ඉංග්‍රීසි අධිරාජ්‍යයේ මතක ශේෂ කළ වයඹ කාර්මික උරුමය

2018-11-03 01:08:00       0
feature-top
කෞතුකාගාර පාලක, ජේතවන කෞතුකාගාරය, අනුරාධපුරය

(බාහිර කථිකාචාර්ය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය)‍
කාර්මික උරුමය (Industrial Heritage) යන්නෙන් අදහස් වනුයේ කාර්මිකරණයේ සිට මෑත අතීතය දක්වා වූ සමාජ, ආර්ථික හා තාක්‍ෂණික සංවර්ධනයට අයත් ද්‍රව්‍යාත්මක සාධකයි. ශ්‍රී ලංකාව කාර්මික රටක් නොවුණත් බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී වැවිලිකර්මාන්තය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් ඇසුරෙන් බිහි වූ එවැනි ‘කාර්මික උරුමයක්’ ශ්‍රී ලංකාවටද දායාද වී ඇත.

ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක ස්මාරකවලින් පෝෂිත රටක් බැවින් ක්‍රි.ව. 1800-1950 තරම් මෑත ඉතිහාසයට අයත් මේ ‘කාර්මික උරුමය’ කෙරෙහි යොමු වී ඇත්තේ ඉතා අඩු අවධානයකි. ඒ හේතුවෙන්, වැවිලි කර්මාන්තය, ප්‍රවාහනය, තැපැල් හා සන්නිවේදන ක්‍රම, පොදු පහසුකම් යන ක්‍ෂෙත්‍රවලට අයත් මේ උරුමය නූතන සංවර්ධන කටයුතු හේතුවෙන් ශීඝ්‍ර ලෙස විනාශයට ලක් වෙමින් පවතින බවක් දැකිය හැකිය.

අපගේ සංස්කෘතික උරුමයෙහිම කොටසක් බවට පත්ව ඇති මේ කාර්මික උරුමය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා උපයෝගි කරගත හැකි නව මංපෙතක් ලෙස හඳුන්වා දිය හැකිය. අන්තර් කාර්මික ඉතිහාසයේ මුල් කාලපරිච්ඡේදය හා බැඳුණු කෘති රැසක් මේ උරුමයට අයත් වන බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ඒ කෘති නවතම අත්දැකීමක් ගෙන දීමට ඉවහල් වනු නියතය. ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල ඇති කාර්මික උරුමය අනුසාරයෙන්ද සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වන මේ විභවතාව හඳුනාගත හැකිය. යුරෝපා රටවල මෙවැනි දෑ පදනම් කොටගෙන කාර්මික උරුම සංචරණය (Industrial Heritage Tourism) නමින් වෙනම සංචරණ ප්‍රභේදයක්ද වර්ධනය වී තිබේ.

වයඹ පළාතෙහිද කාර්මික උරුමය යටතට අයත් වන කෘති රැසක්ම හඳුනාගත හැකි බැවින් තෝරාගත් කෘති කිහිපයක් පදනම් කොටගෙන විමර්ශනය කර, ඒ පිළිබඳ අවධානය යොමු කරවීම මේ ලිපියෙහි පරමාර්ථය වේ. එකී උරුමයට අදාළ කෘති මහාමාර්ග පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය සහ තැපැල් හා වෙනත් පොදු සේවාවන් යටතේ පහත පරිදි විස්තර කළ හැකි ය.

මහාමාර්ග පද්ධතිය

ශ්‍රී ලංකාවේ කාර්මික උරුමය අතර වඩාත් සුලභව දැකිය හැකි කෘති රැසක්ම මහාමාර්ග පද්ධතිය සතු වේ. ඒ අතුරින් මාර්ග පාලම්වලට හිමි වනුයේ වැදගත් ස්ථානයකි. ශ්‍රී ලංකාවේ පාලම් ඉතිහාසයේ සුවිශේෂ පාලම් කිහිපයක්ම වයඹ පළාතේ මහාමාර්ග අශ්‍රිතව දැකිය හැකිය.

ඒ අතුරින් දැනට ඉතිරිව ඇති පැරණිම පාලම ලෙස හඳුනාගත හැකි වනුයේ කොළඹ - පුත්තලම මහාමාර්ගයෙහි පුත්තලම් දිස්ත්‍රික්ක මායිමේ මහඔය හරහා පිහිටි කොච්චිකඩේ පාලමයි. 1875-77 වර්ෂවලදී ඉදි කර ඇති මේ පාලම එච්.එම්. ෆින්ච් (H.M. Finch) නම් ඉංජිනේරුවරයාගේ නිර්මාණයකි. දිගින් මීටර් 110ක් වන මේ පාලමේ යකඩ කාප්ප, හොව් (Howe) ක්‍රමයට (කතිර හැඩැතිව) නිමවා ඇති අතර, කාප්ප දෙක දෙකෙළවර ඊටම සම්බන්ධ කොට යකඩින් නිමවා ඇති සිව් රැස් කුලුනු මත පොහොට්ටුවක හැඩැති යුරෝපීය සැරසිල්ලකි (acanthus bud).

අභ්‍යන්තර කාප්ප දෙකෙළවර එපරිද්දෙන් කුලුනු මත දක්නට ලැබෙන්නේ බුබ්බුලාකාර (dome shaped) ශීර්ෂය. ශ්‍රී ලංකාවේ යකඩ පාලම් විෂයයෙහි කලාත්මක අංගයන්ගෙන් යුතු එකම පාලම ලෙස මෙය හැඳින්විය හැකිය. මේ හැරුණු විට 20 වන සියවසේ මුල් භාගයට අයත් යකඩ පාලම් කිහිපයක්ද වයඹ පළාතේ මාර්ග ආශ්‍රිතව තවමත් ශේෂව තිබෙනු දැකිය හැකිය. ගිං ඔය පැරණි පාලම, අලව්ව පැරණි පාලම හා බත්තුළු ඔය පාලම ඒ අතුරින් ප්‍රධාන වේ.

1918දී රජයේ කර්මාන්ත ශාලාවේ නිර්මාණය කර ඇති ගිං ඔය පාලම කොළඹ-පුත්තලම මහාමාර්ගයෙහි නයිනමඩම ප්‍රදේශයේ පිහිටා ඇත. දිගින් මීටර් 69ක් වන මෙයද හොව් (Howe) ක්‍රමයේ (කතිර හැඩැති ) කාප්ප සහිත පාලමකි. මෙම පාලම ජී.එච්.එම්. හයිඩ් (G.H.M. Hyde) නම් ඉංජිනේරුවරයා විසින් නිර්මාණය කරන ලද්දකි.

කොළඹ-කුරුණෑගල මාර්ගයේ මහ ඔය හරහා ඉදි කර ඇති අලව්ව පැරණි පාලම 1934 දී ඉදි කරන ලද්දකි. එහි සවි කර ඇති ඵලකයට අනුව මේ පාලම විවෘත කර ඇත්තේ එවකට සන්නිවේදන හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ එච්.එම්. මාකන් මාකාර් මහතා විසිනි.

දිගින් මීටර් 96ක් වන මේ පාලමෙහි කාප්පද හොව් (Howe) ක්‍රමයටම නිර්මාණය කර තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් පාලම් තට්ටුවේ (decking) හරස් බාල්ක, දෙපස කාප්පවල පහළ බාල්කය මතින් නොයොදා පාලම් තට්ටුවට පහළින් වෙනම සවි කර තිබීමයි. කොළඹ-පුත්තලම මාර්ගයෙහි බත්තුළු ඔය හරහා පිහිටි පාලමද 20 වැනි සියවස මුල් භාගයට අයත් වේ. දිගින් 105ක් වන මෙයද හොව් කාප්ප සහිත පාලමකි.

