ඉංග්‍රීසි අධිරාජ්‍යය හෙල්ලුම් කෑ සිංහලේ මහා විමුක්ති අරගලය

2018-11-27 09:49:00       566
feature-top
ක්‍රි.ව. 1815 මාර්තු මස 02 දින මහනුවර මඟුල් මඩුවේදී අස්සන් කරන ලද සිංහල- ඉංග්‍රීසි ගිවිසුමෙන් ශ්‍රී ලංකාව එංගලන්තයේ III වැනි ජෝර්ජ් මහ රජතුමාගේ යටත් විජිතයක් ලෙසට ප්‍රකාශ කරන ලදී. මේ නිසා උඩරට පාලන ක්‍රමයේ වෙනස්කම් රාශියක් ඇති විය. උඩරට රදළවරුන්ට අවශ්‍යව තිබුණේ නායක්කර් වාංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා ඉංග්‍රීසීන්ගේ උදව්වෙන් නැවතත් සිංහල රාජවංශයක් ඇති කිරීමටයි. ඒකාධිපති පාලකයාගෙන් උඩරට වැසියන් මුදා ගැනීමට උඩරට ආක්‍රමණය කරන බව පැවසු නිසා බාධාවකින් තොරව ඉංග්‍රීසි හමුදාවලට මහනුවරට ඇතුළු වීමට හැකි විය.

එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීහු ශ්‍රී ලාංකිකයෙකු යළිත් රජ බවට පත් කිරීමට කටයුතු නොකළහ. ඇහැලේපොළ අදහස් කළේ ඉංග්‍රීසීන්ගේ සහායෙන් තමා රජ වීමටය. එහෙත් ඇහැලේපොළ ප්‍රමුඛ උඩරට රදළවරු තැබු බලාපොරොත්තු එකක් වත් ඉටු වුයේ නැත.

එසේම ඔවුන් බලාපොරොත්තු වූ පරිදි බ්‍රිතාන්‍යයන්ගෙන් ඔවුන්ට ගරු බුහුමන්, තාන්න, මාන්න, පුදසත්කාර කිසිවක් නොලැබිණි. ඔවුන්ගේ තත්වය උසස් නොවුණා පමණක් නොව පෙර තිබු තත්වයද නැතිව ගියේය. මේ නිසා ඇල්ලු අත්තත් පය ගැසු අත්තක් දෙකම නැතිව ගිය මහනුවර රදළවරු තමන් කරගත් මෝඩකම ගැන පසුතැවිලි වුහ. ශත වර්ෂ ගණනාවක් රාජකීය පාලනයට පුරුදුව සිටි රදළවරු එය අතුරුදහන් වීම ගැන කලකිරුණහ.

එංගලන්තයේ සිටි III ජොර්ජ් රජුට දෘශ්‍යමාන රජෙකුගේ තැන ගැනීමට නොහැකි විය. සිංහල රාජ සභාවට හිමි වූ තේරානුකූල උත්සව පුද සිරිත් දැන් නැති විය. මහනුවර වැසියන්ට උවමනා වූයේ බැහැදැක ගත හැකි රජෙකි. සිය දුක් ගැනවිලි කියා පා වැද වැටී තීන්දු ලබා ගැනීමට ඔවුන්ට රජෙකු අවශ්‍ය විය.

එතර සිටින රජෙකුට කෙසේ ලංකාව පාලනය කළ හැකිදැයි ඔවුන්ට වටහාගත නොහැකි විය. දේශීය ආණ්ඩුක්‍රමයේ තැන ගත් විදේශීය ආණ්ඩුක්‍රමය වැසියන්ට මහත් ගැටලුවක් විය. නියෝජිතයන් මඟින් ගෙන ගිය නව පාලන ක්‍රමය ගැන මහනුවර වැසියන් තුළ කිසිම වැටහීමක් නොවුයේ ය.

එසේම භික්ෂු සංඝයාද බ්‍රිතාන්‍ය පාලනය ගැන කලකිරීමට පත් වුහ. ක්‍රිස්තියානු ආණ්ඩුවක් මහනුවර බලයට පත්වීම බුද්ධාගමට මහත් හිංසාවක් ලෙස භික්ෂුහු සැලකූහ.1815 උඩරට ගිවිසුමෙන් බුද්ධාගමට හිමි තැන ආරක්ෂා කරන බවට බ්‍රිතාන්‍යයන් පොරොන්දු වූවත් එසේ කළේ හද පත්ලෙන්ම එම ආගම කෙරෙහි භක්තියකින් නොව බලය තහවුරු කර ගැනීමටය. එහෙයින් බෞද්ධ රජෙකුගෙන් ඉටු වූ සේවය ඔවුන්ගෙන් බුද්ධාගමට ඉටු නොවීය. මේ නිසා බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීමේ මඟක් ගැන භික්ෂු සංඝයාද කල්පනා කළහ.

මහනුවර රජුන් දවසක ඌව - වෙල්ලස්ස මහනුවර රාජධානියෙහි හුදකලා ප්‍රදේශයක් ලෙසින් පැවැතිණි. රජුගේ පාලනය මෙම ප්‍රදේශ කෙරෙහි බලපෑවේ ඉතා සුළු වශයෙනි. එහෙත් එහි වැසියෝ දැඩි රාජපාක්ෂිකයෝ වුහ. 1815 ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ වැසියන් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැගී නොසිටිය නමුත් මෙම ප්‍රදේශ නියමාකාරයෙන් යටත් නොවීය. එහෙත් බ්‍රිතාන්‍ය හේවායෝ වැසියන්ගේ දේපළ කොල්ල කෑහ.

ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නොහැකි වූ නිසා ගම්මුලාදෑනිහු කෝපයට පත් වුහ. ඌවේ ඇති වු මෙම නොසංසුන් කමට හේතු සොයා බැලීමට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඌවේ සංචාරයකද යෙදනේය. එම සංචාරයෙන් පසු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය මහ රජුගේ ලේකම්වරයා වූ “බැතර්ස්ට්” වංශාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙසේ සඳහන් කොට ඇත.

“මහා බ්‍රිතාන්‍ය වංශාධිපතිතුමනි. ඌව සහ වෙල්ලස්ස මෙම දිවයිනේ ධාන්‍යාගාරය යයි කිව හැකිය. මෙය විසිතුරු උද්‍යානයකි. මෙම ප්‍රදේශයේ වැවෙන ධාන්‍ය සහ අන්‍ය භෝග වර්ගවලින් මුළු දිවයිනම ස්වයංපෝෂිත කරන්නට හැකිවෙනවා පමණක් නොව දකුණු ඉන්දියාවටද අවශ්‍ය ධාන්‍ය මෙම ප්‍රදේශයෙන් ලබා ගත හැකියි” යනුවෙනි.

ඌව සහ වෙල්ලස්සේ යෝනක ජනයා බ්‍රිතාන්‍යයන්ට ළැදි වුහ. වෙරළබඩ ප්‍රදේශ සමඟ ගෙන ගිය ලුණු සහ රෙදි වෙළඳාම සම්පුර්ණයෙන්ම පැවැතියේ යෝනකයන් අතය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ ඔවුන්ගේ කාර්ය වුයේ රජුගේ ගබඩාවට බඩු ඇදීමය. මේ නිසා “මැදිගේ” දෙපාර්තමේන්තුව ඔවුන් ගෙන් සමන්විත විය. එහෙත් මැදිගේ (මඩිගේ) ලේකම් වුයේ සිංහලයෙකි. යෝනකයන් සුළු මුලාදෑනි තනතුරු දරන ලද නමුත් ඔවුහු ප්‍රදේශයේ දිසාවේ සහ අන් ප්‍රධානීන්ගේ පාලනයට යටත් වුහ. මේ නිසා ඔවුන් ගෙන ගිය බඩු සිංහල ප්‍රධානීහු කැමති මිලකට ගන්නා ලද අතර සමහර විටෙක නොමිලයේද ගත්හ.

එයින් අප්‍රසාදයට පත්ව සිටි යෝනකයෝ ඔවුන්ටද මුහන්දිරම් තනතුරක් ලබා දෙන ලෙස බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා “හජ්ජි” නම් අයෙක් වෙල්ලස්සේ මුහම්දිරම් තනතුර‍ට පත් කළේය. මෙය සිංහලයන් කුපිත කරවන සිද්ධියක් විය. මුස්ලිම්වරුන්ද තමන්ට අත් වූ බලයෙන් ප්‍රමුදිත වුවාහු සිංහල අධිපතිවරුන්ට පෙර මෙන් සැලකිලි නොකළහ.

කරුණු මෙසේ තිබියදී ඌව පළාතට අයත් රුහුණු කතරගම දේවාලයේදී අපූරු සිදුවීමක් සිදු විය. එනම් සිංහල රාජවංශයට උරුමකම් කියාගෙන ඉදිරිපත් වූ විල්බාවේ නම් අයෙකු “දොරේසාමි” නමින් රාජ්‍යත්වයෙන්අභිෂේක කිරීමය. එම අවස්ථාවට කිවුලේගෙදර මොහොට්ටාල, ඇපලෝගම මොහොට්ටාල, බුටාවේ රටේ රාල ඇතුළු ඌවේ නායකයන් කීප දෙනෙක්ම සහභාගී වුහ. මෙම සිද්ධිය ආරංචි වූ ඌව උප රෙසිඩන්ට් වරයා වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් කැරලි නායකයා අල්ලාගෙන එන ලෙස “හජ්ජි” මුහම්දිරම් පිටත්කොට යැවීය. ඔහුට මුණ ගැසුණේ බුටවේ රටේරාල ඇතුළු පිරිසය. හජ්ජි මුහන්දිරම් අල්ලා ගත් බුටාවේ ඇතුළු පිරිස ඔහු දොරේසාමි වෙත ඉදිරිපත් කරන ලදුව ජීවිතක්ෂයට පත් කරන ලදි.

මේ පුවත සැලවූ විල්සන් මහතා “ලෙප්ටිනන් නිව්මන්”යටතෙහි වූ මැලේ භට හමුදාවක් සමඟ සතුරා ඇල්ලීමට තෙමේම පිටත් විය. ඔහු කැරලිකරුවන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළ නමුත් එයින් පලක් නොවීය. බිබිල මැදගම කිට්ටුව ඊතනවත්ත දේවාලය අසලදී ඔහුද කැරලිකරුවන්ගේ ඊතල පහරකට ලක් විය. මෙයින් වඩාත් කුපිත වූ බ්‍රිතන්‍ය පාලකයෝ කැරැල්ල මැඬීමට වහා පියවර ගත්හ. ආදායම් කොමසාරිස් වූ සයිමන් සෝවර්ස් මහතා විල්සන්ගේ තැන ගැනීමට බදුල්ලට පිටත් කර හරින ලදී.

කැරැල්ල මැඬලීමට වලපනේ දිසාව වූ කොබ්බෑකඩුව වෙල්ලස්සේ දිසාව වූ මිල්ලෑව ඌවේ දිසාව වු කැප්පෙටිපොළ ඔවුනොවුන්ගේ දිසාවලට පිටත් කර හරින ලදී. මොල්ලිගොඩ සිය දිසාව වූ හතර කෝරලයට ගිය අතර බ්‍රිතාන්‍යයෝ කොළඹින් ආධාර ඉල්ලා යැවුහ. මේ අතර කැරලි කරුවෝ වනයෙහි සැගවී සිට ඉංග්‍රීසි හමුදාවලට දැඩි ලෙස පහර දෙන්නට පටන් ගත්හ.

වෙල්ලස්සේ හට ගත් මෙම කැරැල්ල ලැව් ගින්නක් ලෙස පැතිර ගියේය. මෙය සංවිධානයක් නොමැතිව හටගත් එකක් වුවද බ්‍රිතාන්‍යයන් කෙරෙහි රටවැසියන් තුළ පැවැති විරුද්ධත්වය නිසා එය ඉතා දරුණු අතට හැරිණි. ඌවට යමින් සිටි කැප්පෙටි‍‍පොළ මගදී මුණ ගැසුණ බුටෑවේ රටේ රාලගේ කරුණු දැක්වීමෙන් පසු කැප්පෙටිපොළ තමා සමඟ ගිය ඉංග්‍රීසි සෙබළුන් හා ආයුධ ආපසු එවා ඔහු ගොස් කැරැල්ලේ නායකත්වය ගත්තේය. මේ නිසා ප්‍රධාන රදලවරු බොහෝ දෙනෙක් කැරැල්ලට එක් වුයෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහත් භීතියට පත් විය.

මොල්ලිගොඩ හැරුණ විට අන් සියලු රදළවරු කැරැල්ලට සහාය දුන්හ. කැප්පෙටිපොල මඩුගල්ලේ, පිළිමතලව්වේ. ඇල්ලේපොළ ආදිහු ඉන් ප්‍රමුඛ වුහ. බ්‍රිතාන්‍යයෝ ඌව වෙල්ලස්ස අත්හැර දැමීමට පවා සාකච්ඡා කළහ. එහෙත් බැතර්ස්ට් වංශාධිපතිවරයා බ්‍රවුන්රිග්ට දන්වා සිටියේ මොන හේතුවක් නිසා හෝ උඩරට පෙදෙස් අත්හැර නොදමන ලෙසයි. එසේ අත්හැර දැමුවහොත් එය අනෙක් ඉංග්‍රීසි යටත් විජිත වලටත් බලපෑ හැකි බව සඳහන් කළ හෙතෙම කැරැල්ල මඬ පැවැත්වීමට යුද්ධ නීතිය ප්‍රකාශ කොට දරුණු මර්දනයක් ක්‍රියාත්මක කරන ලෙස දැන්වීය.

මේ අනුව 1881 පෙරවාරි 21 වැනි දින මුළු උඩරට පුරා යුද්ධ නීතිය පනවන ලද ඉංග්‍රීසීහු ඌව වෙල්ලස්සේ වයස 18 වැඩි සියලු පිරිමින් මරා දැමීමටත්, ගෙවල් දොරවල් ගිනිබත් කිරීමටත්, අස්වැන්න සම්පුර්ණයෙන් විනාශ කිරීමටත්, කොස්, දෙල්, පොල්, ආදී ගස් විනාශ කිරීමටත්, අළ දොළ වැව් අමුණු කඩා විනාශ කිරීමටත්, ගව, එළු, කුකුළු, මත්ස්‍ය ආදී සියලු සතුන් නැති කරන්නටත්, කොළරා, වසුරිය ආදි රෝග පතුරුවා හැරීමටත් නියම කොට ඒ සඳහා හමුදා මෙහෙයවීය.

එසේම කැරලි නායකයන්ගේ දේපොළ රාජසන්තක කළ රජය කැප්පෙටිපොළ, මඩුගල්ලේ, කිවුල්ගෙදර, ඇල්ලේ‍‍පොළ යන ප්‍රධාන කැරලි නායකයන් අල්ලා දුන් කෙනෙකුට රන් පගෝදි 500 සිට 1000 දක්වා වටිනා තෑගි දෙන බවටද රාජාඥාවක් නිකුත් කළේය.

මේ අතරතුර කැරලිකරුවන් අතර ද භේදයක් හට ගැනිණි. දොරේසාමි රාජවංශිකයෙකු නොවන බව පළ විය. එය සත්‍යයක් බව දැනගත් විට රදළවරු ඔහු හා විරුද්ධ විය. මේ නිසා 1818 ඔක්තෝබර් වන විට කැරැල්ල දුර්වල අතට හැරී තිබිණි. කැප්පෙටිපොළ සොයමින් ඉංග්‍රීසි සේනා මුළු උඩරට දෙවනත් කළහ. කැප්පෙටිපොළ, පිළිමතලව්වේ හා මඬුගල්ලේ යන කැරලි නායකයෝ අනුරාධපුර දෙසට පලා ගියහ.

නමුත් වෙඩි වැදුණ සිංහලයකුගෙන් ලබාගත් ඔත්තුවක් අනුව පරවහගම නිවසක සැඟවී සිටි කැප්පෙටිපොළ සහ පිළිමතලව්වේ අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. මඩුගල්ලේ එතැනින් පලාගිය නමුත් පසුව අත්අඩංගුවට ගැනිණි. කැප්පෙටිපොළ ඇල්ලීමට ගිය “කපිතාන් ඕනිල්” ඉදිරියට ගිය කැප්පෙටිපොළ ඔහුට අත දී “මම තමා කැප්පෙටිපොළ” යයි අභීත ලෙස පළ කරමින් සිරකරුවෙකු බවට පත් විය.

1818 නොවැම්බර් 13 වැනි දින කැප්පෙටිපොළට විරුද්ධව පැවරු නඩුව විභාග විය. නඩු තීන්දුව අනුව නොවැම්බර් 26 දින ඔහුගේ හිස ගසා දැමීමට නියම විය. එදින සිදු වූ සිදුවීම් බොහෝ ප්‍රචලිත නිසා මෙහි සඳහන් නොකරමි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙවුලුම් කෑ සිංහලේ ප්‍රථම විමුක්ති අරගලය එසේ නිම විය.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »