0 Views  

අතීත ශ්‍රී විභූතිය ලොවට කියන ලෝවාමහාපාය
ලෝවාමහාපාය ඉදි කරන ලද්දේ දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ.161-137) විසිනි. මෙය මහා විහාරික භික්ෂූන්ගේ උපෝසථ කර්ම හා බඩු භාණ්ඩ තැන්පත් කිරීම සඳහා ඉදි කරන ලද්දක් බව සඳහන්ය. මිහිඳු මා හිමියන් විසින් පෙන්වා දෙනු ලැබූ ස්ථානයක ඉදි කරන ලද මෙය එම නම ලැබූයේ එහි පියස්ස තඹ ලෝහවලින් වසන ලද හෙයිනි. මහාවංශයට අනුව ‍ලෝවාමහාපාය උසින් ද, දිගින් ද, පළලින් ද අඩි 1000 ක් විය. එය ඉදි කරන ලද්දේ මහල් නවයක් වන්නටය. එක් එක් මහලෙහි කුළු ගෙවල් සියය බැගිනි. ශෛලමය ස්ථම්භ පේළි 40 ක් මත ගොඩනැගිල්ල ඉදි කරන ලද අතර එක් එක් පේළියක ටැම් 40 ක් වූ බව මහාවංශය කියයි. මේ අනුව බලන කල ලෝවාමහාපාය ඉතා දර්ශනීය එකක් වූ බව පිළිගත හැකිය.

සද්ධාතිස්ස රජ සමයේ දී මෙම සුවිශේෂී ගොඩනැගිල්ල ගින්නෙන් දැවී විනාශ වීම ඛේදවාචකයකි. එසේ වුව රජු එය සත්මහල් කොට යළිත් තැනවූයේය. භාතිකාභය රජු එය පිළිසකර කරවූයේ සියක් අවුරුද්දකට පසුවය. කෙසේ වුවද කාලයෙන් කාලයට ගොඩනැගිල්ලේ උස අඩු වන්නට වූ බව පැහැදිලි කරුණකි. ඒ අනුව ලෝවාමහාපාය පස් මහල් කොට සෑදවූයේ පළමුවෙනි සිරිනාග (ක්‍රි.ව.196-215) රජුය. එසේ වුව ජෙට්ඨතිස්ස රජු නැවතත් එය සත් මහල් කරවීය. (ක්‍රි.ව.276-303) අතර රජ කළ මහසෙන් රජු මහා විහාරකයින් කෙරෙහි උරණව ලෝවාමහාපායෙහි පවුරු පදනම් පවා මුලිනුපුටා දැම්මවීය. ඔහු එපමණකින් නොනැවතී එයට අයත් වූ දෑ අභයගිරි වාසීන්ට දී ගොඩනැගිල්ල තිබූ භූමිය නගුලින් සාවා උඳු වැපිරීමට ද කටයුතු කිරීම මහත් අපරාධයකි. එසේ වුව කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු (303-331) විනාශ වූ ගොඩනැගිල්ල යළි ගොඩනැංවීම ජාතියේ භාග්‍යයකි. ඉන්පසුව ධාතුසේන රජු ද, පළමුවන හා සිව්වන අග්‍රබෝධි රජවරුන් ද, මානවම්ම රජු ද, ලෝවාමහාපාය රැකගැනීමට කටයුතු කිරීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. (ක්‍රි.ව.833-853) අතර රජ කළ පළමුවැනි සේන රජුගේ කාලයේ දී මෙරට ආක්‍රමණය කළ දකුණු ඉන්දීය පාණ්ඩ්‍යයන් නිසා ලෝවාමහාපායෙහි විනාශය නැවතත් සිදුවිය. එසේ වුවද, දෙවන සේන රජු (ක්‍රි.ව.853-887) එය නැවතත් පිළිසකර කොට ඒ තුල ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කළ බව සඳහන්ය.

 

ඉන් පසුව මෙහි වර්ධනය සඳහා කටයුතු කළ රජවරුන් අතර පස්වන කාශ්‍යප රජු ද (ක්‍රි.ව.914-923) සිව්වන මහින්ද රජු ද (ක්‍රි.ව.956-972) අමතක ‍නොකළ යුතුය. ලෝවාමහාපාය නැවතත් විනාශ මුඛයට ඇදවැටු‍ණේ ද නගරය කොල්ල කෑමට ලක් වූයේ ද එසමයෙහි වූ සොළීන්ගේ ආක්‍රමණය හේතුවෙනි. අනුරාධපුර නගරය වල් බිහි වන්නට වූයේ එතැන් සිටය. එසේ වුව (ක්‍රි.ව.1153 -1186) අතර රජ කළ පරාක්‍රමබාහු නම් ශ්‍රේෂ්ඨ නරපති තෙමේ මෙම පුණ්‍ය ගොඩනැගිල්ලෙහි ටැම් 1600 යළි ස්ථාපනය කිරීමට කටයුතු කිරීම ප්‍රශංසා කටයුත්තකි. එපමණකින් නොනැවතුණ ඔහු එහි ඉදිකිරීම් ද අඩකින් නිම කළේය. අද දින අපට දැක ගැනීමට ඇත්තේ එම ස්තම්භයන්ය. මෙම මාහැගි ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා දැව වර්ගයක් (කිතුල් හෝ තල්) භාවිතා කළ බව ද අනාවරණය වී තිබේ. කෙසේ වුව ඒවා මත අඳිනු ලැබූ චිත්‍ර විනාශ වූයේ සද්ධාතිස්ස රජු දවස ගිණි ගැනීම හේතුවෙනි.

 

ශ්‍රී ‍මහා බෝධියත් රුවන්වැලි සෑයත් අතර නැගෙනහිර පැත්තට බරව ලෝවාමහාපායේ නටබුන් පිහිටා තිබේ. එක් පෙළකට මහා ගල් කුණු 40 ක් බැගින් පේළි 40 ක මුල් ගල් කණූ සංඛ්‍යාව 1600 කි. දැනට පෙනෙන අන්දමට ඒ ගල් කණු එසේ සිටුවා ඇත්තේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ නියමය පරිදිය. ගල් කණු තිඛෙන භුමිය හරි හතරැස් වෙයි. යටින් ඇති අත්තිවාරම එක් පැත්තකට අඩි 200 බැගින් වෙයි. මුල් ලෝවාමහාපායේ පළල අඩි 200 ක් විය. ගල් කණුවල ප්‍රමාණය ගැන සළකන විට ඒවා මත විශාල ගොඩනැගිල්ලක් වූ බව සිතාගත හැකිය. ඉතා මෑතකදී ගල් කණු මත තනි මහලනික් යුත් පොහොය ගෙයක් තනා තිබේ.

 

රාජානුග්‍රහය

 

බුදු දහම ශ්‍රී ලංකාවට ලැබුණු කාලයේම දේවානම් පියතිස්ස රජතුමා විසින් මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි දැනට ලෝවාමහපායේ නටබුන් තිඛෙන තැන භික්ෂුන්ට සංඝකර්ම කිරිම සඳහා උපෝසථාගාරයක් කරවීය. ඒ වන විට එම භුමිය හඳුන්වන ලද්දේ ~මහාමුචල මාලක~ යන නමිනි. පසුව දුටුගැමුණු රජතුමා මෙහි සුවිසල් පහයක් කරවිය. එය චතුරශ්‍රාකාර පහයකි. මහල් නවයකින් යුත් එහි එක් පැත්තක තිරස් අතට රියන් 100 ක් එනම් අඩි 200 ක්ද, උසින් රියන් 100 ක් (අඩි 200) ද වූ අතර ජනේල 100 ක්ද කාමර දහසයක් ද විය. ක්‍රි.පූ. දෙවන සියවසේ ඉන්දියාවේ පවා එවැනි විශාල ගොඩනැගිල්ලක් වූ බවකට සාධක නැත. මහාපරිමාණ ගොඩනැගිලි තැනීම නිසා දුටුගැමුණු රජු ශ්‍රී ලංකාවේ රජුන්ගෙන් ප්‍රධාන තැනක් හිමි කරගෙන තිඛෙන්නේ මේ ලෝවාමහාපාය නිසයි. උපෝසථගාරයක්, සංඝයා නතරව සිටින ගොඩනැගිල්ලක් වශයෙන් පමණක් නොව ධර්ම ශාලාවක් වශයෙන් වෙන් කරන ලද කොටසකින් යුත් මෙහි අගනා පබළු, අෂ්ට මංගල, ලියවැල්, සිව්පා, පන්තිවලින් ද සරසන ලද මණ්ඩපයක් ද වූ බව වාර්තා වෙයි. ඒ මණ්ඩපය ලෝවාමහාපාය පිහිටි භුමියේම තනා තිබුණකි. එහෙත් මෙතෙක් එහි නටබුන් පවා සොයාගෙන නැත.

 

ලෝවාමහාපාය යන නම එයට ලැබුණේ වහළ තඹ උළු වලින් වසා තිබුණු නිසයි. ලෝවාමහාපාය නමැති ඒ අසමාන ගොඩනැගිල්ල දුටුගැමුණු රජුට පසුව රාජ්‍යයට පත් සද්ධාතිස්ස රජ දවස ගින්නෙන් විනාශ විය. අනතුරුව සද්ධාතිස්ස රජු විසින් එය සත්මහලකින් යුක්ත ව නැවත කරවීය. භාතිකාභය රජු එය ප්‍රතිසංස්කරණය කරවිය. ආමණ්ඩගාමිණි අබය රජු එයට මැද මිදුලක් සහ මුඛ මණ්ඩපයක් (ඉස්තෝප්පුව) එක් කළේය. ඊට අමතරව මැණික්වලින් කරන ලද සැරසිලි සහිත මණ්ඩපයක් ද ඔහු කරවීය. දෙවැනි සිරිනාග ලෝවාමහාපාය මහල් පහක් වනසේ ප්‍රතිසංස්කරණය කරවීය. ගෝඨාභය රජු එහි කුළුණු මාරු කරවීය. පළමුවෙනි ජෙට්ඨතිස්ස රජු සත් මහල් පහයක් වන සේ අළුතින් මහල් දෙකක් එයට එක් කළේය. මහාසේන රජු ලෝවාමහාපාය මුළුමනින්ම විනාශ කොට එහි ගොඩනැගිලි ද්‍රව්‍ය අභයගිරි විහාරයේ ගොඩනැගිලි තැනීමට යෙදවිය. ප්‍රාසාද භුමියෙහි ඔහු උඳු වැපිරීවීය. ඔහුගේ පුත්‍ර කිත්ති සිරිමේඝවන්න ලෝහ ප්‍රසාදය නැවත කරවීය.

 

ධාතුසේන රජු එය අළුත්වැඩියා කරවීය. පළමුවෙනි අග්ගබෝධි රජු එහි මැද කොත අළුතින් කරවිය. මානවම්ම රජු එය අළුත්වැඩියා කරවීය. පාණ්ඩයෝ ගොඩනැගිල්ලේ කොටසක් විනාශ කර එහි තිබුණු අගනා දේ පැහැර ගෙන ගියහ. දෙවැනි සේන රජු එය නැවත කරවා එහි රන් පිළිමයක් ද තැන්පත් කරවිය. පස්වෙනි කස්සප රජු එය අළුත්වැඩියා කරවා කොතක් ද සවි කරවීය. හතරවෙනි මහින්ද රජු ලෝකඩ වලින් කරන ලද වැඩ, අළුත්වැඩියා කරවීය. දහවෙනි ශතවර්ෂයේ දි ආපසු සොළින් විසින් ගොඩනැගිල්ල විනාශ කරන ලදී. ඊට පසු පළමුවෙනි පරාක්‍රමබාහු රජු එහි කුළුණ නැවත කෙළින් සිටුවා ගොඩනැගිල්ලේ කොටසක් ප්‍රතිසංස්කරණය කරවීය. අද දක්නට ලැබන්නේ එසේ ප්‍රතිසංස්කරණය කළ කුළුණු පමණි. එම කණු මත මෑතකදී තනන ලද කුඩා උපෝසථාගාරයක් වෙයි.ලෝවාමහාපාය අවට ප්‍රාසාද 32 ක් විය. ඒවා කරවන ලද්දේ ඛල්ලාටනාග රජු විසිනි. අභයනාග රජු මණ්ඩපයක් කරවීය.

pasanliya.info


o