වාස්තු පරිචය, භාවිතය සහ ආචාරධර්ම

2016-07-18 12:16:00       580
feature-top
ඕනෑම ශාස්ත්‍රයක උපයෝගිතාව ඉක්මවා රැකිය යුතු ආචාර ධර්ම රැසක් පවතී. එවැන්නක් නොමැතිව කිසිදු විෂයයක පැවැත්ම තහවුරු නොවන්නේමය. මේ නිසා අද අපි වාස්තු ශාස්ත්‍රයේ භාවිතයන් සමග අවධානයට ලක් කළ යුතු කරුණු රැසක් පිළිබඳ අපගේ අවධානය මැනැවින් යොමු කර බලමු.

මූලිකව විෂයක් භාවිතයට ගැනීමට පෙර එය මනාව අධ්‍යයනය කළ යුතු වෙයි. ඒ සඳහා අදාළ විෂයට හිමි සීමාවන් සේම පවත්නා ඓතිහාසික තත්ත්වයන් මූලිකව අධ්‍යයනය කිරීම ප්‍රධාන වෙයි. එහෙත් වැදගත්ම වන කරුණ නම් ශාස්ත්‍රඥයා අදාළ විෂයට අනන්‍ය වීමයි. වෙනත් අයුරකින් පවසන්නේ නම් එකී විෂය පිළිබඳ ස්වීය සමස්ත අනන්‍ය කියවීමක් සහිත විය යුතු වෙයි.

මේ අනුව පුරාතන භාරතීය වාස්තු ශාස්ත්‍රයේ එන විශ්වකර්ම, වය, නග්නජිත්, වසිෂ්ට, අත්‍රි, නාරද, ගර්ග ආදී ෂි ප්‍රකාශනයන් මනාව උගත යුතු වෙයි. එයට අපට කෙටිමුත් පූර්ණ දැනුමක් සපයා දෙන වයි. ඒ. හරමානිස් අප්පුහාමි සූරීන්ගේ වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය මනාව අධ්‍යයනය කළ යුතුම වෙයි. නොඑසේ නම් එකී කෘතියට පදනම් කරගත් වාස්තු රත්නාවලී, වාස්තු රත්නාකර, සූර්ය සිද්ධාන්ත, විශ්වකර්ම ප්‍රකාශ ආදී කෘතීන් වෙන වෙනම ගැඹුරින් අධ්‍යයනය කිරීමට සිදු වෙයි.

එයින් මේ අධ්‍යයනය පූර්ණ නොවෙයි, ඉන් පසු පුරාතන ඉදිකිරීම් ශිල්පයෙන් නූතන ඉදිකිරීම් ශිල්පය වෙත පැමිණීමේ දී සිදු වූ විකාශයන් හා වෙනස්කම් මනාව හඳුනාගත යුතු වෙයි. එකී සමකාලීන ඉදිකිරීම් ශිල්පය අනුව යමින් අපගේ පළමු වාස්තු ශාස්ත්‍රීය අධ්‍යයනය ගළපා ගනිමින් අත්හල යුතු හා වඩාත් අවධාරණය කරගත යුතු සිද්ධාන්ත පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

අපගේ අධ්‍යයනය පරිපූර්ණ එකක් කර ගැනීම සඳහා ආචාර්ය ජිතෙන් භට් වැනි නූතන පඩිවරුන්ගේ වාස්තු විවරණයන් පිළිබඳව අවධානය යොමු කිරීම ද මෙහිදී අවශ්‍යම වෙයි. මෙවැනි පුළුල් අධ්‍යයනයකට නොයා පවත්නා වාස්තු වින්‍යාසයන් වටහා ගැනීම කිසිසේත් නොකළ හැකිය. එසේ වුවත් මේ අධ්‍යයනය කිසිසේත් ගිරා‍පෝතක එකක් නොවීමද ඉතා වැදගත් වේ. තුන් කල් පැතිර ගිය වාස්තු ශාස්ත්‍රීය අංග හා සිද්ධාන්තයන් ස්වයං විග්‍රහයකට ලක් කර අප විශ්වාස කරන ධර්ම මාර්ගය සමගද නූතන ඥාන මාර්ගයන් සමගද ගළපා ගනිමින් තමාගේම වූ වාස්තු දැක්මක් වාස්තු ශාස්ත්‍රඥයා හෝ වාස්තු විද්‍යාඥයා ගොඩනගා ගැනීම අතිශය වැදගත් වෙයි.

රිවිර ඉසිවර වාස්තු ලිපි පෙළට ඇතුළත් නොවූ ආකාරයේ ප්‍රවේශයක් මේ ලිපියට එක් කිරීමට හේතුව වූ යම් සිද්ධියක්ද මෙහිදී සටහන් කිරීමට අදහස් කළෙමු. එය නම් නොබෝ දිනකට පෙර අප විසින් ගොඩනගා ගත් යම් වාස්තු ශාස්ත්‍රීය ඥානයක් ඇත්නම් එය අන්‍යයන් වෙත ප්‍රවේශ කිරීමේ අරමුණින් පවත්වන ලද වැඩමුළුවට සහභාගි වූ ශිෂ්‍යයකු විසින් දැවැන්ත ප්‍රචාරයක් සහිතව වැඩමුළු පෙළක් පැවැත්වීමට ඉක්මන් වී තිබිමයි. එසේ කිරීමට ඔහුට කිසිසේත් ෙනෙතික බාධාවක් නැතත් දින කීපයකින් ලද නොහෙන දැනුමක් ආරූඪ කර ගනිමින් කළ කටයුත්ත සදාචාර සම්පන්න නොවන බව නම් නොකියාම බැරිය. එයට හේතුව නම් අප විසින් එවැනි පියවරකට යනු ලැබුවේ පෙර කී පුළුල් අධ්‍යයනය ද හමාර කොට නිවාස සිය දහස් ගණනක් පරීක්ෂා කර ලබාගත් අත්දැකීමත්, සමකාලීන හා පූර්වකාලීන වාස්තු ශාස්ත්‍රඥයන්ගේ පුළුල් අත්දැකීම් සමග තියුණු සංවාද ගොඩනගා ගැනීමෙන්ද, ගොනු කරගත් දැනුමක් මත වූ විශ්වසනීය භාවයකින්ද යුතුවය.

එසේ නොකර කුමක් හෝ විකුණා මුදල් ඉපයීමට උත්සාහ කිරීමේ කූට ප්‍රයත්නය නිසා සිදුවන ශාස්ත්‍ර පරිහානිය පිළිබඳ අපගේ කනස්සල්ල අප විසින් මෙසේ වත් ප්‍රකට කළ යුතු වෙයි.

මෙහි අනෙක් අන්තය වන තමාගේ දැනුමක් ඇත්නම් එය අන් කිසිවකුට නොදෙන මුෂ්ටිවාදයක් අප කිසිසේත් අනුමත නොකරන බවද අවධාරණය කළ යුත්තේ තම දැනුම ප්‍රදර්ශනය කළ ද අන් අයට ප්‍රයෝජන ගත හැකි දේ සඟවා ඉදිරිපත් කරන ශාස්ත්‍ර තෘෂ්ණාවෙන් පෙලෙන්නන් අපගේ ජාතියේ අනාගතයට හිමි විය යුතු ඥානය වැළලී යැවීමද වඩාත් බලවත් සේ පිළිකෙව් කළ යුතු බැවිනි.

අප විසින් දැනටමත් දිවයින පුරා පවත්වාගෙන යන දේශන, වැඩමුළු, පාඨමාලා, නොමි‍ලේ සායන ආදියේ ඇති සද් අරමුණ නම් වාසය වඩාත් යෝග්‍ය ස්ථානයක් බවට (වසන්ත්‍යතේ‍රති) වාස්තු ශාස්ත්‍රය පත් කිරීමේ අපේක්ෂාව බවද මෙහිදී අවධාරණය කළ යුතු වෙයි.

‍ජ්‍යොතිර් විද්‍යාව හෝ ආයුර්වේදය හෝ වෙනත් සමගාමී විෂයක් උගන්වන ගුරු භවතුනට අවසානයේ දී අප විසින් කරන ප්‍රකාශය නම් ඔබට අවශ්‍ය දැනුම එහෙන් මෙහෙන් අහුලා ගෙන පන්තිවලට එබිමට නොව අප විසින් ඉගැන්වීමට අවශ්‍ය පරිදිම පුළුල්ව ලබා දීමට අප කිසිසේත් මැළි නොවන බවයි. මීට අමතරව වසර ගණනාවක් තිස්සේ විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනය මගින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල අප විසින් ඔවුන් වෙත නිර්ලෝභීව ලබා දීමට බලා‍පොරොත්තු වන බවද මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමු.
ජනක ප්‍රියන්ත දයාරත්න
priyanthavastu@gmail.com
සිවිල් ඉංජිනේරු විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

Wmqgd .ekSu r mqj;am; weiqfrks

More News »