අපේ ඇත්තෝ හිරු එළියෙන් වෙලාව බැලූ මානි­ගල

2018-03-26 11:59:00       359
feature-top
වෙලාව බලා ගැනීමට ඔරලෝසු නොතිබුණු පුරාණ ගැමියෝ ගල් පර්වතයකට නැඟ එයට වැටෙන සූර්යාලෝකය හරහා වෙලාව තීරණය කළහ. දෙමළ භාෂාවෙන් ‘මනි’ යනු වෙලාවය. පර්වතය හෙවත් ගලට නැඟ වෙලාව බලන හෙයින් එම පර්වතය මනිගල ලෙසින් නම් ලැබ පසුකාලීනව ජනවහරට අනුව මානිගල වී ඇත්තේය. චමත්කාරයෙන් අනූන මේ මානිගල කඳුවැටිය හා අවට පරසරය නෙත් පැහැරගන්නා අපූරු සොභා සෞන්දර්යයකින් හෙබි පරිසර පද්ධතියකි.

මාතලේ සිට රත්තොට මාර්ගයේ පැමිණ රිවස්ටන් හරහා පිටවල පතන පසුකර දකුණට ඇති මාර්ගයේ පැමිණ ඇටැන්වල ගම්මානයට පිවිස තෙල්ගමුඔය පසුකර මානිගලට යායුතුය. මානිගල කඳු පන්තිය තරණය කරන්නකු මාර්ගයේ පවතින දුෂ්කරතා විඳ ගත යුතුමය. පරිසරයේ හමුවන විවිධ පක්ෂීන් මෙන්ම විවිධ තුරුලතා හේතුවෙන් මානිගල තරණය කරන්නෙකුට වෙහෙසක් නොදැනේ.

ලොව වලාකුළු වනාන්තර අතරට එක්වන සුන්දර නකල්ස් රක්ෂිතයේ දක්නට ලැබෙන අතිදුර්ලභ පරිසර පද්ධතියට නෑකම් කියන මානිගල කඳු මුදුන පරිසර හිතකාමීන් විසින්ම විනාශකරන තත්ත්වයක් පිළිබද තොරතුරු අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ සොයා බලන්නට අපට ද අවස්ථාවක් උදාවිණ.

දුම්බර මිතුරෝ පරිසර සංවිධානය වාර්ෂිකව සංවිධන කරන කඳු තරණයේ දී මානිගල කන්ද නැගීමට මාහටඅවස්ථාව හිමිවන්නේ පළමු වතාවටය.

මානිගල නැරැඹීමට පැමිණෙන්නන්ගේ විවිධාකාර වූ ධ අමනෝඥ ක්‍රියා හේතුවෙන් මානිගල ද විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව අපට දැක ගත හැකි වූයේඒ ගමනේදීය.

රාත්‍රී කාලයේ ගල මුදුනේ නවාතැන් ගන්නන් විසින් ගිනි කරන ගිනි දැල්වීම්, ගහ කොළ විනාශ කිරීම්, හිස් මත්පැන් බෝතල් තැන තැන දමා යෑම වැනි අවකල් ක්‍රියා හේතුවෙන් දැන් මානිගල පිළිබඳ පරිසරවේදීන්ගේ හා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇතැයි එහි ගිය අපට හැඟණ.

කඳු මුදුනට වන්නට පවතින අධික සුළං ධාරාව හේතුවෙන් මෙහි ඇති වෘක්ෂ සියල්ලම කුරු බවට පත්ව තිබේ. මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල පැතිරී ඇති දුම්බර හෙවත් නකල්ස් කඳුවැටියේ පැතිර ඇති මානාගල කඳු පංතිය ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර කලාපයකි. මානිගල පිහිටි දුම්බර කඳුවැටිය ‘බටදඬුකන්ද’ නමින් හඳුන්වන්නේ එහි බටහිර බෑවුම අධික ලෙස බට ගාල්වලින් වැසී පැවතීම හේතුවෙනි.

නිතර මිහිදුමින් බරව පවතින නිසා පැරැන්නෝ එය දුම්බර ලෙස හැඳින්වූහ. හුන්නස්ගිරියේ සිට ලග්ගල දක්වා කිලෝමීටර 29ක දුරක් විහිදී යන මෙහි විශාලත්වය හෙක්ටයාර 30,000 කි.

