නව වසරේ ඔබේ නිවස සිරිදෙව්දුව වඩින දෙව් විමනක්‌ කරගන්න

2018-01-02 11:34:00       451
feature-top
නිවසක්‌ ජයග්‍රහණයේ තෝතැන්නක්‌ බවට පත්වීමට නම් වාස්‌තු නිවැරැදි වීම 33% ක්‌ ද, නිවසේ වාසය කරන්නන්ගේ ක්‍රියා කලාපය 33% ක්‌ ද, උත්සාහය මත 34% ක්‌ ද, හේතුවන බව ඔබ දන්නවාද? කොපමණ වාසනාවන්ත නිවසක වුවද උත්සාහ නොකර සිටියොත් දියුණුව උදාවේද? මෙම ලිපියේ අරමුණ ඔබ දැනට පදිංචි නිවසේ කොටස්‌a කඩා බිඳ දමා වෙනස්‌ කිරීම නොව පසුගිය වර්ෂවල අප විසින් කරගෙන ආ වැරදි පුරුදු අප තුළින් ඉවත් කරගෙන 2018 වසරේදී හොඳ පුරුදු ඇති කර ගෙන ජයග්‍රණයේ වර්ෂය බවට පත් කර ගැනීමටයි.

නිවසක්‌ ගොඩනඟන විටදී වහළ උස්‌ව පිහිටීම, හොඳින් වාතාශ්‍රය ලබන ලෙස කාමර පිහිටීම, හොඳින් හිරුඑළිය/ ආලෝකය නිවස තුළට ගමන් කරන ලෙස පිහිටීම, නිවස මදක්‌ උස්‌ව පිහිටීම ආදී කරුණු ඉතා වැදගත් වේ. ඔබගේ නිවසේ ප්‍රධාන දොරටුවෙන් මස්‌ මාංශ, අවි ආයුධ, කැඩුණු බිඳුණු බඩුමූට්‌ටු නිවස තුළට ගැනීම. වැරහැලි ඇඳගෙන, දැලි කුණු පෙරාගෙන නිතර නිවැසියන් සිටීම, මස්‌මාංශ සේදූ ජලය, ඉඳුල් වතුර, බුලත්කෙළ, සෙම්සොටු මිදුලට දැමීම, නිතර නිවැසියන් හඬා වැටෙමින් වැළෙපෙමින් සිටීමද, අනුන්ට දෙස්‌ දෙවොල් තැබීමද, නිතර වෛරයෙන්, ද්වේෂයෙන් හා අසතුටින් කටයුතු කිරීමද නිවස තුළ හෝ ගේට්‌ටුමත, තාප්පය මත උල් සහිත යකඩ හෝ බෝතල් කටු රඳවා තැබීමද ඉතා අසුබ වේ.

එමෙන්ම කැඩුණු භාජන, අබලන් වූ නොදුවන වාහන, භාවිතා නොකරන උපකරණ, දිරාපත්වූ දේවල්, පිලිස්‌සුණ විදුලි බුබුළු, ක්‍රියා විරහිත උපකරණ ආදිය නිවසේ රඳවා තබා ගැනීමද? ඇඳන් යට බඩු දැමීම, බාල්ක යට නිදා ගැනීම, ජලය ගලා යන නළ නිතර ජලය කාන්දු වීමද ධන හානි ගෙන දෙයි.

නිදන ඇඳ කණ්‌ණාඩියකින් පෙනීමද, ප්‍රධාන දොර ඉදිරිපිට සුභ ශක්‌තිය පරාවර්තනය වන කණ්‌නාඩි, වීදුරු තිබීමද අසුභයි. නිවසේ පිටුපස සිට ඉදිරියට අතුගෑමද, වත්තේ පිටුපස සිට ඉදිරියට අතුගෑම ද අසුභයි.

භාවිතා නොකරන ළිඳට කුණු රොඩු, මළ මුත්‍රා දැමීම, සතුන්ගේ හා මිනිසුන්ගේ මළකුණු වත්තේ වළදැමීම, මුළුතැන්ගෙයට බැස්‌මක්‌ තිබීම, ඉදිරිපස දොරින් පිටුපස දොර හෝ ජනේලය පෙනීම වැසි ජලය ගෙවත්ත සෝදාගෙන ප්‍රධාන උළුවස්‌ස ඉදිරිපිටින්ම පිටවීම ද අසුභ වේ.

වත්තට හා නිවසට හොඳින් හිරුඑළිය වැටීම කෝටියක්‌ දෝෂ භංග වේ. කාමර අඳුරු නොවිය යුතුය. මුළුතැන්ගෙය ආශ්‍රිතව මිහිරි සංගීතයක්‌ දමාගෙන සිටීම, විසිත්ත කාමරයේ ගයාත්‍රී මන්ත්‍රය දැමීම ඉතාම සුභ වේ. ප්‍රධාන උළුවස්‌ස ඉදිරිපිට බට පඳුරක්‌ වැවීම ඉතාම සුභවේ. නිවැසියන් බුදුන් වැඳ, නමෝ නාරායනය මහා විෂ්ණු දෙවියන් ආශ්‍රය කරමින් තම අරමුණු ඉටු කර ගැනීමට ප්‍රමාද නොවී උත්සාහවන්ත වන්න. මෙතෙක්‌ ඔබ කරගෙන ආ ඇබ්බැහිවීම් සියල්ලට තිත තබන්න. කාර්යාලය යනු "කාර්ය + ආලය" බව සිහි තබාගෙන කරන කාර්යයට ආලයෙන් යුතුව ඉටුකරන්න.

පැරැන්නන් පැවසූ පරිදි "සරණ බුදුන්ගෙ පිහිට දෙවියන්ගෙ" බවත් නිතර සිතන්න.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »