ඉතිහාසය යළි ලියැවෙන අබිරහස් රැසක් සැඟවුණු අසේල පබ්බතය

2018-12-06 11:21:00       0
feature-top
හෙළයේ සැබෑ ඉතිහාස කතාව විමසා බලන්නකුට "අසේල පබ්බත"ය විශේෂ ස්ථානයකි. කුරුණෑගල - අනුරාධපුර මාර්ගයේ තඹුත්තේගම පොලිසිය ඉදිරිපිටින් වැටී ඇති රාජාංගණය වම් ඉවුර ඔස්සේ දිවෙන පුත්තලම් මාර්ගයේ සැ. 7ක් පමණ ගිය තැන හමුවන "අංගමුගම" ගම්පියසේ ඇති මේ අසේල පබ්බතයට "ආ¾ඩිගල" කියාද ව්‍යවහාර වේ. මෙය විශාල ගල්තලාවකින් යුතු වේදිකා තුනකින් යුක්ත වූවකි. පසෙකින් රාජාංගණ ජලාශයත්, කලා ඔයේ ශාඛාවක් වූ ලුණු ඔයත් ගලා බසින්නේ ඒ අසලිනි.

හරි හැටි පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් සිදු කොට නොමැති මුත් හෙළයේ මහාවංස කතාවේ සැඟවුණු රහස් රැසක් මෙහි නිදන්ව තිබෙන බව, ජනවහරේ කතා කියන, මේ ඉසව්වේ පාරම්පරික ජනතාව සාක්ෂි දරන්නේය. පර්වතයට නඟින්නට පිහිටි ගලේම කැපූ පියගැටපෙළම ඉතිහාසයේ නොකියැවුණු කතා ගොන්නක ප්‍රබලම සාක්ෂියකි. පියගැටපෙළ 153කින් යුතු මේ මහා ශෛලමය ගල්තලාව මුදුනේ ඔබ විශ්වාස නොකරන තරමේ සාක්ෂියක් ඇතැයි කියැවිණි. එනම් ක්‍රි.පූ. 4 හෝ 5 වකවානුවල සටහන් කළ බැව් පැවසෙන ලංකාවේ සිතියමක්ය.

ලංකාවේ සිතියමක් මුල් වරට ඇඳ ඇතැයි කියන්නේ ක්‍රි.ව. 150දී ටොලමි විසින් ඇඳි සිතියමය. එය ටොලමිගේ ලංකා සිතියමට වඩා අංගසම්පූර්ණව පිහිටි ගල හාරා කළ එකකි. මෙයාකාර සටහනක් ලංකාවේ කිසිදු ස්ථානයකින් දැකගත නොහැකි වීම නිසා මෙය සුවිශේෂී වන්නේය. මෙය නිවැරැදිවම ලක් පොළොවේ සිතියම ද යන්න නිසි පුරාවිද්‍යාත්මක කියැවීමක් සිදු නොවීම අභාග්‍යයකි.

පර්වතය මුදුනේ හෙළ ඉතිහාසයේ සාක්ෂි රැසක් විසිරී ගොසිනි. එහි ඉපැරැණි දාගැබක නටබුන් රැසකි. මේ නටබුන් අතර වැදගත්ම දේ නම් අනුරාධපුර යුගයේ මුල් වකවානුවේ තොරතුරු සිහිගන්වන නටබුන් තිබීමය. මේ කියන නටබුන් චෛත්‍යයේ කොතක් වෙනුවට භාවිත කළ යූප ගලක්ද දිස්වෙයි. මෙවැන්නක් භාවිතව ඇත්තේ අනුරාධපුර යුගයේ මුල්ම අවධියේය. එසේ නම් මෙම චෛත්‍ය එම යුගයේ අතීත කතාවක් කියාපාන්නේය.
පර්වතයේ දකුණු දිග පිහිටි මළුවේ ගල හාරා කැටයම් කර ඇති ලෙන් බිත්තියක සුවිශේෂී කැටයමක් වෙයි. මෙය දුටුවනම සිහිගැන්වෙන්නේ "මිනිසා සහ අශ්ව හිස" සහිත කැටයමය. මෙය ඊට ඉතා සමීපය. කැටයම නිරීක්ෂණය කළ විද්වතුන්ගේ මත විවිධය. අයකු මෙය "වැස්ස වලාහක දෙවියන් හෙවත් පාර්ජන්‍ය දෙවියන්" බවට මත පළ කළ අතර තවකකු කීවේ මෙය "අවලෝකිතේශ්වර බෝධිසත්ව රූපයක්" බවය. ගල් කැටයමෙහි යටගියාව නිවැරැදිව වටහා ගන්නට නම් මේ ප්‍රදේශයේ නිසි පුරාවිද්‍යාත්මක ගවේෂණයක් කළ යුතුය. එහෙත් එය තවමත් හරි හැටි සිදුවී නැත. මේ සඳහා උනන්දු කරවන සාක්ෂි බොහෝය. පර්වතයට නැඟීමට මෙන්ම ඉන් බැස යෑමටත් නැඟෙනහිර දිශාවෙන් තවත් පියගැටපෙළක් තිබීම එක් සාධකයකි.

එය පළමු පියගැටපෙළ තරම්ම සූක්ෂමව නිමවා නැත. පිහිටි ගල එනම් පොළොවේ සිට අඩි 500ක් තරම් උස් තැනක හැමදාමත් ජලය පිරී පවතින ස්වාභාවිකව හැදුණු ගල් පොකුණු තවත් සාක්ෂියකි. මේ කියන ගල් පොකුණත් අශ්ව හිස හා මිනිස් රුවත් අතර සබඳතාවක් ඇතැයි සිතෙන තරම්ය. මිනිස් රූපයේ නෙත් වැටී ඇත්තේ ගල් පොකුණ වෙතය.

පර්වතය පාමුල දකුණු දිශාවට වන්නට පර්වතයේම ඇති ස්වාභාවික යෝධ ගල් ලෙනක් වෙයි. මෑතකදී භික්ෂු වාසස්ථානයක් වෙනුවෙන් බිත්ති බැඳ තිබුණද අතීතයේ මහ රහතන් වහන්සේ මෙහි වැඩ සිටි බවක් කියැවේ. ලෙන ඉදිරියේදීම ඉපැරැණි ආසනඝරයක නටබුන් ලඳු කැලෑවට බිලිවී ඇත. එහි ඔප දැමූ, හොඳින් පිළිවෙළකට සැකසූ ගල් පුවරු දෙකක්ද, ඒ වටා ශෛලමය ස්තම්භ කිහිපයකද නටබුන් දක්නට ඇත. මෙහි කිසියම් විශේෂිත කරුණක් උදෙසා වූ ගොඩනැඟිල්ලක් තිබූ බවට පෙනෙන්නට තිබේ. පර්වත පාමුල තැනින් තැන මතුවී පෙනෙන සාධකවලට වඩා යම් තරමක ස්වාභාවික ආපදාවන් නිසා පස් අතර සැඟවූ වටිනා පුරාවිද්‍යාත්මක තොරතුරු මතු කර ගත හැකි නටබුන් රැසක් ඇති බැව් පෙනෙයි.

බෙල් මහතා මේ පර්වතය හඳුන්වා තිබෙන්නේ "තුබුල්ලේගල" කියාය. එහෙත් එල්ලාවල මේධානන්ද හිමියන් මෙහි වූ සෙල්ලිපියක් කියවා පැහැදිලි කර ඇති පරිදි මෙම පර්වතය "අසේල පබ්බත" යැයි කියැවේ. මෙය විජය රජු ආවා යැයි කියන යුගයටත් එහා ගිය අතීත කතාවකට සාක්ෂි දරන බව නම් පැහැදිලිය. මෙහි සිට සමුද්‍ර තීරය තෙක් විහිඳුණු වෙළෙඳ ගනුදෙනු සිදුවුණු වෙළෙඳ නගරයක් තිබූ බවට හැඟවෙන තොරතුරු බොහෝය. ඒ පිළිබඳව දැක්වෙන මේ ආසන්නයේ ඇති "සරක්කු ගල" නමින් ඇති ගලේ වූ සෙල්ලිපියකින් මේ බැව් පැහැදිලි වෙයි. කාලි දේවතා ඇදහිල්ල තිබුණු බවට තොරතුරු පළවෙයි. එහෙත් මෙම ප්‍රදේශය අතීතයේදී හඳුන්වාදී තිබෙන්නේ "කලදගව් නගර" නමින්ය. කෙසේ වෙතත් මෙම පර්වතය හා ප්‍රදේශය බෞද්ධාගමික පුදබිමක් ලෙස දියුණුව පැවැති බවට වූ සාක්ෂි හැම තැනකම විසිරී විපතට පත්වෙමින් පවතී. මෙහි ඇති සිරිපා ගල්, යූප ගල්, සෙල් ලිපි, ආසනඝර ආදියෙන් විද්‍යමාන වන්නේ මෙය මුල් යුගයේ සිටම මහින්දාගමනයත් සමඟම විහාර සංකීර්ණයක් වූ බවය. ඊට විශේෂම හේතුව නම් ගලින් කෙටූ බුදු පිළිමයක් දක්නට නොමැති වීමය. එය බුදු දහම පැමිණි මුල් යුගයේ තත්ත්වයය.

එහෙත් අපූරු සාධක කිහිපයක්ද විශේෂ අවධානයක් සඳහා ඇත. එනම් ගලක කෙටූ ඉතා අලංකාර වූ කාන්තා රූපයක කොටසක් අදත් මෙම විහාරස්ථානයෙහි තිබීමය.
පරාක්‍රමබාහු රජු පොළොන්නරුව අල්ලා ගැනීමට උපක්‍රම භවිත කළ සමයේ මෙය ඉතා හොඳ ආරක්ෂිත, යුද කඳවුරක් සේ භාවිත කර ඇත. එහෙත් පරසතුරු උවදුරු නිසාවෙන්, නිදන් හොරුන්ගේ අමන ක්‍රියා හේතුවෙන් පුරාවස්තු රැසක් අහිමි වී හමාරය.

රාජාංගණය ව්‍යාපාරය නොවන්නට අද තිබෙන තත්ත්වයටවත් මෙම අසේල පබ්බත ප්‍රදේශය කලඑළි වන්නේ නැති බැව් ප්‍රදේශවාසීන්ගේ අදහසයි. ඒ කෙසේ වුවත් අසේල පබ්බත ප්‍රදේශය පුරාම හෙළ ඉතිහාසයේ නොකියැවුණු අබිරහස් රැසක් වැළලී ඇති බැව් පෙනෙයි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »