කැබැල්ලෑලෙන පුරාණ රාජමහා විහාරය

2018-04-19 10:18:00       198
feature-top
පැරැණි ඉදිකිරීම් ශෛලිය වෙනස් නොකොට ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන ඓතිහාසික කැබැල්ලෑලෙන පුරාණ රාජමහා විහාරය ඉතා දුර්ලභ ගණයේ පුණ්‍ය භූමියකි.


ලෙන තුළ ධර්ම ශාලාව


ඉපැරණි දාගැබ


විහාරාධිපති හිමියෝ

නීල හරිත තුරුලතා පිරිවරාගත් සිත් වසඟ කරවන පරිසරයක පිහිටි මෙම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දාගම ග්‍රාම නිලධාරී වසමේය. ගහ කොළ මැදින් දිවෙන විහාරස්ථ මාර්ගයේ ගමන් ගන්නා කෙනෙකුට විහාර භූමියට පිවිසෙත් ම නෙත ගැටෙන්නේ පෙර රජ දවස සිට පැවත එන කන්ථුක සෑයයි. යූපස් නමින් ද එය හැඳින්වේ.

කැබැල්ලෑලෙන පුරාණ රජමහා විහාරයෙහි ඓතිහාසික වටිනාකම තවත් ඉහළ නංවන්නේ එහි යෝධ ගල් කුලක් යට ඉදිකර ඇති ලෙන් සමූහයයි.

පළමු ලෙන තුළ රජ දවස සිට පැවත එන ගම්භාර සිද්ධ සූනියම් දේවාලය අදට ද දකින්නට ලැබේ. ඊළඟ ලෙනෙහි බොහෝ පිරිසකට එකවර නේවාසිකව සිටිය හැකි ධර්මශාලාවකි. ඒ තුළින් පිවිසෙන ලෙනක විහාර ගෘහයකි. එහි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ ඔත් පිළිමයක් ද වේ. ඊට පිටු පසින් දේවතා රූප ඇතුළු තවත් ප්‍රතිමා කිහිපයක් ද දැකගත හැකි ය. එම සියලු ඉදිකිරීම් හුණු සහ මැටි බදාම මිශ්‍රකර අලංකාර ලෙස නිමවා තිබීම සුවිශේෂී ය.

මෙම නිර්මාණ අනුරාධපුර යුගයට අයත් බවත්, මෙම පුද බිම දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී ඉදි වූ බවත් මහාවංශයෙහි ද, පුරා විද්‍යා වාර්තාවල ද තොරතුරු ඇතුළත් ය. ඉන්පසු කාලීනව වලගම්බා රාජ සමයේ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී ප්‍රතිසංස්කරණය කර ඇති අතර එදා සිට මේ දක්වා කැබැල්ලෑලෙන පුරාණ රජමහා විහාරයෙහි වෙනත් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු වී නැත. මේ තත්ත්වය නිසා ගල්ලෙනෙහි වහළයේ මෙන් ම බිත්තිවල ඇති පැරැණි සිතුවම් සියල්ල ම පාහේ දුර්වර්ණ වී තිබේ.

ඉපැරැණි බව වෙනස් නොවී සුරැකෙන මේ ඓතිහාසික පින් බිම මතු පරපුරට ද මේ ලෙසින් ම සුරැකිව රැකදිය යුතු බව මෙහි පැමිණෙන වන්දනාකරුවෝ පවසති. 1970 වසරේ සිට 2003 වසර දක්වා මෙහි විහාරාධිපතිි හිමිවරු පනස් අට දෙනෙකු සිට ඇත. විවිධ දුෂ්කරතා නිසා උන්වහන්සේලා මෙම ස්ථානයෙන් ඉවත් ව ගොස් තිබේ. විහාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ විහාරාධිපති රාවාඇල සුධම්ම හිමියෝ පවසන්නේ දේවාලයක්, ධර්ම ශාලාවක්, විහාර ගෙයක් ගල් ලෙනක් තුළ තිබෙන දිවයිනේ එකම පුදබිම වන බවයි. “1965 දී මෙය පුරාවිද්‍යා සංරක්ෂණ පුදබිමක් බවට පත් කරනු ලැබුවා. හැබැයි කළ සංරක්ෂණයක් නම් නැහැ. අපට මේවා සංරක්ෂණය කරන්නත් බැහැ. විහාරස්ථානයට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. දායකයන් ටික දෙනයි සිටින්නේ. තිබුණු ධර්ම ශාලාව කඩා වැටුණා. අලුත් ශාලාවක් ඉදිකරන්න පටන් ගත්තා. ඒත් මුදල් නැති නිසා ඉදිකිරීම් නැවතිලා. "සිදූ" ටෙලි නාට්‍ය රූප ගත කළේ මෙම විහාර භූමියේ යි. මෙය රූපවාහිනියෙන් නැරඹු අය දැන් විහාරය වන්දනාමාන කරන්න එනවා. විහාරය වන්දනා කරන්න එන අයට පහසුකම් දෙන්න විදියක් නැහැ. මේ විහාරය පිළිබඳ අවධානය යොමු කොට සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ බුද්ධශාසන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා” යි උන්වහන්සේ පවසති.

නිදන් හොරුන්ගේ විවිධ ගැහැට මැද සුධම්ම හිමියෝ මෙම පින්බිම රැකගනුයේ තනිව ම ය. ගමේ තරුණ පිරිස් නිරන්තරයෙන් උන්වහන්සේගේ සහායට සිටිති.

මෙය සම්පූර්ණයෙන් ම සොබාදහම සහ පරිසරය සමඟ එකට බැඳුණු පුණ්‍යස්ථානයකි. මෙහි කිසිදු අංගයක් නවීකරණයට ලක්වී නොමැත. අපේ ප්‍රෞඪ ඉතිහාසය ලොවට හඬගා කියන පුරාවස්තු රැසක් සහිත මෙම පින්බිම මතු පරපුර උදෙසා රැකගැනීම වගකීමකි.

courtesy : budusarana.lk


More News »