ආන්දෝලනයට තුඩු දුන් මුහුදු මහා විහාරයේ ඉතිහාස කතාව

2020-05-25 06:55:00       764
feature-top
මේ දිනවල කවුරුත් කතා කරන්නේ මුහුදු මහා විහාරයේ ඉඩම් මංකොල්ලය ගැනය. වර්ෂ 1951 ජනවාරි 26 ගැසට් පත‍්‍රයෙන් අක්කර 72 යි රූඩ් තුනයි පර්චර්ස් දහතුනක එකී විහාරභූමියේ ඉඩම කලක් තිස්සේ අනවසර පදිංචිකරුවන් විසින් අල්ලාගත් අතර මේ අවනඩුව ගැන විහාරාධිපති හිමියන් කෙතෙක් පැමිණිලි කළ ද විසඳුමක් නම් ලැබුණේ නැත. එහෙත් කොරෝනා සමයේ තවත් සීඝ්‍රයෙන් කොල්ලකෑමට ලක්වූ මෙකී විහාරභූමියට ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයෙන් නිවැරදි තීරණයක් ලැබුණේය. ඒ අනුව මේ වනවිට එය සුරක්ෂිත වී තිබේ.

බොහෝ දෙනා කතා කරන මුහුදු මහා විහාරයේ ඓතිහාසික වටපිටාව හා වටිනාකම ගැන දැන ගන්නට ඔබ කැමති ඇතිවාට සැක නැත. එනිසා මුහුදු මහා විහාරයේ ඓතිහාසික වටිනාකම ගැන මෙසේ ඔබට ලියන්නට අපි සිතුවෙමු.

නැගෙනෙහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවිල් ප්‍රදේශයේ පොතුවිල් නගරයට නැගෙනහිර මුහුදු වෙරළේ මෙම ඓතිහාසික සිද්ධස්ථානය පිහිටා තිබේ. කොළඹ සිට කි.මී. 350 ක් පමණ දුරින් පොතුවිල් සිට දිවෙන පානම මාර්ගයේ මීටර් 800 ක් පමණ ගමන් කිරීමේදී මුහුදු මහාවිහාරයට පිවිසිය හැකිය.

මෙම ස්ථානයේ පිහිටි බොහෝ පුරාවස්තු මුහුදු රැල්ල හේතුවෙන් වැලි කඳු ගොඩ ගැසීම නිසා වැල්ලෙන් යට වී ඇත. දාගැබක නටබුන් වෙරළේ උස් බෑවුම් කොටසේ දක්නට ඇති අතර දාගැබට බටහිරින් ගල් කණු සහිත ගොඩනැගිල්ලක ශේෂයන් දැක ගැනීමට හැකිය.

ලක්දිව පැරණි රාජ්‍ය ඉතිහාසයේ 28 වැනි රජු වශයෙන් අභිසෙස් ලත් මහදැළියමානා නොහොත් මහාදාඨික මහා නාග රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලදැයි සැලකෙන අතර; එය රුහුණු රජ පෙළපතේ සිටම වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයක් ලෙස පැවතුණු බව සඳහන්ය.

එම කාල වකවානුවේ දී රුහුණේ රාජ්‍යත්වය හිමිව පැවතියේ කාවන්තිස්ස රජුටය. එමෙන්ම ලංකාවේ පැරැණි බෙදීම් අනුව මෙම ස්ථානය රුහුණු රාජ්‍යයට අයත්ව තිබුණි.

ඉතිහාසයේ සඳහන් පරිදි කාවන්තිස්ස රාජ්‍ය කාලයේ දී මුහුද ගොඩ ගැලීමේ සිද්ධියක් මුල්කොට ගෙන ඇති වූ කතා පුවතක් ඔස්සේ මුහුදු මහා විහාරය වැදගත් ස්ථානයක් හිමිකර ගනී. කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වූ දේවි මුහුද ගොඩ ගැලීමේ ව්‍යසනයෙන් රට බේරා ගැනීම සඳහා සිය ජීවිතය මුහුදට බිලිදීම පිණිස යාත්‍රාවක නැගී ගමන් ගත්බව සාහිත්‍ය මූලාශ්‍රයන්හි සඳහන්ය.

ඒ අනුව එම කුමරිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට අසුව පාවී අවුත් රුහුණේ තොටමුණකට ගොඩ ගැසූ බව කියවෙන අතර එම ස්ථානය කතරගම අසල කිරින්ද යැයි පැවසේ. එහෙත් ජනප්‍රවාදය අනුව දේවි කුමරිය වත්මන් පොතුවිල් අසල ඇති මුහුදු මහා විහාර සීමාව වෙත පාවී පැමිණි බව කියැවේ.

මහාවංශයේ සඳහන් වන්නේ විහාර මහාදේවිය ගොඩ බට ස්ථානය තෝලක විහාරය ලෙසයි. ඇය විහාරයක් ආසන්නයේ ගොඩ බැසීම හේතුවෙන් විහාර මහාදේවි වූ බවද සඳහන්ය. එමෙන්ම ඇය ගොඩ බැස්සේ ‘තොටලුතොට’ නම් ස්ථානයට බවත් ඒ වන විට ද ‘තොට්ටලක’ නම් විහාරයක් එතැන තිබූ නිසා එතැන් සිට කුමරිය විහාර මහා දේවිය වූ බව ද කියැවෙයි.

විහාර මහදේවී කුමරිය පිළිබඳ මෙම පුවත දැන එතැනට පැමිණ ඇයව පිළිගත් එකල රුහුණේ රජ කළ කාවන්තිස්ස රජු පසුව තම බිසෝ තනතුරෙහි ඇය පිහිටුවා ගත් බව පැවසේ.

ජනප්‍රවාදය අනුව ඉතා රසවත් සිද්ධි පදනම් කොටගෙන ග්‍රාම නාම බොහොමයක් බිහි වූ අතර ඒවායින් සමහරක් මෙම කුමරියගේ කතාව සමඟ පටබැඳී තිබේ.

එනම් කුමරියක් දියේ ගසාගෙන කොයි අත පාවී ඒවි දැයි අට්ටාල ගසාගෙන ධීවරයෝ විමසිල්ලෙන් බලා සිටි බවත් ඒසේ අට්ටාල ගැසූ ස්ථානය ‘අට්ටාලෙච්චන’ වී පසුව ‘අඩ්ඩාලෙච්චන ‘ වූ බව ද රජු නොඉවසිල්ලෙන් “කෝ කුමරිය” “කෝ කුමරිය” යැයි කියමින් පැමිණ තැන ‘කෝමාරිය’ වූ බව ද ධීවරයන් හා සෙනෙවියන් පිළිතුරු වශයෙන් ‘අර ගම’යැයි කියු තැන ‘ආරුගම්බේ’ නම් වී ඇති බව ද රජතුමාට උදව් කළ පිරිසට රජතුමා නින්දගම් ප්‍රදානය කළ බවත් එම ස්ථානය ‘නින්දූර්’ නම් වූ බව ද; පසුව සෙසු අයට අක්කර 10 බැගින් ත්‍යාග වශයෙන් දුන් ගම්බිම් එකතුව අක්කරේපත්තුව වූ බව ද කියැවේ.

කාලයේ ඇවෑමෙන් මුහුදු මහා විහාරයට අයත් පොතුවිල් මුහුදු තීරය නිරන්තරයෙන් මුහුදු ඛාදනට බඳුන්වීම හේතුවෙන් විහාරයට අයත් භූමි ප‍්‍රදේශයේ සැලකිය යුතු ප‍්‍රමාණයක් මුහුදට බිලි විය.

මුහුදු රළ සමඟ ගසාගෙන පැමිණි වැලි කඳු ගොඩ ගැසීම නිසා විහාරයෙ බොහෝ අංග යට වූ බැවින් විහාරයක් තිබූ බවට සලකුණක් හඳුනා ගැනීම පවා දුෂ්කර විය.

වර්ෂ 1951 ජනවාරි 26 ගැසට් පත‍්‍රයෙන් අක්කර 72 යි රූඩ් තුනයි පර්චර්ස් දහතුනක භූමි ප්‍රමාණයක් මුහුදු මහ විහාරට අයත් වී තිබුණු අතර පසුගිය කාලය පුරා සිදුවූ ඉඩම් කොල්ලකෑම නිසා අක්කර 3 කටත් වඩා අඩු භූමි ප්‍රමාණයකට මේ විහාරභූමිය සීමා විය.

වත්මන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් දැන් නැවත ඒ භූමි ප්‍රමාණය ලබා දීමට ක්‍රියා කිරීම වැදගත් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන 1950 දශකයේ දි නැගෙනහිර පළාතේ පිහිටි පුරාවස්තු පිළිබඳ සිදුකළ ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු මහා විහාරය ඇතුළත් භූමි ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට නම් කෙරුණි. වාරකන් කාලවලදී මුහුදු දිය ඈතට යාමත් සමඟ මතුවන නටබුන් හේතුවෙන් ඉතා පුළුල් පරාසයක මුහුදු මහා විහාරයට අයත් භූමි භාගය පැතිර ඇතැයි යන්න අවබෝධ කර ගත හැකිය.

අතීතයේ දී අක්කර 264 ක් පමණ තිබුණේ යැයි සැලකෙන මුහුදු මහා විහාරය සතු ඉඩම 1965 අංක 773 PP 1450 දරණ ගැසට් නිවේදනයට අනුව අක්කර 30 ක් දක්වා අඩු වී ඇති බව සඳහන්ය.

ඒ අනුව නැවතත් 1965 මැයි 28 වන දින මුහුදු මහා විහාර භූමිය රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත්වූ අතර 1975 වසරේ දී මෙහි කැණීම් හා ගවේෂණ කටයුතු එවක පුරාවිද්‍යා කොමසාරිස් ලෙස ක්‍රියාකළ කළ රාජා ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අනුරාධපුර යුගයෙන් පසුභාගයට හා මුල්භාගයට අයත් පිළිම ගෙවල් දෙකක නටබුන් මෙම කැණිම් වලදී හඳුනා ගන්නට හැකි වූ අතර; මුහුදු තීරයෙ වැල්ලෙන් වැසුණු දාගැබ් දෙකක ශේෂ හඳුනා ගැනුණි. එමෙන් ම බෝධිසත්ත්ව පිළිම දෙකක් ද සොයා ගැනීමට හැකිවිය. කැණීම් කටයුතු වලදී බහුල ලෙස හමු වූයේ උළු කැබලි සහ ගඩොල් කැබලිය.

මෙම උළු හා ගඩොළු විවිධ කාල වකවානු වලට අයත් යැයි එහි හැඩය හා තාක්ෂණය අනුව නිගමනය කළ හැකිය. මෙහි තහවුරු කිරීමේ කටයුතු වර්ෂ 1978 වන විට අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි.

මුහුදු මහාවිහාරය ආශ්‍රිතව ලැබුණු බෝධිසත්ව ප්‍රතිමා හේතුකොට ගෙන මහායාන බුදු දහමේ බලපෑමක් ඇතැයි යන්න සැලකිය හැකිය. ක්‍රි.ව. 8 සහ 9 යන සියවස් වලදී රුහුණේ මහායාන බුදු දහම පැතිර යාම එයට බොහෝ දුරට ඉවහල් වන්නට ඇත.

හැඩ ඔයේ අතු ගංඟාවක්, මුහුදු මහා විහාරය හා පානම් පත්තුවේ කැලෑව ආශ්‍රිතව පිහිටා ඇති ශාස්ත්‍රවෙල විහාරය මැදිව මුහුදට ගලා බසී. මෙම ශාස්ත්‍රවෙල විහාරය හා මුහුදු මහා විහාරය අතර ඉතා සමීප සම්බන්ධතාවක් පැවතෙන්නට ඇතැයි සැලකේ.




More News »