එක පෙළට දාගැබ් හතරක් වැඳගන්න තිස්සමහාරාමයට යන්න

2018-03-16 10:57:00       198
feature-top
කතරගමට යන අතර කවුරුත් යන තැනක් තමයි තිස්සමහාරාමය. කොළඹ සිට ඒ වෙත දුර කි. මී. 227ක් වෙනවා. මෙතරම් දුර ගෙවා ගියත් වැඩිදෙනෙක් තිස්ස දාගැබ හැරෙන්නට වටපිටාවේ පිහිටි නැරඹිය යුතු අපූරු තැන් මඟහරින බවයි, අපට පේන්නේ. තිස්සමහාරාමය හා අවට පිහිටි සොඳුරු සහ පුරාවිද්‍යාත්මකව වැදගත් තැන් කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ.

තිස්සමහාරාම දාගැබ

තිස්සමහාරාමයේ එක පෙළට පිහිටි දාගැබ් හතරක් දැකගත හැකියි. ඒ තිස්ස මහා වෙහෙර, යටාල වෙහෙර, සඳගිරි වෙහෙර සහ මැණික් වෙහෙරයි. මේ අතරින් විශාලම වන්නේ තිස්ස මහා වෙහෙරයි. කෙත්යාය මැදින් සුදු පැහැයෙන් ඉහළ නගින මෙම දාගැබ සුන්දර දසුනක් මවා පානවා.

පුරාණ රෝහණ දේශයේ මාගම රාජධානියේ ප්‍රධාන විහාරයක් වශයෙන් සැලකුණේ තිස්සමහාරාමයයි. එය ක්‍රි. පූ. 2 වන සියවස වන විටත් මහා විහාරයක් වශයෙන් පැවතුණු බව සැලකෙනවා. නාග මහා විහාරය යනුවෙන් ද හඳුන්වා ඇති මෙම විහාරය කටගමුව සෙල්ලිපියේ සඳහන් වන්නේ මහ වෙහෙර යනුවෙන්. සැටදහසක් පමණ භික්ෂුන් පුරාණයේ මෙහි වැඩවිසූ බව ඓතිහාසික ග්‍රන්ථවල දැක්වෙනවා. වළගම්බා රජ සමයේ ඇති වූ මහා සාගතය නිසා මෙහි විසූ භික්ෂුන් වහන්සේ දෙලොස්දහසක් අපවත්වූ බවත් සඳහන්.

මහානාම රජුගේ ( ක්‍රි. ව. 406- 420) සෙල්ලිපියක මෙය මහගම රජමහ විහාරය නමින් හඳුන්වා තිබෙනවා. කිරින්ද ටැම් ලිපියෙහි මෙම විහාරය හඳුන්වා ඇත්තේ තිස්රම් රජ්මහ වෙහෙර යනුවෙන්. තිස්සමහා විහාර දාගැබ ඉදිකර ඇත්තේ බුදුන් වහන්සේගේ ලලාට ධාතු නිදන් කිරීමෙන් බව බෞද්ධයන් විශ්වාස කරනවා. රුහුණේ පාලකයන් වූ මහානාග, යඨාලතිස්ස සහ කාවන්තිස්ස යන රජවරු තිස්ස දාගැබට පුද පුජා පවත්වමින් එහි දියුණුවට කටයුතු කළා. කාවන්තිස්ස රජු දාගැබ වඩාත් විශාල කර ඉදිකළ බව ධාතුවංශයේ දැක්වෙනවා.

පස් ගොඩැල්ලක් වශයෙන් ගරාවැටී තිබූ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු වර්ෂ 1843 දී ඇරඹුණු අතර නිමවූයේ 1900 වසරෙදියි. අද වන විට මේ දාගැබ උසින් මීටර 16.5ක්ද වටප්‍රමාණයෙන් මීටර 55.8ක් ද වෙනවා.

