කඩි කුලප්පු "වාස්තු"

2016-08-26 11:31:00       579
feature-top
අද අපේ රටේ බොහෝ වෘත්තීනට වැලඳී ඇති ‘කඩි කුලප්පුව’ වාස්තු ශාස්ත්‍රය වෙතත් එමින් තිබේ. කෑලි ගණනට රෝගීන් පරීක්ෂා කරන දොස්තරගේ සිට මංමාවත්වල කුණු එකතු කරන්නා දක්වාම වැලඳී මරණාසන්නව සිටින මේ කඩි කුලප්පු ව්‍යාධිය විසින් වාස්තු වෘත්තියද වේගයෙන් ගිලගනු ලබමින් සිටින බවක් පෙනෙයි.

වාස්තු ශාස්ත්‍රඥයන් විසින් බොහෝවිට පරීක්ෂාවට ලක් කරන්නේ ඔවුන් පෙර නොදක්නා ලද ඉදිකිරීමකි. එවැනි ඉදිකිරීමක දිශාවන්, ඒ ඒ දිශාවනට අදාළ මූල ධාතූන්, ඒ ඒ ධාතුවට ගැළපෙන ගෘහ අංග පමණක් නොව නිවසේ මධ්‍යය පිහිටා ඇත්තේ කවර තැනකද යන්න පවා හඳුනා නොගෙන නිවසක වාස්තු පරීක්ෂාවකට පිවිසීමද උගහටය. මධ්‍යයට අනුව දිශා ගන්නා බැවින් මධ්‍යය වැරදුණු විට දිශාවන් ඇතුළු අන් සියල්ලද වරදිණු ඇත. මෙවැනි එකිනෙක හා බැඳුණු සිද්ධාන්ත පද්ධතියකින් යුතු ශාස්ත්‍රයක් මිනිත්තු තිහ හතළිහකින් පරීක්ෂා කර බලා නිගමන හා විසඳුම් ලබාදීම නිවැරදි ලෙස කිරීම අතිශය අපහසු වෙයි.

අවම වශයෙන් සිද්ධාන්ත අධ්‍යයනය පසෙක තැබූවත් නිවස තමන් හට හුරුපුරුදු එකක් වීමට පවා පැයක් දෙකක් වැය වනු නියතය. තත්ත්වය මෙසේ වෙතත් විවිධ හේතු දක්වමින් කාර්යබහුලත්වය පවසමින්, ආපසු යායුතු දුර සිහිපත් කරමින් කඩිමුඩියේ වාස්තු පරීක්ෂාවේ යෙදෙන ශාස්ත්‍රඥයන් මුදල පසුපස හඹායන්නන් මිස සද්භාවයෙන් සිය වෘත්තියේ යෙදෙන සැබෑ වාස්තු ශාස්ත්‍රඥයන් නොවන බව වටහාගත යුතු වෙයි.

මාධ්‍ය ආදියෙන් තම නාමය ප්‍රකට කරගත් පසු නිවාස වාස්තු පිරික්සීමෙහි කටයුතු භාරගෙන සිය සිසු සිසුවියන් යොදවා ඒවා කරගන්නා වාස්තු ගුරු ශාස්ත්‍රයන්ද අපට විටෙක හමුවෙයි. මේ සියල්ලෙන් අරමුණු වන්නේ වැඩි නිවාස ප්‍රමාණයක් පිරික්සා වැඩි මුදලක් උපයා ගැනීමේ ‍පොදු ලෞකික අභිප්‍රාය පමණක් සිදුකර ගැනීමයි.

මෙබඳු තත්ත්වයක් යටතේ අපේ රටේ වාස්තු ශාස්ත්‍රය පිළිබඳ විශ්වාසය ජනතාව අතරේ ගොඩනැගීමට නම් මේ විෂය පිළිබඳ කැපවීමක් සහිත පිරිස් වගකීම් සහගතව ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ. නිසි පරිදි විෂය හැදෑරීමටත්, වාස්තු පරීක්ෂාවේදී ඉතා අවධානයෙන් යුතුව කල්වේලා ගෙන ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍ය වේ.

මේ අවස්ථාවේදී අප විසින්ම මුහුණ දුන් එක්තරා සිදුවීමක් පිළිබඳව අවධානය යොමු කිරීමට බලා‍පොරොත්තු වන්නේ එයද මෙකී පටු ශාස්ත්‍ර ගවේෂණයක් මතු කරන සිදුවීමක් බැවිනි. අපි වසර ගණනාවක් තිස්සේ විවිධ ගුරුවරුන් යටතේත්, විවිධ ගුරු ග්‍රන්ථ අධ්‍යයනයෙනුත් වාස්තු ශාස්ත්‍රය පිළිබඳ පරිචයක් ලබමින් හා වාස්තු පරීක්ෂාවෙන් හා ඒ ආශ්‍රිත පර්යේෂණයන් සිදු කිරීමෙන් වාස්තු ශාස්ත්‍රයට යම් නව ප්‍රවාද රැසක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළෙමු.
එහි ඊළඟ අදියර වූයේ අප සතු දැනුම අන්‍ය ප්‍රජාව වෙත ලබාදීමේ කටයුත්තයි. අප විසින් මාස තුනක් වූ වාස්තු පාඨමාලාවක් හා දෙදින වැඩමුළු පෙළක් ආරම්භ කර වාස්තු ශාස්ත්‍රීය දැනුම පුළුල් කිරීමට කටයුතු කළෙමු. එහි එක් වැඩමුළුවකට සහභාගි වූ ශිෂ්‍යයකු වැඩමුළුවට සහභාගි වී සතියක් ඉක්මෙන්නට පෙර එවැනිම වැඩමුළුවක් තෙමේම පැවත්වීමට දැන්වීම් දමා ප්‍රචාරක කටයුතු අරඹා තිබිණි. (ඔහුගේ නම අප දැනට සටහන් නොකරන්නේ ඔහුගේ අනාගතයට හානියක් නොකරනු සඳහා වුවත් ඌන දැනුමකින් යුතුව ඔහු කරන ලද වැඩමුළුවේදී සහභාගි වූ ශිෂ්‍ය භවතුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකි වීමෙන් වාස්තු ක්ෂේත්‍රය හෑල්ලුවට ලක් කිරීමේ වරදට ඔහුට සමාවක් හෝ දීම අසීරු බවද සිහිපත් කරමු.)

මේ සිදුවීමෙන් අප වටහාගත් දෙය නම් විෂයක් ගැඹුරෙන් හදාරා මිස අන්‍යයන්ට දැනුම දීමට යෑමෙන් වන හානියද මහත් බරපතළ ප්‍රතිඵල ඇතිකරවන බවයි. එයට අමතරව එවැනි අය වෙනත් රටකින් මේ විෂය හදාළ බවක්ද තමන්ගේ සිසු සිසුවියනට දක්වමින් පතුරුවන මිථ්‍යාව විසින් කරනු ලබන වැරැද්ද සුළුපටු නොවේ.

වසර ගණනාවක් තිස්සේ අප පවත්වන ලද පාඨමාලාවලට සහභාගි වී තවමත් අප සමග පර්යේෂණවලට පවා සහාය වන ගුරුන් ඉක්ම වූ අසිරිමත් ශිෂ්‍ය ප්‍රජාවට මෙයින් කිසිදු අවඥාවක් සිදු නොකෙරෙන අතර මෙහිදී ඔවුන්ගේ ඉදිරි පර්යේෂණ කටයුතුවලදී අපගේ සහාය නිරතුරු ලබාදෙන බවටද සපථ කරමු.

කෙසේ වුවත් වාස්තු ශාස්ත්‍රය අධ්‍යයනය කිරීමටත් එය සිය ජීවිකාව බවට පත්කර ගැනීමටත් අපේක්ෂා කර සිටින භවතුනට මෙහිදී යම් මෙහෙයවීමක් සිදුකිරීමට අපේක්ෂා කරනු ලබන්නේ පෙර කී අයුරින් ඌන ඥාන රංජනයේ යෙදෙන ඕපපාතික පරපුරක් බිහිවීම වැළැක්වීමට බවද කිව යුතුයි. මෙහිදී යටිපව්වේ හරමානිස් අප්පුහාමි මහත්මාගේ ගෘහ නිර්මාණ ශිල්පය හා වාස්තු විද්‍යාව පිළිබඳ කෘතියත් මහාචාර්ය ජිතෙන් බට් තුමන්ගේ Pyramid Yantra for Vaastu නමින් ආචාර්ය ධාරා සාමිතුමිය විසින් සංග්‍රහ කළ කෘතියත් මනාව හැදෑරීමට අපි ආරාධනා කරමු.

එසේ කරන ගැඹුරු අධ්‍යයනයකින් වාස්තු ශාස්ත්‍රය පිළිබඳ ප්‍රාමාණික උගතකු බවට පත්වී මනා පරිචයක් සහිතව වාස්තු ශාස්ත්‍රය භාවිත කිරීමේ ගෞරවනීය භාග්‍යය ඔබ සැමට උදාවනු නියතය.
ජනක ප්‍රියන්ත දයාරත්න
priyanthavastu@gmail.com
සිවිල් ඉංජිනේරු විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

More News »