ජීවිත පූජාවෙන් පවා පිදුම් ලද රජමහා විහාරයක්්‍

2018-04-09 10:49:00       198
feature-top
අප මේ ගමන් කරන්නේ කුලියාපිටියේ සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගයේ කිතලව මංසන්ධියෙන් දකුණට ඇති ඇන්නරුව අතුරු මාර්ගයේ ය. මේ මාර්ගයේ සැතපුම් දෙකක් පමණ ගමන් කරන විට ඇන්නරුව ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරය හමුවේ. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දීයාවල ග්‍රාම නිලධාරි වසමට මේ පෞරාණික රජමහා විහාරය අයත් ය.

‍‍‍ඓතිහාසික තොරතුරු පවසන පරිදි මේ විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යයි. ඒ බව සනාථ කරන බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් මේ විහාරස්ථානයේ නව විහාර මන්දිරය පිටුපස ගල්තලාව මත දක්නට ලැබෙති. සිංහල සාහිත්‍ය වංශය කෘතිය රචනා කරන මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා තම කෘතියේ මේ සෙල් ලිපිය පිළිබඳ සඳහන් කර තිබේ. ‍ඓතිහාසික වෙස්සගිරිය සහ කොස්ගම කන්ද සෙල්ලිපිවල අක්ෂරවලට මේ සෙල්ලිපියේ අක්ෂර සමාන බව විශේෂඥයන්ගේ ද මතයයි. ඒ අනුව ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවයන ඉතිහාස කතාන්දරයක් මේ භූමියේ සැඟව පවතින බව විශ්වාස කෙරේ. මේ සෙල්ලිපිය තවමත් කියවා එහි අර්ථය විවරණය කර නොතිබීම නිසා මෙහි සැඟවී පවත්නා වටිනා ඉතිහාසය ලොවට අනාවරණය වී නොමැති බව ‍ප්‍රදේශවාසීහු පවසති.

කෙසේ වෙතත් ඇන්නරුව විජයසුන්දරාරාම විහාරයේ ඉතිහාසය දඹදෙණි අවදියේ කෘතිවල පවා සඳහන් ව ඇති බව විහාරස්ථානයේ දියුණුව පිළිබඳ නිතර මහන්සිවී වැඩ කරන දායකයකු වන ද ජේ.එච්.පිය‍සේන මහතා පවසයි. මේ පිළිබඳ මූලාශ්‍ර සහිතව විවිධ පොතපත භාවිත කරමින් ඔහු අපට විස්තර කළේය.

"කාලිංග මාඝගේ ආක්‍රමණය නිසා සිංහල පාලකයන් නිරිත දෙසට සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයක් ලෙස 3 වැනි විජයබාහු රජු දඹදෙණියේ රාජ්‍ය පාලනයක් ආරම්භ කරනවා. ඔහුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජු ත්‍රිසිංහලය එක්සේසත් කළ වීර නරපතියෙක්. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේ කාලිංග මාඝගේ ඥාතීත්වයක් ඇති චන්ද්‍රබානු නම් ජාවක පාලකයකු ලංකාව ආක්‍රමණය කරන බව පූජාවලියේ සඳහන් වෙනවා. දඹදෙණි යුගයේම ලියැවෙන පූජාවලියේ ඇති දඹදෙණි යුගයේ තොරතුරු සත්‍ය තොරතුරු බවට අවිවාදයෙන් පිළිගත හැකියි. ඒ අනුව පූජාවලිය චන්ද්‍රභානුගේ මරණය ද, ඔහුගේ බිරින්දෑවරු ආදී සියලු දෑ සිංහල සේනා භාරයට ගත් බව ද සඳහන් කරනවා. හතළිස් දහසක සේනාවක් සමඟ හලාවතින් ගොඩබසින චන්ද්‍රභානු ඇතුළු පිරිස පරාජය කිරීම සඳහා දෙවැනි පරාක්‍රමබාහු රජු චතුරංගනී සේනාව කැටුව ඓරාවණ හස්ති රාජයා පිට නැගී දඹදෙණියෙන් නික්මෙනවා. චන්ද්‍රභානු ද සිය සේනාව පිරිවරාගෙන පැමිණෙනවා. මේ දෙපිරිස අතර යුධ ගැටුම සිදුවන්නේ ඇන්නරුව විහාරස්ථානයට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි ගොඩකුඹුර වෙල්යාය තුළදීයි. ද්වන්ධ යුද්ධය අතරතුර පරාක්‍රමබාහු රජුගේ ජයකොන්තය චන්ද්‍රභානුගේ පපුව සිදුරු කර පිට පැත්තෙන් මතුවන ආකාරයට පරාක්‍රමබාහු රජු චන්ද්‍රභානුට ජයකොන්තයෙන් අනිනවා. මේ ඇන්න ආකාරයේ වීරත්වය සිහිකරමින් මේ ප්‍රදේශය “ඇන්නරුව” නමින් ප්‍රකට වෙනවා. මේ විජයග්‍රහණය සිහිවීම පිණිස ඇන්නරුව විජයසුන්දරාරාමය පිහිටු වූ බවයි ජනශ්‍රැතියේ තියෙන්නේ" පියසේන මහතා දීර්ඝ විස්තරයක් කරමින් පැවසුවේ ය.

