පෙම් යුවළ හා අශ්වහිස කැටයම එක ළඟ තිබූ බව පිළිගන්න බෑ

2019-04-09 09:38:00       679
feature-top
මෙම පෙම් යුවළ කැටයමෙහි වස්තු විෂයය පිළිබඳ විවිධ මත පවතී. මින් නිරූපණය වන්නේ යුද සෙබළෙකු හා ඔහුගේ පෙම්වතිය හමුවූ අවස්ථාවක් බව ‍ෆෝගල් මහතා පවසයි. පී.සී.සෙස්තියරි මහතාගේ අදහස වන්නේ මෙම නිර්මාණයෙන් ස්ථිරචක්‍ර මංජු ශ්‍රී හා ඔහුගේ ශක්තිය වූ ප්‍රඥාව ලෙස සංකේතවත් කොට දක්වනු ලබන මහායාන ආගමික සංකල්පයක් නිරූපිත බවකි. මහාචාර්ය ඩී.කේ. දොහානියන් ද මේ නිර්මාණයෙන් මංජු ශ්‍රී ගේ වේශයක් වන ස්ථිරචක්‍ර මංජු ශ්‍රී නිරූපණය වන බව කියයි. මෙම නිර්මාණය ශිව පාර්වතී නියෝජනය කරන්නේ යැයි සිතිය හැකි බව ‘පුරාණ අනුරාධපුරය - ආරාමික නගරය’ (මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න) ග්‍රන්ථයේ සඳහන් වේ. ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ද මෙම කැටයමින් ශිව පාර්වතී නිරූපණය කෙරෙන බව අවධාරණය කරයි. මෙම කැටයමින් සිදුහත් කුමරු හා යසෝදරා දේවිය නිරූපණය වන බවට මතයක් පවතින බව ‘සිංහල විශ්වකෝෂය’ (සිවු වැනි කාණ්ඩය - ඩී.ඊ. හෙට්ටිආරච්චි) කියයි. පූජ්‍ය පණ්ඩිත මැද උයන්ගොඩ විමලකිත්ති හිමිපාණන් පවසන්නේ ‘මෙම පෙම් යුවළ’ දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය විය යුතු බවයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරනුයේ මෙම නිර්මාණයෙන් සාලිය - අශෝකමාලා නිරූපණය වන බවයි.

ඉතිහාස ප්‍රවෘත්ති අනුව සාලය අශෝකමාලා පෙම් පුවතට සම්බන්ධ තිසාවැවට ආසන්නව පිහිටි කුමාර පොකුණු දෙක සහිත රන්මසු උයනත්, අශෝකමාලා විසූ හෙල්ලොලි ග්‍රාමයත් ඉසුරුමුනිය ආසන්නයේ වීම සෙනරත් පරණවිතාන මහතාගේ මතයට පාදක වන්නට ඇතැයි සිතිය හැකි ය. පෙම් යුවළ කැටයම රන්මසු උයනෙහි තිබෙන්නට ඇති බවත් පසුකලෙක ගෙනැවිත් ඉසුරුමුණිය පැරණි විහාර පදනමේ සවිකරන්නට ඇති බවත් පරණවිතාන මහතාගේ අදහසයි.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ ‘පුරාණ අනුරාධපුරය’ (ආරාමික නගරය) ග්‍රන්ථයේ මෙවන් විස්තරයක් ද එයි. ‘දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරාගේ පෙම්වතිය වන අශෝකමාලාව විසූ චණ්ඩාලගම නැතහොත් හෙල්ලොලි ගම මීට යාබදව තිබුණ බව විශ්වාස කෙරේ. එය නිසැකවම දක්ඛිණ විහාරය හා ඉස්සරසමණ විහාරය අතර පිහිටිය යුතු ය. ජනප්‍රවාදයන්ට අනුව අශෝකමාලා මෙම තරුණ කුමරුට හමුවූයේ මෙම මනරම් රාජකීය උයනෙහිදීය. එය සත්‍ය වන්නේ නම් ක්‍රි.පූ. තුන් වන සියවසේ දී ගොඩනඟන ලද රන්මසු උයන දේවානම්පියතිස්ස රජු විසින් මහා සංඝයාට පූජා කරන ලද්දක් විය යුතු ය. දුටුගැමුණු රජු පිළිබඳව ජනප්‍රවාද රැව් පිළිරැව් දෙමින් පැවතියේ ක්‍රි.පූ. 2 වැනි ශතවර්ෂයේදී ය.” (204 පිටුව)

රජපවුල (රජවාසල දර්ශනය) ලෙසින් ‍හඳුන්වන ගල්පුවරුවක දැක්වෙන අර්ධකවාකාර අවකාශයක් තුළ රචනා වූ කැටයමින් ප්‍රභූ පුද්ගලයෙකු හා ඔහු පිරිවරා සිටින තවත් සතර දෙනෙක් දැක්වෙයි. අනුරාධපුර යුගයේ මුල් සියවස්වලට අයත් යැයි සැලකෙන මෙම නිර්මාණය ගුප්ත කලා ආභාසය අනුව අර්ධ උන්නතව නෙළන ලද්දකි. මෙම කැටයම් පුවරුව රන්මසු උයනේ (මඟුල් උයන) මුලින් ම තිබෙන්නට ඇති බවත් පසුව විහාර බැම්මෙහි සවි කරන්නට ඇති බවත් විද්වතුහු පවසති.

මෙම නිර්මාණය පිළිබඳව සිංහල විශ්වකෝෂයේ (සිව්වැනි කාණ්ඩය) මෙබඳු විස්තරයක් එයි.

“... මෙයින් ප්‍රභූ පුද්ගලයකු හා ඔහු පිරිවරා සිටින තවත් සතර දෙනක් දැක්වෙත්. කැටයමේ කැපී පෙනෙන පුද්ගලයා සෙසු අයට වඩා තරමක් උස වේදිකාවක, කලා සම්ප්‍රදායට අනුකූල නොවන විලාසයකින් හිඳගෙන සිටී. ඔහු තම වම් පසින් හිඳගත් කාන්තාවකගේ උකුළ වමත තබා ඇත. කිසියම් දෙයක් පැහැදිලි කරන ව්‍යාඛ්‍යාන මුද්‍රාවෙන් ඔහු දකුණත ඔසවා සිටී. උස් ඔටුන්නක් හා දිගු කර්ණාභරණ ද වළලු හා මාලයක් ද පැලඳ සිටින මොහුගේ ඉණෙහි බඳ පටි කිහිපයක් දිස්වෙයි. රූපයේ ඉණෙන් ඉහළ කොටස නග්නය; පහළ පෙදෙස දුහුල් ඇඳුමකින් වැසී ඇත. උරහිසේ සිට පහළට පූන නූලක් එල්ලෙයි‍. මුහුණේ ශාන්ත උදාර පෙනුමක් ඇත. මොහු රාජකීය පුරුෂයකු විය යුතු ය. මොහුගේ දකුණු පසින් චාමරයක් ගත් ස්ත්‍රියක සිටීම මේ අදහස තහවුරු කරන්නකි. ප්‍රධාන පුරුෂ රූපයට වම්පසින් ඔටුන්නක් හිස දරා, අත, ගෙල හා හිණ අබරණ පැලඳ සිටින ස්ත්‍රියකි. ඈ ප්‍රධාන පුද්ගලයාගේ වමත දෑතින් ම අල්ලාගෙන සිටින්නීය. ඇගේ මුහුණේ කැලඹුණු බවක් පිළිබිඹු වේ. ඈ රජ බිසවක් විය හැකි ය. මෙම ස්ත්‍රී රූපයට පිටිපසින් උක්කුටුකයෙන් හිඳගෙන සිටින තරුණියකගේ රූපයක් දැක්වේ. කැටයමේ දකුණු කෙළවර එක් පසක් දිගු කොට දෑත පපුව මත බැඳ යටහත් පහත් වුව ද සතුටට පත් ලීලාවකින් හිඳ ගෙන සිටින තරුණයෙකුගේ රූපයකි‍. ඔටුන්නක් හා මාල වළලු පැලඳ සිටින ඔහු උසස් පෙළේ තරුණයෙකු බව හැ‍ඟේ.” (276 පිටුව)

