ශ්‍රී ලාංකේය බුදුපිළිම කලාව කෙරෙහි ශාරිපුත්‍රයෙන් ලැබුණු ආභාසය

2018-11-07 11:41:00       0
feature-top
බුදුපිළිමයේ උපත පිළිබඳ මතවාද රාශියක්‌ පවතී. එහිලා වැදගත් සාක්‌ෂ්‍යයක්‌ බුද්ධකාලීන භාරතයෙන් ලැබේ. එනම් කොසොල් රජතුමා දිනක්‌ බුදුන් වහන්සේගෙන් බුදුපිළිමයක්‌ නිර්මාණය කිරීමට අවසර ඉල්ලීමයි. මේ පිළිබඳ කොසලබිම්බ වර්ණනාවෙහි දැක්‌වේ. එපමණකුදු නොව බුදුපිළිමයේ උපත ලංකාවේ සිදුවිණැයි මතයක්‌ද මුල්කාලීනව සිට ජනසමාජයේ ව්‍යාප්තව පවතී. බුදුපිළිමය සම්බන්ධයෙන් කෙරෙන කථිකාවතේදී භාරතීය සම්ප්‍රදායයන් සතරක්‌ ඇසුරුකොට ගනී. එනම් ආන්ද්‍ර, මථුරා, ගන්ධාර සහ අමරාවතී වශයෙනි. බුදුපිළිම නිර්මාණය කිරීම උදෙසා භාවිත කළ අමුද්‍රව්‍ය අතර වැදගත් වන්නේ කළුගල්ය. එසේම දැවයෙන්, ගඩොලින්, හුණුගලින් නිර්මාණය කළ පිළිමද අතීතයෙහි වූ අතර වර්තමානයෙහිද නටබුන් බවට පත්ව ඇති පිළිම දක්‌නට ලැබේ.
 
 ප්‍රතිමාකලාවේ ආරම්භය පිළිබඳ විමසුමේදී බුද්ධ ප්‍රතිමාවට පෙර ප්‍රතිමාකරණයේ නියුක්‌තව ඇති බව පෙනේ. එහිදී මුල්කාලීනව ස්‌ත්‍රී ප්‍රතිමා, මනුෂ්‍ය ප්‍රතිමා, සත්ත්ව ප්‍රතිමා, දේව ප්‍රතිමා ආදිය පමණක්‌ නොව සුවිශේෂ ලාංඡනද නිමැවී ඇති බව පෙනේ. එවැනි ප්‍රතිමා මිසරය, ග්‍රීකය ආදී දේශවලින් හමුවී ඇත. ඒ අනුව ගී්‍රකයන් දේව ප්‍රතිමාද යුදෙව්වන් මහම්මත් භක්‌තිකයන් කන්‍ය කුමරියගේ පිළිමයද නෙළා ඇත. ඊජිප්තු රාජ්‍යයේ පිරමීඩ දක්‌නට ලැබෙන අතර ඒවා මගින් මූර්තිමත් වන්නේ මැරුණු ප්‍රධානීන්ගේ රූපයි.
 
 බුදුපිළිම නිර්මාණයට පළමුව එය වෙනුවට විවිධ සංකේත යොදාගත් බව පෙනේ. සාංචි භාරුත් වැනි තැන්වලින් හමුවන්නේ එවැනි බෞද්ධ සංකේතය. බුද්ධ ප්‍රතිමාකරණයෙහිදී ඔවුන් බුදුපිළිමකරණයෙහි නියුක්‌ත වීම සිදුනොකළේ බුදුන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසාය. වරෙක සැරියුත් හිමියන් ප්‍රතිමාකරණයෙහි යෙදීම පිළිබඳ බුදුරදුන්ගෙන් විමසූ විට උන්වහන්සේ පෙන්වාදුන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුපිළිම නිර්මාණය කිරීම ගැටලුවක්‌ නොවන බවයි. බුද්ධ ප්‍රතිමාවම නොව බුදුන් වහන්සේ නොමැති වූ විටෙක උන්වහන්සේ පිදීමට යමක්‌ නොමැති නිසා උන්වහන්සේ සම්මුඛ වීමට පැමිණෙන බෞද්ධයන් කණස්‌සල්ලෙන් යන බවත් ඊට පිළියමක්‌ යොදන බවත් ඉල්ලා සිටියේය. එයට බුදුන් අනුදැන වදාළේ බෝධීන් වහන්සේට පුදපූජා කළ හැකි බවයි. ඒ අනුව බෝධි රෝපණයක්‌ සිදු වූ අතර එය ආනන්ද බෝධිය යනුවෙන් හැඳින්වේ.
 
