මහා වාස්‌තු නිවසක්‌ සෑදීමේ දී අවශ්‍ය සුබ මුහුර්ති හා වාස්‌තු පිළිවෙත (part 01)

2016-07-13 12:08:00       585
feature-top
පෙරදිග රටවල පවතින බොහෝ සංස්‌කෘතීන්වල විශේෂ කටයුතු ආරම්භ කිරීමේ දී එය සුබ මුහුර්තියකට අනුව සිදුකිරීම විශේෂ ලක්‍ෂණයකි. චීනය, ජපානය, ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික පරීසරය තුළ විශේෂයෙන් සිංහල සහ හින්දු ජන සමාජය තුළ ජීවිතයේ සුවිශේෂී සෑම අවස්‌ථාවක්‌ම ආරම්භ කරනුයේ සුබ මුහුර්තියකට අනුවයි. මේ සඳහා බැඳුණු වත්පිළිවෙත්ද පවතිනවා. නිදසුනක්‌ ලෙස පවුලට එකතුවන දරුවාගේ සෑම කටයුත්තක්‌ම මූලිකව ආරම්භ වනුයේ සුබ මුහුර්තියකට අනුවයි. මේ රන්කිරි කට ගෑම නම් තැබීම, ඉඳුල් කටගෑම, කන් විදීම, කොණ්‌ඩය කැපීම, අකුරු කියවීම ආදි ලෙස ලමා කාලයේ ඉටුකරනු ලබන කටයුතු වලට අමතරව තරුණ කාලයේ වැඩිහිටි කාලයේ මෙන්ම මහලු කාලයේ වුවද සුවිශේෂි කටයුතු සඳහා සුබ මුහුර්ති ලබා ගැනීම මෙන්ම ඒ හා බැඳුණු විශේෂ වත්පිළිවෙත් රාශියක්‌ පවතිනවා. සුබ මුහුර්ති සහ වත්පිළිවෙත් යනු අපගේ ජීවිතය හා බැඳී පවතින ඉතා වැදගත් ක්‍රියාවලියක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ඔබගේ නිවස සම්බන්ධයෙන් ඔබ විසින් ලබාගතයුතු සුබ මුහුර්ති මොනවාද යන්න සහ ඊට අදාළව ඉටුකළ යුතු වත්පිළිවෙත් මොනවාද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. නූතන සමාජයේ මෙම සුබ මුහුර්ති සහ වත්පිළිවෙත් පිළිබඳව ඇති දැනුම ඉතාමත් අල්ප අතර නිවසක්‌ සම්බන්ධයෙන් සමාජයේ වැඩි පිරිසක්‌ දන්නේ මුල්ගල තැබීමේ සුබ මුහුර්තිය ගැන පමණයි. මෙම මුහුර්තිය හෝ නොදැන සිටින පිරිස පිළිබඳව ප්‍රායෝගිකව මා දන්නා අතර ඔවුන් තමන්ගේ නිවසට අඩුම තරමින් මුල්ගලක්‌ හෝ තබා නැති බව පෙනී යනවා. විශේෂයෙන් මෙවැනි කරුණු සම්බන්ධව වර්තමාන පරම්පරාව තුළ පවතින දැනුම අල්ප බව සහ වැඩිහිටියන් තුළ පවතින දැනුම මඳ බව මීට හේතු වී තිබෙන බව පෙනී යනවා.

ඔබගේ ලෞකික ජීවිතයේ ප්‍රධාන සංධිස්‌ථාන තුනක්‌ තිබෙන බව Rෂි දහම තුළ මනාව පැහැදිලි කොට දී තිබෙනවා.

උත්පත්තිය

විවාහය

ගෘහයක්‌ ඉදිකොට පදිංචි වීම

මෙම කරුණු 03 තුළින් මිනිසාගේ ජීවිතය වෙනස්‌ වන බව පෙන්වා දී තිබෙනවා. එබැවින් ගෘහය සම්බන්ධයෙන් ඔබ වඩාත් විමසිලිමත් විය යුත්තේ එය ඔබගේ ජීවිතය වෙනස්‌ කිරීමට සමත් සුවිශේෂි සංධිස්‌ථානයක්‌ බැවිනි. ඔබගේ ගෘහය ඉදිකිරීමේ සිට ගෘහයේ පදිංචි වීම දක්‌වා සහ පදිංචි වූ පසුවත් ඔබ විසින් ලබාගත යුතු සුබ මුහුර්ති සහ වත්පිළිවෙත් මොනවාද යන්න පිළිබඳව ඔබත් දැනුවත් වන්න.

ඉඩමක්‌ තෝරා ගැනීමේ දී සහ මිලදී ගැනීමේ දී ගෘහයක්‌ සෑදීම සඳහා ඔබ ඉඩමක්‌ තෝරා ගැනීමේ දී සහ මිලදී ගැනීමට යැමේ දී ඔබ විසින් සුබ හෝරාවක්‌ තෝරාගත යුතු වෙනවා. මෙහි දී අවම වශයෙන් ඉරිදා හා අඟහරුවාදා දිනයන් හැර අනෙකුත් දිනයක හි රාහු කාලය පන්නා එම කටයුත්තක්‌ සඳහා පිටත් වීම මැනවි. බදාදා/බ්‍රහස්‌පතින්දා/ සිකුරාදා යන දිනයන් සහ ඔත්තේ දිනයන් ඉතා සුදුසු බව මතක තබා ගන්න.

ඔබ තෝරාගත් ඉඩමට ප්‍රවේශ වීම

ඔබ විසින් ගෘහය සෑදීමට තෝරාගත් ඉඩමට මූලිකවම ප්‍රවේශ වන අවස්‌ථාව සුබ හෝරාවක්‌ විය යුතුයි. එය ද අඟහරුවාදා හා ඉරිදා හැර සුබ මුහුර්තියක්‌ ලබාගත යුතු අතර රාහු කාලය ඉවත් කළ යුතුයි. වත්පිළිවෙත් ලෙස ඉඩමේ පිහිටීම පරිදි ඊශාන නිරිත සහ නිරිත ඊශාන යන මුලික ප්‍රවේශ දිශාවන් තෝරාගත යුතු අතර ඒ සඳහා භූමි ඥාතීන්ගෙන් අවසර ලබාගෙන ඉඩමට ඇතුළ් වීම කළ යුතුයි. මේ සඳහා වාස්‌තු ශිල්පියකුගේ උපකාර හා උපදෙස්‌ ලබා ගැනීම ඉතා උචිතය.

ගෘහය සඳහා මූලික මිණුම් ගත කිරීම් සහ මහී කාන්තාව සමඟ සම්බන්ධ වීම

ඔබගේ ඉඩම තෝරා ගත් පසුව නිසි දිශාවෙන් නිසි පිළිවෙළට ඉඩමට ප්‍රවේශ වූ පසුව ඉඩමේ ගෘහය ස්‌ථානගත කරන කොටස තෝරා ගැනීම සහ එය සැලසුම් කිරීමට ප්‍රථම මූලික මිණුම්ගත කිරීමේ සම්ප්‍රදායන් ඉටුකළ යුතු අතර එය ගෘහ මූලිකයා සහ ගෘහ මූලික කාන්තාව විසින් මුල්ම මිණුම ලබාගත යුතු වෙනවා. ඉන්පසුව ඉඩමේ බ්‍රහ්ම පාදය මතට පැමිණ මහී කාන්තාව සමග දක්‍ෂිණාවෘතව දෑත චලනය කොට නිවස සෑදීම සඳහා ගිවිසුම්ගත වීම කළ යුතුයි. මෙහිදී දින හතේම මරු නැති ඊශාන දිශාව බලා එම කටයුත්ත ඔත්තේ කාල හෝරාවක දී ඉටුකළ යුතු වෙනවා.

පළමු වාස්‌තු සීහුම් කිරීම

ඉහත කරුණු නිසි ලෙස ඉටුකළ පසුව ගෘහ හිමියා ඉඩමට ප්‍රථමයෙන් ප්‍රවේශ වන අවස්‌ථාවේ දී ලබාගත් පස්‌ කොටස සහ ඉඩමේ බ්‍රහ්ම පාදය දී මහී කාන්තාව (භූමිය) සමඟ සම්බන්ධ වී ලබාගත් පස්‌ කොටස්‌ රතු රෙදි කඩකට ගෙන (ගෘහ හිමියා අවිවාහක නම් හෝ දරුවන් නොමැතිනම් සුදු පාට රෙදි කඩකට ගන්න) ඉඩමට පිටුපා ගලාගෙන යන ජල පහරක එම පස්‌ කොටස්‌ පා කර හැර මූලික වාස්‌තු සීහුම් කිරීමේ පිළිවෙත සාර්ථකව අවසන් කළ යුතු වෙනවා.

ගෘහය ඉදිකිරීම සඳහා වන මූලික බිම් සැකසුම ආරම්භ කිරීම



මූලිකව ඉටුකළ වත් පිළිවෙත් වලින් පසුව සකස්‌ කළ යුතු භූමියක්‌ නම් (බෑවුම් හෝ ගල් සහිත භූමියක්‌ නම්) පස්‌කපා භූමිය සකස්‌ කිරීම කළ යුතුව තිබෙනවා. මේ සඳහා ද සුබ මුහුර්තියක්‌ ලබා ගත යුතු අතර ඉරිදා සහ අඟහරුවාදා යන දිනයන් අත්හැරිය යුතුයි. මෙහි දී කිසිම විටක නිරිත දිශාව පහත් නොකිරීමට වගබලා ගත යුතු අතර ඊශාන දිශාව උස්‌ කිරීම ද නොකළ යුතු වෙනවා. මීට අමතරව ඉඩමට නිරිත දිශාවෙන් හෝ ඊශාන දිශාවෙන් පාරවල් යෙදීමද නොකළ යුතුයි.

බහිරව පූජාව පැවැත්වීම

නිවස ඉදිකිරීම සඳහා සුබ මුහුර්ති 04 ක්‌ ලබාගත යුතු වෙනවා. එහි දි ගෘහයේ මුල්ගල තැබීමට පෙර දිනයේ රාත්‍රියේ රාත්‍රි 09 හෝ පාන්දර 01 යන හෝරාවන් හසුවන ලෙස බහිරව දේවතා පූජාවක්‌ පැවැත්වීම අනිවාර්ය වාස්‌තු වතක්‌ ලෙස සඳහන් කළ හැකියි. මෙම බහිරව දේවතා පූජාව සඳහා අපරභාග නැකතක්‌ ලබාගත යුතු අතර බහිරව දේවතා පූජාව සඳහා කිසිම විටක පුළුටු භාවිත නොකිරීමට වගබලා ගත යුතුයි. මෙහි දී භූමි ඥාතීන්, තුළාන භාර ගම්භාර දෙවියන්, විෂ්ණු දෙවියන්, විශ්වකර්ම, මය, විශ්වජිත් මෙන්ම විශේෂිත දෙවිවරුන්ට භූමිය පුද දී ගෘහය සඳහා භූමියේ අවසරය අදාළ කොටස්‌ වෙතින් ලබාගැනීම එහි මූලික අරමුණ වේ.

ගෘහය ඉදිකිරීම සඳහා

සුබ මුහුර්ති ලබා ගැනීම

ඉහතින් සඳහන් කළ පිළිවෙළට සමානුරූපීව මීළඟට ඵළඹෙන්නේ ගෘහය ඉදිකිරීම සඳහා ප්‍රධාන අවස්‌ථාවන් 04 ක්‌ සඳහා සුබ මුහුර්ති ලබා ගැනීමයි.

කුඤ්ඤ ගසා ලණු ඇදීම

අත්තිවාරම් කැපීම

විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍රය තැන්පත් කිරීම

මුල්ගල තැබීම

ඉහත අවස්‌ථා හතර සඳහා සුබ මුහුර්ති ලබාගත යුතු අතර මෙම කටයුත්ත කිසිම විටක දී කෝණ මාස වල නොකළ යුතුයි. විශේෂයෙන් කූඤ්ඤ ගැසීමේ දී පළමුව බෙලි හෝ කොහොඹ කූඤ්ඤයක්‌ , කොස්‌ කුඤ්ඤයක්‌ භාවිත කළ යුතු අතර ගෘහ මූලිකයා විසින් සුබ මුහුර්තියේ දී ඊශාන දිශාව බලා කූඤ්ඤය ගැසිය යුතුයි. ඉන්පසුව කොහු ලණුවක්‌a දක්‍ෂිණාවෘතව ගැටගසා දක්‍ෂිණාවෘතව ඇදගෙන ගොස්‌ අනෙක්‌ කණුවේ ගැට ගැසීම කළ යුතු වෙනවා.

ඉන් පසුව අත්තිවාරම කැපීමේ නැකතට අනුව ගෘහ හිමියා එදිනට සුබ දිශාව බලා අත්තිවාරම් කැපිය යුතු අතර පළමු පස්‌ පිඩැල්ල (රතු / සුදු) රෙදි කඩකට ගෙන ජලයේ පා කර හැරීම කළ යුතු වෙනවා. පසුව එළඹෙන මුල්ගල තැබීමේ නැකතට පෙර මුල්ගල තබන ස්‌ථානය නිසි පරිදි සකස්‌කොට ගෙන එහි ගෘහ මූලිකයාට බලගන්වන ලද සවස්‌ථිකයක්‌ තැන්පත් කළ යුතුයි. ඉන්පසුව එළඹෙන සුබ මුහුර්තියේ දී කලින් තබන ලද ස්‌වස්‌ථිකය මත ගෘහ හිමියා විසින් ඊශාන දිශාව බලා මුල්ගල තැබීම මැනවි.

ගෘහ භූමිය ඉඳුල් කිරීම

මුල්ගල තබා අවසන් වූ පසුව ගෘහ මූලිකයා සහ නිවසේ අය විසින් ගෘහ පරිශ්‍රය ඉඳුල් කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුව පවතිනවා. එහි දී එදිනට ලබා දී ඇති සුබ ආහාරය ගෘහය සඳහා නූල් අදින ලද කොටස තුළ සිට ගෘහ මූලිකයා ඇතුළු නිවැසියන් විසින් භුක්‌ති විඳිය යුතු අතර සෑම විටම එදිනට සුබ දිශාව හෝ ඊශාන දිශාව බලා එම කටයුතු ඉටුකළ යුතුයි. මෙසේ සිදුකරන්නේ එසේ නොමැති නම් නිවස ඉදිකරන පිටස්‌තර පුද්ගලයින් නිවස ඉඳුල් කරන බැවිනි.

බිත්ති බැඳීමේ පිළිවෙත හා මුහුර්තිය

සුබ මුහුර්තියෙන් මුල්ගල තබා වැඩ ආරම්භ කළ නිවසේ අත්තිවාරමේ වැඩ නිම වීමෙන් පසුව අවම වශයෙන් දින 03 ක්‌ හා උපරිම වශයෙන් දින 07 ක්‌ යන තුරු බිත්ති බැඳීම නොකළ යුතුයි. එම කාලය ඉක්‌ම ගිය පසු එළඹෙන ඔත්තේ දිනයේ පෙරවරුවේ රාහු කාලය පන්නා ඊශාන දිශාව බලා ගෘහහිමියා විසින් පළමු ගඩොලය ගෘහයේ ඊශාන නිරිත හෝ ගිනිකොණ දිශාවෙන් තබා දකුණු දිශාවට වැඩ ආරම්භ කිරීම මැනවි.

vaastumadura.com


More News »