වහලයේ දැව තැබීමේ දී අනුගමනය කළ යුතු සුභ මුහුර්ත

2016-07-11 01:16:00       589
feature-top
ඔබගේ ගෘහයේ ඉතාමත් වැදගත්ම ගෘහ අංගය වන්නේ වහලයයි. වහලය ගෘහයක විශ්ව ශක්‌තිය උරාගන්නා සහ රඳවා ගන්නා ප්‍රධානතම ගෘහ අංගය බව මහා වාස්‌තු ශිල්පය තුළ පෙන්වා දී තිබෙනවා. මේ නිසා ඔබගේ ගෘහයේ වහලය සකස්‌ කර ගැනීමේ දී මූලික වාස්‌තු සිද්ධාන්ත නිසි පරිදි එකඟ කර ගැනීම කළ යුතු වෙනවා. මෙහි දී වහලයේ හැඩය, වහලයේ පල සංඛ්‍යාව, වහලයේ වතුර බැස්‌ම, වහලයේ පරාල, බාල්ක, කුරුපා සංඛ්‍යාව මෙන්ම වඩිම්බු යෙදිය යුතු ආකාරය සහ වැහි පිsහිලි සවි කිරීම යන සියලු කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. ගෘහයේ වහලය සකස්‌ කිරීමේ දී ඒ සඳහා විශේෂ සුභ මුහුර්ති ලබා ගත යුතු අතර මහා වාස්‌තු ශිල්පයට අනුව වහලයේ දැව තැබීම විශේෂ අවස්‌ථාවක්‌ ලෙස සැලකෙනවා. නූතනයේ දී සමාජයෙන් ඈත් වී ඇති ප්‍රධාන ගෘහ චාරිත්‍රයක්‌ වන වහලයේ මංගල දැව තැබීම සුභ මුහුර්තිය මහා වාස්‌තු ශිල්පයට අනුව ඉටුකරනු ලබන ආකාරය සහ වහලයේ බලවත් වන්නා වූ විශේෂ දෝෂ පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

roofing-pic

මුලින් සඳහන් කළ පරිදි ගෘහයක වැදගත්ම ගෘහ අංගය වන්නේ එම ගෘහයේ වහලයයි. මේ නිසා ඔබගේ ගෘහයේ වහලය මහා වාස්‌තු ශිලපීය උපක්‍රම පරිදිම සකස්‌ කර ගැනීමට උනන්දු වන්න. ගෘහයක වහලයේ දෝෂ බලවත් වූ විට පහත සඳහන් අයහපත් ප්‍රතිඵල ඔබට දැනෙනු ඇත.

1. ගෘහය සෑදීම ප්‍රමාද වේ.

2. ගෘහයේ පදිංචි වුවද කෙටි කලකින් ගෘහයෙන් ඉවත් වේ.

3. ලෙඩ රෝග සහ කායික මානසික පීඩනය බහුල වේ.

4. මූල්‍ය ශක්‌තිය දුර්වල වේ.

ගෘහයේ වහලයේ දෝෂ බලවත් වීම නිසා ඉහත අයහපත් ප්‍රතිඵල ඔබට දැනෙන තරමට බලවත් වනු ඇත. මේ නිසා ඔබ ඔබගේ ගෘහයේ වහලය මහා වාස්‌තු සිද්ධාන්ත වලට අනුගතව සකස්‌ කර ගැනීමට සිතට ගන්න.

වහලය සඳහා ස්‌ලැබ් එකක්‌ දැමීම සුදුසු ක්‍රමයක්‌ නොවේ.

නූතනයේ නිවාස ඉදි කිරීමේ දී වහලය සඳහා ස්‌ලැබ් එකක්‌ පමණක්‌ යෙදීමට බොහෝ පිරිස්‌ පෙලඹී සිටිනවා. මෙය වාස්‌තු සිද්ධාන්ත අනුව නිවැරදි නොවන බව පෙන්වා දෙමි. ගෘහයක්‌ නම් එහි වහලයක්‌ තිබිය යුතුයි. වහලය තුළින් ගෘහයට ලැබෙන විශ්ව ශක්‌තිය බලවත් වීම හෝ දුර්වල වීම සිදු වේ. ස්‌ලැබ් එකක්‌ යෙදීමෙන් එම ගෘහයට විශ්ව ශක්‌තිය ලැබීම දුර්වල වන බව මතක තබා ගන්න. මැද පෙරදිග රටවල් වල ගෘහයන් ආශ්‍රිතව වහල යෙදීම නොකරන බව පෙනේ. එහි ප්‍රතිඵල අපට මනාව පැහැදිලි වෙනවා. යුද්ධය, මානසික පීඩනය අස්‌ථාවරභාවය මනුෂ්‍ය ගති පිරිහීම වැනි තත්ත්වයන් එම කලාපයේ බහුලව නිතර දක්‌නට ලැබෙනවා. එම රටවල පවතින දේශගුණය සහ සම්පත් අනුව එම තත්ත්වයට පත් වී තිබුණද ශ්‍රී ලංකාව වැනි රටවලට එවැනි තත්ත්වයක්‌ කිසි සේත්ම නොගැලපෙන බව පෙන්වා දෙන අතර ඔබගේ ගෘහයට වහලය නිසි පරිදි එකතු කර ගැනීමට බුද්ධිමත් වන්න.

අභිනව ගෘහයේ වහලයට දැව තැබීම

ඔබගේ අභිනව ගෘහයේ වහලයට දැව තැබීම නිසි පරිදි ඉටු කිරීම කළ යුතුයි. මෙහි දී ඔබ විසින් නිසි චාරිත්‍ර හා සුභ මුහුර්ති මෙන්ම දිශාව පිළිබඳවද දැනුවත්ව සිටිය යුතු වෙනවා. වහලයක දැව තැබීමේ දී සෑම විටම ගෘහ මූලිකයා විසින් මුල්ම දැවය තැබීම සිදුකළ යුතු අතර ගෘහ මූලිකයා නොමැති විටක දී වැඩිමහල් පිරිමි දරුවකු හෝ එසේ නැතිනම් පවුලේ ළඟම ඥාති පුරුෂයකු විසින් එම කටයුත්ත ඉටු කිරීම මැනවි.

මුලින්ම තබන දැවය සීහුම් කොට තබන්න.

ඔබගේ ගෘහයට තබන මුල්ම දැවය ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට ගැලපෙන දැව වර්ගය තෝරා (කොහොඹ, මී, සඳුන්) එම දැවයෙන් ලී ඇණ තුනක්‌ මුල්ම දැවයට එකතු කොට සීහුම් කොට තැබීම කළ යුතු වෙනවා. මේ තුළින් ගෘහයේ වහලයේ දැව ඝණ බලවත් කර ගැනීමේ හැකියාව ලැබෙන අතර වහලයේ ජීව ගුණය වැඩි වී දෝෂ බලවත් නොවනු ඇත.

මුල්ම දැවය තබන දිශාව දැන ගන්න.

ගෘහයේ වහලයට දැව තැබීමේ දී කිසිම විටක ප්‍රධාන දිශාවක මුල්ම දැවය නොතැබිය යුතුයි. ඒ සඳහා වඩාත් උචිත වන්නේ

* ඊශාන

* ගිණිකොණ

* නිරිත දිශා වේ.

11

මුලින්ම තබන දැවය කිසිසේත්ම අඩි 06කට වඩා අඩු දිගකින් නොවිය යුතු අතර වහලයේ යට ලී සඳහා අඩි 06 කට වඩා අඩු මූට්‌ටු නොයෙදිය යුතුයි.

වහලයේ මුදුන් යට ලීයේ නිවැරදි යෙදීම.

ගෘහයක මුදුන් යට ලීය ඉතාමත් වැදගත් වෙනවා. එම මුදුන් යට ලීය යෙදීමේ දී කිසිම විටක මී/ කොහොඹ දැවයක්‌ යොදා ගන්න එපා. එවැනි දැව යොදාගනු ලබන්නේ ආගමික ස්‌ථාන සඳහා පමණි. එසේම මුදුන් යට ලීය කිසිම විටක නැකතට තබන මුල්ම දැවය නොවිය යුතු බවද මහා වාස්‌තු ශිල්පයේ දක්‌වා තිබෙනවා. (එසේ වුවද යම් වහලයක මුදුන් යට ලීය පමණක්‌ නම් තැබීමට ඇත්තේ එම යට ලීය විශේෂ වාස්‌තු සීහුම් කිරීමක්‌ මත තැබීමක්‌ කළ හැක. මෙය නූතන වහල ක්‍රමයේ දී යෙදීමට සිදු වේ.) ඔබගේ ගෘහයේ මුදුන් යට ලීය අඩි 06 කට වඩා කෙටි නොවීමටද වගබලා ගන්න. මීට අමතරව ගෘහයක මුදුන් යට ලීයේ දිශානුගතකරණයද නිවැරදි විය යුතුයි. මහා වාස්‌තු ශිල්පයට අනුව වහලයක මුදුන් යටලීයක්‌ නොයෙදිය යුතු එකම දිශාව වන්නේ ඊශාන නිරිත පමණි. පූර්ණ වශයෙන් ඊශාන නිරිත විශ්ව ශක්‌ති රේඛාවට ලම්භක නොවන පරිදි ගෘහයේ මුදුන් යට ලීය යෙදීමට වගබලා ගන්න.

වහළයේ දැව තැබීමේ දී අනුගමනය කළ යුතු සුභ මුහුර්ති

වහලයක මංගල දැවය තැබීම සඳහා සෑම විටම කෝණ මාසවල නොපැවත්වන සුභ මුහුර්තියක්‌ ලබා ගත යුතු වෙනවා. යොදා ගත් සුභ හෝරාවේ බලවත් දිශාව, බලවත් වර්ණය, බලවත් දෙවියන් නිසි පරිදි හඳුනා ගෙන මංගල දැවය තැබීම කළ යුතුයි.

ගෘහයක වහලයට දැව තැබීම උදෙසා සුභ මුහුර්ති සකස්‌ කිරීමේ දී සෑම විටම ඔත්තේ සංඛ්‍යාවක්‌ සහිත සුභ මුහුර්ති ලබා ගැනීම කළ යුතු වෙනවා. නිදසුනක්‌ ලෙස ඔබගේ නැකැත්කරුවා විසින් ලබාදෙන සුභ මුහුර්තිය 07. 31 නම් එය සුභ ඔත්තේ මුහුර්තියක්‌ වන අතර 06. 24 සුභ මුහුර්තිය ඔත්තේ සුභ මුහුර්තියක්‌ නොවන බව ඔබ දැනුවත් වන්න.

මුල්ම දැවය තැබීමේ දී එය ගිලිහි බිම වැටෙන්නේ ඇයි.

ඔබගේ ගෘහයේ වහලය සඳහා මුල්ම දැවය තැබීමේ දී සමහර අවස්‌ථාවල එම දැවය ගිලිහී බිම පතිත වීමේ හැකියාව පවතිනවා. මෙවැනි තත්ත්වයන් ප්‍රායෝගිකව සිදුවන අතර එවැනි තත්ත්වයන් සඳහා මුහුණ දීමට ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්නම්. බොහෝ විට ඔබගේ වහලය සඳහා දැව තැබීම ප්‍රමාද වූ අවස්‌ථාවන්වල මෙන්ම වහලයේ කොටස්‌ ඉදිකොට කාලයක්‌ ගිය පසු ඉතිරි කොටස සඳහා දැව තැබීමේ දී මෙම ගිලිහීම බලවත්ව සිදුවිය හැකියි. එසේම පැරණි වහලයක්‌ ගලවා නැවත වහලය සකස්‌ කිරීමේ දී මෙසේ දැව ගිලිහීම සිදුවිය හැකියි. මෙවැනි අවස්‌ථාවකදී ඔබ කලබල නොවිය යුතු අතර එම තත්වයට සාර්ථකව මුහුණ දෙන්න. ඔබගේ වහලය සඳහා නැකතට තැබූ දැවය ගිලිහී වැටුන විට ඔබ බිය වන්න එපා. එම නැකතේ තිබූ දෝෂය ඉවත් වීම ඒ තුලින් සිදුවන අතර ඔබ කළ යුත්තේ මීළඟට එළඹෙන ඔත්තේ මිනිත්තුවේ දී නැවත එම දැවය තැබීමයි. එහි දී ඊශාන දිශාව බලා විෂ්ණු දෙවියන් සිහිකොට එම දැවය නැවත තබන්න. මෙහි දී වහලයේ මංගල දැවය තැබීමේ දී ඊට යටින් කිසිවෙකුටත් සිටීමට ඉඩ නොදීමට ද වගබලා ගන්න.

දැව තැබීමේ වාස්‌තු පිළිවෙත්

ඔබගේ අභිනව ගෘහය සඳහා වහලයට මංගල දැවය තැබීමේදී ඊට පූර්ව වශයෙන් ගෘහයේ හතර කොණ ආසන 04ක්‌ භූමියේ සකසා පිළිවෙත් සිදුකළ යුතු අතර නිවස මධ්‍යයේද එම ආසන සකස්‌ කොට ගිතෙල් පහනක්‌ දැල්වීම කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

1. ගිතෙල් පහන් 05ක්‌

2. සුවඳ දුම්/ කපුරු

3. වර්ණ පහකින් යුතු මල්

4. බුලත් කොළ 40 ක්‌

5. කහ දියර

6. පොල් ගෙඩියක්‌

ඉහත දෑ ඔබගේ නිවසේ භූමිය මත හතර කොණ සහ ගෘහයේ බ්‍රහ්ම පාදය ආශ්‍රිතව සකස්‌ කොට ගෙන ගිතෙල් පහන් දැල්වීම සිදුකළ යුතු අතර නිවසේ බ්‍රහ්ම පාදයේ පහන ඊශාන දිශාවට හරවා දැල්වීම කළ යුතු වෙනවා. ඔබ විසින් සකස්‌ කරගත් පොල් ගෙඩිය මත කපුරු පෙත්තක්‌ දල්වා වාස්‌තු ශිල්පියා විසින් බ්‍රහ්ම පාදයේ සිට බලගන්වා සීහුම් කළ පසුව පොල් ගෙඩිය බිඳීම නැකැත් වේලාවට පූර්ව සිදුකළ යුතු අතර ඉන් පසුව සුභ මුහුර්තියෙන් මංගල දැවය ගෘහහිමියා විසින් වහලයේ තැබීම කළ යුතු වෙනවා. එසේම විෂ්ණු දෙවියන් හා ගම්බාර දෙවියන් උදෙසා පඬුරක්‌ අස්‌ කිරීම ද කළ යුතු අතර එම පඬුර වහලයේ ගැට ගැසීම නොකළ යුතු අතර ආදාල දේවාලයේ ගැට ගැසීම කළ යුතුයි. වහල ඉදිකොට දින 07ක්‌ ඉක්‌ම යැමට ප්‍රථම එම බාරය ඔප්පු කිරීම චාරිත්‍රය වේ.

මහා වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ අභිනව ගෘහයේ වහලය සකස්‌ කර ගැනීමේ දී එම වහලයේ මංගල දැවය තැබීම උදෙසා වූ වැදගත් වාස්‌තු ශිල්පීය කරුණු ඔබ වෙත කියා දුන්නේ ගෘහයක වහලය ඉතාමත් වැදගත් ගෘහ ඒකකයක්‌ ලෙස බලවත් වන බැවිනි. විශ්වයේ විශ්ව ශක්‌තිය ගෘහයට ඇදගනු ලබන ගෘහයේ සිරස වන්නේ වහලයයි. එබැවින් ඔබගේ ගෘහයේ වහලය මහා වාස්‌තු සිද්ධාන්තවලට අනුගතව ඉදිකර ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය වන වාස්‌තු වත් පිළිවෙත් සහ මුහුර්ති අනුගමනය කළ යුතු පිළිවෙල පිළිබඳවත් ඔබව දැනුවත් කළේ ඒ තුළින් ඔබගේ ගෘහයට විශ්ව තල වල ඇති මහානුභාව සම්පන්න විශ්ව ශක්‌තින් නිසි පරිදි කාන්දු කර ගැනීමට අවශ්‍ය දේව ගුණ බලවත් කිරීමේ ප්‍රසාදයෙන් බව කිව යුතුයි. ඔබගේ ගෘහයේ සිරස නිසි පරිදි බලවත් කොට ගෙන මහා විෂ්aණු දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීමට කුසල් සිත් පහළ වේවා

vaastumadura.com


More News »