සඳගිරි වෙහෙර

පුරාණ රෝහණයේ පැරණිම සිද්ධස්ථානය වශයෙන් සැලකෙන්නේ සඳගිරි වෙහෙරයි. මහානාග හෝ කාවන්තිස්ස රජු මෙම දාගැබ සහ විහාරය කරවූ බවට විශ්වාස කෙරෙනවා. තිස්සමහාරාම පුවරු ලිපියේ ජෙට්ඨතිස්ස රජු සඳගිරි විහාරයට කළ පූජා පිළිබඳව සඳහන් වෙනවා. කිරින්ද ගිරි ලිපිය, අකුරුගෙඩැල්ල ටැම් ලිපිය, මයිල්ගස්තොට ටැම් ලිපිය ආදී සෙල්ලිපි කිහිපයකම මෙම දාගැබ ගැන දැක්වෙනවා.

නටබුන්ව තිබූ මෙම දාගැබේ සංරක්ෂණ කටයුතු 1990 දශකයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කරනු ලැබුවා. අනුරාධපුර ශ්‍රී මහා බෝධි මංගල්‍යයට චන්දන ග්‍රාමයේ ක්ෂත්‍රියයන් සහභාගි වූ බව මහාවංශය සඳහන් කරනවා. එම චන්දන ග්‍රාමය මේ අවට විය හැකි බවටත් සමහරු විශ්වාස කරනවා. වසභ රජුගේ සෙල්ලිපියක මෙහි ඉදිකළ පොහොය ගෙයක් ගැන සඳහන් වෙනවා. අපේ පුරාණ දාගැබ් විකාශනය දැක ගැනීමට කැමති කවුරුත් නැරඹිය යුතු තැනක් තමයි සඳගිරි නටබුන් දාගැබ.

දාගැබට මඳක් නුදුරින් පැරණි බෝධිඝරයක නටබුන් හමුවෙනවා. එය අෂ්ටාස්‍රාකාකාර ශෛලමය මලුවකින් යුක්තයි. ටැම් ලිපියක් ද මේ අසල දක්නට ලැබෙනවා. එහි විවිධ කාලවලට අයත් සෙල්ලිපි කිහිපයක් එහි කොටා තිබීම විශේෂත්වයක්.

සඳගිරිය ප්‍රතිමා ගෘහය දක්නට ලැබෙන්නේ දාගැබට මීටර 200ක් පමණ උතුරින්. එය 3-6 සියවස් අතරට අයත් බව පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. පැරණි ජන්තාඝරයක නටබුන් ද මේ අසලින් හමුවුණා. එය භික්ෂුන් උණුපැන් සහ ඖෂධ ස්නානය කළ ස්ථානයක්.

යටාල වෙහෙර

මෙම වෙහෙර තිස්සමහාරාම දාගැබේ සිට කි. මී. එකහමාරක් දුරින් කතරගම මාර්ගය අසල පිහිටා තිබෙනවා. දාගැබ පාරේ එක පසෙක ද, එහි විහාරයේ සංඝාවාසය සහ තවත් නටබුන් ද ගලින් කළ විශාල මල් ආසනයක් අනෙක් පස ද පිහිටා තිබෙනවා. එයට හේතුව පසුකාලීනව මාර්ග ඇති කිරීමේ දි පුදබිම කොටස් දෙකකට බෙදීයාමයි.

මෙම විහාරය ක්‍රි. පූ. තුන්වන සියවසේදී මහානාග රජුගේ පුත් යටාලතිස්ස විසින් ඉදිකරන ලද බව ජනප්‍රවාදවල දැක්වෙනවා. පුරාවිද්‍යාත්මක වශයෙන් වඩාත් වැදගත් ස්මාරකය වන්නේ ද යටාල දාගැබයි. ඉන් පුරාවස්තු රාශියක් හමුවී තිබෙනවා.

ගරාවැටී තිබු මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළේ 1986දී. කැණීම්වලදී බුද්ධ ප්‍රතිමා, පළිඟු කරඩු, සෙල්ලිපි ආදිය හමු වුණා.

පැරණි දාගැබ්වල දක්නට ලැබෙන සියලුම වාස්තු විද්‍යාත්මක අංග මෙහි දක්නට ලැබෙනවා. සලපතල මළුවට පිටින් ගඩොලින් ඉදිකළ හස්ති ප්‍රාකාරයක් පිහිටා තිබෙනවා. වැලි මලුව දැන් ජලයෙන් යටවී තිබෙන්නේ ඒ අවට කුඹුරු යායක් පිහිටි නිසයි. දාගැබ සිව්දෙසින් වාහල්කඩ හතරක්ද තිබී ඇති අතර දැන් ඒවා නටබුන් වෙලා.

සලපතල මලුවේ සෙල් පුවරුවල ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපි සටහන් දක්නට ලැබෙනවා. දාගැබ් මලුවේ අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් සහිත පිළිම ගෙයක් සහ බුද්ධ ප්‍රතිමා සහිත පිළිම ගෙවල් ද දක්නට ලැබෙනවා.

කෞතුකාගාරය
දාගැබ් මලුවට නුදුරින් පැරණි ස්වරූපයට තැනූ ගොඩනැගිල්ලක පුරාවිද්‍යා කෞතුකාගාරය පිහිටා තිබෙනවා. මෙම දාගැබේ කැණීම්වලින් ලැබුණු ප්‍රතිමා, කැටයම් පුවරු, සෙල්ලිපි, කරඬු, කැසිකිලි ගල්, මැටි භාජන ආදී පුරාවස්තු රාශියක් ප්‍රදර්ශනය කෙරෙනවා. එහි අංගනයේ ද ශෛලමය පුරාවස්තු රාශියක්ද දැකගත හැකියි.

මැණික් වෙහෙර

මැණික් වෙහෙර ලෙස හැඳින්වෙන්නේ තිස්ස දාගැබේ සිට කතරගම මාර්ගයේ කි. මී. 3ක් දුරින් පිහිටා තිබෙන කුඩා දාගැබක් සහිත විහාරයක්. ගරාවැටී තිබූ දාගැබ ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ 1894 දී. මේ නිසා පැරණි ස්වරූපය අද දකින්න ලැබෙන්නේ නැහැ. ජනප්‍රවාදවලට අනුව මෙය දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාග රජු විසින් කරවන ලද්දක්.

පසුකාලීනව දාගැබ සහ විහාරය මහාඅරිට්ඨ රහතන් වහන්සේට පූජා කළ බවත් පැවසෙනවා. අද මෙහි පැරණි බවට සාධක වශයෙන් තිබෙන්නේ මුරගලක්, පද්මාසනයක් සහ ගල් කණු කිහිපයක් විතරයි. 1882 දී රොබට්‌ ලොන්ඩන් ආණ්‌ඩුකාරවරයා විහාරය සහිත ඉඩම තංගල්ලේ ශ්‍රී ජිනරතන හිමියන්ට පූජා කිරීමෙන් පසු දාගැබ ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. වෙහෙර මුදුනේ රජතුමාගේ ඔටුන්නේ තිබුණු මැණික් ගලක්, චූඩා මාණික්‍ය ලෙස තැන්පත් කිරීම සහ ධාතු ගර්භයේ මැණික් බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා, මේ ස්තූපය “මැණික් චෛත්‍යය” කියලා නම් කෙරුණු බව පැවසෙනවා.

ගල්කණු මණ්ඩිය

දෙබරවැව සිට කතරගම දක්වා දිවෙන මාර්ගය අද්දර පොල් වත්තක මැණික් වෙහෙරට යාබදව පිහිටා ඇති නටබුන් ස්ථානයක් මේ නමින් හැඳින්වෙනවා. මෙය දකින අපට සිහිපත් වන්නේ අනුරාධපුරයේ ලෝවාමහාපායයි. දිගින් අඩි 140ක් සහ පළලින් අඩි 70ක් පමණ වූ පැරැණි විශාල ගොඩනැගිල්ලක නටබුන් තමයි අපට අද ගල්කණු ලෙසින් දැකගත හැක්කේ.

මේ කණු පොළොවේ සිට අඩි 12-15 දක්වා උස  වන අතර අද මෙහි ගල්කණු 75ක් දක්නට ලැබෙනවා. ඒවා ඔපමට්ටම් නොකළ විශාල රළු ගල්කණු යි. කණුවල මුදුනේ බාල්ක හරහට දැමීමට සැකසූ කුඩුම්බියක් දැකගත හැකියි. ගල්කණුවල ප්‍රමාණය අනුව මෙය මහල් ගොඩනැගිල්ලක් බවයි, පේන්නේ. එය කුමන කාර්යයකට යොදාගත්තාදැයි පැවසෙන නිශ්චිත සාක්ෂි ලැබී නැහැ. ජනප්‍රවාදවල කියවෙන්නේ මෙය මහානාග මාළිගය බවයි

ඇතා බැඳි ගල

මැණික්‌ රජමහා විහාරයට යාබද පොල්වත්ත තුළ “ඇතාබැඳිගල” නමින් ප්‍රකට සෙල්ලිපියක්‌ සහිත විශාල ගල් කුළුණක්‌ තිබෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ දුටුගැමුණු රජු එළාර රජුට එරෙහිව ඇරඹූ සටනේ ආරම්භක අවස්ථාවේ “කඩොල් ඇතා” බැඳ සිටි ගල් කණුව මෙය බවයි. මෙහි දැකගත හැක්කේ දුටුගැමුණු කාලයට පසු යුගයකට (ක්‍රි. ව. 1 – 2 සියවස්වලට) අයත් සෙල්ලිපියක්. දෙවනපිය මහ රජුගේ මුණුපුරු වූ ගාමිණී අභය රජුගේ පුත් රොහිණික ගාමිණී අභය රජු බදු වර්ග දෙකක ආදායම සහිත ගමක් විහාරයට පූජා කිරීම ගැන එහි පැවසෙනවා.

තිස්ස වැව

මෙය අනුරාධපුර යුගයේදී ඉලනාග රජු විසින් කරවන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එහි විශාලත්වය අක්කර 652ක්. ‍අක්කර අඩි 3510ක පමණ ජලධාරිතාවක් අඩංගු වන මෙම වැවට එම ජලය ලැබෙනුයේ කිරිදි ඔයෙන් ඇල්ලගලදී සාදා ඇති අමුණේ සිට කපන ලද ඇළමාර්ගයක් මගින්. කුඹුරු හෙක්ටයාර 2750ක පමණ වපසරියක වී වගාකිරීම උදෙසා මෙන්ම හේන් වගාව සඳහාද මින් දියවර ලැබෙනවා.

වැවෙහි නැගෙනහිර මායිමට ආසන්නව පිහිටා ඇති පක්ෂීන්ගෙන් ගහන කුඩා දූපත සංචාරකයන් අතර ජනප්‍රියයි. පක්ෂීන් රාශියක්ද වැව ආශ්‍රිතව ජීවත් වෙනවා. තිස්සමහාරාමයේ පාරිසරික සුන්දරත්වය ඉහළ නංවන ස්ථානයක් විදිහට තිසාවැව අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. මෑතක දී වැව් බැම්ම මතින් සක්මන් මාර්ගයක් ද ඉදිකෙරුණා. එහි සවිකළ සූර්ය බලයෙන් ක්‍රියාත්මක විදුලි පහන් නම් බොහොමයක් අද දකින්නට නැත්තේ පොදු දේ වටිනාකම නොදන්නා මිනිසුන් ඒවා ගලවා ගෙන යාම නිසයි.

අකුරුගොඩ ටැම් ලිපිය
සඳගිරි වෙහෙරටත් තිස්ස වැවටත් අතර පිහිටි අකුරුගොඩැල්ල ගමේ පිහිටි සෙල්ලිපියක් අකුරුගොඩ ටැම් ලිපිය ලෙස හැඳින්වෙනවා. අඩි 27ක් උස අටපට්ටම් ගල්කුළුණක කොටා ඇති මේ සෙල්ලිපිය ක්‍රි. ව. 2-3 අතර කාලයට අයත්. මෙහි සඳහන් වන්නේ මහානාග යුව රජු බුදුදහම වැළඳගනිමින් බුදුන් සරණ ගිය ආකාරයයි.

ඉතින් ඊළඟ පාර කතරගම ගිය මේ තැන් එහෙමත් දැක බලා ගෙන එන්න අමතක කරන්න එපා.


(under the courtesy of roar.media web)

More News »