නිවෙස සෑදීමට ආශීර්වාද කළ දෙවිවරුන්ට පින් දීම

2015-11-17 11:30:00       530
feature-top
මේ ලෝකයේ ජීවත්වන අපට තනි තනි පුද්ගලයා වශයෙන් හුදකලාව ජීවත් වීමට නොහැකි බව ඔබ දන්නවා. පවුලක් ලෙස ගත්තද, ගමක් ලෙස ගත්තද, රටක් ලෙස ගත්තද ඒ සෑම තැනකදීම සෑම කෙනකුටම අනෙක් අයගේ සහයෝගය සහ උපකාරය අවශ්‍ය වෙනවා. ලෞකික ජීවිත ගත කරන කෙනකුට මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනකුට වුවද අනෙක් අයගේ ආධාර උපකාර අවශ්‍ය වෙනවා. කිසිම විටෙක තනිවම ජීවත් වීමට හැකියාවක් නොමැති බව වටහා ගත යුතුයි.
මිනිසුන් වන අපට අපගේ ජීවිතය පවත්වාගෙන යෑම උදෙසා මිනිසුන්ගේ උපකාරය අවශ්‍ය වනවා සේම මීට අමතර වශයෙන් තිරිසනුන්ගේ උපකාරයද ලබා ගන්නා බව පැහැදිලියි. සමහර විට සමහර පිරිස් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ සතුන්ගේ උපකාරය තුළිනි. සත්ත්ව පාලනය තම ජීවනෝපාය කර ගැනීම හා ආරක්ෂාව මෙන්ම විනෝදාස්වාදය තිරිසන් ලෝකය තුළින් මිනිසාට ලැඛෙන උපකාරයන් වේ. මෙම කොටස් දෙකම අපගේ ඇසට පෙනෙන සත්ත්වයන් වුවද අපට නොපෙනෙන විශාල පිරිසකගේ සහායද අපගේ ජවිතය පවත්වාගෙන යෑම උදෙසා නිතැතින් බලපෑම් කරන බව මහා වාස්තු ශිල්පය තුළ දක්වා තිඛෙනවා. මෙම නොපෙනෙන කොටස් පිළිබඳ ඔබව දැනුවත් කිරීම සහ එම කොටස් හඳුන්වා දීම මෙම ලිපියේ සුවිශේෂ අරමුණයි.


නිවෙසක් හදන්න
උදවු කරන්නේ කවුද?
ඔබගේ නිවෙස හදන්න උදවු කළේ කවුද කියලා ඔබගෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුරු කුමක්ද? මෙම නිවෙසට මට මුදල් දුන්නේ මගේ මවුපියන් හෝ සහෝදරයන් නැත්නම් හිතවතුන් කියා. එසේම මෙම ගොඩනැඟීමේදී මේසන් බාස්, වඩු බාස් ගොඩාක් උදවු උපකාර කළා. මගේ හිතවත් ඉන්ජිනේරු මහතෙක් මට උදවු කළා. මේ නිවෙසේ සැලැස්ම සකස් කරලා දුන්නේ මගේ හිතවත්ම ගෘහ නිර්මාණ ශිල්පයෙක්. එයා ගොඩාක් උදවු කළා. මේ ආකාරයට ඔබ ඔබගේ නිවෙස හදන්න ඔබට උදවු උපකාර කළ ඔබගේ හිතවතුන්ගේ ලැයිස්තුවක් කියාගෙන යයි. ඇත්ත වශයෙන්ම ඔබගේ නිවෙස හදා ගන්න උදවු උපකාර කළ ඔබට නොපෙනෙන තවත් විශාල පිරිසක් සිටින බව ඔබට පෙනෙන්නේ හෝ දැනෙන්නේ නැහැ. ඒ අය පිළිබඳ ඔබගේ මනසේ කිසිම සටහනක් ඇඬෙන්නේ නැහැ. එසේ වුවද ඔබට උදවු උපකාර කළ සැබෑ පිරිස් ඔබ නිතැතින් සිහි කළයුතු වෙනවා.


1. ඔබගේ ඉටු දෙවියන්
2. ඔබගේ දිව්‍ය ඥාති සමූහයා
3. ගම් තුලානට අධිපති ගම්භාර දෙවියන්
4. ඔබට හිතවත් භූමි ඥාතීන්
5. ඔබට හිතවත් බලගතු අමනුෂ්‍ය කොටස්
මේ ආකාරයට ඔබගේ නිවෙස සාර්ථකව ඉදිකර ගැනීමට උදවු උපකාර කළ මෙම පිරිස ඔබට නොපෙනී උදවු කළ අය වෙනවා. ඔබගේ නිවෙස ආරම්භ කරන මොහොතේ ඔබගේ හදවතින් ආධ්‍යාත්මික උදවු උපකාර ඉල්ලා බාරහාර වීම් සිදු කළ අවස්ථා පසුකාලීනව අමතක වී යනවා. එම බාරහාර වීම් නිසි විදියට ඉෂ්ට සිද්ධ කිරීම් කළ යුතු වෙනවා. එසේම ඔබට නිවෙස සෑදීමට උදවු උපකාර කළ මිනිසුන්ට ඔබ පෙරළා ස්තුති කළ ආකාරයට ඔබට නොපෙනී උදවු උපකාර කළ ඉහත පෙන්වා දුන් කොටස්වලටත් ස්තුති කිරීම් සහ පූජා පවත්වා පින් අනුමෝදන් කිරීම් කළ යුතු වෙනවා.


නිවෙස හදන්න උදවු උපකාර කළ අය
අමතක කිරීම නිසා වාස්තු
දෝෂ හටගන්නවා
ඔබගේ නිවෙස සෑදීමට උදවු උපකාර කළ පුද්ගලයන් නොසලකා හැරීම තුළින් ඔබගේ නිවෙසේ වාස්තු දෝෂ බලවත්වන බව ඔබ දන්නවාද? එය එසේ සිදුවන බව මහා වාස්තු පුරාණයේ සඳහන්ව පවතිනවා. පෙර රජ දවස රජවරුන් විසින් අලුතින් ඉදිකළ මාලිගා පරිශ්‍රයේ දින 7ක් එම මාලිගාව ඉදිකළ පිරිස උදෙසා සංග්‍රහ පැවැත්වීම හා දෙවියන්ට සහ භූමි ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සිදු කළ බව සඳහන්. මේ ආකාරයට ඔබගේ නිවෙස ඉදිකළ සහ එයට උපකාර කළ පිරිසට කෘතගුණ සැලකීම කළ යුතු අතර ඒ තුළින් ඔබගේ ගෘහයට දෙවියන්ගේ ආශීර්වාදය ලැබී සියලු ‍දොස් දුරුවනු ඇත. එසේ නොවුණු කල එම කොටස්වල අප්‍රසාදය බලවත් වී ඔබගේ නිවෙසේ දෝෂ බලවත් වීම නිසා පහත සඳහන් ප්‍රතිඵල බලවත් වන බවද පෙන්වා දෙමි.


1. නිවෙස පාළුවට යෑම
2. රෝග පීඩා බහුල වීම
3. සතුරු කරදර බහුල වීම
4. නීති ප්‍රශ්න මතුවීම සහ රාජ බිය
5. නිතර නිතර නිවෙස අලුත්වැඩියා කිරීමට සිදුවීම
6. නිවෙස කෙතරම් අස්කළද නිතර අපිළිවෙළ රජවීම
ඔබගේ නිවෙසට උදවු උපකාර කළ පෙනෙන සහ නොපෙනෙන යන පිරිස් දෙක කෙරෙහිම ඔබගේ කෘතගුණ සැලකීම අත්‍යවශ්‍ය වන බව මතක තබා ගන්න. ඒ තුළින් ඔබගේ නිවෙසේ වාස්තු දෝෂ මඟහැරී ගොස් නිවෙසට වාසනාව උදාවනු ඇත. ලස්නට ඉදිකළ ඔබගේ නිවෙසේ ලස්සනට ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට නම් ඔබගේ යුතුකම් මැනවින් ඉටු කිරීමට වගබලා ගත යුතුයි.


ආධ්‍යාත්මික බලවේගයන්ට
ස්තුති කරන්නේ කෙසේද?
ඔබට උදවු උපකාර කළ මිනිසුන්හට කෘතගුණ සැලකීම සහ ස්තුති කිරීම ඔබ බොහෝ විට සිදු කරන දෙයක් වන අතර ඔවුන්ට සංග්‍රහ කිරීම පහසු දෙයක් වනු ඇත. එසේ වුවද ඔබගේ නිවෙස ඉදිකිරීමට ඔබට නොපෙනී උදවු කළ ආධ්‍යාත්මික කොටස් හඳුනාගෙන සංග්‍රහ කිරීමට ඔබට බොහෝ විට අතපසු වන්නේ එම පිරිස් පිළිබඳ ඔබ තුළ පවතින දැනුම මඳකම නිසාම බව කිව යුතුයි. අපට ඇස් දෙකට පෙනෙන මිනිසුන් උරණ වූ විට කරන කියන දේවල් අපට පෙනෙනුද ඒවාට මුහුණ දීමේ හැකියාව පැවැතියද මෙම නොපෙනෙන ආධ්‍යාත්මික කොටස් උරණ වූ විට ඔවුන් විසින් සිදුකරනු ලබන දේවල් අපට නොපෙනෙන බැවින් ඒවායේ අයහපත් ප්‍රතිඵල පමණක් අපට දැනෙනු ඇත. එය ඉතා භයානක තත්ත්වයක් බව ඔබ කල්තියාම හඳුනාගෙන ඔබගේ යුතුකම් සම්පූර්ණ කිරීමට උනන්දු වන්න.


ආධ්‍යාත්මික බලවේගයන්ට
සංග්‍රහ කිරීමේ ක්‍රම
ඔබගේ නිවෙස ඉදිකිරීමට ඔබට නොපෙනී උදවු කළ දෙවියන්ට, භූමි ඥාතීන්ට, අමනුෂ්‍ය කොටස්වලට ඔබ ස්තුතිකොට සංග්‍රහ කරන්නේ කෙසේද කියා ඔබව දැනුවත් කරන්නම්. මෙහි දී ඉතාමත් වැදගත් වන්නේ ඔබ විසින් නිවෙස ඉදිකිරීමට පූර්ව වශයෙන් සිදු කළ බාරහාරවීම් නිසි පරිදි සිහිකොට එම බාර ඔප්පු කොට එම පිරිස්වලට පින් අනුමෝදන් කිරීමයි. මීට අමතරව ඔබ විසින් පහත සඳහන් අනුපිළිවෙළට ආධ්‍යාත්මික කොටස්වලට සංග්‍රහ කළ යුතුයි.
1. නිවෙස සම්බන්ධයෙන් සිදුකළ සෑම බාරයක්ම නිසි පරිදි ඔප්පු කරන්න.
2. සංඝගත දක්ෂිණාවක් සිදුකොට සියලු දෙවියන්ට, මළගිය පිරිස්වලට, භූමි ඥාතීන්ට, අමනුෂ්‍ය කොටස්වලට පින් අනුමෝදන් කරන්න.
3. තමන්ගේ ඉටු දෙවියන් උදෙසා කෙම්මුර දිනයක විශේෂ පූජාවක් පවත්වා පින් අනුමෝදන් කරන්න.
4. කිරි අම්මාවරුන් 9 දෙනකුට දානයක් දී දෙවියන්ට හා අනෙකුත් කොටස්වලට පින් අනුමෝදන් කරන්න.
5. වාස්තු පූජාවක් පවත්වන්න.


මහා වාස්තු ශිල්පයට අනුව ඉදිකළ ඔබේ නිවෙසට උදවු උපකාර කළ පෙනෙන නොපෙනෙන සියලු කොටස්වලට ඔබ සංග්‍රහකොට කෘතගුණ සැලකූ විට ඔබට ඉතාමත් සැනසිලි දායකව ඔබගේ ගෘහයේ වාසය කිරීමේ පින බලවත් වනු ඇත. ඔබ සෑම විටම ගුණගරුක වීම තුළින් ඔබගේ නිවෙස දෙවියන්ට ප්‍රියමනාප වන බව මහා වාස්තු ශිල්පයේ සඳහන්ව පවතිනවා. ඔබගේ නිවෙස සම්බන්ධයෙන් ඉහත සඳහන් දෝෂ බලවත් වන්නේ නම් ඔබගේ යුතුකම් නිසි පරිදි සම්පූර්ණ කරන්න. එවිට ඔබට එම දෝෂවලින් නිදහස්ව සතුටින් ජීවත්වීමේ හැකියාව ලැඛෙනු ඇත.
curtesy :tharunee.lk


More News »