රජ පවුල (රජවාසල දර්ශනය) නමින් හඳුන්වන මෙම කැටයමින් ශිව පාර්වතී හා පිරිස නිරූපණය කරන බව ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා (‘ඉසුරුමුනි පෙම් යුවළ ශිව පාර්වතීමය’, 2016.01.17 සිළුමිණ පුවත්පත, චමත්කාර අතිරේකය, 34 පිටුව) අවධාරණය කරයි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙම් යුවළ කැටයමට අර්ථ සැපයීමේ දී රජ පවුල (රජ වාසල දර්ශනය) නමින් හඳුන්වන නිර්මාණය දෙස ද අවධානය යොමු කරයි. මින් දුටුගැමුණු රජපවුල හා සම්බන්ධ සිද්ධියක් නිරූපිත බව එතුමාගේ අදහසයි.

සාලිය කුමරු දුටුගැමුණු රජතුමාගේ පුත්‍රයා වන අතර, ඔහු අශෝකමාලා සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාව ඉතිහාසයේ මෙන්ම සාහිත්‍යයේ ද ප්‍රකට කතා පුවතකි. ‘රජ පවුල’ නමින් හඳුන්වන නිර්මාණයෙන් දුටුගැමුණු රජතුමා, සාලිය-අශෝකමාලා හමුවීමට ගිය අවස්ථාව නිරූපණය කෙරෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියයි. මේ නිර්මාණය, මානව රූප පහකින් යුක්ත ය. රූප රාමුවේ මැද මහාරාජ ලීලාසන ඉරියව්වෙන් වාඩි වී සිටින්නේ දුටුගැමුණු රජතුමා ය. රජතුමාට වම් පසින් දේවියත්, ඇය අසලින් කුඩාවට අශෝකමාලාත් පෙන්නුම් කර ඇත. රජතුමා තම වමත, දේවියගේ කලවා මත රුවා සිටී. දේවිය රජතුමාගේ වම් අත දෑතින් ම අල්ලා ගෙන සිටින අයුරක් පෙන්වයි. රජුට වම් පසින් පපුවට දෑත් තබාගෙන දකුණු පාදය දිගු කොට ගෙන සිටින්නේ සාලිය කුමාරයා ය. සාලිය කුමරුට පිටුපසින් චාමර සලන සේවිකාවකි. දුටුගැමුණු රජතුමා, සාලිය-අසෝකමාලා විවාහයට එකඟ වූ අවස්ථාව මෙයින් දැක්වෙන බව පරණවිතාන මහාතගේ අදහසයි.

සාලිය කුමරු හිතුවක්කාර ලෙස චණ්ඩාල කුලයේ අශෝකමාලාවත් සමඟ විවාහ වීම පිළිබඳ ව දුටුගැමුණු රජතුමා පසුවීයේ නො මනාපයෙනි. පසුකාලීනව දුටුගැමුණු රජතුමා, සාලිය-අශෝකමාලා හමුවීමට ගිය බව මහාවංශය, රසවාහිනිය, සද්ධර්මලංකාරය යන ග්‍රන්ථවල දැක්වේ. එසේ නමුදු ඒ අවස්ථාවට දුටුගැමුණු රජතුමාගේ බිසව රන්මැණිකා හෙවත් රාජිතා සම්බන්ධ වූ බවක් ඒ ග්‍රන්ථවල නො දැක්වේ.

නමුත් රසවාහිනියේ සහ රසවාහිනිය මුල් කරගෙන ලියැවුණු සද්ධර්මාලංකාරයේ (සාලිරාජ වස්තුව) සඳහන් වන අන්දමට දුටුගැමුණු රජතුමා, සාලිය කුමරුන් සිතැඟි වෙනස් කිරීමට ඔහු වෙත වල්ලභ (හිතවත්) ස්ත්‍රියක් යවා ඇත.

සද්ධර්මාලංකාරයේ එන සාලිරාජ වස්තුවේ කියැවෙන ආකාරයට, ඒ වල්ලභ ස්ත්‍රිය හමුවේ සාලිය කුමරු පවසා ඇත්තේ අශෝකමාලාවන් පිළිබඳ අදහස අත් නො හරින බවකි. අනතුරුව සාමුද්‍රිකා ලක්ෂණ විමසන රජතුමා, අශෝකමාලාවන්ගේ රූපශ්‍රීය හා වාසනාවන්ත බව අසා ප්‍රීතියට පත් වෙයි. පසුව, රජතුමා පිරිවර සමඟ සාලිය කුමරුගේ නිවසට ගොස් ඔවුන් දෙදෙනාට ආශිර්වාද කළ බවත් සාලිරාජ වස්තුව කියයි.

‘රජපවුල’ (රජවාසල දර්ශනය) කැටයමේ එන ප්‍රධාන පුරුෂ හා ස්ත්‍රී රූප දෙක සඳහා නිර්මාණ ශිල්පියා යොදාගත් ඉරියව් දෙස බැලීමේ දී පෙනී යන්නේ, ප්‍රධාන ස්ත්‍රිය රජුට සමීප අයෙකු විය යුතු බවයි. ඔහු තම වමත ඇගේ උකුළ මත තබා ගෙන සිටින අතර, ඇය ඔහුගේ වමත දෑතින් ම අල්ලාගෙන සිටියි.

රජ කෙනෙක් හා සම්බන්ධ ව මෙවැනි ඉරියව්වක් දැක්වීමට නම්, ඇය රජ බිසව ‍හෝ රජුට ‍හිතෛෂීවන්තියක් හෝ විය යුතුය. එමනිසා ‘රජපවුල’ කැටයමේ දැක්වෙන ප්‍රධාන ස්ත්‍රී රූපය, රජ බිසව නොවේ නම් රසවාහිනියේ / සද්ධර්මාලංකාරයේ (සාලිරාජ වස්තුව) සඳහන් එකී වල්ලභ ස්ත්‍රිය විය නො හැකිද? ඇය රජුගේ අත අල්ලාගෙන සිටීමත්, ඇගේ මුහුණේ ප්‍රකාශනය අනුවත් ඇය කිසියම් අවිනිශ්චිත ස්වභාවයකින් පසුවන බව පෙනෙයි.

ඉසුරුමුණියේ වූ මේ කැටයම් නිර්මාණ පිළිබඳ ව පළ වී ඇති විද්වත් මත, අර්ථ දැක්වීම් අනුව ඒවා සම්බන්ධව අරුත් සැපයීමේ දී පෙම්යුවළ කැටයම හා රජපවුල කැටයමත්, වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයම හා ඇත් රූප කැටයමත් එකිනෙකට ගැළපෙන බව පෙනී යයි.

පෙම්යුවළ හා රජපවුල (රජවාසල දර්ශනය) යන කැටයම් දෙක සාලිය අශෝකමාලා පෙම්පුවත හා සම්බන්ධ වූවක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අරුත් සැපයීම් අනුව පැහැදිලි ය. මේ නිර්මාණ දෙක ම ගල් පුවරුවල කර ඇති අතර, ගුප්තකලා අභාසය ලබා ඇති බව ද පිළිගැනේ.

ගුප්ත කලා සම්ප්‍රදාය අපට ලැබෙනුයේ උතුරු ඉන්දියාවේ පාටලීපුත්‍ර (පැට්නා) නගරය කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැඟුණු (ක්‍රි.ව. 320 - 540 පමණ) ගුප්ත අධිරාජ්‍යයෙනි. ගුප්ත රජවරුන් භාෂා ශාස්ත්‍ර, කලා ශිල්ප කෙරෙහි දැක් වූ අනුග්‍රහය හේතුවෙන් මේ අධිරාජ්‍ය සමයේ දී භාරතයේ සංස්කෘතික නවෝදයක් විය.

ඒ අනුව ගුප්ත රාජ්‍ය සමයේ දී චිත්‍ර හා මූර්ති කලාව ද ඉතා විශිෂ්ට තත්වයකට පත්විය. ගුප්ත රාජ්‍ය පාලනය ඇරඹෙන සමයේ (ක්‍රි.ව. 320 දී පමණ) ලක්දිව පාලකයා වන්නේ සිරිමේඝවණ්ණ රජු ය. ගුප්ත අධිරාජ්‍යයේ අවසානය (ක්‍රි.ව. 540 දී පමණ) වන විට ලක්දිව පාලකයා වන්නේ දෙවන මොග්ගල්ලාන රජු ය.

ගුප්ත අධිරාජ්‍යයත් සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයෝ ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන තිබිණි. ඒ බව අලහබාද් ප්‍රශස්ති අලහබාද් ප්‍රශස්ති ටැම්ලිපියෙන් ද තහවුරු වේ. එනිසා ලක්දිව කැටයම් / මූර්ති කලාවට ද ගුප්ත කලාවේ ආභාසය ලැබී ඇති බව පිළිගැනීමට පුළුවන.

සිරුරට ඇලීගිය සළුපිළි දැක්වීම, සිරුරේ අඟ පසඟ මතුකර දැක්වීම, පිරිපුන් බව, ආභරණ අඩු බව, ගැඹුරු භාව ප්‍රකාශනය සියුම් බව, චාම් බව, උපශාන්ත බව, උසස් නිමාව ගුප්ත කලා ලක්ෂණ අතර වෙයි. ඉසුරුමුණි පෙම්යුවළ හා රජවාසල දර්ශනය යන කැයටයම් නිර්මාණවල මේ ලක්ෂණ ඉතා හොඳින් විද්‍යමාන වේ.

ගුප්ත අධිරාජ්‍යය ගොඩනැගෙනුයේ ලක්දිව රාජ්‍ය විචාළ දුටුගැමුණු රාජ්‍ය පාලන සමයෙන් (ක්‍රි.පූ. 161 - ක්‍රි.පූ. 137) ද පසුවය. දුටුගැමුණු රජතුමාට ලංකා ඉතිහාසයේ හිමිවනුයේ ශ්‍රේෂ්ඨ ස්ථානයකි. එතුමාගේ රාජ්‍ය පාලන සමය ඉතා විශිෂ්ට වූ කාල පරිච්ඡේදයකි. මේ ‍අනුව දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු හා අශෝකමාලා අතර වූ පෙම් සබඳතාව කලා ශිල්පීන්ට වස්තු විෂය විය නොහැකිද? මන්ද මේ පෙම්පුවත ඉතිහාසයේත්, සාහිත්‍යයේත් ප්‍රකට කථා පුවතක් වූ බැවිනි.

වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයම හා ඇත් රූප කැටයම් ඉන්දී්‍ය පල්ලව සම්ප්‍රදාය අනුව නිර්මාණය වූ බව විද්වත් පිළිගැනීමය. මේ කැටයම් නිර්මාණ දෙක ද එකිනෙකට සම්බන්ධ අරුතක් දක්වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. ඒ අනුව මිනිස් රුවෙන් පර්ජන්‍යත්, අශ්ව හිසෙන් අග්නිත් සංකේතවත් කෙරේ. ඇත් රංචුව හා පියුම්පත් මඟින් පර්ජන්‍ය හා අග්නි දෙවිවරුන් පහළවීමේ ප්‍රතිඵල ප්‍රකාශ කෙරෙයි. ඒ දෙවිවරුන් උදෙසා මේ ස්ථානයේ පුද පූජා පවත්වා ඇති බවත් සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි.

ඉසුරුමුනිය පරිසරය සැලකිල්ලට ගත් කළ පරණවිතාන මහතාගේ මේ අදහස, බාරගැනීමේ අපහසුතාවයක් ද නැත. පිහිටි ගලේ කරන ලද මෙම කැටයම් මුහුණලා තිබෙන්නේ වෙල්යායක් දෙසට ය. ගොවිතැන් බත් සරුසාර වීමට වර්ෂාව අත්‍යවශ්‍ය ම සාධකයකි.

2019 ජනවාරි 20 ඉරිදා ‘සිළුමිණ’ පුවත්පතට (පුන්කලස අතිරේකය, 35 පිටුව) ‘ඉසුරුමුනි පෙම් යුවළ සංග්‍රාමයක සංකේතයක් ද?’ යන මැයෙන් ලිපියක් සපයමින් ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතා පවසනුයේ ඉසුරුමුණි පෙම් යුවළ කැටයමත්, මිනිස් රුව හා අශ්ව හිස කැටයමත් අතර එකිනෙකට සමානත්වයක් ඇති බවකි.

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතා සිළුමිණට සැපයූ ලිපියේ සඳහන් කරන්නේ, මිනිස් රුව හා අශ්ව හිස කැටයමින් යුද්ධයට යන අතරතුර දී විඩාව සංසිඳවා ගැනීම ‍උදෙසා ගිමන් හරින අවස්ථාවක් නිරූපණය වන බවකි. ඉසුරුමුනි පෙම් යුවළ කැටයමින් සංග්‍රාමයට ගිය තරුණ පෙම්වතෙක් ලද අවසරයකින් තම පෙම්වතිය හමු වී ඇය සමඟ ප්‍රේම සල්ලාපයේ යෙදුණු අවස්ථාවක් නිරූපණය වන බවකි.

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතාගේ ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

‘ඉසුරුමුනි පෙම් යුවළක් එක් පැත්තකින් ඊට ඉහළ ගලක (පෙතලි) මිනිස් රුවක් නෙළීම අනුව ප්‍රතිවිරෝධී අදහස් ස්වයක් කිසිසේත් ම ඉන්මතු විය නොහැකිය.

පෙතලි ගලේ බෝසත් රුවක් හා අශ්ව හිසක් නෙළූ ශිල්පියා අනෙක් පැත්තේ පෙම් කෙළින පෙම්වතුන් දෙදෙනෙක් නෙළාවි ද යන්න සැකයට තුඩු දුන් කරුණකි.

මේ ශ්‍රේෂ්ඨ නිර්මාණද්වය ම එක ම කලා ශිල්පියකු අතින් නිරූපණය වූවකි. පුළුල් වූ දෘෂ්ටියක පිහිටා පෙම් යුවළක්, මිනිස් රුවක් ද අශ්ව හිසක් ද නිර්මාණය කෙළේ සංග්‍රාමික තත්ත්වයක් දැනවීම අරඹයා ය. යුද්ධයට යන අතරමගදී විඩාව සංසිඳුවා ගැනීම පිළිබිඹු කරන්නකි.

මිනිසා හි‍ඳගෙන සිටින ඉරියව්වෙන් මානසික පීඩාවෙන් පෙළෙන ඉරියව්ව ප්‍රතීත වේ. මේ අනුව යුද්ධයට යන අතරතුර දී විඩාව සංසිඳවා ගැනීම උදෙසා ගිමන් හරින අවස්ථාවකි, නිරූපණය වන්නේ.

යුද්ධයට යන ගමන් තම පෙම්වතිය අමතක නොකළ බව හඟවන්නක් සඳහා නොවේද ඒ අසලින් ම ශිල්පියා පෙම් යුවළක් නිර්මාණය කෙළේ...

... සංග්‍රාමයට යන අතරතුර දී විඩා සංසිඳවා ගැනීම නිරූපණය කිරීම පැතලි ගලේ ඉහළ නිරූපණය කිරීමත්, ඒ යන අතරතුර තම ප්‍රේමවන්තිය අස්වසා යෑම නිරූපණය කිරීමත් ඉසුරුමුනි පෙම් යුවළෙන් ශිල්පියා නිරූපණය කරයි.” (2019.01.20 සිළුමිණ, ‘පුන්කලස’ 35 පිටුව)

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතා සිළුමිණ පුවත්පතට යොමු කළ ලිපියේ සඳහන් ආකාරයට ඉසුරුමුනිිය පෙම්යුවළ කැටයම හා වාඩිගත් මිනිසා සහ අශ්ව හිස යන කැටයමත් අතර එකිනෙකට සම්බන්ධ අරුතක් හෝ සමානත්වයක් දැකිය නොහැකිය. එසේම එකම කලා ශිල්පියකු අතින් නිර්මාණය වූවක් බව පිළිගැනීම ද අපහසු ය. එපමණක් නොව පෙම් යුවළ කැටයම හා වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයම එකිනෙක ආසන්නයේ තිබූ බව පිළිගැනීම ද අපහසු ය.

පෙම් යුවළ කැටයම, වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයම යන නිර්මාණ දෙක කලා සම්ප්‍රදායන් දෙකක ආභාසය ලබා ඇත. පෙම් යුවළ කැටයම ඉන්දියානු ගුප්ත කලා ආභාසය ලබා ඇති අතර, ක්‍රි.ව. 5 වන ක්‍රි.ව. 8 වන සියවස් අතර කාලයට අයත් බව පිළිගැනේ.

වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයම දකුණු ඉන්දියානු පල්ලව සම්ප්‍රදායේ ආභාසය ලබා ඇති අතර, ක්‍රි.ව. 7 වන සියවසට අයත් නිර්මාණයකි. තවත් මතයක් වන්නේ මේ නිර්මාණය ක්‍රි.ව. 12 වන සියවසට අයත් බවකි. පෙම්යුවළ කැටයම් රන්මුසු උයනෙහි තිබෙන්නට ඇති බවත්, පසු කලෙක ඉසුරුමුණි පැරණි විහාර පදනමේ සවිකරන්නට ඇති බවත් පරණවිතාන මහතාගේ අදහසයි. පෙම්යුවළ කැටයම් ගල් පුවරුවක කරන ලද්දකි.

වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයම පිහිටි ගලේ ම කරන ලද්දකි. ගල් පුවරුවක කළ නිර්මාණයක් රැගෙන යා හැකි වුවත්, පිහිටි ගලේ කළ නිර්මාණයක් රැගෙන යෑම අතිශය දුෂ්කර වූවකි.

නමුත් වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයමත්, ඉසුරුමුනි පෙම්යුවළ කැටයමත් අතර එකනෙක සම්බන්ධ අරුතක් මැද උයන්ගොඩ විමලකිත්ති හිමියෝ දකිති. ‘වෙසක්’ සඟරාවට (2509 - කලාපය - 1965) සාහිත්‍යාචාර්ය (විද්‍යාලංකාර) වැලිතර අයි.ජී. පෙ‍ෙර්රා මහතා, ‘සිංහල මහ රජුන්ගෙන් බුදු සසුන රැකුණු සැටි’ යන මැයෙන් ලියූ ලිපියක මෙසේ සඳහන් වේ.

“අද අනුරාධපුර ඉසුරුමුනියේ බිත්තියෙක දැක්වන පෙම් යුවළ දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය ද විය යුතු බව අති ශ්‍රේෂ්ඨතම ඉතිහාස පඬිවරයකු වන පූජ්‍ය පණ්ඩිත මැද උයන්ගොඩ විමලකිත්ති හිමිපාණෝ කියති.

ඒ පෙම් රුවේ අසලින් අශ්වයකු සමීපයේ විස්මයෙන් මෙන් උඩ බලා බිම වාඩි ගෙන සිටින පුරුෂයා සිරිමෙවන් රජතුමා විය යුත්තේ යැයි ද එහිමියෝම කියති.” (59 පිටුව)

මැද උයන්ගොඩ විමලකිත්ති හිමියන් දක්වන මේ මතය සඳහා, කීර්ති ශ්‍රී මේඝවණ්ණ රජු දවස ලක්දිවට වැඩම කළ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ මුල් ම ස්ථානය ඉසුරුමුනි (මේඝගිරි) විහාරය වීමත් හේතුවන්නට ඇත.

More News »