 භාරතයේ මුල්කාලීන යුගයේ නිර්මාණය වූ පිළිම බොහෝ සෙයින් ග්‍රීකයේ ඇපලෝ දෙවියන්ට සමානය. එයට හේතුව නම් ඔවුන් දැක තිබුණේ එම දෙවියන්ගේ රූපය නිසාය. එනමුදු මුල්කාලයේ නිර්මාණය වූ පිළිම බුදුන්ගේ රූපකායෙහි විශේෂතා උලුප්වා දැක්‌වීම පිණිස කටයුතු කළ බව හැඳිනගත හැකිය.
 
 වාත්සායනගේ කාම සූත්‍රයට ටීකාවක්‌ ලියූ යශෝධර චිත්‍ර හා මූර්ති ශිල්පයට අයත් ප්‍රධාන මූලධර්ම 06ක්‌ දක්‌වාලීය. එනම්,
 
 1. රූපභේද - ප්‍රතිමාවක/ රූපයක බාහිර පෙනුම එක්‌ එක්‌ ප්‍රතිමාවට අනන්‍ය විශේෂ ලක්‌ෂණයකි.
 
 2. ප්‍රමාණ - රූපමානය හෙවත් ප්‍රතිමාවක සමානුපාතික ලක්‌ෂණ පිළිබඳ දැනුම
 
 3. භාව - රූපයෙන් දැක්‌විය යුතු හැඟීම්
 
 4. ලාවණ්‍ය යෝජන - කලාත්මකභාවය/ සෞන්දර්යයෝජනය
 
 5. සාදෘශ්‍යය - ස්‌වභාවිකත්වයට සමීප බව/ ජීවමාන වස්‌තුවකට සමාන වීම
 
 6. වර්ණිකාභේදය - වර්ණයෝජනය
 
 මේ ලෙස මූර්තිකලාවේදී භාවිත මූලධර්ම රැසක්‌ හැඳිනගත හැකිය. ප්‍රතිමාකරණයෙහි නියුක්‌ත වන්නන් සඳහා උපදෙස්‌ දෙන කෘති ගණනාවක්‌ රචනා වී ඇත. මානසාර, වෘහත්සංහිතාව ආදි කෘති භාරතයෙන්ද ප්‍රතිමාමාන ලක්‌ෂණම්, බුද්ධභාෂිත ප්‍රතිමා ලක්‌ෂණම් ආදි කෘති නේපාලයෙහිද ශාරිපුත්‍රය, මඤ්ජුශ්‍රී වාස්‌තුවිද්‍යා හා චිත්‍ර ලක්‌ෂණ, රූපාවලිය, වෛජයන්ත තන්ත්‍රය, සාධනමාලා ආදි කෘති ලංකාවෙහිද රචනා වී ඇත. මේ සැම කෘතියක්‌ම ආභාසය කොට නොගත්තත් බුද්ධ ප්‍රතිමාකරණයෙහි නියුක්‌තවූවෝ බුදුරදුන්ගේ ශරීරශෝභාවට හානියක්‌ නොවන අයුරින් මූර්ති කොට දැක්‌වීමට වෙහෙසගත්හ. තම බුද්ධ ප්‍රතිමා නිර්මාණය මගින් බුදුහිමියන්ට අගෞරවයක්‌ සිදුවේයෑයි බිය නිසා මුල්කාලීන නිර්මාණකරුවන් බුද්ධප්‍රතිමාකරණය පිණිස වෙහෙස නොගත් බව ඉහතින්ද දැක්‌විණ. ඒ වෙනුවට ඔවුන් භාවිත කළේ ඡත්‍රය, පාද යුග්මය, ස්‌තූපය ආදි දෑය. එසේම ධර්මචක්‍රය, විජිනිපත ආදි දෑද බුදුන්වහන්සේගේ දේශනා පිළිබඳ දැක්‌වීමේදී භාවිත කළ බව පෙනේ.
 
 බුද්ධ ප්‍රතිමාකරණයෙහිදී මුල්කාලීනව ලාංකේය නිර්මාණකරුවන් භාවිත කර ඇත්තේ හුණු ගල් සහ කළුගල් ය. ක්‍රි.වර්ෂ 05වන සියවසින් පසු හුණුගලට වඩා කළුගල භාවිත කළ බව හැඳිනගත හැකිය. පොළොන්නරුවේ බොහෝ ප්‍රමාණයක්‌ බුද්ධ ප්‍රතිමා නෙළා ඇත්තේ කළුගලෙනි. සමහර තැනෙක මැටි මිශ්‍ර ගඩොලින් කළ ප්‍රතිමාද හමුවේ. ඊට කදිම නිදසුනක්‌ ලෙස ලංකාතිලක විහාරයෙහි ඇති හිටි පිළිමය දක්‌වාලිය හැකිය.
 
 මූර්තිකලාවේ මුදුන් මල්කඩ ලෙස බුද්ධ ප්‍රතිමාව සඳහන් කළ හැකිය. කළුගල්, හුණුගල්, ගඩොල්වලට අමතරව රන්, රිදී, ලෝහ සහ දැව මගින්ද බුදුපිළිම නෙළා ඇත. පෞරාණිකත්වය මත ඇතැම් ප්‍රතිමා නටබුන් බවට පත්ව ඇති බව හඳුනාගත හැකිය. බුද්ධප්‍රතිමාකරණයෙහි කවරෙකු යෙදුනේ දැයි නිශ්චිතව සඳහන් කළ නොහැකිය. මහනුවර යුගයේදී කුලභේදය පිළිබඳ යම් සටහනක්‌ දැකිය හැකි අතර ගල්, ලෝහ, චිත්‍ර, රන්, රිදී ආදි වශයෙන් වෘත්තීන් තිබූ බව තොරතුරු සහිතව සනාථ කළ හැකිය. පුරාතනයේ පටන් මූර්ති ශිල්පීන් සිතුමනාපෙට ප්‍රතිමාකරණයෙහි නියුක්‌ත නොවූ බව පැහැදිලිය. ඔවුහු කිසියම් නීති ශාස්‌ත්‍රයකට අනුගතව සම්ප්‍රදායානුකූලව ප්‍රතිමා නිමැවූවෝ වූහ.
 
 බුද්ධ ප්‍රතිමා නෙළීම පිළිබඳ විශේෂයෙන් විස්‌තර සඳහන් වන්නේ ශාරිපුත්‍රයේය. බුද්ධ ප්‍රතිමාකරණයේදී පිළිපැදිය යුතු නීතිරීති, ඒවායේ උස ප්‍රමාණය, පළල ආදිය පිළිබඳ සඳහන් කරන ශාරිපුත්‍රය රචනා කළේ කවරෙකු විසින් දැයි සඳහනක්‌ එහි නැත. මෙය සංස්‌කෘත භාෂාවෙන් රචනා වී ඇති නිසා සංස්‌කෘත භාෂාව මනාව දන්නා සහ පිළිමකරණය පිළිබඳ මනා දැනුමකින් යුතු ප්‍රාඥයෙකු විසින් රචිත බව නිගමනය කළ හැකිය. මෙම අදහස ඉදිරිපත් කරන්නේ ආනන්ද කුමාරස්‌වාමි සූරීන්ය.
 
 දිඹුලාගල කාශ්‍යප හිමි දෙවැනි පැරකුම්බා රජුට ඉල්ලීමක්‌ කරමින් පවසා සිටියේ මෙකී කෘතිය සිංහල භාෂාවෙන් පරිවර්තනය කරදෙන ලෙසය. එකල සම්භාව්‍ය භාෂාව සංස්‌කෘතය නිසා ඒ බසින් මෙය රචනා කළද සිංහල බසින් පරිවර්තනය කිරීම අවශ්‍ය බැව් සඳහන් කරන්නට ඇත්තේ එම කෘතියෙන් අනුදත් බුද්ධ ප්‍රතිමාකරණයෙහිලා වැදගත් කරුණු තත්කාලීන ප්‍රතිමාකරණයෙහි නියුක්‌ත වූවන් භාවිත කළ නිසා වන්නට ඇත. ඒ අනුව මෙම කෘතියෙන් පෙනෙන කරුණු බොහෝ සේ ප්‍රතිමා සඳහා උපයුක්‌ත කරගත් බවට නිගමනය කළ හැකිය.
 
 පැරණි ප්‍රතිමා ශිල්පීහු සංස්‌කෘත භාෂාව නොදත්හ. එනමුදු ඔවුන් ශාරිපුත්‍රයේ සඳහන් තොරතුරු කටපාඩම් කොටගෙන තද්කලාවේ නියුක්‌ත වූ බව සිතිය හැකිය. හිටිපිළිම, හිඳිපිළිම පමණක්‌ නොව ඔත්පිළිම නෙළීමේදී භාවිත කළ යුතු ක්‍රමශිල්ප පිළිබඳ ශාරිපුත්‍රයේ සඳහන්ය. කෙසේ වුවත් ශාරිපුත්‍රයේ ඇතුළත් ඇතැම් තොරතුරු අනුව මෙය ගුප්ත යුගයට අයත් සේ සැලකිය හැකිය. මහායාන සම්ප්‍රදායයට ගරු කරමින් ඇතැම් කරුණු ඊට අනුකූලව අන්තර්ගත කොට ඇති බව සැලකිය හැකිය. බුද්ධ ප්‍රතිමාව පමණක්‌ නොව එය තැන්පත් කිsරීම සඳහා අවශ්‍ය පිළිමගෙය ප්‍රතිමාවේ ප්‍රමාණයට අනුව නිර්මාණය කළ බව හැඳිනගත හැකිය. ඉහතින් බුද්ධ ප්‍රතිමා නිර්මාණයෙහිලා භාවිත කළ ආකාර 3ක්‌ පෙන්වා දුනි.
 
 හිටි පිළිම (-
 
 උසින් අඩි 02කට වඩා එනම් දෙරියනකට වඩා කුඩා බුද්ධ ප්‍රතිමා අල්ප ප්‍රතිමා හෙවත් කුඩා ප්‍රතිමා වශයෙන් සැලකිණ.
 
 උසින් අඟල් 155 ට හෙවත් පස්‌ රියනකට වඩා විශාල ප්‍රතිමා මධ්‍යම ප්‍රතිමා ලෙසත්,
 
 උසින් අඟල් 248 ට හෙවත් රියන් දොළහකට වඩා වැඩි ප්‍රතිමා මහා ප්‍රතිමා හෙවත් උත්තම ප්‍රතිමා ලෙස හැඳින්විණ.
 
 රන් රිදී ලෝහ යන ද්‍රව්‍යන්ගෙන් නෙළන සෑම ප්‍රතිමාවක්‌ම මැදින් කුහර සහිත නොවිය යුතුය. කිසියම් මූර්ති ශිල්පියෙකු එසේ කුහරයක්‌ සහිත බුද්ධ ප්‍රතිමා නෙළන්නේද ඔහුගේ භාර්යාව ද වස්‌තුව ද වතුපිටි ආදිය ද විනාශ වීම පිණස හේතු වේ. දෙදණ අතර දුර, දකුණු උරහිසේ වම් දණහිsසත් වම් උරහිසේ සිට දකුණු දණහිසටත් අතර දුර සපරිමානය. උෂ්ණීෂය යව 08ක්‌ පමණ විය යුතුය. මඳ සිනහව පෙන්වන උඩුතොලේ සියුම් වත්‍ර 03ක්‌ විය යුතුය. කනේ පළල අඟල් දෙකක්‌ පමණ විය යුතුය. බුද්ධ ප්‍රතිමාව නිසි ආකාරයට නෙළීමට නොහැකි වූයේ නම් කලාකරුවාගේ ජීවිතයට වුව හානියක්‌ සිදුවිය හැකි බව එහි අන්තර්ගතය.
 
 වැඩහුන් පිළිම (-
 
 වැඩහුන් පිළිම නෙළීමේදී කලාකරුවෝ ප්‍රවේශමෙන් ශාන්තව, පිරිසිදු සිතකින් යුක්‌තව ආධ්‍යාත්මික ලක්‌ෂණ පිළිබිඹු කරන අයුරින් ප්‍රතිමාවක්‌ නෙළිය යුතුය. හිසේ සිට දෙපා දක්‌වා පිළිමය කැළලින් තොර විය යුතුය. සියලු අංග ප්‍රත්‍යාංග මනාව නෙළිය යුතුය. ප්‍රතිමාවේ දකුණු පාදය වම්පාදය උඩින් සිටින සේ නෙළිය යුතුය. අත් සඟළ ද එසේ විය යුතුමය. ප්‍රතිමාවේ චමත්කාරය ඇති වන්නේ එවිටය.
 
 ග්‍රීවයේ සිට නාභිය දක්‌වා අඟල්a 27කි. ප්‍රතිමාව වැඩ සිටින ආසනය ප්‍රතිමාවේ උස ප්‍රමාණයෙන් හතරෙන් පංගුවක්‌ හෝ පහෙන පංගුවක්‌ විය යුතුය.
 
 ඔත්පිළිම (-
 
 හොත් පිළිම ප්‍රතිමාවක සන්ධි එතරම් කුඩා නොකළ යුතුය. හොත් පිළිමයක්‌ තැන්පත් කර තිබෙන ගෘහයක ප්‍රමාණය කොටස්‌ 16කට බෙදිය යුතුය. මෙයින් අග සහ කෙළවර කොටස්‌ හිස්‌ව තැබිය යුතුය. ඉතිරි කොටසේ ප්‍රතිමාව තැබිය යුතුය.
 
 හොත් පිළිමයක පළල බ්‍රහ්ම පාදයක්‌ නැතහොත් ප්‍රේත පාදයකින් භාගයක්‌ විය යුතුය.
 
 හොත් පිළිම නෙළීමේදී මූර්ති ශිල්පියා පාරිශුද්ධිය පිළිබිඹු කෙරෙන පරිද්දෙන් නෙළිය යුතුය.
 
 මූර්ති ශිල්පීන් ඉහත ආකාරයටම ශාරිපුත්‍රයේ සඳහන් ආකාරයට ප්‍රතිමා නෙලූ බව සඳහන් කිරීම සාවද්‍යයකි. එහෙත් ඔවුන් බුද්ධ ප්‍රතිමාකරණයේදී ශාරිපුත්‍රය ගුරු කොටගත් බව සිතිය හැකිය. සමහර මූර්ති ශිල්පීන් ශාරිපුත්‍රයේ සඳහන්ව ඇති ශිල්පීය මිනුම්වලට පරිබාහිර ලෙස බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්නට ඇත. ශාරිපුත්‍රයට අමතරව සුක්‍රාචාර්යයන් විසින් රචනා කරන ලද නීතිසාරය නම් කෘතියද ගුරු කොට ගන්නට ඇත. මන්ද මෙහිද සඳහන් වන්නේ ප්‍රතිමා නෙළීම පිළිබඳ විස්‌තරය.
 
 බුද්ධ ප්‍රතිමා නෙළීමේදී ඒ සඳහා උපයුක්‌ත කොට ගන්නා ලද මුද්‍රd තිබේ. ධ්‍යාන, වරද, අභය, විතර්ක, ආසිව, ධර්මචක්‍ර ආදිය ඉන් කිහිපයකි. මෙකී මුද්‍රවලින් ශ්‍රී ලාංකේය ප්‍රතිමා ශිල්පීන් වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ ධ්‍යාන මුද්‍රdවයි. ධ්‍යාන මුද්‍රdව යනු භාවනා කරන ඉරියව්ව සහිත බුදුපිළිමයයි. ඒ දෙස බලාසිටින්නාට බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වේ. එසේම සිතෙහි ඒකාග්‍රතාව ඇති වේ. විරාගි භාවය මේවායෙන් ප්‍රකට කෙරේ.
 
 ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා දෙස බැලීමේදී ඒවායෙන් සැබැවින්ම බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වේ. රටෙහි නොයෙක්‌ දිග්භාගයේ ඇති බුද්ධ ප්‍රතිමා කුමන යුගයේදී නිර්මාණය කළෙකක්‌ද සොයනවාට වඩා එමගින් ලැබිය හැකි ජීවිත පරිඥානය වැදගත් වේ. සමහර බුද්ධ ප්‍රතිමා මථුරා සම්ප්‍රදායයට අයත් අතර ඒවා මගින් බුද්ධ පෞරුෂය දැක්‌වීමට ගත් උත්සාහය නිසා එතරම් දැකුම්කළු නොවේ. ශාරිපුත්‍රය පොළොන්නරු යුගයෙහි රචනා වූ නිසා එම යුගයෙන් පසුව බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ශාරිපුත්‍රයෙහි කරුණුවලට අවධානය යොමු කරන්නට ඇති බව නිගමනය කළ හැකිය. පිළිමවල දිග, පළල සෙවීම හුදෙක්‌ ආයාසකර නිසා ඒ පිළිබඳ සෙවීම උගහටය. වර්තමානයේ වුව බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ ද මෙකී ගුණාංග ආභාසය කොට ගන්නේ දැයි නිශ්චිතව කිව නොහැකිය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »