රයිගම රාජධානියේ පින් බිම

2018-05-31 01:11:00       0
feature-top
සූර්යාගේ සැඩ රැස්මාලාවන් කෙමෙන් කෙමෙන් පහව යන්නට විය. සැඳෑ සමය එළඹෙන කලෙක මඟ දෙපස සුව සුළං පහස ද විඳිමින් ගම් පියස අවට නිසසල තුරුගොමුද එකිනෙක පසුකරමින් අපි පතහවත්ත රාජමහා විහාරය වෙත පිය නගන්නට වීමු. එදින පොහෝ දිනයක් හෝ බෝධිපූජා පිංකම් ආදි දිනයක් විණි නම් පන්සල් බිම අතුරු සිදුරු නැතිව පිරීයයි. එහෙත් අද ‍එවැනි දිනයක් නොවන බවට පන්සල් බිම පුරා පැවති නිසල ස්වභාවය සාක්ෂි සපයයි. එයම ඒ සොඳුරු සුවදායී නිසංසල පරිසරයේ සුන්දරත්වය නොකිලිටිව සිතින් විඳින්නට මහඟු අවස්ථාවක් අපට උදාකර තිබිණි. විශාල භූමියක තැනින් තැන නැගී සිටි බුදු මැදුර, වෙහෙර, බෝධිය, ආවාස ගෙය සේ ම මෙම ප්‍රදේශයේ සුපතළ පතහ හෙවත් පොකුණ ද ආරක්ෂිත පවුර ද ආදී සියලු දේ පිළිබඳව යටිගියාව පිරික්සීමට අප තුළ වූ දැඩි වුවමනාවක් වූයේ මේ පන්සල් බිම පිහිටා ඇත්තේ අතීතයේ රාජධානියක් පැවැති බිමක බව පෙර සිට ම දැනසිටි බැවිනි.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රයිගම අයත් ය. අද කුඩා ප්‍රදේශයක් වුව ද අතීතයේ දී ලංකාද්වීපයේ නිරිතදිග හා දකුණු ප්‍රදේශ මුළුමනින් ම පාලනය කළ ප්‍රාදේශීය රාජ්‍යයක මධ්‍යස්ථානය වූ බවට ඉතිහාසය කරුණු සනාථ කරයි.

කුරුණෑගල සහ ගම්පොළ රාජධානි සමයේ දී V වැනි බුවනෙකබාහු වැනි දුර්වල රජුන් නිසා සිංහල රාජධානිය පිරිහී ගියේය. ඒ රාජධානිය වරින් වර යාපනයේ දෙමළ රජුන්ගේ ආක්‍රමණවලට ගොදුරු වූ නිසා ය. ඒ අනතුරින් රට රැක ගැනීමට දුර්වල රජවරු අපොහොසත් වූහ. එවන් සමයක අලකේශ්වර හෙවත් අලගක්කෝනාර නම් වූ එකල රාජ්‍යයේ උසස් මහ ඇමති තනතුර දැරූ ප්‍රභූ පෙළපතක් රට රැකගැනීමට දියත් කළ සටනට නායකත්වය දෙන ලදී. ඔවුන් යටතේ බිහිවුණු රයිගම ප්‍රාදේශීය රාජධානිය වසර 200 ක පමණ කලක් යාපන චක්‍රවර්තී රජුන්ගේ තර්ජනවලින් දේශය රැකීමට ප්‍රශංසනීය හරඹයක යෙදී ඇත.

“පන්සලක් වෙන්න කලින් මේක තමයි රයිගම රාජධානිය තිබූ භූමිය. 12 වැනි සියවසේ අගභාගයේ, 13 වැනි සියවසේ මුලභාගයේ තමයි රයිගම රාජධානිය ආරම්භ වෙන්නෙ. ආරම්භක පාලකයා වුණේ අලකේශ්වර පරපුරේ හිටපු කෙනෙක්. දසවැනි අලකේශ්වර මෙතන පළවෙනියෙන්ම රාජධානිය ආරම්භ කළායින් පස්සෙ ඒ පරපුරේ කිහිප දෙනෙක් ම මේ රාජධානියේ රජකම් කරලා තියෙනවා.

ඒ අලකේශ්වර වංශයේ අය තමයි 13 වැනි සියවසේ ඔය ප්‍රාකාරය ගොඩනඟලා තියෙන්නෙ. ඒ වගේ ම මේ රජමහා විහාරයේ දකින්න තියෙන විශාල පොකුණ හදලා තියෙන්නෙ ඒ රජවරුන්ගේ ජල ක්‍රීඩාවලට. අලකේශ්වරවරුන් උයන්වත්ත වැව නිර්මාණය කිරීම වැනි තවත් බොහෝ දේ කරමින් මේ ප්‍රදේශයේ රාජධානියකට අවශ්‍ය කරන සියලු අංගෝපාංග ගොඩනගලා තියෙනවා. පස්සෙ අලකේශ්වර වරුන් උතුරෙන් ආර්ය චක්‍රවර්තීන් පරාජයට පත් කිරීමත් සමඟ ලංකා ඉතිහාසයේ මහා කීර්තියකට උරුමකම් කියනවා. මයුර සංදේශය, රාජාවලිය, මහා වංශය, නිකාය සංග්‍රහය වගේ පොත්වල ඒ රාජ වාංශිකයන් උත්කර්ෂයෙන් වර්ණනාවට ලක්කරලා තියෙන්නෙත් ඒ නිසාමයි. ”

පතහවත්ත රජමහා විහාරයේ අතීතය සොයාගිය ගමනේ දී යටගියාවේ බොහෝ තැන් හෙළිදරව් කරමින් එසේ අප දැනුවත් කළේ රජමහා විහාරයේ වත්මන් නායක ස්වාමීන් වහන්සේ වන දීයකඩුවේ සෝමානන්ද හිමියන් විසින් ය.

උන්වහන්සේ සඳහන් කළ කරුණුවලට අනුව එම අලකේශ්වරවරුන්ගේ සිට අවසානයේ රයිගම රාජධානියේ පාලකයා බවට පත්වූයේ රයිගම් බණ්ඩාර ය. ඒ දක්වා රජවරු 10 දෙනකු පමණ අවුරුදු 350ක් 400ක් වගේ කාලයක් තුළ මේ භූමියේ වරින් වර රජකම් කොට ඇත. රාජධානිය අවසන් වූයේ පෘතුගීසි ආක්‍රමණවලිනි. ඉන් අනතුරුව මෙම ස්ථානයේ විහාරයක් ගොඩනැගුණේ 1817 දී ය. අතීත කරුණුවලට අනුව මෙම පන්සල ආරම්භ කොට ඇත්තේ නාරංගස් පිටිය සුදස්සි ස්වාමීන්වහන්සේ බව කියැවේ.මේ ස්ථානයේ පන්සල ආරම්භ කළ උන්වහන්සේ මේ අවට වෙහෙර විහාරස්ථාන 20ක් පමණ ඉදිකිරීමට කටයුතු කොට ඇත. සියල්ල හඳුන්වන්නේ “පතහවතු සඟ පරපුර” නමිනි. මෙම ස්ථානයේ සංඝ මූලස්ථානයක් පවතින අතර එය කේන්ද්‍ර කොට ගනිමින් මේ අවට විහාරස්ථාන විශාල ප්‍රමාණයක් ද ඉදිවී ඇත.

1980වෙන් පසුව මෙම විහාර භූමියේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් ආරම්භ කොට මේ දක්වා ම කැණීම් කටයුතු පවත්වාගෙනවිත් ඇත. ඉපැරණි රජමාලිගාවේ අංගෝපාංග විහාරයේ එක් ස්ථානයක ආරක්ෂිතව තැම්පත් කොට ඇති අතර පහත රට දක්නට ඇති එක ම බළකොටුව පිහිටා ඇත්තේ ද මේ ස්ථානයේ ය. මෙම විහාර භූමියේ පතහා(පොකුණ) ගොඩනගලා ඇත්තේ ලී පාදමක් උඩ ය. එය විශේෂ තාක්ෂණයකට අනුව කරන ලද්දකි. කබොක් ගල් නිර්මාණ පිළිබඳව ලංකාවේ හොඳ ම නිර්මාණය පිළිබඳව උදාහරණ දක්නට ඇත්තේ ද මේ ස්ථානයේ ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිටත් මේ ස්ථානයේ කැණීම් කටයුතු සිදු කරන අතර ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ රයිගම රාජධානියට අයත් සුවිශේෂ මෙවලම් තැම්පත් කිරීම සඳහා මෙම විහාර භූමියේ කෞතුකාගාරයක් ගොඩනැගීමට ද සැලසුමක් ඇති බව එහි ගොඩවැදුණු අපට දැනගැනීමට ලැබිණි.

පතහවත්ත රාජමහා විහාරයේ යටගියාව සොයා ගිය ගමනේ දී එහි වූ සුවිශේෂ අංග කිහිපයක් ගැන ද අපට ඉතිහාස කරුණු දැනගැනීමට ඉඩ හසර විවර විය. පතහවත්ත ස්මාරකය හෙවත් ප්‍රාකාරය ඉන් එකකි.

කොතලාවල පතහවත්ත පුෂ්කරාරාම විහාර සංකීර්ණය වටා ඇති කබොක් ගල් ප්‍රාකාරය දැනට ශේෂව ඇති ප්‍රධාන ස්මාරකයයි. මයුර සංදේශයේ මේ ප්‍රාකාරයත් ඒ සමඟ වූ දිය අගලත් විස්තර වේ. මොනරිඳු දූත ගමනේ යෙදුණු දෙවැනි දින රාත්‍රිය ගතකොට ඇත්තේ මේ මාලිගා සංකීර්ණය තුළ බව මයුරයේ කියවේ. එදා එහි අලකේශ්වර ප්‍රභූරාජයන් හා ඔහුගේ සොයුරු දෙවිහිමි එහි විසූ බව ද මයුර සඳෙසේ පැවැසේ. අදට ද විශාල ඝනත්වයකින් ශේෂව පවතින පවුර සතුරකුට ඇතුළු විය නොහැකි වන සේ තැනූ බළකොටු පවුරකි. අදට ද අඩි 8 පමණ උසට අඩි 6ක් පමණ පළල්ව අක්කර 5ක පමණ වපසරියක් ආවරණය කරමින් නැගී සිටින්නා වූ මෙම පවුර අතීතයේ දැනට වැඩි උසකින් පැවති බවට නිසැක ය. එසේ ම අනුමාන කෙරෙන්නේ ප්‍රභූරාජ අලකේශ්වර තුමා යාපන රජු හා යුද වැදීමට පෙර එනම් 1360 -70 අතර කෝට්ටේ බළකොටුව ඉදිකළ අවධියේ ම මේ පවුර ද ඉදිකරන්නට ඇති බව ය. 1970 දී මෙය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රක්ෂිත ස්මාරකයක් ලෙස පිළිගෙන ඇත.

එසේ ම මයුර සංදේශයට අනුව මේ පවුර සමඟින් මෙහි ගැඹුරු දිය අගලක් පැවැති බව කියැවේ. පුරාණ ආරක්ෂිත බළකොටු පවුරුවල එවැනි දිය අගල් දක්නට ලැබීම සුලබ ලකුණකි. නමුදු අද වන විට මෙහි පවුරට පිටතින් පැවති බව කියවෙන දිය අගල සලකුණකුඳු දක්නට නොමැති වන සේ සම්පූර්ණයෙන් ම වැසී ගොස් ඇත.

අනෙක නම් රාජකීයන් දිය නෑමට සහ දියකෙළියට භාවිත කළ බවට විශ්වාස කරන විශාල පොකුණ ය. ලංකාවේ දැනට සොයාගෙන ඇති මෙම වර්ගයේ එක ම නිර්මාණය ද මෙය බවයි සැලකෙන්නේ. මෙම පතහා හේතුවෙන් පසු කලෙක මෙම ප්‍රදේශය ම “පතහවත්ත” නමින් සුපතළ වූ බව අනුමාන කළ හැක. එසේ ම මෙම පතහා (පොකුණ) පොකුණුවිට කොණ්ඩඤ්ඤාරාම රජමහා විහාරයට යාබදව ඇති කළුගල් පොකුණ සමඟ දෝනාවකින් සම්බන්ධ වී ඇති බව ජනප්‍රවාදයේ එයි. මෙය සැකහැර දැන ගැනීම සඳහා අතීතයේ දී කඩුක්කන් පැලැන්දූ ආඳකු යොදාගත් බවත් සැකය ස්ථීර කරමින් එම කඩුක්කන් පැලඳි ආඳා මෙම පොකුණු දෙකෙහිම වරින් වර දක්නට ලැබුණ බවද ඉතිහාස කරුණු අතර සඳහන් වේ.

අඩ පියුමක් සහිත පැරණි සඳකඩ පහණ දැනට මෙම රාජමහා විහාරයේ බුදුමැදුරට පිවිසෙන ස්ථානයේ ස්තාපිත කොට ඇත. එසේ ම මෙම විහාරයේ ආරක්ෂිතව තබා ඇති ශෛලමය ඇත් හිස මාලිගයේ වහලින් ගලා එන ජලය පිටකිරීමට තිබූ නිමවුමක් බවයි අනුමාන කෙරෙන්නේ. එසේ ම දෙපසට ම පා තැබිය හැකි වන අයුරින් පා සටහන් හතරක් ඇති වැසිකිළි පාදුකාව ද විශේෂ නිර්මාණයක් කොට සලකා මෙම පන්සල් භූමියේ ආරක්ෂිතව තැන්පත් කොට ඇත. එසේ ම නිරිත දෙසින් හා දකුණු දෙසින් රජමැදුරට ජලය සැපයූ ළිං දෙකක සලකුණු ය. බොරදම් සහිත ගල්කඳන් හා ගල්පුවරු රැසක් ද මෙම විහාර බිමෙහි දක්නට ඇති අතර 19 වැනි සියවසේ දී වර්තමාන විහාරය ඉදිකිරීමේදී තැන තැන විසිර තිබු ගල්කණු හා ගල් පුවරු මෙම විහාර ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදාගත් බවයි දක්නට ඇත. එසේ ම වත්මනෙහි පතහවත්ත රජමහා විහාරයේ ධර්මශාලා මන්දිරය පවතින්නේ ඉපැරණි රජමාලිගාව පිහිටි ස්ථානයේ බවට ද විශ්වාසයක් පවතී.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »