උඩුනුවර පුදබිම් දැකගන්න

2018-03-29 11:07:00       198
feature-top
රජ කාලේ උඩුනුවර කිව්වෙ අගනුවරට උතුරින් පිහිටි ප්‍රදේශය යි. අදත් මේ පැත්තට කියන්නේ උඩුනුවර තමයි. ඒ නමින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකුත් තිබෙනවා. පිළිමතලාවෙන් මෙන්ම පේරාදෙණියෙනුත් උඩුනුවරට ළඟාවෙන්න පුළුවන්.

උතුරින් කොළඹ-නුවර පාරට මායිම්ව ඇදී යන උඩුනුවර, බටහරින් සබරගමු පළාතට මායිම් වෙනවා. නැගෙනරිහින් පිහිටා ඇත්තේ මහවැලි නදිය යි. දකුණින් වටදෙණිය සහ වේගිරිය ගම්මාන පිහිටා තිබෙනවා.  කුඩා කඳුගැට සහ පහළ නිම්නවල කෙත්වතු හා ජනාවාස සහිතව මේ පෙදෙස පැතිර යනවා. ඉඳහිට තේ වගාවත් දැකගත හැකියි. ගම්පොළ රාජධානි සමයේ පටන්ම උඩුනුවර ප්‍රකටව පැවතුණා. ඒ කාලෙ ඉදිකරවූ ලංකාතිලකය, ගඩලාදෙණිය, ඇම්බැක්ක වගේ විහාරාරාම අදටත් ප්‍රසිද්ධ යි.

වැඩිදෙනෙක් නොදන්නා පූජනීය ස්ථානයන් රැසකුත් උඩුනුවර පිහිටා තිබෙනවා. එවැනි අප්‍රකට පුදබිම් කිහිපයක් ගැන ඔබට මතක් කිරීමටයි මෙය ලියන්නේ. ප්‍රකට පුදබිම් වන්දනා කරන අතරම මෙම විහාරවලට ගොස් දැකබලා ගැනීමත් ඔබට අපූරු අත්දැකීමක් වේවි.

ගල්ලෙන්ගොල්ල පොත්ගුල් විහාරය

පිළිමතලාවෙන් හැරිලා දවුලගල පාරේ ගොස් ගඩලාදෙණිය විහාරය අසලින් දිවෙන පරණපට්ටිය පාරේ තවත් කි. මී. 3ක් ගමන් කරන විට උරුලෑවත්තට පැමිණෙනවා. එහි අතුරු මඟක ගල්ලෙන්ගොල්ල විහාරයට යන මාවත පිහිටා තිබෙනවා. මෙය සින්දුරන් කඳුගැටයේ ලෙන් ආශ්‍රිතව තැනූ විශාල විහාරයක්. වැලිගමුවේ අත්ථදස්සී හිමි විසින් උඩුනුවර සින්දුරන් කන්දේ බටහිර බෑවුමේ ලෙන් යෙදාගෙන මේ විහාරය කරවා තිබෙනවා. ඒ ක්‍රි. ව. 1818 දී. දැනට දක්නට ලැබෙන විශාල විහාර ගොඩනැගිල්ල 1840 දී පමණ තැනවූ එකක්. විහාරය ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ පළ කරනවා. එය මහල් තුනකින් යුක්ත යි. වැලිගමුවේ හිමි පුස්කොළ පොත් ලිවීමට දක්ෂයෙකු වූ බව පැවසෙනවා. උන්වහන්සේ ලියූ පුස්කොළ පොත් රාශියක් ද විහාරය සතුයි.  මහනුවර බොහෝ පන්සල් මල්වතු අස්ගිරි නිකායවලට අයත් වුවත්, ගල්ලෙන්ගොල්ල පොත්ගුල් විහාරය රාමඤ්ඤ නිකායට අයත්. එම නිකායේ මධ්‍යම පළාතේ මූලස්ථානයත් ගල්ලෙන්ගොල්ලයි.

මෙහි කඳු බෑවුම පුරා කටාරම් කෙටූ ගල්ලෙන් 6ක් පැතිර තිබෙනවා. විහාරයට “ගල්ලෙන්ගොල්ල” යන නම ලැබී ඇත්තේ ඒ නිසයි.

විහාරය තුළ උඩරට සම්ප්‍රදායට අයත් සිතුවම් දැකගත හැකියි. ඒවා කලාත්මක වශයෙන් නම් එතරම් උසස් නැහැ. නමුත් විහාරයේ විශාල ප්‍රදේශයක් පුරා සිතුවම් පැතිර තිබෙනවා. උඩුමහලේ සිතුවම් කරවා ඇත්තේ පසුකාලීනව යි. එහි සටහන් කර තිබෙන්නේ 1915 දී එම මහලේ විහාරය නිමකළ බවයි. කුඩා දාගැබක් ද මෙහි දැකගත හැකියි. කඳු මතට පිවිසි විට අවට කඳුකරයේ අලංකාර දසුනක් පේනවා.

එදා බණ ඇසූ වටරප්පල

ඉංග්‍රීසින්ට රට යටත්ව තිබුණු යුගයේ බොහෝ පන්සල් විනාශ වුණා. ගම්වැසියන්ට දහම් අවබෝධය ලබාගැනීමට තැනක් නැති වූ නිසා ගම්මානවල ධර්මශාලා ඉදිකිරීමේ සිරිතක් ඒ කාලේ උඩරට පැවතුණා. ගැමියන් එකතු වී ඉදිකරගත් ධර්මශාලා කිහිපයක්ම උඩරට අදත් දක්නට ලැබෙනවා. වටරප්පල ධර්ම ශාලාව එවැන්නක්. ගල්ලෙන්ගොල්ල විහාරයට නුදුරින් වෙල්යායයක් අද්දර පිහිටා තිබෙන මෙය පුරාවිද්‍යා ස්මාරකයක් ද වෙනවා. අද එය පාළුවට ගිය තැනක්. පෙති උළු සහ  සිංහල උළු සෙවිලි කළ මේ ගොඩනැගිල්ල සිව් පැත්තෙන්ම දොරටුවලින් යුක්ත යි. එහි කුලුණුවල පේකඩ කැටයම් සහිත යි. පියස්ස තට්ටු තුනක් වන සේ ඉදිකර තිබෙනවා. සියස්ස දරා සිටින්නේ ගඩොල් කුලුණු වලින්. මැද පිහිටා ඇත්තේ කළුගල් කුලුණු හතරක්.

උරුලෑවත්ත ලෙන් විහාරය සහ පත්තිනි දේවාලය

ගල්ලෙන්ගොල්ල විහාරයට නුදුරින් මහාමාර්ගයේ ඉඳන් මීටර 100ක් පමණ කඳු බෑවුම බසිමින් මේ පුදබිම වෙත ගමන් කළ යුතු යි. අද මෙම ස්ථානය ප්‍රකට වී ඇත්තේ එහි ඇති පත්තිනි දේවාලය නිසයි. මෙහි විහාරයේ භික්ෂු වාසයක් නැති නමුත් ලෙන් විහාරය නවීකරණය කර තිබෙනවා. මකර තොරණක් යට වැඩහිඳින හිඳි බුද්ධ ප්‍රතිමාවක් එහි දැකගත හැකියි. විහාර මන්දිරයට යාබදව ඉදිකර තිබෙන්නේ දාගැබක්. එයට නුදුරින් පැරණි බෝධි වෘක්ෂය දැකගත හැකියි.

කෝට්ටේ හයවැනි බුවනෙකබා රජුගේ කාලයේ එම රාජධානියේ පැවති වියවුල් නිසා ඔහුගේ පැවිදි සහෝදර බුවනෙකබා තෙරුන් මේ විහාරයේ වැඩ විසූ බව පැවසෙනවා. පසු කාලයක විහාරයට ඉහළින් පිහිටි සින්දුරන් කන්ද නායයාම නිසා විහාරයත් දේවාලයත් වැනසී ගිය බවත් සඳහන්. උඩුනුවර ඇති පත්තිනි දේවාල අතරින් පැරණිම දේවාලය මෙය බවයි සැලකෙන්නේ.

තෙලඹුගල විහාරය සහ පිරිවෙණ

දවුගලින් හැරී එලදැත්ත පාරේ යන විට හමුවන පෙතියාගොඩ ගමේ කඳුගැටයක් ආශ්‍රිතව මේ පුදබිම පිහිටා තිබෙනවා. ගල්පර්වතය මත විහාරය ඉදිකර කර ඇත්තේ 1878 දී. වැලිගමුවේ අත්ථදස්සී තෙරුන් විසින් නුගවෙල පරපුරේ අනුග්‍රහයෙන් විහාරය ආරම්භ කළ බව සැලකෙනවා.

තෙමහල් විහාර ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ලංකාතිලක විහාරයේ ආකෘතිය අනුව යි. පහළ මාලය ධර්ම ශාලාව ලෙස සහ විහාරයක් ලෙසින් භාවිත කරනවා. උඩමහලේ විහාර මන්දිර තුනක් දැකගත හැකි යි.

උඩරට සම්ප්‍රදායේ පසුකාලයට අයත් බිතුසිතුවම් සහ මූර්ති වලින් විහාර මන්දිරය අලංකාර යි. පර්වතය මතට අවට කඳුකරයේ සුන්දර දසුනක් දැකගත හැකියි. පොත්ගුල, පොකුණු, බෝධි වෘක්ෂය, දාගැබ මෙන්ම හිටපු භික්ෂුන් වහන්සේලාගේ සොහොන් කොත් රැසක් ද ගල මුදුනේ දී දැකගත හැකියි.

එලදැත්ත ටැම්පිට විහාරය

තෙලඹුගල විහාරයට නුදරින් පිහිටි මේ ටැම්පිට විහාරය අද පාළුවට ගිය, විනාශ වූ පුරාවිද්‍යා ස්මාරකයක්. අද එහි භික්ෂූ වාසයක් නැහැ. කුඩා තේ වත්තක් මැද විහාර ගොඩනැගිල්ල පමණක් පිහිටා තිබෙනවා. වේදිකාවක් ඉදිකර, ඒ මත කුඩා ටැම්පිට විහාරය තනා තිබෙනවා. පියස්සකට සෙවිලි කර ඇත්තේ පෙති උළු යි.

මුලින්ම මෙය තනා තිබෙන්නේ නුදුරින් පිහිටි අරත්තන ගම්වැසියන් විසින්. පසුව 1815 දී දුම්පොල නම් හිමිනමක් විසින් ටැම්පිට විහාරය තනවා බෝධි වෘක්ෂයක් ද රෝපණය කර තිබෙනවා. අද විහාරය තුළ පිළිම හෝ බිතුසිතුවම් කිසිවක් දකින්න නැහැ. ඒවා විනාශ කර දමලා.

උඩඅළුදෙණියේ උළුවස්ස

ගම්පොළ යුගයට අයත් ප්‍රකට සිද්ධස්ථානයක් වූ මේ විහාරයේ අද ඉතිරි වී ඇත්තේ විශිෂ්ට කැටයමින් යුත් දැව උළුවස්සක් පමණ යි. මෙය අප රටේ උළුවහු අතර ඉහළම තැනක් හිමිකර ගන්නවා. අද එම උළුවස්ස මෙහි ඉදිකළ නවීන විහාරයට සවිකර තිබෙනවා. එහි කැටයම් කර තිබෙන්නේ නාට්‍යකරුවන්ගේ විවිධ රංග ලීලාවන්. මේ නිසා එය “රංගබාව” ලෙස හඳුන්වා තිබෙනවා. දැන් ඒ උළුවස්ස හඳුන්වන්නේ රඹාව යනුවෙන්.

18 වැනි සියවසට අයත් සෙල්ලිපියක් සහ එම කාලයටම අයත් දාගැබක් ද මෙහි දක්නට ලැබෙනවා. 2004 වර්ෂෙයේ දී මෙම කුඩා දාගැබේ කළ පුරාවිද්‍යා කැණීමකින් විශාල ලෝකඩ කරඬුවක් තුළ තැන්පත් කළ ලෝකඩ බුද්ධ ප්‍රතිමා 120ක් හමුවුණා. මේ පුරාවස්තුව දැන් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඉළුපැන්දෙණිය

නම්පොත හෙවත් විහාර අස්නේ සඳහන් රජමහා විහාරයක් වූ මෙය පිහිටා තිබෙන්නේ පේරාදෙණිය ගම්පොල පාරේ කඹුරාදෙණියට නුදුරින්. වෙල්යායක් මැද සුන්දර ස්ථානයක විහාරය පිහිටා තිබෙනවා. දෙවන පෑතිස් රජ කාලයේ මුල්ම බෝධිය රෝපණය කළ බව සඳහන්. ගම්පොළ යුගයේ දී මෙහි විහාරය හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වෙනවා.

මහනුවර යුගයේ දී දියුණුවට පත් මෙම විහාරයේ ඒ යුගයට අයත් බිතුසිතුවම් සහ ප්‍රතිමා දක්නට ලැබෙනවා.

කොටකේදෙණිය රජමහා විහාරය
නම්පෙත හෙවත් විහාර අස්නේ සඳහන් මෙම විහාරයට පේරාදෙණිය ගම්පොල පාරේ පිහිටි ගෙලිඔය දස්කර මාවතේ කි. මී. 2ක් ගමන් කර යළිත් කොටකේදෙණිය පාරේ  ළඟාවිය හැකියි.

ගඟුල්දෙණිය විජයොත්පා විහාරය
නම්පොත හෙවත් විහාරඅස්නේ සඳහන් වන මෙම විහාරය සින්ඳුරන් කන්දේ නැගෙනහිර බෑවුමේ පිහිටා තිබෙනවා. ඇඹිල්මීග-කිරිවවුල පාරේ ගොස් පරණ පට්ටිය පාරේ ගමන් කර මෙම විහාරය පැමිණිය හැකියි. ගම්පොළ හතරවැනි බුවනෙකබාහු රජුගේ අගමැතිව සිටි සේනාධිලංකාර විසින් මෙම විහාරය කරවා ඇතැයි පැවසෙනවා. පුරාණ විහාරය විනාශ වීමෙන් පසු 1892 දී ඉදිකළ විහාරයක් අද මෙහි දක්නට ලැබෙනවා.

කුඹල්ඔළුව ටැම්පිට විහාරය, වේගිරිය නාථ දේවාලය, හේන්දෙණිය ලෙන් විහාරය ආදී පුදබිම් ද උඩුනුවර දී දැකගත හැකියි.


(under the courtesy of roar.media web)

More News »