මහනුවර යුගයේ බුදු සමය පරිහානියට පත්විය. ඒ සමඟම ශාසන පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් කරන වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ යුගයේ දී සිදුවිය. එහිදී උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුවක වන ඇන්නරුවේ අත්ථදස්සි හිමි විසින් ඇන්නරුව විහාරය භාරව කටයුතු කළ බවට සඳහන්වේ. බුදු සමයේ පරිහානි අවධියක බොහෝ ප්‍රදේශයන්හි ගණින්නාන්සේලා වැඩවිසූ යුගයකත් ඇන්නරුව විහාරය සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන්ගෙන් උපලක්ෂිත විහාරයක් වූ බවට සාක්ෂි ලැබේ.

මේ පරිහානි යුගයේ තිබූ ඇතැම් පූජා ක්‍රම හා සිතුම් පැතුම් ඒ තරම් ප්‍රඥා ගෝචර නොවුණත් මීට පෙර නො ඇසූවිරූ අපූර්ව පූජාවක් පිළිබඳ සෙල් සටහනක් ඇන්නරුව රජමහා විහාරයේ පිළිමගෙය පිටුපසින් හමුවේ. එහි සඳහන් වන්නේ ශතවර්ෂ එක්දහස් හතළිස් නවය වර්ෂයේ දුරුතු මස පුර අටවක ලත් සඳුදා රාත්‍රියේ දී සාපිටිගන් කෝරලයේ ලෝලුවාගොඩ සිල්වත් තැන විසින් බුදු සසුනේ පැහැදී ප්‍රදීප පූජාවකින් ජීවිතය පූජා කළබවත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ඔහු වෙනුවෙන් පූජා සත්කාර කොට පින් අනුමෝදන් කිරීම ශිලා ලේඛන ගත කළ බවත් ය.

පරිහානි යුගයක නිවැරදි බුදු දහම ඇසීමට ලැබීමේ ප්‍රසාදය මුල්කරගෙන ලෝලුවාගොඩ සිල්වත් තැන තමන්ගේ සිරුරේ රෙදි ඔතාගෙන ඊට තෙල් වත්කොට ගිනි තබාගෙන ප්‍රදීප පූජාවකින් ජීවිත පූජා කළ බව ඒ සෙල් ලිපියේ සඳහන්වේ. ඒ වගේ ම ඒ පුවත සිහිකිරීම උදෙසා පිහිටුවූ ශිලා ස්තම්භයක් ද ඒ අසල දැක ගැනීමට හැකිය. ඈත වෙල් යායේ සිට බලන කෙනකුට දුර සිට ම දැක සිත නිවා ගැනීමට හැකි ආකාරයට ඓතිහාසික ඇන්නරුව රජ මහා විහාරයේ බුබ්බුලාකාර දාගැබ් වහන්සේ දැක ගැනීමට හැකියාව ලැබේ. මේ පෞරාණික දාගැබ වරින් වර විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක් ව තිබෙන බව පෙනී යයි. එමෙන්ම ඒ යුගයේ සිට විහාරස්ථානය ශාස්ත්‍රෝන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර විද්‍යාමාන වන ආකාරයෙන් පුස්කොළ පොත් රාශියක් තවදුරටත් විහාරාධිපති පල්ලෙවෙල ආනන්ද හිමියන් සුරක්ෂිතව පවත්වාගෙන තිබේ. වර්තමානය වන විට නවීන සංඝාවාසයක් සහ දැවැන්ත වාහල්කඩක් පන්සල තුළ නිර්මාණය වී තිබේ.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »