රාසිං දෙයියෝ මල්වතී බිසවත් සමග පෝය හඳ බලන්නට ආ සඳගලතැන්න

2019-06-21 10:10:00       670
feature-top
පරංගි භාෂාවෙන් අවිතැත්වෙලා යනු දුෂ්ටයාගේ ප‍්‍රදේශයයි. පරංගි එදා දුෂ්ටයා ලෙසින් හඳුන්වන ලද්දේ පළමුවන රාජසිංහ නමින් සීතාවක සිහසුනට පත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර කුමාරයාටය. එදා අවතැන්වෙලා යැයි පැවැත්වූ දුෂ්ටයාගේ ප‍්‍රදේශය අද හඳුන්වනුයේ අවිස්සාවේල්ල ලෙසිනි.

සීතාවක අගනුවර කොටගත් මායාදුන්න රජුගේ මාලිගය හෙවත් මහවාසල පිහිටියේ මේ කියන අවිස්සාවේල්ල නගරයේ සිට කි.මි. 03 ක් තරම් දුරකිනි. වර්තමානයේදී අවිස්සාවේල්ල නගරය සීතාවක පුරවරයේ ප‍්‍රධාන නගරය බවට පත්ව ඇති නමුත් එදවස එම තත්ත්වය හිමිව තිබුණේ සීතාවකටය.

එපුර අගනුවර කොටගත් මායාදුන්නේ රජු සුන්දරත්වයෙන් අනූන එමෙන්ම මැනවින් ආරක්ෂිත භුමියක තම මාලිගය ඉදිකරලීමේ කාර්යය පවරන ලද්දේ ආර්ය නමැති අමාත්‍යවරයාටය. එම ඇමැතිවරයා විසින් ඉදිකරන ලද සීතාවක මාලිගා සංකීර්ණයේ විසිතුරු නැත්නම් අලංකාරය අද අපට දක්නට හැක්කේ සැවුල් සන්දේශයේ කවිවලින් පමණකි.

නිමල් මිණි මැදුරුවල සී     මැදුරු        
ළකල් කලූන් වතා සිරි නරඔ    දිමුත
සුපුල් සොඳුරු පියුමැතියි දිගු    කරමනතයි මි  
කුහුල් සිතින් හැසිරෙති එහි     මතලා මත
(සැවුල් - 16)

සතර දිගත හිමිනම් වසන     ඇම දින
ගැඹුරු නැණින් යුතු නෙක මැති ගුණ     රඳන
විතර නොවන මහ වේ ගජ සෙන්     සරන
අමරපුර දිනි නිති මෙපුර    වැජඹන
(සැවුල් - 30)

එකල දෙව්පුරයක් මෙන් ශෝභමානවූ මෙම මාලිගා සංකීර්ණය පසු කාලයේ වරින් වර සීතාවක ආක‍්‍රමණය කළ සතුරන් විසින් ගිනි තබා වනසනු ලැබිණි.

කූඨ උපක‍්‍රමයෙහි කෙළ පැමිණියෙකු වන අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් නමැත්තා පළමුවැනි රාජසිංහ රජුගේ ඇමැතිවරයා මෙන්ම සේනාධිපතිවරයාද වූයේය. රජුගේ අභාවයෙන් පසුව මොහු මානබැලූවේ රජ පවුලේ කුමරියක සරණපාවාගෙන සීතාවක සිහසුනට පත්වන්නටය. එයින් කෝපයට පත් සීතාවක වැසියෝ මේ අරිට්ඨකීවේණ්ඩු පන්නා දැමූහ.

ලැජ්ජාවටත්, කෝපයටත් පත්වූ පෙරුමාල් ඉන්පසුව රැකවරණය පතා ගියේ සීතාවක පරම සතුරු පරංගියා වෙතටය. ඒ වන විටත් පරංගි යටතේ නමට පමණක් රජකම් කරමින් සිටි දොන් ජුවන් ධර්මපාල මහ ඉහළින් පෙරුමාල් පිළිගෙන ජයවීර බණ්ඩාර යන නාමයද ප‍්‍රදානය කලේය.  එයින් උද්දාමයට පත් හෙතෙම පරංගි හමුදාවක්ද කැටිව පැමිණ සීතාවක හමුදාව පරාජය කොට 1595 වර්ෂයේදී සීතාවක පුරවරය පමණක් නොව දෙව් පුරයක් බඳු ශෝභමාන මාලිගා සංකීර්ණයද ගිනිතබා විනාශ කරවීය.

ඒ අවධියේ සීතාවක රාජ්‍යයේ බෞද්ධ සිද්ධස්ථාන අතර මුදුන්මල්කඩ වූ මානියංගම රජමහා විහාරයටද කඩා වැදුනූ සතුරු හමුදා එහි තිබූ අගනා වස්තුවද පැහැර ගත්හ.

දැන් අප සිටිනුයේ එලෙස වනසන ලද දාගැබ තිබුණු ස්ථානයේය.  එතැන යළිත් සුවිසල් දාගැබක් ඉදිවෙමින් පවතී. එහි නිමාව පිණිස තවත් ඉතිරිව ඇත්තේ සුළු වැඩ කොටසකි.

මුල් කාලයේදී මෙතැන හඳුන්වලා තියෙන්නේ වෙහෙර කළ ගල කියලයි. වෙහෙර කැඩුවට පස්සෙදි වෙහෙරකළ ගල වෙහෙර කඩගල වුණා. සීතාවක රජ මාලිගාවට මෙතැන ඉඳලා ඒතරම් දුරක් නැහැ. ඉතින් පෝය දවසට රාජසිංහ රජ්ජුරු මල්වතී අගබිසවත් එක්ක හඳ බලන්නට මෙතැනට එනවලූ. රජතුමා ඒ විදිහට හඳබලන්නට ආව නිසා මෙතැනට සඳගල තැන්න කියලත් කියනවා.

මේ පිළිබඳව රටට ලෝකයට කියන්නට වුවමනා කතාවක් තිබේ. වෙහෙරගල මහාවිහාරාධිපති දේදුගල පඤ්ඤාරංසි හිමියන් ඒ කතාව ආරම්භ කරනුයේ මෙලෙසිනි.

ලන්දේසීන් මෙතැන තිබුණු දාගැබ විනාශ කළාට පස්සේ අපේ උදවිය ඉතිරි කොටසත් නැත්තටම නැති කළා. ඒ ඉතුරු ටිකත් රැකගන්නට ඒ කාලෙත් මෙතැන පන්සලක් තිබුණු බවක් කියවෙන්නේ නැහැ. පන්සලක් තිබුණත් තිබෙන්නට ඇත්තේ ශක්තිමත් ගොඩනැගිලි නෙමෙයි. ලෙන් විහාරයක් නිසා මානියංගම රජමහා විහාරය ඉතුරුවුණා. ලන්දේසීන්ගේ ක‍්‍රියා පිළිවෙත නිසා මානියංගම විතරක් නෙමෙයි මේ ප‍්‍රදේශයේම වාසය කළ භික්ෂුන් වහන්සේලා කන්ද උඩරටට ගියාට පස්සේ වෙහෙර විහාර පාළුවුණා. ඊට පස්සේ කැලෑවට ගොදුරු වුණා.”

රාජසිංහ රජතුමා මල්වතී දේවියත් එක්ක පෝය දවසට හඳ බලන්නට මෙතැනට පැමිණි බවට ජනප‍්‍රවාද තියෙනවා. රජතුමා සහ දේවිය ආවත් නාවත් මෙතැනට ඇවිත් බැලූවහම අහසේ විශාල ප‍්‍රදේශයක් දකින්නට පුළුවනි. පසුගිය යුද්ධ කාලේ කොටි ගුවන් යානා කොළඔට පහර දෙන්නට ආවේ කැළනි ගෙඟ් ගමන් මාර්ගය උපකාරී කරගෙන පහළින් නිසා ඒවා නිරීක්ෂණය කරන්නට මෙතැන ගුවන් හමුදා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා.

පර්වත මස්තකයේ දාගැබක් ඉදිවී තිබීමත් ඉන් අනතුරුව එය විනාශ වීමත් පළමුවන රාජසිංහ රජතුමා සහ මල්වතී දේවිය මෙම පර්වතය මතට පැමිණ සඳ බැලීමත් හැරුණුවිට තවත් වැදගත් දෙයක් මෙතැන සිදුවී තිබේ. එනම් රාජසිංහ රජුගේ උපදෙස් පරිදි තුන්කෝරළ කොඩිය නිර්මාණය වීමය. එම කොඩියේ දක්නට ලැබෙනුයේ භේරුණ්ඩ පක්ෂියා දෙපළුවී සිටින ආකාරයයි. එම පක්ෂියා දෙපළු වූයේ මෙම වෙහෙරගල පුදබිමේදීය. එකලද වනාන්තරයක් ලෙස පැවැති මෙම භුමියේ ගෝණ මුව ආදී සතුන්ද හිඟ නොවීය.    

මෙම පර්වතයට මුහුණලා ඇත්තේ ඊටත් වඩා උසින් යුත් යකහටුව කන්දයි. මානියම්ගම කඳුවැටියේ උසම ස්ථානය එලෙස යකහටුව නමින් හඳුන්වනුයේ රාවණා රජු දවස යක්ෂ ගෝත‍්‍රික සෙන්පතියකුගේ දේහය කොබෝතුරා ගලේ මිහිදන් කළ නිසා බවට ජනප‍්‍රවාදයක්ද පවතී.

සීතාවක රජ දවස ප‍්‍රධාන නිරීක්ෂණ මුර පොළ එහි පිහිටුවා තිබුණු බැවින් එම රාජකාරිය භාර මුර සෙබළු නිරන්තරයෙන්ම පර්වතයත් මාලිගයත් අතර ගමන් කළහ.

පර්වතය මත පිහිටි මුරපොළේ රාජකාරිය පිණිස යන සෙබළෙකු හට දිනක් කොබෝතුරා ගල පාමුලදී හිස සුන් මුහුදු මාළුවෙක් දක්නට ලැබිණ. පරීක්ෂා කොට බැලූ කල එය ඒ මොහොතේම පර්වතය මත සිට බිම වැටුණු  බවක් පෙනිණ. සෙබළා මෙම හිස සුන් මාළුවා රජවාසලට ගෙන ගියේය. මේ ගැන පරීක්ෂාවෙන් සිටින ලෙස එහිදී ඔහුට උපදෙස් ලැබිණ.

ඒ අනුව දෙවන දිනයේදීද නියමිත වේලාවට පර්වතය පාමුලට ගිය සෙබළාට හිස නැති මාළුවෙක් දක්නට ලැබිණ. ඔහු ඒ මාළුවාද රැගෙන රජවාසලට ගියේය. මේ පුවත රාජසිංහ රජුටද දැනගන්නට ලැබිණ. මාළුවා ගොදුර පිණිස ගෙන මාළු කඳ බිම හෙලන එකා මොකාදැයි සොයා බලන ලෙස රජු සෙබළුන්ට නියෝග කළේය.

ඒ අනුව විමසිල්ලෙන් සිටි රාජපුරුෂයන්ට බියකරු පර්වත බිත්තියේ බෙනයක සිටින විශාල පක්ෂියෙකු මුහුද දෙසට පියාඔා යන අයුරුත් හෝරාවකට පමණ පසුව මාළුවෙකු රැුගෙන එන ආකාරය දක්නට ලැබිණ. ළිහිණි වර්ගයට අයත් එම පක්ෂියා ඩැහැගෙන පැමිණි මාළුවාගේ හිස කොටස පැටවුන්ට ගොදුර පිණිස දීමෙන් පසුව කඳ කොටස බිම හෙළන බව සැකහැර දැනගත් සෙබළු ඒ බව රජුට දැන්වූහ.

තම සෙබළුන් පැවසූ විස්තරයට සවන්දුන් රජු එසේනම් එම ළිහිණි පැටවෙකු අල්ලාගෙන එන අයෙකුට ගම්වරයක් සහ තවත් තෑගි බෝග දෙන බවට නිවේදනය කරන ලෙසට නියෝග කළේය. ඒ අනුව රාජපුරුෂයන් විසින් අණබෙරයක් මගින් රජුගේ නියෝගය රටවැසියන් වෙත දැනුම්දෙනු ලැබීය.

මෙම නිවේදනයට සවන්දුන් කොබෝතුරාගල සමීපයේම වෙසෙන සල්ලා, සරණා සහ සමනා යන තිදෙනා ගල් පර්වත බෙනයේ සිටින ළිහිණි පැටවෙකු අල්ලා ගෙනවිත් රජුට භාරදෙන්නට එකඟවූහ.

තමන් භාරගත් කාර්යය දේව කාරියක් නොව රාජකාරියක් වන බවත් විශේෂයෙන්ම රාජසිංහ රජුගේ රාජකාරියක් බවත් කල්පනා කළ තිදෙනා මියෙම්වා නැතහොත් රැකෙම්වායි සිතා කොබෝතුරා පර්වතයට පිවිස එතැන සිට ශක්තිමත් වැල් යොදාගෙන අටල්ලක් තනා ගත්හ.

ළිහිණි පැටවුන් සිටින බෙනය ඇත්තේ පර්වතය මස්තකයේ සිට බඔ සියයක් තරම් පහළිනි. අනතුරුව ශක්තිමත් වැල් ගැටගසාගත් රැහැනක බඳින ලද අටල්ල පහළට හෙලන ලද්දේ තිදෙනා අතරින් එකෙකුද සමගිනි. ජීවිතය ගැන ආශාව අතහැර මරණය පෙනි පෙනී පර්වතය පහළට පැමිණි තැනැත්තා අටල්ල පර්වත බිත්තියට සමීප කොටගෙන ගල් බෙනයේ සිටි ළිහිණි පැටවෙක් අල්ලා ගත්තේය.

මේ තිදෙනා මහවාසලට පැමිණ තමන් විසින් අල්ලාගත් ළිහිණි පැටවා ඉදිරිපත් කළවිට සතුටට පත් රජතුමා ඔවුනට තෑගිභෝග සමග ගම්වරයක්ද ප‍්‍රදානය කළේය. තමන්ට ලැබුණු වස්තු කන්දරාවද රැගෙන ගිය මේ තිදෙනා ඉන් අනතුරුව රාජකීය ප‍්‍රදානයට අනුව තමන්ට ලැබුණ ප‍්‍රදේශයට සේන්දු වූහ.

එහෙත් එහි පිවිසුණු ඔවුන් කනස්සල්ලට පත්වූයේ  ඒ ප‍්‍රදේශය නිසරු මෙන්ම ඝනව උසට වැඩුණු තෘණ වර්ගයකින්ද වැසී තිබුණු බැවිනි. රජු විසින් ප‍්‍රදානය කළ පමණින්ම මේ මර මංගල්ලය බදාගෙන බෙදා හදා ගන්නට නොසිතූ ඔවුන් ආපසු මානියංගමටම ආවේ ඒ ගම්වරය නැතත් ලැබුණු අනෙකුත් තෑගි බෝග පරම්පරා ගණනකට සෑහෙන බැවිනි.

එසේ වුවද තමන් විසින් ගම්වරය ප‍්‍රදානය කළවුන් ගමේ දක්නට නොලැබුණු කල රජු උදහස් විය. අන් කවර රජෙකුටවත් වඩා සීතාවක රාජසිංහ රජු උදහස්වීමත්ම මාරයා කන ළ`ග  සිනාසෙන තරමට භයානක තත්ත්වයකි.
රාජ නියෝගයට අනුව සෙබළු සල්ලා, සරණ හා සමනා රජු වෙත ඉදිරිපත් කළහ. අත්විඳින්නට සිදුවන රුදුරු ඉරණම පිළිබඳව දැන සිටි ඔවුන් තමන්ට ලැබුණු ගම්වරය එළි පෙහෙළි කරන්නට නොහැකි තරමටම අසීරු බව රජුට හෙළි කළේ නව වැඳුම් වඳිමිනි.

අර තරම් භයානක කොබෝතුරා ගලෙන් පහළට බැහැපු එවුන්ටත් තමන් දුන් ප‍්‍රදේශය අස්වද්දා ගැනීම අසීරුනම් කළයුත්තේ උන්ට දඩුවම් දීම නොව උපකාර වීම යැයි කල්පනා කළ රජතුමා ඒ භූමිය වගාදිගා කරන්නට උපකාර වනු පිණිස රාජකීය ඇත්ගාලෙන් ඇතින්නියක්ද පිරිනැමුවේය.

ඇතින්නියක් රාජකීය පරිත්‍යාගයක් ලෙස ලැබුණත් මේ තිදෙනා නැවත තමන්ට ලැබුණු ගම්වරයට යන්නට කල්පනා කළේ නැත. ඔවුන් රජුට ඇස නොගැටෙන ලෙස සිටින්නට වගබලාගත් නමුත් ඇතින්න ඊට බාධාවක් විය. කෙසේ වුවද ම?ටි කොළුවකුගේ ගල්පහරක් මරු නිළයක වැදීමෙන් ඇතින්නද මියගියේය. මේ වතාවේනම් දෙතිස් වධ විඳ හිසගැසුම් කන්නටත් සිදුවන බව නිසැකවම දැනගත් මේ තිදෙනා එම ප‍්‍රදේශයෙන් පලා ගියහ.

රජ සැප හිමිවීම හේතුවෙන් මාලිගයට ගෙන ආ ළිිහිණි පැටවා ඉතා ඉක්මනින්ම වැඩුණු අතර ඌ රජුගේ සුරතලාද විය. නිරන්තරයෙන්ම රජතුමා සමග ගමනේ යෙදෙන මේ ළිහිණියා වයසින්ද ශරීර ප‍්‍රමාණයෙන්ද වැඩෙන විට වඩාත් බිහිසුණු වූයේ තම ස්වාමියා අනුගමනය කළ නිසා විය යුතුය.

මෙසේ සිටියදී දිනක් රාජසිංහ රජතුමා තම සෙබළ පිරිසක්ද කැටිව වෙහෙරගල වෙත පැමිණියේය. එකල වනසතුන්ගෙන් ගහන මෙම භූමියේදී උන්හිටි හැටියේම මුවෙක් දිවයනු දක්නට ලැබිණි.

රජු සමග සිටි ලිහිණියා වහා ක‍්‍රියාත්මක විය. පලා යන මුවා හඹාගිය ළිහිණියා තම පාදයක උල්නිය පහුරුවලින් මුවාගේ කොඳු ඇට පෙළ තරකොට ගත්තේය. මර බියෙන් යුතු මුවාගේ දිවීමේ වේගය වැඩිවූ නමුත් තම ග‍්‍රහණය අත් නොහළ ළිහිණියා අනෙක් පාදයෙන් ගසක අත්තක් ග‍්‍රහණය කොට ගත්තේය. මුවා නැවතුනේ නැත. ළිහිණියා ගස අතහැරියේත් නැත. එයින් සිදුවූයේ ළිහිණියා දෙකඩවී මිය යාමය.

තම සුරතලාට අත්වූ ඉරණම පිළිබඳව ශෝකයට පත් රජතුමා දෙපළුවූ ළිහිණියාගේ රුව චිත‍්‍රයට නංවා එය තුන් කෝරළයේ කොඩියේ සලකුණ  ලෙස භාවිතා කරන බවට රාජකීය නිවේදනය නිකුත් කළේය.

එදා රජ කෙනෙකු විසින් දාගැබක් ඉදිකළ ලන්දේසීන් විසින් ඒ දාගාබ විනාශ කළ රාජසිංහ රජු දේවියත් සමග සඳ බලන්නට පැමිණි මරණය පෙනි පෙනී නමුත් ළිහිණියා තම දඩයම අත් නොහළ මේ භූමියේ අද නැවතත් මහා දාගැබක් ඉදිවෙමින් පවතී. එය පින් බිමක් මෙන්ම සිත නිවන සොබා සෞන්දර්යයෙන් අනූන බිමකි.

More News »