුදල වගේම අනෙකුත් වගකිවයුතු ආයතනත් මේ තැන් රැක බලා ගන්න වෙන කාටත් වැඩියෙන් වෙහෙසෙන බව අපිත් පිළිගන්නවා. ඔවුන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙලා අපේ උරුමයන් රැක බලාගෙන, නඩත්තු කරලා පවත්වා ගෙන යන නිසා තමයි වසර ගණනාවක් තිස්සේ මේ ස්ථාන මේ මට්ටමට ඉතිරි වෙලා තියෙන්නේ. නමුත් යුනෙස්කෝ අධ්‍යක්ෂකතුමියගේ ප්‍රකාශයත් එක්ක අපේ උරුමයන් ආරක්ෂා කර ගන්න නම් මීට වඩා මහන්සි වෙන්න සිදු වෙන බව පැහැදිලිවම පෙනෙන්න තියෙනවා. ශ්‍රී ලංකාව ලෝක උරුමයන් අටක් තියෙන රටක් කියන තත්වය ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි.

ශ්‍රී ලංකාව තුළ තියෙන ලෝක උරුමයන් කිසිවක් විනාශ වෙලා ගියොත් ආපහු ගොඩ නගන්නවත්, ප්‍රතිස්ථාපනය කරන්නවත් පුළුවන් තැන් නෙවෙයි. අපිට් කරන්න පුළුවන් එකම දේ විනාශයට යන්න ඉඩනොදී ඒවා රැකබලාගන්න එක විතරයි. ඒ නිසා අපේ ලෝක උරුමයන් ආරක්ෂා කර ගන්න අපිට පුළුවන් හැම දෙයක්ම කරන්න මේ ලිපිය කියවන ඔබ කවුරුත් සැළකිල්ලට ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැතිනම් අද අපිට දකින්න තියෙන බොහෝ දේවල් අනාගත පරම්පරාවන්ට මතක් කරලා දුක් වෙන්න විතරක් ඉතිරි වෙන තැන් බවට පත් වීම වළක්වා ගන්න බැරි වේවි.


(under the courtesy of roar.media web)

More News »