මහනුවර ලෙන් විහාර වන්දනාව

2018-04-11 11:28:00       359
feature-top
මහනුවරට යන වැඩි දෙනෙක් නගරයේ හා අවට පිහිටි ප්‍රසිද්ධ පූජනීය ස්ථාන නරඹනවා මිස ඒ අවට පිහිටි ලෙන් විහාර ගැන නම් අවධානය යොමුකරන බවක් පේන්නේ නැහැ. මෙම ලෙන් විහාර බොහොමයක් මහනුවර රාජධානි යුගයටත් එහා ඉතිහාසයකට උරුමකම් කියනවා. සෙංකඩගල මහනුවර අගනගරයක් වශයෙන් බිහිවීමටත් පෙර සිටම මහනුවර අවට බෞද්ධ ප්‍රබෝධයක් පැවති බව මෙම විහාරවලින් අපට පේනවා. අපි මෙවර උත්සාහ කරන්නේ එවැනි ස්ථාන කිහිපයක් ගැන ඔබට පැවසීමටයි. ඔබට එක් දිනකින් මේ පුදබිම් දැකබලා ගැනීමට පුලුවන්.

කොළඹ සිට එනවා නම් මේ ගමන පිළිමතලාවෙන් ආරම්භ කළ හැකියි. පිළිමතලාවෙන් හැරී දවුලගල පාරේ ගිහින් වැඩිදෙනෙක් යන්නේ ගඩලාදෙනිය, ලංකාතිලකය වගේ ප්‍රසිද්ධ විහාරවලටයි. නමුත් අපි යන්නේ වැඩිදෙනෙක් නොයන ලෙන් විහාරයකටයි.

හේන්දෙනිය

පිළිමතලාවෙන් හැරී උඩුනුවර දවුලගල පාරේ යාමෙන් හෝ පේරාදෙනිය පැණිදෙනිය දවුලගල පාරේ හෝ හේන්දෙනියට ළඟාවීමට පුලුවන්. හේන්දෙනියට යන අතර අපට දවුලගල පැරණි අම්බලමත් දකින්න ලැබෙනවා.


නිස්කලංක වටපිටාවක පිහිටි විහාර බිම කඳු බෑවුමක දකින්න ලැබෙනවා. එහි ගම්පොළ යුගය, මහනුවර යුගය සහ නූතන යුගය නියෝජනය කරන විහාර තුනක් දකින්න ලැබෙනවා. ගම්පොළ යුගයට අයත් ලෙන් විහාරය කරවා ඇත්තේ ගම්පොළ තුන්වන වික්‍රමබාහු රජුගේ බිසව වූ හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය විසින් බව පැවසෙනවා. පැරණි ශිලාමය හිඳි බුද්ධ ප්‍රතිමාවක් ( බදාම ආලේප කළ)  ලෙන තුළ දකින්න පුලුවන්.

මේ ලෙන් විහාරයට බටහිරින් මහනුවර යුගයට අයත් විහාරය පිහිටි පොළොවේ ඉදිකර තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1812 දී මේ විහාරය තනවා ඇති බව සඳහන්. උඩරට සම්ප්‍රදායට අයත් අපූරු බිතුසිතුවම් රාශියක් සහ ප්‍රතිමා ද  මෙහි තිබෙනවා. ඒවා නවීකරණය කර නැති නිසා අගයෙන් ඉහළයි.

දැනට අවුරුදු 60කට පමණ පෙර ඉදිකළ ලෙන් විහාරයක්ද මෙහි දැකගත හැකියි. එය නූතන විහාරාරංගවලින් අලංකාර කර තිබෙනවා. විහාරයේ බෝධි වෘක්ෂ කිහිපයක් ලෙන්වලට ඉහළින් කඳු බෑවුමේ දකින්න පුලුවන්.

හිඳගල ලෙන් විහාරය

හේන්දෙනිය දැකබලාගෙන ඉදිරියට යනවිට අපි පේරාදෙනියට ළඟාවෙනවා. පේරාදෙනියෙන් හැරී ගලහ පාරේ කි. මී. 3ක් ගමන් කළ විට හිඳගල ලෙන් විහාරයට මඟ පෙන්වන නාම පුවරුව හමුවෙනවා. එම විහාරය පිහිටා ඇත්තේ හන්තාන කන්දේ බෑවුමකයි. මහා මාර්ගයේ සිට මඳක් ඉහළ බිමක පිහිටි විහාරයට ගමන් කිරීමට පියගැට පෙළක් සකසා තිබෙනවා. මෙම විහාරය මල්වතු මහා විහාරයට අයත් විහාරස්‌ථානයක්. පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක්.

හිඳගල විහාරය වළගම්බා රාජ්‍ය සමයට අයත් බව ජනප්‍රවාද පවසයි. මෙහි ඇති  ශිලා ලිපිවලින් අනුරාධපුර යුගයට අයත් බවට නිශ්චිත සාධක ලැබෙනවා. පර්වතවල කොටා ඇති 6 සහ 7 සියවස්වලට අයත් සෙල්ලිපි දෙකක් මෙහි දක්නට ලැබෙනවා. මහනුවර හමුවන විශාල ලෙන් විහාරයක් වශයෙන් හිඳගල නම්කළ හැකියි. ලෙන් විහාරයේ කටාරමට යටින් පර්වත වියනේ අනුරාධපුර යුගයට අයත් අගනා සිතුවමක් පිහිටා තිබෙනවා.

