නිධන් හොරුන්ගේ ගොදුරක් වූ පානම්පත්තුවේ බඹරගස්තලා වෙහෙර

2020-09-14 10:18:00       1026
feature-top
අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙදෙසෙහි බඹරගස්තලාව පිහිටා ඇති අතර කුඩුම්බිගල තපෝවනය දක්වා පැමිණ එතැන් සිට සැතපුම් 3ක් පමණ ගමන් කර කුමන ජාතික වනෝද්‍යානය ඔස්සේ මෙම ස්ථානයට පිවිසිය හැකිය.

බඹරගස්තලා පුදබිමට පිවිසීමට නිශ්චිත මාර්ගයක් නොමැති බවත් ඒ සඳහා පිවිසීමට ඇති මාර්ග පිළිබඳව එල්ලාවල මේධානන්ද හිමි “සිංහල බෞද්ධ උරුමය - නැගෙනහිර පළාත හා උතුරු පළාත” යන සිය ග්‍රන්ථයේ අන්තර්ගත කොට තිබේ. එනම් පානම ගම්මානයේ සිට සැළව එළිය හරහා ඕකන්ද, තුංමුල්ල, යෝද ළිප මැදින් කුමන දක්වා ගුරු පාරක් වැටී ඇති බවත් එම මාර්ගයේ යෝධ ළිප පසුකර සැතපුමක් පමණ ගිය පසු වනයට පිවිස වන සතුන්ගේ මං සලකුණු ඔස්සේ යා යුතු එක් මගක් වැටී ඇති බවත් එසේම මෙම මාර්ගයේම සැතපුම් නවයක් පමණ ගමන් කොට සැළව එළිය කෙළවරින් පිහිටි කුඩුම්බිගල තපෝවනය තෙක් පැමිණ තවත් සැතපුම් තුනක් පමණ ගමනකින් පසුව ද මෙම ස්ථානයට ළඟා විය හැකිය යන්න සඳහන්ය.

නගපවත ශෙනශන හෙවත් බඹරගස්තලාව විහාරය ලෙස මෙම පුදබිම හැඳින්වේ. එහෙත් අතීතයේ දී විශේෂිත නමකින් මෙම විහාරය හඳුන්වන්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. අක්කර හාර පන්සියයක් පුරා විසිර ඇති නටබුන් ආරාම සංකීර්ණයක ලක්ෂණ විදහා පායි. ශේෂව ඇති නටබුන් අතර පර්වත මුදුනේ හා සමබිමේ ස්තූප දහයකට අධිකව ඇති බවත් එහෙත් ඒ සියල්ල නිදන්හොරු විසින් මැදින් හාරා විනාශ කොට ඇතැයි යන්න මේධානන්ද හිමි සඳහන් කරයි. ස්තූප ගොඩනගන්නට උපයෝගී කර ගත් ගඩොළු දහස් ගණනින් ඒ අවට භූමියේ විසිර ඇති අතර මෙම ගඩොළු ඒවායේ තාක්ෂණය අනුව පරීක්ෂා කර බැලීමේ දී ඉතා පැරණි විය හැකිය යන්න අදහස් වේ. ගිනිකොණ දිග මුහුදේ යාත්‍රා කළ අයට මෙම ස්තූප රිදී බුබුලක් සේ එකල දිස්වන්නට ඇතැයි යන්න මේධානන්ද හිමිගේ මතයයි.

මෙහි විසිරී ඇති නටබුන් අතර ශේෂ වූ විවිධ ගොඩනැගිලි, බුදු පිළිම, සිරිපතුල් ගල්, බුදු මැඳුරු, ආසනඝරයක් හා ගරාවැටුණු පියගැට පෙළවල් දැක්විය හැකිය. සමචතුරාස්‍රාකාර ගොඩනැගිල්ලක් මෙහි එක් ස්ථානයක දක්නට ඇති බවත් එහි පේළියකට හය බැගින් සිට වූ ගල් කණු පේළි හයක් ඇති අතර මෙම ගල් කණූ දෙකක් අතර පරතරය අඩි 4 යි අඟල් 4 ක් යන්න සඳහන්ය. ශේෂව ඇති ගොඩනැගිලි අතර ක්‍රමවත්ව ඇත්තේ මෙම ගොඩනැගිල්ල පමණි.

බඹරගස්තලා වෙහෙරෙහි දක්නට ලැබෙන සියලු ලෙන්හි කටාරම් කොටා ඇති අතර මෙම ලෙන් අතර දර්ශනීයම ලෙන ලෙස “නගපවත ශෙනශන” යනුවෙන් සඳහන් ලෙන හැඳින්වේ. අඩි 200 ක් පමණ දිගු වන මෙම ලෙන ඉදිරියෙහි විශාල ප්‍රපාතයකි. මෙම විහාර සංකීර්ණයට අයත් භූමියෙන් පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුව විසින් ලෙන් ලිපි විස්සක් සොයා ගෙන ඇති අතර එල්ලාවල මේධානන්ද හිමි විසින් තවත් ලිපි දාහතරක් සොයා ගෙන ඇත. එමෙන්ම උන් වහන්සේ විසින් තවත් ගිරි ලිපි තුනක් සොයා ගන්නා ලද බව සඳහන්ය. මෙහි එක් ලිපියක ස්ථානයේ ඓතිහාසික නාමය සඳහන් වී තිබීම විශේෂිතය.

“බදත මිතෙන මපිත නගපවත ශෙනශන”

අර්තය - භදන්ත මිත්‍ර විසින් නිර්මාණය කරන ලද නාග පබ්බතසේනාසනය

සී. ඩබ්. නිකලස් සඳහන් කරන්නේ මෙය ගොඨාභය රජු විසින් කරවන ලද රුහුණේ නාගපබ්බත විහාරය බවය. එහෙත් ලිපියෙහි සඳහන් වන්නේ මිත්‍ර නම් අයකු එය කළ බව යැයි මේධානන්ද හිමිගේ අදහසයි.

පර්වතයක කරවන ලද පියගැට පෙළක් හා ස්තූපයක් අසල ගිරිලිපි තුනක් දක්නට ඇති අතර මේවායෙහි අක්ෂර ගෙවී ඇති බව සඳහන් වේ. ශේෂව ඇති කොටස් අනුව එම ලිපි 7,8 පමණ සියවස්වලට අයත්වන බව අදහසයි. ලිපි වලින් කියැවෙන්නේ ඉඩම්, කුඹුරු, කහවණු හා බදු වර්ග මෙම ස්ථානයට පූජා කළ බවය. ඉතා අපැහැදැලි අක්ෂර වලින් එක් ගිරි ලිපියක ස්ථානයේ නම හඳුනා ගත හැකි බවත් එය “වියොලකවහිර” යන්න සඳහන්ය. පාලි ග්‍රන්ථවල මෙනමින් රෝහණයේ පූජනීය ස්ථානයක් පිළිබඳව සඳහන්ව ඇති අතර මෙම ස්ථානය වියොළක විහාරය වන්නට ඇතැයි යන්න මේධානන්ද හිමිගේ මතයයි.

“නගපවත ශෙනශන” යනුවෙන් සඳහන් ලිපිය ඇති ලෙනට යාර 600 ක් පමණ දුරින් මහාපිළිම ලෙන පිහිටා ඇති අතර මෙම ලෙන කුඩා ගල්කුළු කිහිපයක් මැදිව විශාල පර්වතයක උතුරු හා දකුණු පැති ආශ්‍රිතව දක්නට ලැබේ. දළ වශයෙන් වට අඩි 236 ක් පමණ වන මෙම ලෙනෙහි ගල වටාම කටාරම් කොටා ඇත. මෙහි දකුණු පස ලෙන් කොටස ආරම්භක යුගයේ සකස් කරන්නට ඇති බවත් උතුරු පස ලෙන් කොටස මුල් යුගයේ සංඝාවාසයක් වශයෙන් පවතින්නට ඇති අතර පසුව බුදු මැඳුරක් බවට පරිවර්තනය වන්නට ඇතැයි යන්න සඳහන්ය. මනාව පුළුස්සන ලද ගඩොලින් බැඳි බිත්ති තුනක් මෙහි දක්නට ඇති බවත් ඉන් දෙපැත්තේ පිහිටි බිත්ති ගරා වැටෙමින් පවතින බවත් එහි එකක පළල අඩි 2 යි අඟල් 8 ක් ලෙස ද දැක්වේ. බිත්ති දෙකේම දකුණු කොණ ලෙන් බිත්තියට හේත්තු වන සේ බැඳ බිත්ති පිටුපස පටු දාරයක හංසරූප කැටයම් කළ ගඩොලින් නිමවා ඇත. මෙම බිත්ති පැන්නුම් සහිතව තීරු බේරා කලාත්මක ලෙස ඉදිකර තිබෙන්නට ඇතැයි යන්න ශේෂව ඇති කොටස්වලින් තහවුරු වන බව සඳහන්ය. මේධානන්ද හිමි මෙම ස්ථානය පරීක්ෂා කරන්නට ගිය කාල වකවානුවේ දී මෙහි ඉදිරිපස බිත්තිය සහමුලින්ම කඩා වැටී තිබූණු බවත් අත්තිවාරම පමණක් දක්නට ලැබුණු බවත් දක්වා ඇත.

මෙම ලෙන ඉදිරිපසින් පියස්සක් තිබෙන්නට ඇති බවත් බිත්ති අත්තිවාරමේ සිට අඩි 16 ක් පළල අඩි 48 ක් දිග ශාලාවක් සිටින සේ තනා තිබෙන්නට ඇතැයි යන්න සඳහන්ය. එහි අත්තිවාරම් බැම්ම ආරක්ෂා වී තිබෙන අතර ගල් කණු හා කණු පාදම්ගල් කිහිපයක් ශේෂව පවතී. ලෙනේ බිත්ති ඉහළින් හතරැස් හැඩැතිව හාරණ ලද කුහර දහයක් දක්නට තිබීමෙන් ලී වලින් පියස්සක් සවිකර තිබෙන්නට ඇති බවත් ඉදිරිපස කොටස සඳහා ගල් කණු භාවිතා කරන්නට ඇතැයි යන්න අදහසයි. මෙහි බිත්ති හා කණු අතර කොටස ආලින්දයක් ලෙස තිබෙන්නට ඇත.

ලෙනට පිවිසීමට දොරටු දෙකක් තිබී ඇති අතර ඉන් පළමුවැන්න නැගෙනහිරට වන්නනට පිහිටි කෙටි බිත්තිය අසලින් සකසා ඇත. දෙවැන්න ඉදිරිපස වූ ආලින්දය හරහා පැමිණ පිවිසිය හැකි වන සේ දිගු බිත්තියට සවිකර තිබූ බව සඳහන්ය. ශේෂව ඇති පිය ගැට පෙළ හේතුවෙන් එසේ ප්‍රවේශ දොරටු තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ.

ගඩොළු හා මැටි බදාම මිශ්‍රණයක් උපයෝගී කොට ගෙන හුණු කපරාරු කර මෙම ලෙන තුළ විශාල ඔත් පිළිමයක් නිර්මාණය කොට ඇති අතර නැගෙනහිරට පිළිමයේ සිරස පිහිටුවා ඇත. නිදන්හොරු විසින් ඉතා බලවත් ලෙස පිළිමයේ සිරස, ළැම, උදරය හා සිරිපතුල් විනාශ කර තිබේ. මුහුණට හා ඇස් වලට ද දැඩි ලෙස හානි කර ඇති අතර ළැම හා උදරය හාරා විනාශ කොට ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර දෙකකට පෙර මෙහි සංරක්ෂණ කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබේ.

එල්ලාවල මේධානන්ද හිමි මෙම ස්ථානයේ පරීක්ෂාවට යන විට මෙම පිළිමය දිග අඩි 36 කින් යුක්ත වූ බව කරන ලද මිණුම් කටයුතු වලින් තහවුරු විය. සිරස විනාශ වී ඇති කොටස අඩි 2 ක් පමණ විය හැකිය යන්න අදහසයි. එමෙන්ම උරහිස්හි පළල අඩි 9 යි අඟල් 5 කි. නමා ඇති දකුණු අත කිසිල්ල සිට වැලමිට දක්වා අඩි 5 කි. වැලමිට සිට කන දක්වා අඩි 9 යි අඟල් 6 කි. බෙල්ල පෙනෙන කොටස රවුම අඩි 8 යි අඟල් 6 කි. වමත බඳ මත දිගහැර ඇති පරිදි අඩි 8 යි අඟල් 11 කි. බඳ ඉඟ කොටස අඩි 7 කි. පාද අඳන සිවුරේ වාටියේ සිට බොලැට දක්වා අඩි 2 යි අඟල් 7 කි. සිවුරු රැල්ල බඳ කොටස රැළි 31 කි. ශ්‍රී පාද කොටසේ රැළි 27 කි. සිරිපතුලක දිග අඩි 3 යි අඟල් 3 ක් ද පළල අඩි 2 ක් ලෙස ද මේධානන්ද හිමි තම වාර්තාවේ දක්වා තිබෙන අතර එම මිණුම් ඉතා අපහසුවෙන් ගත් බවද සටහන් කොට ඇත.

රසවාහිනියේ දැක්වෙන පරිදි මෙම විහාරස්ථානයේ තිස්සමහානාග නම් තෙරනමක් වැඩ සිට ඇත. නාගපබ්බත සේනාසනය ලෙස එක් ලෙනකින් ආරම්භ වූ මේ පුදබිම පසුව ආරාම සංකීර්ණයක් ලෙස දියුණු වන්නට ඇතැයි යන්න සැලකේ. 4 සහ 8 සියවස් වලදී මෙම විහාරයේ මහත් දියුණුවක් ඇති වූ බවත් එම කාලවකවානුවේ දී මෙම පිළිම වහන්සේ ඉදිවන්නට ඇති බවත් අදහසයි. මෙහි ඇති විවිධ ස්මාරක අනුව පැහැදිලි වන්නේ විහාරය වල් බිහි වන්නට පෙර විවිධ යුග වලදී මනා ලෙස පවතින්නට ඇති බවය. එමෙන්ම පෘතුගීසීන්ගේ සංචාරයන් ද මෙහි සිදුව ඇති බවට සාධක පවතින බවත් ඔවුන් මෙහි ඇති ඇතැම් ලෙන් ලැඟුම් ගැනීමට භාවිත කරන්නට ඇති බව ද සඳහන් වේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙවැනි පුදබිම් අනාරක්ෂිතව පැවතීම ඉතා කනගාටුදායක තත්ත්වයක් වන අතර ලංකාව පුරාම විසිරුණු ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන සුරැකීම බලධාරීන්ගේ මෙන්ම මහජනයාගේ ද යුතුකමකි. අම්පාර පානම්පත්තුව වැනි අති දුෂ්කර පෙදෙස් හි මෙවැනි පුරාවිද්‍යාත්මක හා ආගමික වශයෙන් වැදගත් ස්ථාන රැසක් අද වන විට විනාශ වෙමින් පවතී. එබැවින් විධිමත් ගවේෂණයක් සිදුකොට එවැනි ස්ථාන සංරක්ෂණය කිරීම කාලීන අවශ්‍යතාවයක් සේම වගකීමක් බව අප තරයේ සිහිතබා ගත යුතුය. අක්කර සිය ගණනක් පුරා විසිරුණු බඹරගස්තලාවේ නටබුන් තව දුරටත් විනාශවීම වළක්වා ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ නෙත ගැටෙනු ඇතැයි විශ්වාසයයි. පුරාවස්තු විනාශ කරන්නන්ට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කිරීම ද විධිමත්ව කළ යුතුය. එමෙන්ම මෙවැනි ස්ථාන නිසි ලෙස නඩත්තු කර සංචාරක ආකර්ෂණය පිණිස ලක් කිරීමෙන් මෙරටට විදේශ විනිමය උපයා ගැනීමට ද මාවතක් විවර වෙනු ඇත.

More News »