මානිගල පාමුල ඇටැන්වල ගම්මානයේ ගැමියෝ සරල ජීවිතයකට හුරුපුරුදු වූවෝ වෙති. ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය වන්නේ වී සහ එළවළු වගාවත් කිරිහරකුන් ඇති කිරීමත්ය. සෑම නිවෙසකම පාහේ ගවයකු දෙන්නකු ඇති කරනු දැකගත හැකිය. සෑම දෙසකින්ම ගලා යන ඇළ දොළ නිසා ඔවුන්ට ජලයෙන් හිඟයක් නැත.

නගරයේ දැකිය නොහැකි අව්‍යාජ සුහදත්වයක් මේ ගම්මානවල මිනිසුන් වෙතින් තවමත් දැකිය හැකි ය. හිතෙහි කහටක් නැතිව ලද දෙයින් සතුටු වී ජීවිතය ගෙවා දැමීමට ඔවුහු වැඩි දෙනෙක් හුරුව සිටිති. එය මේ ඇටැන්වල ගම්මානයේ ගැමියන් අතර ඇති මිනිස්කමට අපූර්වත්වයක් එක් කරයි.

කොළඹ සිට මානිගලට පැමිණෙන්නෙකුට මාතලේ හරහා ඇටන්වල දක්වා දුර කිලෝමීටර් 178 කි.

මානිගල කඳු මුදුනේ උස මීටර් 1104 කි. එය තරණය කිරීමට ඇටැන්වල ගම්මානයේ සිට කිලෝ මීටර් 3 ක් පමණ දුෂ්කර මාවත් ඔස්සේ පියමං කළ යුතුය. කන්ද මුදුනට යෑමට සාමාන්‍යයෙන් පැය දෙක තුනක කාලයක් ගතවේ.

මානිගල කඳු මුදුනට යන ගමනේ දී තැනින් තැන පියගැට පේළි දැකගත හැකිය. අප කණ්ඩායමේ ප්‍රධානියා වූ දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ ආනන්ද කනහැර ආරච්චි මහතා පිරිසට විස්තර කළේ මෙම පියගැට පෙළවල් අතීතයේ සුදු ජාතිකයන් විසින් ඉදිකරන ලද බවය. සුදු ජාතිකයින් සිය තේ හා එනසාල් වගා භූමි වෙත යෑම සදහා මෙම මාර්ග ඉදිකර ඇතැයි පැවසේ.

සමහර කාලවලදී අලි කිහිප දෙනෙක් ද මේ කඳු හරහා සංක්‍රමණය වන බව ආනන්ද මහතා සදහන් කළේය.

ඊට සාක්ෂි වශයෙන් වියළී ගිය අලි වසුරු ද මේ ගමනේ දී අපට ද දැකගත හැකි විය. පියගැට පෙළ නිමා කරද්දී මාර්ගය අඩි පාරක් බවට පත්වේ. මඳ වේලාවකින් අඩි පාර දෙකට බෙදී එක් මාර්ගයක් වන මැද පිහිටි වල්පොලමුල්ල ගම්මානය දක්වා දිව යයි. කඳු බෑවුමේ හමුවන තවත් මාර්ගයක් ඇදී යන්නේ රඹුක්ඔලූව ගම්මානය දෙසටය.

වල් අලි තර්ජනය නිසා ලංකාවේ කුඩාම ගම්මානයක් වූ වල්පොලමුල්ල අද ගැමියන්ගෙන් තොර ජනශූන්‍ය ප්‍රදේශයක්වී ඇති බවත් කීන, බදුල්ල, ඇටඹ, මලබොඩ, මිල්ල, කරඳ හා කිතුල් වැනි ශාක පමණක් මේ ගම්මානයේ අදටත් ඉතිරිව ඇති බවත් අපට කීවේ අපත් සමග පැමිණි ඇටැන්වල ගැමි තරුණයෙකි.

වසරේ මාස හයක කාලයක අධික සුළං ප්‍රවාහයක් දුම්බර කඳුවැටිය හරහා හමා යයි. මැයි සිට සැප්තැම්බර් දක්වා සුළගේ වේගය ඉතා අධිකය. කෙසේ නමුත් වරෙක කටුක මෙන්ම වරෙක සුන්දර වූ මේ වන චාරිකාවේදී අපේ අරමුණ වු මානිගල කඳු මතට පිවිසි මාර්ගය දෙපස තවමත් හානියක් නොවු මට්ටමක් දැකගත හැකිය.

ඇතැම් අවස්ථාවල තැන තැන මිනිසුන් විසින් ඉවත දමන ලද ඇදුම් කිහිපයක් පමණක් දක්නට ලැබුණදඒ මාර්ගයේ නොදිරන ද්‍රව්‍ය ඇස නොගැටීම වාසනාවකි.

‘‘ගොඩක් වෙලාවට පිටින් එන අය ගමේ කවුරුහරි අරන් යනවා මඟපෙන්වන්නන් විදිහට එතකොට අපි කවදාවත් පරිසරයට හානිවෙන කිසිම දෙයක් දාන්න දෙන්නේ නැහැ.’’ ඇටැන්වල ගම්මානයේ ගැමියන් මේ පරිසරයට කෙතරම් ආදරය කරනවාද යන්න අපට කීවේ අපේ ගමනට එක් වූ මඟ පෙන්වන්නාය.

විටින් විට ගත දැවටුණු සිහින් සිරි පොදත් සමඟ කෙමෙන් කෙමෙන් මානිගල කඳු මුදුනට පිවිසි අපට දැකගත හැකිවුයේ විශාල තෘණ තලාවකි. එය අක්කර 10ක් පමණ විශාල ය. පර්වතය මත ගනකම ඇති පස් තට්ටුවේ විශාල ගස් වැඞීමට හිතකර බවක් දක්නට නැත. කරඹ හීන්බෝවිටියා වැනි ශාක තැන තැන අපූරූ දර්ශන මවා ඇත.

බැලූ බැලූ අත මනස්කාන්ත දර්ශන මවනා කදිම බැලුම් ගලක් යැයි සිතෙන්නේ හතරවටින් කඳුවලින් වටවූ මේ මනරම් කඳුවැටියේ සිට බලද්දී මීදුමෙන් වටවු අනේක විද කඳු රැසක් එකවර දැකගත හැකි බැවිනි.

මේ සුන්දර පරිසර පද්ධතියට ආවේණක ගෝනා මුවා හාවා, මීමින්නා සහ හදුන් දිවියා වැනි සතුන් මේ තැනිතලාවේ ජීවත් වන බවත් ඔවුන්ගේ රාජධානිය මිනිසුන් විසින් ආක්‍රමණය කර ඇති බවටත් සාධක අපට හමු විය. මානිගල කන්දේ රැය පහන් කිරීමේ අරමුණින් බොහෝ පිරිසක් පැමිණෙන බව ඇටැන්වල ගැමියෝ සඳහන් කරති. ඔවුන් පමිණෙන්නේද හිස් අතින් නොවේ. එලෙස පැමිණෙන්නන් අතරින් ඇතැම්හු රැගෙන එන බොහෝ දෑ මානිගල මුදුනේ ඉතිරිකර යති. තැන තැන ගිනි දල්වා විනාශ කළ පරිසරය දැකීම වේදනාවකි. ඔවුන් දමාගිය හිස් බෝතල් මේ සුන්දර කඳු මුදුන වනසයි.

‘‘පායන දවස්වල කන්දට එන අය මේ වන භූමීයට ගිනි තියනවා. එතකොට ඇවිලෙනවා පැත්තම ’’ මානිගලට නෑකම් කියන ඇටැන්වල අපේ හිතවතා අපට කීවේය. පැමිණෙන කණ්ඩායම් පිළිබඳ පසු විපරමක් සිදුකිරිමේ දුෂ්කරතාව හේතුවෙන් මානිගල කඳු මුදුනේ පරිසර පද්ධතිය මේ අයුරින් විනාශ වෙමින් තිබේ. මෙලෙස කඳු තරණයට පැමිණෙන වැඩි දෙනෙකු පරිසරය විඳ ගනිමින් ඊට සෙනෙහසින් කල් ගත කර එහි සැබෑ ජීවය විඳ ආපසු යද්දී සුළු පිරිසක් සිදු කරන නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් මානිගල පරිසර පද්ධතිය විනාශවීමේ අවදානමකට ලක්ව තිබෙන බව ඇටැන්වල ගම්වාසීහු පවසති.

ලොවක් ආදරය කරන මේ විශ්මයජනක පරිසර පද්ධතිය රැක ගැනීම අප කාගෙත් යුතුකමකි. මානිගලේ පහස ලබන්නන් සඳහා විධිමත් නිතී පද්ධතියක් මෙන්ම ඔවුන් අධීක්ෂණයට නිසි වැඩපිළිවෙළක් නොදුරේදීම අවශ්‍ය බව මෙහිලා පසක් කළ යුතුය.

ගැමි වහරින් ගත් කල ‘නියපොත්තෙන් කඩන්නට පුළුවන් දේ පොරවෙන් කපන්නට’ තැබුවහොත් එහි ප්‍රතිඵල භයානක විය හැකිය. ඒ නිසාම අදට නොව මතු මතුවටත් රැකිය යුතු සුන්දර මානිගල පරිසර කොමළිය රැකගැනිම කාගේත් වගකීම විය යුතුය.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »