බෞද්ධ හින්දු සහජීවන සලකුණ- ගඩලාදෙණිය

2018-05-24 11:26:00       0
feature-top
මහනුවර වන්දනාවේ යන වැඩි දෙනෙක් වැඳපුදා ගන්නා ගම්පොළ යුගයට අයත් රජමහා විහාරයක් තමයි ගඩලාදෙණිය. ගඩලාදෙණියත් බලාගෙන ලංකාතිලකය (ඒ ගැන ලිපියක් අපි කලින් ලිව්වා) වැඳගෙන, ඇම්බැක්කේ දේවාලයත් බලාගෙන නුවර යාම වැඩි දෙනාගේ සිරිතක්. පිළිමතලාව හන්දියෙන් හැරිලා දවුලගල පාරේ කි. මී. 1ක් ගමන් කරන විට මහමාර්ගය අසලම තරමක් උස් පර්වතයක පිහිටි මේ විහාරය අප නෙත ගැටෙනවා. පිත්තල බඩු කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ගේ වෙළෙඳසැල් විහාරය අවට පැතිර තිබෙනවා.

ඉතිහාසය

ගඩලාදෙණිය විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14 වන සියවස දක්වා දිවයනවා. පැරණි මූලාශ්‍රයන්ට අනුව මෙම විහාරය පළමුවන සීලවංස ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි හතරවන බුවනෙකබාහු (1341-1351) රජු විසින් ඉදිකරන ලද්දක්. රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බවත්, ඔහු  දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීගේ සැලසුමකට අනුව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වෙනවා. මුල් කාලයේ ධර්මකීර්ති විහාරය නමින් මේ විහාරය හඳුන්වන ලද බව ඉතිහාස මූලාශ්‍රවලින් පේනවා.

ගම්පොළ යුගයේ වාස්තු විද්‍යා ලක්ෂණ හෙළිකරන මෙය ගල් පර්වතයක් මත ඉදිකළ විහාරයක්. විහාරය පිළිමගෙය, පිවිසුම් තොරණකින්, චෛත්‍යයකින්, බෝධි වෘක්ෂයකින්, සංඝාවාසයකින්, හා දේවාල දෙකකින් ද සමන්විත යි. පර්වතය මත ශිලා ලිපි අටක් ද දැකගත හැකියි.

පිළිමගෙය

දකුණු ඉන්දීය විජය නගර් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ක්‍රි. ව. 1344 අප්‍රේල් 28 බදාදා විහාරය ගොඩනංවා අවසන් කරන ලද බව ගඩලාදෙණිය සෙල්ලිපියෙන් පැහැදිලි වෙනවා. මෙහි ඇති ගම්පොළ යුගයට අයත් විහාරගෙය පැරණිතම ගොඩනැගිල්ල ලෙස සැළකෙනවා. ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව නිමවූ එහි පියස්ස ද කළුගලෙන්ම තනා තිබෙනවා. බොහෝ කාලයක් පවතින ලෙස මෙම සිලාමය පිළිම ගෙය ඉදිකළ බව ගඩලාදෙණිය සෙල්ලිපියේ සඳහන්.

මෙයට පසුකාලීනව පියස්සක් යොදා තිබුණත් එය නොගැලපෙන නිසා 1953 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය ඉවත් කර, පැරණි පෙනුම ලැබෙන පරිදි සංරක්ෂණය කර තිබෙනවා. පසුකාලීනව, එනම් ක්‍රි.ව. 1412-1467, රජ පැමිණි හය වන පරාක්‍රමබාහු රජු විසින් ගඩලාදෙණිය  ප්‍රතිසංස්කරය කර හුණු පිරියම් කරවා තිබෙනවා. ක්‍රි.ව. 1707-1739 යුගයේ රජ පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැලිවිට සරණංකර මාහිමියනට සන්නසක් මගින් මෙම විහාරය පැවරූ බව සඳහන්.

වාස්තු විද්‍යාව
කළු ගලින් ඉදිකළ පදනමක් මත ඉදිකළ විහාරය පුරාණ වාස්තු විද්‍යාවේ විශිෂ්ටත්වය හෙළිකරන්නක්. විහාරයට ඇතුළුවිය යුත්තේ දොරටුව ඉදිරිපස තිබෙන කොරවක්ගල් දෙකක් සහිත කැටයමින් යුත් පියගැට පෙළක් නැගීමෙන්.

වහලය නිර්මාණය කර තිබෙන්නේ චතුරස්‍රාකාර බිත්ති කෙළවර කොණින් කොණට හරස් අතට හතරැස්ව සැකසූ විශාල ගල් කුට්ටි කොටස් එකිනෙක තබා ක්‍රමිකව කුඩා කරමින්. මෙම ක්‍රමය පහන් කූඩු වහල නමින් හැඳින්වෙනවා. ශිඛරයේ මුදුන බෞද්ධ ස්ථුපයක හැඩයට තනා තිබෙනවා. ඒ අනුව දකුණු ඉන්දීය සහ දේශීය වාස්තු විද්‍යා යන ක්‍රම දෙකම මෙහි දක්නට පුළුවන්.


කුලුනක ඇති ශිව නටරාජ කැටයමක්- කුසුම්සිරි විජයවර්ධන

විහාර මන්දිරය එකක් පිටුපස එකක් යෙදෙන පරිද්දෙන් කුටි දෙකකින් සහ පිටත මණ්ඩපයකින් යුක්ත යි. එහි ඇතුළු කාමරය තුළ රියන් 12ක් පමණ උස් වූ හිඳි පිළිමයක් හා එය දෙපස හිටි බුදු පිළිම හතරක් පිහිටා තිබෙනවා. පිටත මණ්ඩපය ඉදිරිපිට දැකගත හැකි ගල් කුලුණු ද්විත්වය විහාරයේ වූ සුවිශේෂී නිර්මාණයක් සේ සැලකෙනවා. එහි වම් ගල් කුලුණ ගණේශ්වරාචාරී විසිනුත්, දකුණු කුලුණ ලාංකීය ගල් වඩුවෙකු විසිනුත් කැටයම් කර ඇතැයි පැවසෙනවා. ඒ අනුව වම් කුලුණ හින්දු ආභාසයට අනුවත්, දකුණු කුලුණ බෞද්ධ ආභාසයට අනුවත් සකස් කොට තිබෙන බව ජනප්‍රවාදයන් පවසනවා.

විහාර මන්දිරය තුළ උතුරු දෙසට ගොඩනංවා ඇති අමතර කොටස විෂ්ණු දේවාලය යි.

බුද්ධ ප්‍රතිමාව

ගඩලාදෙණිය සෙල් ලිපියේ මෙම පිළිමය හඳුන්වා ඇත්තේ “ශක, බ්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත්‍රී ආදී දෙවියන් විසින් පිරිවරණ ලදුව, බෝධීන් වහන්සේට පිටලා වජ්‍රාසනාරූඪව වැඩසිටිනා සධාතුක මහ පිළිම වහන්සේ” ලෙසින්. එයට ඉහළින් මකර තොරණක් තිබෙනවා. ධ්‍යාන මුද්‍රාවෙන් සහ වීරාසනයෙන් වැඩසිටිනා රන් පැහැය ආලේප කළ පිළිමය තනා ඇත්තේ ගඩොල් සහ බදාම භාවිතයෙන්. එහෙත් මේ පිළිමයේ ඇත්තේ හින්දු දේව ප්‍රතිමා ලක්ෂණ යි. බුදු පිළිමයක ඇති ශාන්ත බව වෙනුවට හින්දු දේව ප්‍රතිමාවල ඇති විවෘත දෙනෙත් දකින්නන් තුළ බිය මුසු ගෞරවයක් ඇති කරන ස්වභාවයක් පෙන්වනවා.

මේ ප්‍රතිමාව අසල තැන්පත් කර ඇති ලෝකඩ බුදු පිළිමය ධර්මකීර්ති හිමි ඉන්දියාවේ සිට ගෙන ආ එකක් බව විශ්වාස කෙරෙනවා. මේ ප්‍රතිමාව 9-10 සියවස්වලට අයත් බව පුරාවිද්‍යාඥ මතය යි.

සිතුවම්

ප්‍රතිමා ගෘහයෙහි අභ්‍යන්තරය එදා සිතුවමින් අලංකාරව පැවතිය ද පසුකාලීනව ඒවා විනාශ වෙලා. සීලිමේ පමණක් චිත්‍ර කොටස් කිහිපයක් දැකගත හැකි යි. ඒවා ගම්පොළ යුගයට අයත් බවට අනුමාන කරනවා.

දිග්ගේ

දේවාලය අසලින් පිටතට පැමිණි විට ඇත්තේ දිග්ගෙය යි. මේ කොටස ගම්පොළ යුගයට පසුව ඉදිකරන ලද්දක්. එයට පෙති උළු සෙවිලි කර තිබෙනවා.

සිංහාසන මණ්ඩපය
විහාර බිමට නුදුරින් ඈතින් ඉදිකර ඇති හුදෙකලා කුඩා ගොඩනැගිල්ල සිංහාසන මණ්ඩපය ලෙස හඳුන්වනවා. උසින් වැඩි එය පෙරහර කාලයට දේවාභරණ තාවකාලිකව තැන්පත් කර පුද පූජා කිරීමට ඉදිකර තිබෙන ගොඩනැගිල්ලක්.

මුළුතැන්ගේ

ප්‍රධාන විහාරයට පිටුපසින් පැරණි මුළුතැන්ගේ දක්නට ලැබෙනවා. දේවාලයේ අඩුක්කු පිළියෙල කිරීමට මෙය භාවිත කර තිබෙනවා. පැරණි වී අටුවක් ද මෙහි තිබෙනවා.

පල්ලේ දේවාලය

විහාරයට නුදුරින් වෙනම ගොඩනැගිල්ලක් වශයෙන් පිහිටි මෙය අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය යි. එය පර්වතය මත කළුගලින් වේදිකාවක් තනා ඒ මත ඉදිකර තිබෙනවා. අදත් බැතිමතුන් මෙහි පැමිණ පිහිට පතන අයුරු දක්නට පුලුවන්.

සෙල්ලිපි
විහාර බිමෙන් සෙල්ලිපි 8ක් හමුවෙනවා. ඒ අතරින් පර්වතයේ කොටා ඇති ධර්මකීර්ති හිමියන්ගේ සෙල්ලිපිය මෙහි ඉතිහාසය දැනගැනීමට ඉතා වැදගත්. ඊට අමතරව තවත් සෙල්ලිපි හතක් ගල්තලාව මත දක්නට ලැබෙනවා. සමහර ලිපි ගෙවී ගිහින්.

බෝධි වෘක්ෂය

ශෛලමය බෝධිඝරයකින් වට වූ ගඩලාදෙණිය විහාරයේ වූ බෝධි වෘක්ෂය, දඹදිව දෙව්රම් වෙහෙර ආනන්ද බෝධියෙන් රැගෙන ආ බෝධි අංකුරයක් යැයි විශ්වාස කෙරෙනවා. එය පළමුවන ධර්මකීර්ති හිමි විසින් රෝපණය කොට තිබෙන්නක්.

විජයොත්පාය

උස් කුලුණු 4ක් මත ඇති වහලයකින් යුතු චෛත්‍යඝරයක් සහිත දැකුම්කලු ගොඩනැගිල්ලක්. විහාරයට පිවිසෙන විට පළමුව දකින්න ලැබෙන්නේ මෙම ගොඩනැගිල්ලයි. අඩි 12ක් උස් පාදමක් මත ඉදි කළ මෙය ශෛලමය මලසුන් ගෙවල් 4ක් හා ඇත් රූප 8ක් පිරිවර කොට තිබෙනවා. මේ ගොඩනැගිල්ලේ සම්පූර්ණ උස අඩි 40ක් .

ආවාස ගේ

භික්ෂූන් වහන්සේලා සඳහා මහනුවර යුගයේ ඉදිකළ ආවාසය මැද මිදුලක් වටා යන සේ නේවාසික කුටි සහිත ගොඩනැගිල්ලක්. පැරණි කැසිකිලි ගලක් ද මේ ස්ථානයෙන් හමුවී තිබෙනවා.

ඉතින් නුවර යද්දී ගඩලාදෙණි විහාරය සහ පුරාවස්තූන් දැකගන්න යන්නටත් අමතක කරන්න එපා.



(under the courtesy of roar.media web)

More News »