හිඳගල සිතුවම

එහි පැරණි සිතුවම් දෙකක් තිබෙනවා. එනම් තපස්සු හා භල්ලූක වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේට  දානය පිළිගැන්වීම සහ ඉන්ද්‍රශාල ගුහාවේදී ශක‍්‍ර (ඉන්ද්‍ර) දෙවියන් බුදු රජුන් බැහැ දැකීම එහි දැක්වෙන බව පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. මෙම චිත‍්‍රවල රේඛා දක්වා ඇත්තේ දුඹුරු පාටින්. කහ, රතුවන් දුඹුරු, කොළ, සුදු වැනි වර්ණ හතර භාවිතා කර තිබෙනවා. ආචාර්ය එල්. ටී. පී. මංජු ශ්‍රී පවසන්නේ මේ චිත‍්‍රයත් සීගිරි චිත‍්‍රවලටත් වඩා පැරණි බවයි.

මෙය මුලින්ම ඉන්ද්‍රපාල ගුහා වශයෙන් හඳුන්වන්නට ඇති අතර පසුව හිඳගල වී ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසනවා. ගම්පල යුගයේ  දී මෙම විහාරස්‌ථානය නැවත ප්‍රතිසංස්‌කරණයට ලක්‌වී තිබෙනවා. හෙනකඳ බිසෝ බණ්‌ඩාර දේවියගේ අනුග්‍රහය හිඳගලට ලැබී ඇති බව ජනප්‍රවාද පවසනවා. පැරණි චිත්‍රය මේ වනවිට බොහෝ දුරට විනාශ වෙලා. නමුත් එහි පිටපත් කළ චිත්‍රයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. මෙය 6 වැනි සියවසට අයත් බව පරණවිතානගේ විශ්වාසයයි. බුදුන් වහන්සේ දැක්වෙන අප රටේ පැරණිම සිත්තම වන්නේ මෙයයි.

ලෙන් විහාරය තුළ උඩරට සම්ප්‍රදායේ බිතුසිතුවම් දැකගත හැකියි. වෙස්‌සන්තර ජාතකය, දහම්සොඬ ජාතකය, සූවිසි විවරණය, සත්සතිය, මාර පරාජය, සුජාතාවගේ කිරිපිඬු දානය, මහා අභිනිෂ්ක්‍රමණය ඇතුළත් චිත්‍ර එහි බිත්ති අලංකාර කරනවා. එක් ලෙනක කුඩා දාගැබක් ද පිහිටා තිබෙනවා. ඉංග්‍රීසින්ට ලක්‌දිව යටත්වූ පසුව පුසුල්පිටියේ සඟවා තිබූ දළදා සමිඳුන් මහනුවර වැඩම කරවන අතර තුර හිඳගල විහායේ දිනක්‌ තැන්පත් කර තිබූ බවත් සඳහන් වෙනවා.

කටාරංගල
මෙම විහාරයට යාමට පේරාදෙනියේ ගන්නෝරුව පාලම අසලින් ඇති හල්ලොලුව පාරේ කි. මී. 5ක් පමණ ගමන් කළ යුතුයි.

කාටත් හුරුපුරුදු නමක් තමයි කටාරංගල කියන්නේ. එයට හේතුව මෙම ලෙන් විහාරයේ තැන්පත් කර තිබූ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව කිහිප වරක්ම හොරු ගෙනයාම නිසා ඇතිවූ ප්‍රසිද්ධියයි. පසුව සොයාගත් මෙම පිළිමය දැන් දැඩි ආරක්ෂිත රැකවරණ යටතේ තැන්පත් කර තිබෙනවා.  කටාරම් සහිත ලෙන් නිසා කටාරංගල වූ බවයි පැවසෙන්නේ. රන් පිළිමය මලියදේව රහතන් වහන්සේ ඉන්දියාවෙන් වැඩම කරවූ බව පැවසෙන පිළිම හතරෙන් එකක් ලෙස මෙම රන් පිළිමය සැලකෙනවා. මෙම කුඩා පිළිමය උසින් අඟල් 11ක්. මෙහි කුඩා කෞතුකාගාරයක්ද පිහිටා තිබෙනවා. මහනුවර යුගයට අයත් පුස්කොළ පොත්, පැරණි කාසි, මැටි භාජන, දැව කැටයම් ආදී පුරාවස්තු රාශියක් එහි දැකගත හැකියි.

පසුකාලීන ප්‍රතසංස්කරණ නිසා ලෙන් විහාරය තුළ බිතුසිතුවම් ආදියේ නම් ඓතිහාසික වටිනාකම නම් විනාශ වෙලා.

දූල්වල ලෙන්
හල්ලොලුව හන්දියෙන් වමට යන බරීගම පාරේ මඳ දුරක් යන විට දුල්වල ගම හමුවෙනවා. මේ ගම පිටුපසින් කඳුගැටයක් ඇදී යනවා. එහි වනබදව පිහිටි ලෙන් හතරක ක්‍රිස්තූ පූර්ව යුගයට අයත් සෙල්ලිපි හතරක්  හමුවෙනවා. එම ලෙන් ප්‍රාදේශීය ප්‍රධානින් විසින් කරවා භික්ෂු සංඝයා උදෙසා පූජා කිරීම ගැනයි සෙල්ලිපිවල දැක්වෙන්නේ.

කොටමුදුන්ගල ලෙන් විහාරය

දූල්වල පසුකරගෙන ඉදිරියට ගිය විට අප වැටෙන්නේ කටුගස්තොටටයි. එහි කුරුණෑගල පාරේ මඳ දුරක් ගමන් කර හෑදෙනියේදී දකුණට වැටී ඇති හරංකහව පාරේ කි. මීටරයක් යන විට ගල්ලෑල්ල නොහොත් මොලගොඩ කොටමුදුන්ගල ලෙන් විහාරය හමුවෙනවා. හල්ලොලුව සිට පැමිණ අරඹේ කන්ද හන්දියෙන් හැරී මොලගොඩට පැමිණෙන්නත් පුළුවන්. මෙම රජ මහා විහාරය ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් . ක්‍රි.පූ. 2-3 වන සියවස් වල දී දෙවනපෑතිස් රජතුමා විසින් මෙම පුදබිම කරවන්නට ඇති ඇති කියල තමයි විශ්වාස කරන්නේ.


ලෙන් විහාරය – Staycation.lk

මෙම විහාරයෙත් ක්‍රි.පූ. 3-2 සියවස්වලට අයත් කළ හැකි ශිලා ලේඛනයක් හමුවෙනවා. බ්‍රාහ්මී අක්ෂරයෙන් කෙටූ එහි පරුමක ශූරීගේ පුත් පරුමක බ්‍රාහ්මණදත්තගේ ලෙන සංඝයාට පූජා කිරීම ගැක කියවෙනවා. මෙහි ලෙන තුළ පිහිටි විහාරයේ උඩරට කලා සම්ප්‍රදායට අයත් හිඳි බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙනවා. එහි බිතුසිතුවම් පසුකාලීනව ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

මහනුවර කලා සම්ප්‍රදාය අනුව නිමකළ බුදුපිළිම වහන්සේ දෙනමක් මේ විහාරයේ දක්නට ලැබෙනවා. කුමාර බණ්ඩාර නම් ප්‍රාදේශිය දෙවියෙකු උදෙසා වෙන් කළ දේවාලයකුත් විහාර භූමිය තුළ පිහිටා තියෙනවා. ථුපයක් සහ ඉපැරණි බෝධි වාක්ෂයක් දක්නට ලැබෙනවා. විහාර බිමට නුදුරින් ඉහළට ඇදීයන  කොටමුදුන්ගල පර්වතය මුදුනේ සිළුමිණ සෑය නම් තවත් කුඩා චෛත්‍යයක් දක්නට ලැබෙනවා. නිස්කලංක වන රොදක් මැදින් මේ පර්වතය මුදුනට ගිය විට අවට සුන්දර දසුනක් නෙත ගැටෙනවා.

දියකෙලිනාවෙල

මහනුවර සිට ආපසු පැමිණෙන අතර ඔබට මේ ලෙන් විහාරය නැරඹීමට හැකියි. පිළිමතලාව නගරයේ ඔරලෝසු කණුව හන්දියෙන් වමට හැරී මල්ගම්මන මාර්ගයේ දොඩම්වල අසලට පැමිණ දියකෙලිනාවල විහාරයට ළඟාවීමට පුලුවන්.

අනුරාධපුර යුගයේ කිත්සිරිමෙවන් රජුදවස දියනෑමට ගිය කුමාරවරු හත්දෙනෙක් හදිසියෙන් මරු දැකීම නිසා දියකෙළිනාවල වූ බවට ජනප්‍රවාදයක් ද පවතිනවා.  කටාරම් කොටන ලද ගල්ලෙන බිත්ති මගින් කුටි හතරක් ලෙස වෙන්කර තිබෙනවා.  මෙහි ඇති ලී කැටයම් සහිත දොර උළුවස්ස උඩරට කැටයම් කලාවට උදාහරණ සපයනවා.

ජලය පිටතට ගැනීම සඳහා ඇති කාණු සංකීර්ණය හා ජලය පිටතට ගැනීම සඳහා යොදා ඇති ගල්පිහිල්ල කදිම නිර්මාණයක්. සැතපෙන පිළිමයක්, බිත්තිවල බිතුසිතුවම් හා වියන් චිත්‍ර ද විහාරකුටි හතර තුළ දක්නට ලැබෙනවා. නමුත් මෙහි බිතුසිතුවම්වල ඉහළ කලාත්මක අගයක් දැකගත නොහැකියි.


(under the courtesy of roar.media web)

More News »