0 Views  

රූබර දේවදාසිය පැහැර ගත්
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දේව ශාපය වදියි

ඒ උඩරට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798-1815) රජ කරන අවධියයි. හින්දු භක්‌තිකයකු වූ රජු අවුරුද්දකට වතාවක්‌ රජ පවුලේ අය සමඟ රුහුණේ කතරගම දේව වන්දනාවට යැම චාරිත්‍රයක්‌ විය. බිහිසුණු වන සතුන් පිරුණු කැලෑ මැදින් ගිනියම් අව්වේ දොaලාවල නැඟී යන කතරගම වන්දනා ගමනට මාසයක්‌ පමණ ගත විය. ඒ යැමට සති දෙකක්‌ හා ඒමට සති දෙකක්‌ ලෙසයි. ගිනියම් අව්ව වළකාලමින් රජු හා රජ පවුලේ අය දොaලා ඔසවන්නන් කණ්‌ඩායම් දෙකක්‌ එයට ඇතුළත් විය. වෙහෙසට පත් වූ කණ්‌ඩායම විවේක ගන්නා විට ඉතිරි කණ්‌ඩායම දොලා ඔසවා ගෙන යා යුතු විය. දවල් ඩහදිය මුගුරු පෙරමින් කූටක අව්වේ දොලා ඔසවා ගෙන යැම වෙනුවට අටවක සඳ මතුවන විට සවස හා රාත්‍රි කාලයේ පාරවල් හා කැලෑ මැදින් ගමන යැම ඔවුන්ගේ චාරිත්‍රය විය. එවිට අව්වෙන් විඳින පීඩන නැති වෙයි. වෙහෙසකර බව හා විඩාව අඩු වෙයි. අටවක්‌ සඳ සවස අහසේ මතු වන විට දොලා ඔසවන්නන්ට රජු හා පිරිස දොලාවල තබා ගමන් ආරම්භ කිරීමට සිදු විය.

අටවක සඳ රැස්‌ අඳුරු උරා බී මෘදු ආලෝකය බිම වගුරයි. සති දෙකක්‌ ඇවෑමෙන් කරදරයකින් තොරව රාජකීය පිරිස කතරගමට ළං ව සැපැත් ව විශේෂ ගිමන් හලක ලැඟුම් ගත්හ. සිත් සේ විඩාව දුරලන පරිදි මැණික්‌ ගඟ පිරී ගලා එන සීතල දියට බැස ඔවුහු දිය නා ගත්හ. එදා රාත්‍රි විශේෂ දේව පූජාවක්‌ විය. ඒ රජු වෙනුවෙනි. මියුරු කර්ණාට ගායන වාදන දේවාල භූමියේ ගිඟුම් දෙයි. ඒ තාල අනුව දේවාලයේ දේවදාසියෝ සිත් මෝහනය කරන නැටුම් ඉදිරිපත් කළහ. කුඩා කල උපතේ පටන් දෙවියන්ට වූ බාරහාර ඔප්පු කිරීම පිණිස ලැබුණු දැරියෝ මෙහි වැඩිහිටි කාන්තාවන් යටතේ ආරක්‍ෂාකාරීව හැදී වැඩී දවසේ වැඩි වේලාවක්‌ නැටුම් ගැයුම් වාදනවල නිරතව ඉගෙනුම ලැබූහ. දේවාල පරිශ්‍රයේ තුළම පදිංචි වී සිටින මේ රූබර දේවදාසීන්ට දිනපතා දේව පූජාවක්‌ ලෙස උදය රාත්‍රි නැටුම් ඉදිරිපත් කළ යුතු විය. ඔවුන්ට ගිහි ජීවිතය මුළුමනින්ම තහනම් විය.

සවස මෘදු ආහාර ගෙන රජු ඇතුළු පිරිස දේවදාසීන්ගේ දේව පූජා නැටුම් නරඹන්ට විය. ගලා වැගිරෙන සඳ එළිය... කටගහ පිරී යන මැණික්‌ ගඟ... ගඟ දෙපස සඳ එළියෙන් සුදට දිළිසෙන දිගු වැලි තලාව... පරිසරය සෝදා ගෙන ගලන සඳ එළිය... හිත් වශී කරවන කර්ණාට සංගීතය... ගායන... වාදන සිත් මෝහනය කරවන නැටුම් ගැයුම්... ලස්‌සන උතුරන දේවදාසීන්ගේ රැඟුම්... රජුගේ හිත චංචල වෙයි.

දේවදාසීන් අතර සිටි රූබර හිරිමල් වියේ ගැටිස්‌සියකට රජුගේ හිත තදින්ම ඇදී ගියේය. රැඟුම් බලා නිම වූ පසු පරිවාර කාන්තාවක්‌ ඇතුළට යවා එම දේවදාසිය රජු වෙත කැඳවා රජු තොරතුරු විමසීමට විය. රජු ඇසූ ප්‍රශ්නවලට ගැහෙන හදින් පිළිතුරු දුන් ඇය වහා දේවාලය පිටුපස නවාතැන්පළට දිව ගියාය.

දින තුනකින් රජු කතරගම වන්දනාව නිමවා ආපසු ඒමට සූදානම්ව ප්‍රධාන කපුරාල කැඳවා තමා කතා කළ රූබර දේවදාසිය තමා සමඟ ගෙන යන බව කපුරාළට දැන්වීය. ප්‍රධාන කපුරාළගේ සිරුර ඩහදියෙන් තෙත් විය.

"දේවයන් වහන්ස, මේ දේවදාසිය ළදරු වියේ සිට දෙවියන්ට පූජා කළ දෙවියන් නමට කැප කළ දැරියක්‌. ඇයට ගිහි ජීවිතය අකැපයි. ඔබ වහන්සේ සිත වෙනස්‌ කර ගැනීම හොඳයි."

"මේ අපේ අවසාන තීරණය රාජ අණ වෙනස්‌ වන්නේ නෑ. වහා ඒ දේව දාසිය රැගෙන එව."

රජු තම ආරක්‍ෂකයන්ට ගුගුළේය. විලාප දෙමින් දේවදාසීන් අතර සිටි රූමතිය ආරක්‍ෂකයෝ බලෙන් ඇදගෙන අවුත් දොලාවක තබා ගැටගැසූහ. "දේවයන් වහන්ස අප දෙවියන්ට කැප වූ ජීවිතයක්‌. ඔබ වහන්සේට දේව ශාපය වදියි. දේව ශාපය ස්‌ථිරයි. දේව උදහස ස්‌ථිරයි."

ඈ අතපය ලිහා ගැනීමට දඟලමින් මහත් උස්‌ හඬින් විලාප දෙන්නට විය. එය නෑසුණාක්‌ මෙන් ඇය බලෙන් රඳවා ඇති දොලාව ද සමඟ සෙංකඩගල බලා පිටත් විය. දෙපෝයකින් රජු රජවාසලට සේන්දු විය. බලෙන් අලුතින් රැගෙන ආ දේවදාසියට රජුගේ සිත් පරිදි රජුගේ සිත් පිනවීමට සිදු විය.

කාලය සියල්ල අමතක කළේය. ගතවූයේ පසළොස්‌වක පෝය තුනකි. ඉංගී්‍රසි හමුදා ඇහැලේපොල හා ඩොයිලිද කැටුව උඩරට කීප දිසාවකින් වටලා සෙංකඩගල කිට්‌ටුවටම පැමිණ ඇති බව රජුට ඔත්තු ලැබුණේය. රජු තම ප්‍රධාන බිසවුන් දෙදෙන හස්‌ත සාර වස්‌තු ගෙන දොලාවල නැඟී මැද මහනුවර ගලේකොටුවේ සැඟවීමේ අදහසින් පලා යැමට විය. රජවාසලෙන් පලා යැමට පෙර දළදා හිමි කිතුල්පේ දළදා ගමන් මාලිගාව දෙසට රහසිගතව යෑව්වේය. රජු පලා ගිය පසු කතරගම සිට ගෙන ආ දේවදාසිය අභයදානය සොයා සෙංකඩගල නගරය මැද පිහිටි කතරගම දේවාලය වෙත පියනැඟුවාය. එහෙත් රජුට ගොදුරු වී සිටි ඇයට යළි දේවදාසියක්‌ වීමට නොහැකි වූවාය. ඇය දේවදාසීන් භාරව සිටින සේවිකාවක්‌ ලෙස එහි කටයුතු කරන්නට විය.

මැද මහනුවර ගලේකොටුව පිහිටියේ හුන්නස්‌ගිරි කන්ද මැදය. තරමක්‌ උස්‌ බිමකය. ඒ කන්දෙන් ඇදහැලෙන උස්‌ දිය දහරාවක්‌ කන්ද පාමුල පැත්තකින් ඇත. මේ දිය ඇල්ල වෙත ගොස්‌ තල් අත්ත ඉසලාගෙන දිය ඇල්ලේ ජලයට නොතෙමී අත තැබූ විට ගලේකොටුවට යන රහස්‌ දොර ඇරෙයි. එය කාලාන්තරයක්‌ තිස්‌සේ උඩරට රජවරුන් දැන සිටි රහසකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තල් අත්ත ඉසලාගෙන ගොස්‌ කීප වරක්‌ රහස්‌ දොරට අත ඇල්ලුවද උමඟ ඇරුණේ නැත.

සියල්ල ඉවරයි. අවාසනාවන්ත කාලය ලබලා. රහස්‌ දොරේ අත තැබූ විගස උමඟේ දොර ඇරෙන්න ඕනෑ. පින් කළ කාලය හමාරයි. පව් පල දෙන කාලය උදාවෙලා.

සිත කීරි ගැසී ගිය රජු තල් අත්ත උසුලා ගෙනම දිය ඇල්ලෙන් මෙගොඩ වී මොහොතක්‌ කල්පනා කරන්නට විය. මැද මහනුවර ගලේකොටුවට යනවා වෙනුවට බෝමුරේ අප්පුහාමිගේ නිවසට වැදුණු රජු බිසවුන් සමඟ එහි ගිහින් පණ රැක ගන්න එක නුවණට හුරුයි.

නරක කාලය දේව ශාපය උදාවී ඇත. බෝමුරේ හිතවත් සේවකයකුගේ නිවසට වැදුණු රජු බිසවුන් සමඟ එහි සැඟවුණේය. රජු සොයා ආ එක්‌නැළිගොඩ හා ප්‍රධාන පිරිස අප්පුහාමිගේ නිවසට පා තබනවාත් සමඟ අප්පුහාමි හෙල්ලක්‌ ගෙන ඉදිරියට පැන්නේය. ඔහු පසෙකට තල්ලු කර දැමූ පිරිස දොරට පයින් ගසා දොර කැඩූහ. මැල වී ගිය මුහුණින් යුතු රජු බිම පෙරළා කෝපය, වෛරය සංසිඳෙන තුරු එක දිගට රජුට පහර දීමට වූහ. ඉන්පසු කැලෑ වැලකින් රජුගේ අත් හා පා එකට බැඳ දැමූහ.

බිසෝවරු ගෙයි මුල්ලක සැඟ වී සිටියහ. ඔවුන්ගේ කණ්‌ හා නාස දිලිසෙන රන් ආභරණවලින් පිරී ගොසිනි. ඒවා එක එක ගැලවීමට වේලාවක්‌ නැත. විද තිබූ කණ හා නාසය රන් ආභරණ සමඟම කඩා අතට ගත්හ. උණු ලේ කැටි ඇඳ සිටි රෙදිවල වැගිරෙන්නට විය. රජු හා බිසෝවරු පයින් ඇදගෙන යමින් නැවතෙන විට කෝටුවලින් පහර දෙමින් තෙල්දෙණිය දෙසට ගෙන යැම ආරම්භ විය. මේ ආරංචිය සැලව අසු පිටින් ආ ඩොයිලි දූත පිරිසට බැණ වැදී රජු හා බිසෝවරුන් සනසා දොaලාවල නංවා ගමනට යෙදවීය. නාසය හා කණ්‌වල රන් ආභරණ ඉරා ගත් විට බිසවුන් ඇඳ සිටි ලේ පැල්ලම් වැගිරුණු හැට්‌ට හා මන්තා අදත් කොළඹ කෞතුකාගාරයේ දී දැකිය හැක. හරියට ම මාස තුනකින් රජුට කතරගම දෙවිඳුගේ දේවදාසිය පැහැර ගැනීමේ ශාපය, විපාකය පල දුන්නේය.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o