මීට අමතරව 20 වැනි සියවස මුල් භාගයේ ඉදි කරන ලද යකඩ හා කොන්ක්‍රීට් පාලම් කිහිපයක්ද මේ ප්‍රදේශයේ මහාමාර්ග ආශ්‍රිතව දැකිය හැකිය. වයඹ පළාතේ පැරණිම පාලම් රැසක්ම වර්තමානයේ ඉවත් කොට, ඒ වෙනුවට නව පාලම් ඉදි කර තිබේ. 1868-70 කාලයේ දී ටී. ඇෂ්ටන් හා ආර් ඩී. ඕම්ස්බි විසින් නිර්මාණය කර ඇති මහනුවර-පුත්තලම මාර්ගයෙහි දැදුරු ඔය පාලම, 1874-75 කාලයේ ජේ. ඩී. යං විසින් නිර්මාණය කර ඇති හලාවත පාලම, 1880-81 කාලයේ දී ඩබ්ලියු. එච්. ග්‍රැට්මන් විසින් නිර්මාණය කර ඇති ගිරිඋල්ල පාලම ඒ අතර ප්‍රධාන වේ.

මුල් කාලීනව මාර්ග සැකසීමේ කටයුතු සඳහා භාවිතයට ගන්නා ලද මාර්ග තළන යන්ත්‍ර (ගල් රෝල්) කිහිපයක්ද වයඹ පළාතේ තැන් කිහිපයකම දැකිය හැකිය.

කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය අසල හා යන්ත්‍රෝපකරණ කාර්යාලයෙහි එංගලන්තයේ ඇවලින් ඇන්ඩ් පෝටර් සමාගමේ (Aveling and Porter Limited) නිෂ්පාදිත වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර (Steam Powered Rollers) දෙකක් දැකිය හැකිය. මේ සමාගම වාෂ්ප බලයෙන් ක්‍රියා කරන ලොව පැරණිම වාෂ්පබල මාර්ග තළන යන්ත්‍ර නිෂ්පාදන සමාගමකි. කුරුණෑගල නගරසභාව අසල රුමේනියාවේ නිකොලිනා (Nicolina) සමාගමේ නිෂ්පාදිත මුල්කාලීන ඩීසල් ගල් රෝලක්ද (Diesel Powered Road Roller) වේ. මීට අමතරව පුත්තලම මාර්ග සංවර්ධන කාර්යාලය අසලද තවත් එවැනි පැරණි ගල් රෝල් කිහිපයක්ම දැකිය හැකිය. කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල පරිශ්‍රයේ අලින් විසින් අදිනු ලැබූ ගල් රෝලක්ද, තාර රැගෙන යෑම සඳහා භාවිතා කළ කරත්තයක් හා තාර උණු කරමින් ප්‍රවාහනය කළ කරත්තයක්ද දක්නට ලැබේ.

මහාමාර්ග පද්ධතිය ආශ්‍රිත පැරණි සැතපුම් කණු හා වාත්තු යකඩින් (cast iron) කළ මාර්ග සංඥා පුවරු දැනට මේ ප්‍රදේශයෙහි ශේෂව තිබෙනුයේ ඉතා විරල වශයෙනි. කුරුණෑගල-මීගමුව මාර්ගය ආරම්භයෙහි ඇති බස් රථ නැවතුම සඳහා පිහිටුවන ලද වාත්තු යකඩින් කළ සංඥා පුවරුව ඒ සඳහා එක් නිදසුනකි.

දුම්රිය මාර්ග පද්ධතිය

වයඹ පළාත ඇසුරෙහි උඩරට උතුරු හා බටහිර වෙරළ ආශ්‍රිත දුම්රිය මාර්ග තුනෙහිම විහිදීම් දැකිය හැකිය. උඩරට දුම්රිය මාර්ගයෙහි පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා උතුරු මාර්ගයේ පළමු කොටස දීර්ඝ කොට කුරුණැගල දුම්රිය ස්ථානය විවෘත කොට ඇත්තේ 1894දීය. 1905 වන විට එය අනුරාධපුරය දක්වා දීර්ඝ කර තිබේ. බටහිර වෙරළබඩ දුම්රිය මාර්ගයද 1925 දී පුත්තලම දක්වා දීර්ඝ කර තිබේ.

මේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ මුල් කාලීන ඉදිකිරීම් හා යන්ත්‍ර සූත්‍ර ආදිය තවමත් දැකිය හැකිය. දුම්රිය ස්ථාන සංඥා පාලන මැදිරි (Signal Cabins), ජල සැපයුම් කුලුනු (water column), එන්ජින් හැරවුම් (turn table), සංඥා පද්ධති, සංඥා පුවරු, එංජින් මැදිරි (locomotives) මැදිරි හා විවිධ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන වැගන් ඒ අතර වේ.

මේ උපකරණ හා යන්ත්‍ර සූත්‍රවලින් රැසක්ම එංගලන්තයේ නිෂ්පාදිත ඒවා වේ. මේ අතර විනී ඒබල් (Wini Abell), කොවන්ෂ් ෂෙල්ඩෝ (Cowans sheldo), ග්ලව්සෙස්ටර් රේල්වේ කැරිජ් ඇන්ඩ් වැගන් (Gloucester Railway Carriage and Wagon) වැනි සමාගම්වල නිෂ්පාදන හඳුනාගත හැකිය. දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිතව, ස්ථාපනය කරන ලද වාත්තු යකඩින් කළ මුල්කාලීන අවවාදාත්මක පුවරු කිහිපක්ද මේ ප්‍රදේශයේ දුම්රිය මාර්ග ආශ්‍රිතව තවමත් දැකිය හැකිය. ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළිවෙළින් කරුණු සඳහන් කර ඇති එවැනි සුලභ පුවරු තුනක සිංහල පෙළ පහත පරිදි වේ.

1. දුම්රථ පාරේ ගමන් කරන අයට

නඩු මාර්‍ගයේ ප්‍රකාර අච්චු කරනු ලැබේ

2. දුම්රියෙන් ප්‍රවේසම් වෙනු

3. අනතුරු සහිතයි. දුම්රිය හරස් පාර

තැපැල් හා වෙනත් පොදු සේවා

තැපැල් සේවයට අදාළ කාර්මික උරුමයට අයත් වන කෘති අතර තැපැල් පෙට්ටි (post boxes) ප්‍රධාන වේ. 19 වැනි සියවස අගභාගයේ සිට 1972 දක්වා කාලපරිච්ඡේදයට අයත් වන විවිධ ලාංඡන සහිත තැපැල් පෙට්ටි විවිධ ප්‍රදේශවල දැකිය හැකිය. දැනට ශ්‍රී ලංකාවේ භාවිතයේ පවතින පැරණිම තැපැල් පෙට්ටිය වනුයේ ERVII රාජකීය ලාංඡනය (Royal Cyper) සහිත බ්‍රිතාන්‍යයේ vii වන එඩ්වඩ් පාලන සමයට (ක්‍රි.ව. 1901 - 1910) අයත් තැපැල් පෙට්ටි වේ.

එතැන් සිට v වන ජෝර්ජ් (GR, 1910-1936), vi වන ජෝර්ජ් (GR vi, 1936-1952) හා ශ්‍රී ලංකාවේ පැරණි රාජ්‍ය ලාංඡන සහිත (1952-72) තැපැල් පෙට්ටි ශ්‍රී ලංකාවේ තැපැල් සේවයට අයත් පුරාවස්තු ලෙස සැලකිය හැකි කෘතිය. වයඹ පළාතේ දැනට දැකිය හැකි පැරණි තැපැල් පෙට්ටි ප්‍රධාන ප්‍රභේද තුනක් යටතේ හඳුනාගත හැකිය.

 

1. වාත්තු යකඩින් කළ සිලින්ඩරාකාර

තැපැල් පෙට්ටි (Cylindrical pillar boxes)

2. ෂඩස්‍රාකාර පෙන්ෆෝල්ඞ් තැපැල් පෙට්ටි

(Haxogeonal penfolds)

3. ලාම්පුතැපැල් පෙට්ටි (Lamp box)

 

සිලින්ඩරාකාර තැපැල් පෙට්ටි දැනට මේ ප්‍රධාන නගරවල පමණක් දැකිය හැකිය. vi වන ජෝර්ජ් පාලන සමයට අයත් GR vi ලාංඡන සහිත හා ලාංඡනයක් නැති (anonymous) තැපැල් පෙට්ටි මේ අතර දැකිය හැකිය. මේ තැපැල් පෙට්ටි එංගලන්තයේ ස්ටර්ලින්ෂයර්හි කැරන් (Carron) සමාගමේ නිෂ්පාදිතයන්ය.

1866දී බ්‍රිතාන්‍ය ජාතික ජෝන් පෙන්ෆෝල්ඩ් විසින් හඳුන්වාදෙන ලද කොන්ක්‍රීට්වලින් නිර්මාණය කර ඇති ෂඩස්‍රාකාර තැපැල් පෙට්ටි අතර vi වන ජෝර්ජ් පාලන සමය (1936-1952) හා පැරණි රාජ්‍ය ලාංඡනය සහිත තැපැල් පෙට්ටි දැකිය හැකිය. මේවා රජයේ කර්මාන්ත ශාලාවේ හා කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි නිෂ්පාදිත ඒවා වේ.

ශ්‍රී ලංකාවේ විරල තැපැල් පෙට්ටි ප්‍රභේදයක් වන ලාම්පු තැපැල් පෙට්ටි (lamp box) වර්ගයට අයත් තැපැල් පෙට්ටි කිහිපයක්ද පොල්ගහවෙල, කුරුණෑගල ප්‍රදේශවල දක්නට ලැබේ. මේවා පැරණි රාජ්‍ය ලාංජනය සහිත 1952-72 කාලයේ දී නිෂ්පාදිත ඒවා වේ. මෙවැනි තැපැල් පෙට්ටි ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තේ ලන්ඩන්හි W.T.Allen සමාගමෙනි.

තැපැල් මලු ප්‍රවාහනය සඳහා උපයෝගි කරගනු ලැබූ කුරුණෑගල තැපැල් කාර්යාලයේ ඇති තැපැල් රික්ෂෝවද තැපැල් සේවයේ ඉතිහාසය හා බැඳුණු තවත් සුවිශේෂ කෘතියකි. එය 1925දී නිෂ්පාදනය කරන ලද්දකි.

කුරුණෑගල නගරයේ සලකුණක් බඳු වූ ඔරලෝසු කණුව වයඹ කාර්මික උරුමයට අයත් විශිෂ්ට නිර්මාණයකි. 1922දී නිර්මාණය කර ඇති මේ ඔරලෝසු කණුව ගල්, සිමෙන්ති, දැව, භාවිතයෙන් නිර්මිතය. උසින් මීටර් 16 ක් වන අතර එක් පැත්තක් මීටර් 3.8 වේ.

මෙය පළමු ලෝක සංග්‍රාමයේ මිය ගිය වයඹ ප්‍රදේශයේ රණවිරුවන් සිහිකරනු වස් නිර්මාණය කර ඇත්තකි. මෙහි ඔරලෝසු මුහුණත් රෝම සංඛ්‍යවෙන් යුතු අතර මුල් රෝම සංඛ්‍යා යටතේ IV සඳහා භාවිත IIII සංකේතද මෙහි භාවිතයට ගෙන තිබේ. මේ ඔරලෝසු කණුවේ යන්ත්‍රය බ්‍රිතාන්‍යයේ ප්‍රකට ඔරලෝසු නිෂ්පාදන ආයතනයක් වන Gillet and Jhonston සමාගමේ නිෂ්පානයකි.

ක්‍රි.ව. 1800-1950 අතර කාලපරිච්ඡේදයට අතුළත් කළ හැකි ශ්‍රී ලංකාවේ කාර්මික උරුමය අපට ආගන්තුක උරුමයක් ලෙස පෙනුණත්, එය අද්‍යතනය වන විට අපගේ ඓතිහාසික උරුමයෙහිම කොටසක් බවට පත් වී තිබේ. මේ උරුමය හැදෑරීම සඳහා කාර්මික පුරාවිද්‍යාව (Industrial Archaeology) නම් උපවිෂය ධාරාවක්ද පුරාවිද්‍යාවට එක් වී ඇති අතර, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක විෂයධාරාවට එක් වී තිබීම එම උරුමය පිළිබඳ ආකල්ප පෝෂණය කිරීමෙහිලා සහ ඒවා රැකගැනීමට මග පෙන්වීමෙහිලා අතිශයින් මහෝපකාරි වී තිබේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »