වහළය සකස්‌ කිරීමේ දී සුබ මුහුර්ති හා වාස්‌තු පිළිවෙත් (part 02)

2016-07-14 01:28:00       580
feature-top
පෙරදිග රටවල පවතින බොහෝ සංස්‌කෘතීන්වල විශේෂ කටයුතු ආරම්භ කිරීමේ දී එය සුබ මුහුර්තියකට අනුව සිදුකිරීම විශේෂ ලක්‍ෂණයකි. චීනය, ජපානය, ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික පරීසරය තුළ විශේෂයෙන් සිංහල සහ හින්දු ජන සමාජය තුළ ජීවිතයේ සුවිශේෂී සෑම අවස්‌ථාවක්‌ම ආරම්භ කරනුයේ සුබ මුහුර්තියකට අනුවයි. මේ සඳහා බැඳුණු වත්පිළිවෙත්ද පවතිනවා. නිදසුනක්‌ ලෙස පවුලට එකතුවන දරුවාගේ සෑම කටයුත්තක්‌ම මූලිකව ආරම්භ වනුයේ සුබ මුහුර්තියකට අනුවයි. මේ රන්කිරි කට ගෑම නම් තැබීම, ඉඳුල් කටගෑම, කන් විදීම, කොණ්‌ඩය කැපීම, අකුරු කියවීම ආදි ලෙස ලමා කාලයේ ඉටුකරනු ලබන කටයුතු වලට අමතරව තරුණ කාලයේ වැඩිහිටි කාලයේ මෙන්ම මහලු කාලයේ වුවද සුවිශේෂි කටයුතු සඳහා සුබ මුහුර්ති ලබා ගැනීම මෙන්ම ඒ හා බැඳුණු විශේෂ වත්පිළිවෙත් රාශියක්‌ පවතිනවා. සුබ මුහුර්ති සහ වත්පිළිවෙත් යනු අපගේ ජීවිතය හා බැඳී පවතින ඉතා වැදගත් ක්‍රියාවලියක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ඔබගේ නිවස සම්බන්ධයෙන් ඔබ විසින් ලබාගතයුතු සුබ මුහුර්ති මොනවාද යන්න සහ ඊට අදාළව ඉටුකළ යුතු වත්පිළිවෙත් මොනවාද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. නූතන සමාජයේ මෙම සුබ මුහුර්ති සහ වත්පිළිවෙත් පිළිබඳව ඇති දැනුම ඉතාමත් අල්ප අතර නිවසක්‌ සම්බන්ධයෙන් සමාජයේ වැඩි පිරිසක්‌ දන්නේ මුල්ගල තැබීමේ සුබ මුහුර්තිය ගැන පමණයි. මෙම මුහුර්තිය හෝ නොදැන සිටින පිරිස පිළිබඳව ප්‍රායෝගිකව මා දන්නා අතර ඔවුන් තමන්ගේ නිවසට අඩුම තරමින් මුල්ගලක්‌ හෝ තබා නැති බව පෙනී යනවා. විශේෂයෙන් මෙවැනි කරුණු සම්බන්ධව වර්තමාන පරම්පරාව තුළ පවතින දැනුම අල්ප බව සහ වැඩිහිටියන් තුළ පවතින දැනුම මඳ බව මීට හේතු වී තිබෙන බව පෙනී යනවා.

මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය(මහා වාස්‌තු නිවසක්‌ සෑදීමේ දී අවශ්‍ය සුබ මුහුර්ති හා වාස්‌තු පිළිවෙත

)

වහළය සකස්‌ කිරීමේ

සුබ මුහුර්ති සහ පිළිවෙත්

බිත්ති බැඳ අවසන් වූ පසුව ගෘහයේ වහළය ගැසීමේ කටයුත්ත සඳහා සුබ මුහුර්තියක්‌ ලබාගත යුතු වෙනවා. (පදිංචි වීම සඳහා ස්‌ලැබ් එකක්‌ පමණක්‌ යොදන අවස්‌ථාවක ඒ සඳහා ද සුබ මුහුර්තියක්‌ ලබා ගන්න) එසේම ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට ගැලපෙන ලී වර්ගයක්‌ යොදාගෙන නැකතට තබන යට ලීය බලගැන්වීම කළ යුතුයි. මෙහි දී ගෘහයේ ඊශාන, නිරිත හෝ ගිනිකොණ කොටසක සුබ මුහුර්තියෙන් දැව තැබීම කළ යුතු අතර මුල්ම දැවය ගෘහ මූලිකයා විසින් තැබීම ඉතා යහපත් වේ.

උළුවහු තැබීමේ සහ

උළුවහු පැනීමේ චාරිත්‍රය

ඉන්පසුව එළඹෙන උළුවහු තැබීමේ චාරිත්‍රයද ඉටුකළ යුතු වෙනවා. මෙහි දී සෑම විටම ඔබගේ ගෘහයේ මංගල ද්වාරය මුල්ම උළුවස්‌ස ලෙස තැබීමට උනන්දු විය යුතුයි. විශේෂයෙන් මතක තබා ගත යුතුයි සුබ මුහුර්තියෙන් උළුවස්‌ස තැබීම ගෘහ මූලිකයාට හෝ මේසන් බාස්‌ට හෝ වඩු බාස්‌ට හෝ යන තිදෙනාගෙන් කැමැති කෙනෙකුට තැබීමේ අවකාශය තිබෙන අතර ඒ සඳහා ගෘහ මූලිකයා දායක වීම ඉතාමත් යහපත් වනු ඇත. මෙහි දී මතක තබාගත යුතු විශේෂ කාරණයක්‌ ඇත. නැකතට භූමිය මත තබන උළුවස්‌ස හිර කිරීමේ දී කිසිම විටක නැවත භූමියෙන් ඉස්‌සීම නොකළ යුතුයි. එසේම නැකතට තබන උළුවස්‌ස කිසිම විටක ඇද නොකළ යුතුයි. එය ලඹයට තැබිය යුතුයි. මින්පසුව එළඹෙන නැකත වන්නේ උළුවහු පැනීමේ නැකතයි.

උළුවහු පැනීම සඳහා නැකතක්‌ ලබා ගත යුතු අතර එම උළුවස්‌ස පැනීම කිසිම විටක ගෘහ මූලිකයා විසින් නොකළ යුතුයි. එසේම මේසන් බාස්‌ විසින් ද උළුවස්‌ස ගැනීම නොකළ යුතුයි. උළුවස්‌ස පැනීම කළ යුත්තේ එම උළුවස්‌ස සෑදු වඩු බාස්‌ විසිනි. එහිදී එහි කිසියම් දෝෂයක්‌ තිබුණොත් වඩු බාස්‌ට එය බල නොපාන අතර දෝෂ සමනය වනු ඇත. ඉන්පසුව උළුවහු පැනීමේ චාරිත්‍රය වඩු බාස්‌ගේ දැනුම සහ ඔහුගේ චාරිත්‍ර වාරිත්‍ර අනුව ඉටු කිරීමට ඔහුට නිදහස දිය යුතුයි. (උළුවහු පැනීමේ චාරිත්‍ර වාරිත්‍ර පලාත් සහ ප්‍රදේශය අනුව වෙනස්‌ වන බැවිනි)

බ්‍රහ්ම පාදයේ නවරත්නයන්ට

තැන්පත් කිරීම

වහළය ගසා උළුවහු තැබූ නිවසේ බිම ටයිල් කිරීමට ප්‍රථම ගෘහයේ බ්‍රහ්ම පාදය නිසිලෙස හඳුනාගෙන එම බ්‍රහ්ම පාදය මත නවරත්නයන් සහිත බලගන්වන ලද මංජුසාවක්‌ තැන්පත් කිරීම ඉපැරණි ක්‍රමයකි. මෙම ක්‍රමය නූතනයේ සිදු නොකරන අතර එය වනාහී ගෘහයට විශ්ව ශක්‌තිය උරා ගැනීමේ ශක්‌තිය වැඩි කිරීමේ ඉතාමත් පැරණි හා ප්‍රබල කටයුත්තක්‌ වන අතර මෙවැනි නිවාස වලට දෙවියන්ගේ ඇල්ම බැල්ම නිතැතින් හිමිවන අතර කිසිම විටක ප්‍රේත දෝෂ හෝ අමනුෂ්‍ය බලපෑම් ඇති නොවීමට මෙය හේතු වේ. මෙම මංජුසාව තැන්පත් කිරීම සඳහා සුබ මුහුර්තියක්‌ ලබාගත යුතු අතර ඊශාන දිශාව බලා ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉටුකළ යුතු චාරිත්‍රයකි.

ගෙට ගෙවැදීමේ ට

සුබ මුහුර්ති සහ වතාවත්

ගෘහයේ බිම සකස්‌ කළ පසුව මීළඟට එළඹෙන්නේ ඔබගේ අභිනව ගෘහයට ප්‍රවේශ වීමේ මංගල කටයුත්තය. මෙය ඉතාමත් වැදගත් මුහුර්තියකි. මෙහිදී පුර පක්‍ෂයේ සුබ මුහුර්තියක්‌ ලබාගත යුතු අතර ගෘහ මූලිකයා විසින් ආගමික ප්‍රතිමාවන් රැගෙන එදිනට සුබ දිශාව බලා සුබ මුහුර්තියෙන් දකුණු පාදය පෙරට තබා ගෘහයට ප්‍රවේශ විය යුතු අතර දැල්වෙන පහනක්‌, ධාන්‍ය, රන්, රීදී, මුතු, මැණික්‌, එළකිරි, තැඹිලි සහ කුළුබඩු ආදී දෑ රැගෙන ගෘහ හිමි කාන්තාව සහ අනෙකුත් ගෘහ වාසීන් ගෘහයට ප්‍රවේශ වීම කළ යුතු වෙනවා.

සුබ මුහුර්තියෙන් ළිප ගිනි

මෙලවීම සහ කිරි ඉතිරවීම

අභිනව නිවසට ප්‍රවේශ වීමෙන් අනතුරුව නැකතට ගෘහයේ ළිප ගිනි මෙලවීම ප්‍රධාන කටයුත්තකි. මේ සඳහා කිසිම විටක ගෘහයේ මැද තෝරා නොගත යුතු අතර ඔබගේ අභිනව මුළුතැන්ගෙය තුළ ඇති ළිප යොදා ගැනීම සුදුසුම ක්‍රමය වේ. එහි දී කරළ දර යොදා පළමු ගිනි දැල්වීම ඉතා යහපත් වේ. පසුව කිsරි උතුරවා කිරිබත් සෑදීම කළ යුතුය. මෙහිදී අනුගමනය සඳහා විශේෂ මුහුර්තියක්‌ අවශ්‍ය නැත.

වාස්‌තු පූජාව

සියලු චාරිත්‍ර වලට මුල්තැන දෙමින් ඉතාමත් සාර්ථකව ඉදිකළ ඔබගේ ගෘහයේ පදිංචි වූ පසුව ඉටුකළ යුතු අවසන් වත් පිළිවෙත වන්නේ වාස්‌තු පූජාවයි. වාස්‌තු පූජාව සිදුකළ යුතු සුදුසුම කාලය වන්නේ ඔබ අභිනව නිවසේ පදිංචි වී දින 21 ක්‌ ඉක්‌ම ගිය පසුව මාස 03 ක්‌ ගත වීමට පෙර නිවසේ වාස්‌තු පූජාව මගින් සිදු කරන්නේ අභිනව නිවසේ පදිංචි වූ පසුව ඔබට ඇති වී තිබෙන නව තත්ත්වයන් තුළින් එනම් ඇස්‌වහ කටවහ දුරුකොට ඔබව ආරක්‍ෂා කිරීම සහ ඔබගේ ගෘහය සාර්ථකව ඉදිකිරීමට සහයෝගය ලබාදුන් භූමි ඥාතීන්, ගම්භාර දෙවියන්a සහ අනෙකුත් ඉෂ්ට දෙවියන් ඇතුළු සියලු ආධ්‍යාත්මික බලවේගයන්ට ස්‌තූති කිරීමේ ක්‍රියාවලියයි. මෙහි දී ඔබගේ ගෘහය තුළ විෂ්ණු පූජාව, ලක්‍ෂ්මි පූජාව, නවග්‍රහ පූජාව හා වාස්‌තු පූජාව එකට සිදු කෙරෙනු ඇත. මෙම වාස්‌තු පූජාව ඔබගේ ගෘහයේ අවසන් වත්පිළිවෙත ලෙස හැඳින්විය හැක.

වාස්‌තු සිද්ධාන්තවලට අනුව ඉදි වූ ඔබගේ ගෘහයේ ආරම්භයේ සිට අවසානය දක්‌වා ලබාගත යුතු සුබ මුහුර්තියේ සහ වත්පිළිවෙත් පිළිබඳව ඔබව දැනුවත් කළා. පෙන්වා දුන් ආකාරයට ඔබගේ ගෘහයේ කටයුතු ඉටුකිරීමට ඔබ කැමැති වන්නේ නම්, ඔබගේ කැමත්තේ ප්‍රතිඵලය වන්නේ සතුට, සාමය, නිරෝගිකම, ධනධාන්‍යයෙන් ආඪ්‍ය වූ සම්පත් නිවසක්‌ ඔබට ලැබීමයි. එසේම මෙම සුබ මුහුර්ති සහ වත්පිළිවෙත් එකකට එක්‌ක බැඳී තිබෙන දම්වැලක්‌ බැවින් එක පිළිවෙතක්‌ ඉටුවීම තුළින් ඔබගේ ඊළඟ අවස්‌ථාවට පහසුවෙන් ළඟා විය හැකි අතර එක්‌ පිළිවෙතක්‌ සහ සුබ මුහුර්ති ඉටු නොකිරීමෙන් එම දම්වැල කැඩී ගොස්‌ ඔබගේ අරමුණු ඉටු නොවීමට හෝ ඔබගේ නිවස ඔබට සම්පතක්‌ නොවීමට ද හේතු විය හැකි බව පෙන්වා දෙමි. මේ නිසා ඔබගේ ගෘහය ඉදිකිරීමේ දී එය ඉතා පහසුවෙන් දෙවියන්ගේ හා මිනිසුන්ගේ ආශිර්වාදය සහ උදව් ඇතිව ඉටුකර ගැනීමට උපකාර වන සුබ මුහුර්ති සහ වාස්‌තු වත්පිළිවෙත් මැනවින් ඉටුකොට සම්පත් නිවසක්‌ හිමිකර ගැනීමට ඔබගේ කුසල් බලවත් වේවා

vaastumadura.com


More News »