බිංගිරිය දේවගිරි රජමහා විහාරය

2018-05-01 11:35:00       198
feature-top
හලාවත නැව්තොට යනු අනුරාධපුර යුගය දක්වා ඈත අතීතයකට උරුමකම් කියන ප්‍රධාන නැව්තොටකි. විදේශීය වෙළෙඳුන් මෙන් ම ආක්‍රමණිකයන් පවා මෙලකට ගොඩබට ස්ථානයක් ලෙස හලාවත නැව්තොට හැඳින්විය හැකි ය. හලාවත නැව්තොටින් වෙළෙඳාම උදෙසා ලංකාද්වීපයට ගොඩබට භාරතීය වෙළෙන්දෝ රත්න වැලිමංගොඩනැගිල්ල නම් වූ භූමියට ළඟා වූහ. අප මේ කතා කරන්නේ දෙවන පෑතිස් රජ දවස සිදුවූ සිදුවීමක් පිළිබඳ පුරාවෘත්තයකි. භාරතීය වෙළෙන්දෝ තමන්ට වැඳුම් පිදුම් කිරීම උදෙසා වැඩමවාගෙන පැමිණි ධාතූන් වහන්සේලා රත්න වැලිමංගොඩනැගිල්ලෙහි තබා පුද පූජා කරන්නට වූහ. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ අඩවියක් වූ මේ භූමියේදී ධාතූන් වහන්සේලා බිම ගිලීමක් සිදුවිය. ඒ නිසා ම ධාතූන් වහන්සේලා බිම ගිලී ගිය මේ රත්න වැලිමංගොඩැල්ල ඇතුළත් ප්‍රදේශයට 'බිං ගිලිය' යයි ව්‍යවහාරවී නැවත 'බිංගිරිය' යන නාමකරණයට ලක්විය.

ධාතූන් වහන්සේලා ගිලාබැසීම සිදු වූ රත්නවැලිමංගොඩැල්ලෙහි නැවත ධාතූන් හා නිධන් වස්තු තැන්පත් කිරීම වැනි චාරිත්‍ර සිදුකර අංග සම්පූර්ණ දාගැබක් එකී වෙ‍‍ළෙඳුන් අතින් නිර්මාණය විය. ඒ අනුරාධපුර රාජධානියේ රජකළ මහානාග රජු යුවරජ වශයෙන් සිටින අවධියේදී ය. දෙවියන්ගේ බලමහිමය ක්‍රියාත්මක වූ මේ විහාරය වර්තමානයේ හැඳින්වෙන්නේ බිංගිරිය දේවගිරි රජමහා විහාරය නමිනි.

හලාවත කුරුණෑගල මාර්ගයේ හලාවත සිට කිලෝමීටර 16 ක් දුරින් හමුවන බිංගිරිය පන්සල් හන්දියෙන් උතුරු දෙසට දිවෙන මාර්ගයේ කිලෝමීටර 1 ½ ක දුරින් බිංගිරිය දේවගිරි රජමහා විහාරය පිහිටා තිබේ. බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිංගිරිය ග්‍රාමනිලධාරී බලප්‍රදේශයට අයත් මේ විහාරයේ විහාරාධිපති ධුරය හොබවන්නේ සත්කෝරල මහදිසාවේ ප්‍රධාන සංඝනායක මලගනේ අත්තදස්සි නාහිමිපාණන් වහන්සේ ය. එමෙන් ම බෝගොල්ලේ සුමන හිමි, පඬිවෙල සෝරත හිමි, රත්මලේ සාරධ හිමි යන ස්වාමීන් වහන්සේලා ද මේ මේ විහාරයේ වැඩ වසති. විහාරාධිපති මලගනේ අත්තදස්සි හිමි මේ පුරාණ විහාරයේ ගොඩනැඟීම පිළිබඳ මෙසේ අදහස් පළ කළහ.

“ජනශ්‍රැතිගත ඓතිහාසික පුරාවෘත්ත අනුව පළමුවැනි අග්බෝ රජ සමයේ මේ වෙහෙර විශාල කර ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මහා පරාක්‍රමබාහු රජුගේ රාජ්‍යත්වයට පෙර ඔහු දක්ඛිණ දේශයේ වෙහෙර විහාර ගොඩනගිමින් පරාක්‍රමපුර වාසය කළ බව අතීතයේ සඳහන් වෙනවා. පරාක්‍රමපුර කියන්නේ පඬුවස්නුවරයි. පඬුවස්නුවර පිහිටා තිබෙන්නේ කිලෝමීටර 18 ක් පමණ මේ ආසන්නයේමයි. පරාක්‍රමබාහු යුවරජු මේ විහාරය නැවත අලුත්වැඩියා කළ බවක් සඳහන් වෙනවා. ඉන්පසු ප්‍රතිසංස්කරණයක් පිළිබඳව සඳහන් වෙන්නේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු කළ ප්‍රතිසංස්කරණයයි. මේ වන විට වර්තමාන ප්‍රතිසංස්කරණයන් ට ද යටත්ව චෛත්‍යය රියන් 45ක උසින් යුතුයි”.

විහාරාධිපති ස්වාමීන් වහන්සේ සඳහන් කරන ආකාරයට මේ විහාරයට විශාල වශයෙන් ගම්වර පූජා සිදුවී ඇත්තේ පළමු වැනි අග්බෝ රජ (ක්‍රි.ව.5 සියවස) දවස ය. අග්බෝ රජු විශාල ගම්වරයක් ද වැවක් ද අමුණු 200 ක් හා ඉහළ පට්ටියාවෙල, පහළ පට්ටියාවෙල කුඹුරු යායක් අස්වද්දා වෙහෙරට පූජා කර ඇත. ‍එමෙන් ම මේ වැව් අමුණු හා විහාරය ආරක්ෂා කර ගැනීම සඳහා ඈපා, මාපා, ඉමියා, හිටි, හේරත් යන පංචප්‍රධාන භාරකාර මණ්ඩලයක් ද පත්කර තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

එමෙන් ම මේ විහාරයේ බෝධියේ ඉතිහාසය කාලනිර්ණය කළ නොහැකි නමුත් පළමුවැනි අග්බෝ රජු ද මේ බෝධිය වන්දනාමාන කළ බව සඳහන් වේ.

මේ විහාරයේ ඓතිහාසික සාධක පිළිබඳ ව විමර්ශනය කරන විට අග්බෝ රජ විසින් චෛත්‍යයට බටහිර දෙසින් දෙමහල් උපෝසථාගාරයක් ද දකුණින් බුද්ධ ප්‍රතිමා තුනක් සහිත බුදු මැඳුරක් ද, ඊට නැඟෙනහිරින් බුද්ධ ප්‍රතිමා හතක් සහිත අටපට්ටම් මැඳුරක් ද නැඟෙනහිරින් තවත් කුඩා වටදාගෙයක් ද ඊට නැඟෙනහිරින් බෝධිය ද පිහිටුවූ බව කියැවේ. චෛත්‍යයට බටහිර දෙසින් වූ දෙමහල් උපෝසථාගාරයේ ශේෂ වූ ගල්කණු වර්තමානයේ ද දැකගත හැකිවේ. ඒ ආසන්නයේ ම තවත් විනාශ වී ගිය ගොඩනැගිල්ලක ගල්කණු දැක ගත හැකි ය. එමෙන් ම චෛත්‍යයට නැඟෙනහිරින් හමුවන ගල් කණු මෑත කාලීන ව පැරණි ගල් කණු එක්කර සාදන ලද සංඝාවාසයක නටබුන් බව විහාරාධිපති හිමියෝ සඳහන් කරති. එමෙන් ම අතීතයේ වන්දනාමාන කළ සෙල්පිළිමයක කැඩීගිය ක්වන්ධ කොටසක් දෙකට කැඩී විහාර භූමිය තුළ තිබෙනු දැකගත හැකිවේ.

මේ විහාරයේ සුවිශේෂ පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ ටැම්පිට විහාරයයි. 18 වැනි සියවසේ මහනුවර රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ මේ ටැම්පිට විහාරය කරවා ඇත. එක් පෙළකට අඩි 06 ½ ක පමණ උසින් යුතු ගල්කණු 06 බැගින් අඩි 4 ක පළලින් සමාන්තර ව තවත් ගල්කණු 06ක් පිහිටා ඇත. පළලින් අඩි 10කින් යුතු ගල්කණු 12 කින් යුතුව ගල්කණු 24 ක් මත විශාල ලී බාල්ක දමා අඟල් 2ක ඝනකම සහිත ලෑලි යොදා ඒ මත වරිච්චිබිත්ති බැඳ කපරාරු කර හුණු පිරියමින් කළ පිටත බිත්තියේ සූවිසි විවරණය ආදී සිතුවම් ඇඳ ඇත. මෙහි යටි මහලේ දිග අඩි 40.5 හා පළල අඩි 28.2 ක් වේ. මෙය ලංකාවේ විශාලතම ටැම්පිට විහාරය ලෙස සැලකේ.

මේ විහාරස්ථානයේ වර්තමාන සංඝ පරම්පරාව ආරම්භ වන්නේ 1753 දී උපසම්පදා වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වන ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගෙනි. සත්කෝරල මහ දිසාවේ සංඝනායක ධුරය ලබන සංඝරක්ඛිත හිමි මැද්දෙපොළ රජමහා විහාරයේ වාසය කළ අතර “සංඝරාජ වචනං” ලෙස තල්පතක ලියා උන්වහන්සේට බිංගිරිය දේවගිරි රජමහා විහාරය ද භාර කරන ලදී. සංඝරක්ඛිත හිමිගේ ශිෂ්‍ය භික්ෂුවක වන මීණෑවේ සුමන හිමි මේ විහාරයේ නේවාසිකව වැඩ වාසය කළ අතර පසුව පිළිවෙළින් ගස්නාවේ ඉන්ද්‍රජෝති හිමි, එලිවිටියේ ගුණරතන හිමි, මලගනේ අත්තදස්සි හිමි, මලගනේ සරණංකර හිමි සහ වර්තමාන විහාරාධිපතිව වැඩ වාසය කරන මලගනේ අත්තදස්සි හිමි යන හිමිවරු ද විහාරාධිපති ධුරය දරා ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ ද මේ පින් බිමේය.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »