නිවස ඇතුලේ ආහාර පිසින්නේ ප්‍රවේශමෙන්

2018-01-10 10:10:00       109
feature-top
සෑම දෙයක්‌ම සිදුකළ යුතු නිසි පිළිවෙළක්‌ පවතිනවා. අප විසින් නිවැරැදි දෙයක්‌ කළද නිසි පිළිවෙළට සිදු නොකළහොත් එයින් අපට ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වෙනවා. කුඩා කාලයේ සිටම අප දරුවන්ට මාර්ගයේ දකුණු පැත්තෙන් යැමට පුරුදු කරන්නේ මාර්ගයේ පයින් ගමන් කිරීමේ නිසි පිළිවෙල එය බව දන්නා බැවිනි. වම් පැත්තෙන් ගමන් කිරීමේදී අප විසින් ගමනාන්තය දක්‌වා ළඟා වුවද එහිදී අප ලක්‌වන අවදානම සුළුපටු නොවේ. මේ ආකාරයෙන්ම ගෘහ කර්ම වාස්‌තු ශිල්පයේදී ගෘහ කටයුතු සිදු කළ යුතු පිළිවෙළ පුරාණ සෘෂිවරුන් විසින් ලෝකයටම කියා දුන්නේ අප සැමගේ ලෞකික ජීවිතය උපරිමය තුළින් ආධ්‍යාත්මික ජීවිතයට ප්‍රවේශ කිරීම සඳහා ය. මෙම ලිපියෙන් ඔබට කියා දීමට අදහස්‌ කරන්නේ අපගේ ගෘහයේ ප්‍රධානතම ගෘහ අංගයක්‌ වන මුළුතැන්ගෙයි ප්‍රධාන ස්‌ථාන නිසි ලෙස පරිහරණය කිරීම කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවයි. 
 
 na5 5ගෘහයක ගිණිකොන දිශාවේ හෝ වයඹ දිශාවේ නිසි ලෙස පිහිටුවනු ලබන මුළුතැන්ගෙය නිවසේ ශ්‍රියා කාන්තාව කැඳවනු ලබන ගෘහ අංගයකි. මෙය නිරිත දිශාවේ හෝ ඊසාන දිශාවේ යෙදීමෙන් ශ්‍රියා කාන්තාව පළවා හැරීමට සමත් වෙයි. මෙම දිශා හැර වෙනත් දිශාවල පිහිටියේ නම් මිශ්‍ර ඵල සහිතයි. එහි ප්‍රධානතම පරිහරණ කලාපය වන පෝරණුව නැත්නම් උදුන නිසි ලෙස ස්‌ථානගතවී තිබීම අනිවාර්ය අංගයක්‌. මුළුතැන්ගෙය නිසි දිශාවේ තිබුණද උදුන නිවැරැදිව නොතිබුණි නම් එය අක්‍රීය වන බව මතක තබාගත යුතුයි. 
 
 ළිප නැත්නම් උදුන පිහිටුවීම
 
 නිවසක ජීවී ගුණය පවතින්නේ තේජෝ ධාතුවේ සක්‍රීය වීම තුළයි. ගෘහයේ තේජෝ ධාතුව බල ගැන්වෙන්නේ නිවසේ ළිප මගිනි. මෙම ළිප නැත්නම් උදුන නිසි දිශාවේ නිසි පිළිවෙලට තිබිය යුතු වෙනවා. ඔබගේ ළිප පිහිටුවිය යුත්තේ පහත සඳහන් ආකාරයට බව මතක තබාගත යුතු වෙනවා. 
 
 1. ඔබගේ මුළුතැන්ගෙය ගිsණිකොන දිශාවේ නම් ආහාර පිසීම නැගෙනහිර දිශාව බලා සිදු කරන්න. 
 
 2. ඔබගේ මුළුතැන්ගෙය වයඹ දිශාවේ නම් ආහාර පිසීම උතුර දිශාව බලා සිදුකිරීම ඉතා යහපත් වේ. 
 
 3. අනෙක්‌ දිශාවල මුළුතැන්ගෙය පිහිටා තිබේනම් සැම විටම උතුරු දිශාව හෝ නැගෙනහිර දිශාව බලා කෑම පිසිය හැකි ආකාරයට උදුන පිහිටුවා ගැනීම යහපත්a වේ.
 
 කිසිම විටක ඔබගේ උදුන නිවස ඇතුළට කෑම පිසින ලෙස සකස්‌ කිරීම නොකළ යුතු බව පෙන්වා දෙනවා. මෙය ඉතාමත් අයහපත් තත්ත්වයක්‌ වන අතර මෙහි භයානක අතුරු ප්‍රතිඵල රාශියක්‌ ඇතිවෙන බව පෙන්වා දී තිබෙනවා. 
 
 * නිවසේ සමගිය පලායැම
 
 * දුගී වීම, ධනය පිරිහීම
 
 * දරුවන් අකීකරු වීම
 
 * මානසික අසහනය සහ කායික දුබලතා මතුවීම
 
 ඔබ සෑම විටම නිවසින් පිටතට ගිනිසැර වදින ලෙස කෑම පිසීමේ උදුන සකස්‌කර ගැනීමට වගබලා ගත යුතුයි. 
 
 උදුන මෙන්ම මුළුතැන්ගෙයි අනෙක්‌ උපකරණද නිසි ලෙස තැබීම ඔබගේ සියලු වැඩ පහසු කිරීමට ඉවහල් වේ. ඔබගේ සින්ක්‌ එක හා උදුන අතර පරතරයක්‌ තබා ගැනීමට වගබලා ගත යුතුයි. එම ප්‍රමාණය වඩු රියනකට මඳක්‌ වැඩිවීම ප්‍රමාණවත් වන අතර වඩු රියනක්‌ යනු අඟල් 31 කි. 
 
 ඔබගේ නිවසේ මිරිස්‌ ගලක්‌ භාවිත කරයි නම් එය සෑමවිටම තැබිය යුතු පිළිවෙල අනුගමනය කිරීම කළ යුතුයි. 
 
 1. මිරිස්‌ ගල නිවස ඇතුළට ඇත්නම් නිවසින් පිටතට ඇඹරීම කළ හැකි ලෙස එය තැබිය යුතු වේ. 
 
 2. මිරිස්‌ ගල නිවසින් පිටත තිබේ නම් නිවස තුළට ඇඹරෙන ලෙස තැබීම කළ යුතු වේ. 
 
 මෙලෙසින්ම ඔබට මුහුණ පෑමට සිදුවන ජනප්‍රිය වාස්‌තු ගැටලුවක්‌ පිළිබඳ ඔබ දැනුවත් කරන්නම්. පෝරණුව උඩ වතුර ටැංකිය තැබීම වාස්‌තු දෝෂයක්‌ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට ගැටලුවක්‌ වී තිබේ. ඔබගේ පෝරණුව මත ජල ටැංකිය තැබීම වාස්‌තු දෝෂයක්‌ නොමැති බව පෙන්වා දෙමි. එසේ වුවද පෝරණුව මත ජල ටැංකිය තැබීමෙන් ජලය නිතර උණුහුම් වන බව මතක තබාගත යුතුයි. ඔබගේ ජල ටැංකිය පෝරණුව මත තබා ඇත්නම් ඔබ කලබල නොවිය යුතු අතර එය රත් නොවන ලෙස මඳක්‌ ඉහළින් පිහිටුවීම නිවැරැදි බව පෙන්වා දෙමි.
 
 ඔබගේ මුළුතැන්ගෙය නිවසේ මූල්‍ය මර්මස්‌ථානය බැවින් සෑම විටම මුළුතැන්ගෙය නිවස ඇතුළත පිහිටුවා ගැනීම ඉතාමත් යහපත් බව පෙන්වා දෙන අතර සමහර නිවාසවල මුළුතැන්ගෙය නිවසින් පිටත පිහිටුවා තිබීම ඉතා අයහපත් බව කිව යුතුයි. එසේම ඔබගේ නිවස තුළ තිබෙන මුළුතැන්ගෙය කිසිම විටක දොරක්‌ දමා වසා දැමීම සිදු නොකළ යුතු බව පෙන්වා දෙමි. 
 
 ඔබගේ මුළුතැන්ගෙයි අප ජලය නිසි දිශාවට හැරවීම පිළිබඳව ඔබ මනා ලෙස දැනුවත් විය යුතුයි. ඔබගේ මුළුතැන්ගෙය වයඹ දිශාවේ නම් අප ජල බැස්‌ම බස්‌නාහිර දිශාවට විය යුතුයි. ඔබගේ මුළුතැන්ගෙය ගිණිකොන දිශාවේ නම් අප ජල බැස්‌ම දකුණු දිශාවට විය යුතුයි. කුමන දිශාවේ මුළුතැන්ගෙය තිබුණද අපවිත්‍ර ජලය බැසීම ඊසාන නිරිත දිශාවට අප ජලය හැරවීම කිසිම විටක සිදු නොකළ යුතුයි. කිසිම විටක අප ජල ටැංකි හෝ වැසිකිළි වළවල් මුළුතැන්ගෙය අභ්‍යන්තරයේ පිහිටුවීම නොකළ යුතුයි. කිසිම විටක ඔබගේ මුළුතැන්ගෙයින් එළියට පිටවීම සඳහා ද්වාරයන් දෙකක්‌ නොයෙදීමට වගබලා ගතයුතු අතර සෑම විටම මුළුතැන්ගෙයක ජ්‍යාමිතික හැඩතලය සෘජුකෝණාස්‍රව තිබීම ඉතා යහපත් වේ. සෑම කටයුත්තක්‌ම පවතින සෘජු බව සහ පිළිවෙල තුළින් සෑමවිටම අත්වන්නේ යහපතකි. එසේම අපිළිsවෙළ තුළිsන් සිදු වන්නේ විනාශයක්‌ මෙන්ම අයහපතක්‌. ඔබගේ නිවසේ ප්‍රධානතම ගෘහ අංග ඔබ වෙත සමීප කරවීමට ගත් උත්සාහය තුළින් සියලු ගෙහිමි කාන්තාවන්ට ඇතිවන පහසුව සහ යහපත වාස්‌තු ශිල්පයේ ජීවී බව, රහස ඔබ වෙත ලබාදීම මාගේ ඒකායන අභිප්‍රාය වේ. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »