නැකත් 28 ම සිත්තමින් දැක ගත හැකි පැරණි පන්සලක්

2018-05-04 10:32:00       198
feature-top
අපේ ජන සාමාජයෙන් බහුතරයක් ‍ජ්‍යෙතිෂයෙන් එන නැකැත් හා ලග්න පලාපල විශ්වාස කරනවා. ඒ වගේම ජ්‍යෙතිෂයේ එන රාශි 12 රූප සටහන් වශයෙනුත් අපට හඳුනාගන්නට පුළුවන්. නමුත් ජ්‍යොතිෂයේ එන නැකැත් 28 රූප මාධ්‍යයෙන් දැක ගැනීමට බොහෝ දෙනෙකුට අවකාශ ලැබෙන්නේ නැහැ. එමෙන්ම එම නැකැත් රූප මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකි බවක්වත් අදත් බොහෝ දෙනෙකු දන්නේ නැහැ.

(නැකත් 28 චිත්‍රණය කොට ඇති අයුරු)

ඒ කෙසේ හෝ ජනාකීර්ණ කිරිබත්ගොඩ නගරයෙන් මඳ දුරක් යන විට හමුවන මාකොළ හන්දියෙන් හැරී තවත් කෙටිදුරක් තුල හමුවන ගලේ පන්සල හෙවත් සපුගස්කන්ද රජමහා විහාරයේ පැරණි බුදු මැදුරේ මෙම නැකත් 28 සහිත පැරණි සිත්තමක් දකින්න පුළුවන්.

මෙම ඉතිහාසගත තොරතුරුවලට අනුව මෙම බුදු මැදුර ඉදිකොට ඇත්තේ කන්ද උඩරට රාජ්‍යය කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 -1739) විසින්. ජ්‍යෙතිෂය ඇදහීම සහ නැකැත් පිළිපැදීම මූලික බුදු සමය හා බද්ධ නොවූවත් මේ කියන කාලය වන විට වෛදික හින්දු සම්ප්‍රදායේ ජ්‍යෙතිෂය අපේ බුදු සසුන තුළට බරපතල ලෙස කාවැදී තිබුණා. ඒ සඳහා දැක්විය හැකි ප්‍රබලතම ඵෙතිහාසික නිදසුනක් තමයි මෙම විහාර චිත්‍රය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු යුගයේ සිට ඉංග්‍රීසි යටත් විජිත යුගය දක්වා සියවස් එකහමාරක පමණ කාල පරාසයක් පුරා දිවයන බුද්ධ ප්‍රතිමා, දේවප්‍රතිමා සහ බිතිසිතුවම් මෙම විහාරය තුළ දැකගන්නට පුළුවන්.

ඒ වගේම චිත්‍ර සහ මූර්ති කලා ඉතිහාසය හදාරන්නවුන් හටත් අතිශය වැදගත් කලා නිකේතනයක් වන මෙම විහාරය තවත් අංග රැසකින් සමන්විත බව කිව යුතුයි. මෙහි විහාරාධිපති පූජ්‍ය දරනාගම සිරිඥාණසිරි හිමියන්ගේ අප්‍රතිහත ධෛරය නිසා මෙම පැරණි විහාරස්ථානය බොදු බැතිය වඩවන හා සිත්ගන්නා සුළු නවාංග රැසකින් අලංකෘත කර තිබෙනවා.

අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව සහ අසූ මහා ශ්‍රාවක බුද්ධ ප්‍රතිමා ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. එනිසා තෙරුවන් නැමදීමට අමතරව මෙරට ශාසන ඉතිහාසය මහනුවර යුගයේ සිට චිත්‍ර සහ ප්‍රතිමා කලාවේ විකාශනය ආදිය පිළිබඳ අධ්‍යයනය කිරීමට කැමති ඔබ කාටත් පහසුවෙන් යා හැකි පුදබිමක් ලෙස මෙම සපුගස්කන්ද රජ මහා විහාරය හඳුන්වන්න පුළුවන්.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »