"මහා වාස්‌තු" සිද්ධාන්තවලට අනුව නිවස භූමිය සකසා ගන්න

2018-01-23 10:24:00       542
feature-top
වාස්‌තු ශිල්පය සෑම විටම මිනිසුන්ගේ ජීවිතය සුවපහසු කිරීම උදෙසා අවශ්‍ය ජීවි ගුණය ලබාදෙන ඉපැරැණි ශිල්පයකි. නූතන සමාජයේ ජීවත්වන බොහෝ දෙනා මෙම ශිල්පයේ ප්‍රයෝජන ලබාගැනීමට අපොහොසත් වී සිටී. මේ නිසාම තමන්ගේ ජීවිතයේ නොයෙකුත් විෂමාකාර පැටලිලි ඇතිකරගෙන ජීවිතය විඳිනවා වෙනුවට ජීවිතය විඳවමින් සිටින බව පෙනී යනවා. තමන්ට දේපළ, මුදල් හා බලය තිබු පමණින් ජීවිතයේ අපේක්‍ෂිත අරමුණු ඉටුකර ගැනීමට නොහැකි බව තේරුම්ගත යුතුයි. අප සියලු දෙනාම පාලනය වන යම්කිසි ස්‌වභාවික බලවේගයක්‌ ලෝකයේ ක්‍රියාත්මක වන බව කිව යුතුයි. මෙය ඔබටත් කවදා හෝ වැටහී ඇති අතර එසේ නොමැති නම් කවදා හෝ වැටහෙනු ඇත. එහෙත් එය දැන ගැනීමටවත් ඉඩක්‌ නොමැතිවම ජීවිතය අවසන් වන පිරිස්‌ බොහෝ වේ. ශ්‍රී ලංකාවේ අනුරාධපුර පොළොන්නරු යුගවලින් පසුව "මහා වාස්‌තු" න්‍යායන් පිළිබඳ දැනුම මිනිසුන් තුළ අල්ප වූ අතර නූතනයේ දී අප රටේ වාස්‌තු ශිල්පය පිළිබඳව කතා කළද "මහා වාස්‌තු" පිළිබඳව කිසිම වාස්‌තු ශිල්පියෙකු අවධානය යොමුකොට නොමැති බව ප්‍රායෝගික තත්ත්වයයි. ශ්‍රී ලංකාවාසීන්ට ඉපැරැණි "මහා වාස්‌තු" ශිල්පයේ ආලෝකය නැවත ලබාදීම අරමුණ වේ. මෙහිදී "මහා වාස්‌තු" ශිල්පය ලොවට දායාද කළේ මහා විෂ්ණු දෙවියන් විසින් වන අතර විශ්වකර්මයා එම ශිල්පයේ දේව පැතිකඩ ලෙස සඳහන් වේ. මහා විෂ්ණු දෙවියන් විසින් ධ්‍යාන තල වලදී හිමාලයේ භාවනා යෝගි Rෂි උතුමන් හට ධ්‍යානයන් තුළදීම මෙම "මහා වාස්‌තු" සිද්ධාන්ත ධර්මයන් ලබාදුන් බව ඉපැරැණි මතයයි. වාස්‌තු ශිල්පයේ මුල් ආරම්භය "මහා වාස්‌තු" වන අතර පසුකාලීන වශයෙන් එයින් බිඳී ගිය කොටස්‌ වාස්‌තු ශිල්ප ගුරුකුල ලෙස විකාශනය විය. එහිදී "මහා වාස්‌තු" සිද්ධාන්තය සෑම විටම නොනැසී වෙනස්‌ නොවී නූතනයේද පිරිසිදුව පවතින බව කිව යුතු අතර ඒ තුළින් ලෝකයේ මිනිසුන්ගේ යහපත අපේක්‍ෂා කෙරේ. ලෝකය තේරුම් ගැනීමට නම් අප සෑම විටම යහපත් මානසික තත්ත්වයක්‌ පවත්වාගත යුතු අතර එසේ නොමැති විට අප ලෝකය තුළ මංමුලා වීම නොවැළැක්‌විය හැකිය. එහිදී "මහා වාස්‌තු" සංකල්පයන් පිළිබඳව ක්‍රමවත්ව සහ නිරවුල්ව පාඨක ඔබව දැනුවත් කිරීම මෙම සුවිශේෂි ලිපියේ අරමුණ වේ.
 
na6 2 "මහා වාස්‌තු" ශිල්පය ලොවට දායාද කළ මහා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ Rෂි උතුමන් සෑම විටම පෙන්වා දුන්නේ මිනිසාගේ ලෞකික ජීවිතය උපරිම කිරීම තුළින් ලෝකාන්තර තලයට පා තැබීම උදෙසා මෙම වාස්‌තු ශිල්පය ලොවට ප්‍රකාශ කරන බවයි. මේ නිසා ඉපැරැණි කාලනයන් වලදී මෙම වාස්‌තු ශිල්පයේ බලවත්කම කොතෙක්‌ද යන වග වටහාගත් ලෝකයේ බුද්ධිමත්හු මෙම ශිල්පය "මහා වාස්‌තු" ලෙස නම්කරන ලදි. ඉපැරැණි රජවරු "මහා වාස්‌තු" වලින් තොරව කිසිම කටයුත්තක්‌ ඉටුකරනු ලැබුවේ නැති බව ඉන්දීය ඉතිහාසයේ සහ ශ්‍රි ලංකාවේ අනුරාධපුර යුග තුළ ලියවී ඇති දුර්ලභ වූ ඉපැරැණි ලේඛන හා මූලාශ්‍ර පරීක්‍ෂාවේ දී පෙනී යනවා. "මහ වාස්‌තු" අනුව කටයුතු කළ පෙර රජවරුන් දශක ගණනාවක්‌ තමන්ගේ රාජ්‍ය පාලනය ස්‌ථාවර කරගත් අතර අවසන් කාලවලදී ආධ්‍යාත්මික තලවලටද එළැඹිනි. මෙම වාස්‌තු ශිල්පයේ පවතින විශ්වීය ගුණ නූතන පාලකයන් අහිමි කරගෙන තිබෙන නිසා මහා බලසම්පන්න පාලකයන් පවා වසර කිහිපයකින් පිරිහී ගොස්‌ ජනතාවට එපා වන බව ඔබ අත්දැකීමෙන්ම දැක ඇතිවාට සැකයක්‌ නැහැ. එසේ නම් ඒ සඳහා බලපාන ප්‍රධාන හේතු සාධකයක්‌ ලෙස ගෘහයේ සහ භූමියේ වාස්‌තු දෝෂ බලවත් වී ඇති බව කිව යුතුයි. ඔබගේ ගෘහය ඉදිකිරීමේ දී මුලසිටම "මහා වාස්‌තු" වලට අනුගතව එම ගෘහය ඉදිකිරීමට ඔබ සිතට ගත යුතුයි. මක්‌නිසාද යත් එවිට ඔබගේ ජීවිතය ඉතා සැහැල්ලු සහ පැහැබර වන බැවිනි. 
 
 "මහා වාස්‌තු" වලට අනුව ඔබගේ ගෘහය භූමියේ නිසි පරිදි තබන්න.
 
 පෙර රජ දවස රජවරු භාවිතා කළ "මහා වාස්‌තු" සිද්ධාන්තවලට අනුව රජමාළිගා සෑම විටම ප්‍රධාන දිශාවන්ට ලම්බකව පිහිට වූ බව පෙනී යනවා. එය බොහෝ වාස්‌තු ශිල්පීන් පවා එකඟ වන කරුණක්‌ වූවාට ඊට එහා ගිය දිශා පිහිටීමක්‌ ඇති බව දන්නේ අතළොස්‌සක්‌ පමණි. එයිනුත් ලංකාවේ මෙම දැනුම නොමැති තරම් බව කිව යුතුයි. උතුරු ඉන්දියාවේ මෙම "මහා වාස්‌තු" සංකල්පය ඉතාමත් ප්‍රබලව යොදාගත් අශෝක අධිරාජ්‍යයා ඉන්දියාව පමණක්‌ නොව මුළු මහත් දකුණු ආසියාවේම විශ්මිත පාලකයෙක්‌ වූ බව නොරහසකි. මේ අනුව "මහා වාස්‌තු" ශිල්පයට අනුව ඔබත් ඔබගේ ගෘහය භූමියේ ස්‌ථානගත කිරීමට න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගන්න. මෙහිදී ඔබගේ ගෘහය භූමියේ මුහුණත අනුව අංශක 90 ට දිශානුගත කිරීම පහත පරිදි යොදාගත යුතුයි.
 
 "මහා වාස්‌තු" වලට අනුව ගෘහයේ ඊශාන මුහුණත 01 කොටුව 
 
 ඔබගේ නිවසේ මුහුණත අංශක 90 ට ඊශාන දිශාවට හරවා ගෘහය ඉදිකළ හැකිනම් ඔබ "මහා වාස්‌තු" සිද්ධාන්තවල සඳහන් මූලික සිද්ධාන්තයක්‌ වන "විශ්ව ශක්‌ති අභිමුඛ මුල" න්‍යාය යටතේ ඔබගේ ගෘහය ස්‌ථානගත කිරීමට සමත් වනු ඇත. මේ තුළින් ඔබගේ ගෘහයට විශ්ව ශක්‌තිය ඇතුල්වීම ඉතා ප්‍රබලව සිදුවන අතර සියලු වාස්‌තු දෝෂ දුරු වී යනු ඇත. විශ්වයේ දේවතල හා බ්‍රහ්ම තලවලට අභිමුඛව කටයුතු කරන බැවින් සෑම විටම දෙවියන්ගේ ඇල්ම බැල්ම නොඅඩුව ලැබෙනු ඇත. මෙහිදී මතක තබාගත යුතු එක්‌ විශේෂ කරුණක්‌ තිබෙනවා. මෙවැනි ස්‌ථානගත කිරීම් සිදුකළ හැකි වන්නේ ඊශාන දිශාවට බෑවුම් සහිත භූමිවල හෝ සම බිම්වල පමණක්‌ වේ. කිසිම විටක නිරිත දිශාවට බෑවුම් ඇති භූමියක මෙම ක්‍රමය යොදා ගැනීම නොකළ යුතු වේ.
 
 "මහා වාස්‌තු" සිද්ධාන්තවලට අනුව මීළඟ ස්‌ථාන ගත කිරීම සිදුකළ යුත්තේ වයඹ දිශාවට අභිමුඛ වන පරිදි වන අතර එය විශ්වයේ බලය තහවුරු කරන පිහිටීමක්‌ ලෙස දක්‌වා ඇත. පෙර කල වයඹ දිශාවේ ආයුධ ගබඩාව සහ සේනා ස්‌ථාන ගත කිරීමට මුල්තැන දුන්නේ වයඹට අභිමුඛ ගෘහය තුළ බලය සහ ශක්‌ති අතිමහත් බැවිනි. එසේ නම් "මහා වාස්‌තු" සිද්ධාන්ත යටතේ ඔබගේ ගෘහය වයඹට අභිමුඛව ස්‌ථාන ගත කිරීමට ඔබත් උනන්දු වන්න. මෙහිදී වයඹට බෑවුම සහිත හෝ සම බිමක මෙම ක්‍රමය යොදා ගැනීම ඉතාමත් ප්‍රතිඵලදායක වේ.
 
 "මහා වාස්‌තු" වලට අනුව ගෘහයේ වයඹ මුහුණත
 
 ඔබගේ ගෘහයට විශ්ව ශක්‌තිය සහ විශ්ව බලය ප්‍රබල කරන ඊශානට මුහුණත සහ වයඹට මුහුණත ගෘහයේ ස්‌ථාන ගත කිරීමේ "මහා වාස්‌තු" සිද්ධාන්තයන් දැනගත් පසුව ඔබගේ ගෘහය විශ්ව බලය පිරිහෙන පිහිටීම් දෙකක්‌ ගැනද ඔබව දැනුවත් කරන්නම්. එනම් කිසිම විටක ඔබගේ ගෘහය නිරිතට හෝ ගනිකොණට අංශක 90 ට සිටින සේ ස්‌ථානගත කරන්න එපා. එය ඔබගේ සියලු යහපත් ශක්‌තීන් දුර්වල කරනු ලබන අයහපත් ස්‌ථානගත කරනවාට කිසිදු සැකයක්‌ නොමැත. මේ නිසා ඔබගේ ගෘහය භූමියේ ස්‌ථානගත කිරීමේ දී ඊසාන දිශාවට හෝ වයඹ දිශාවට ස්‌ථානගත කිරීමට සුදුසු භූමියක්‌ ලැබුණොත් එම දිශාවන්ට අභිමුඛව ස්‌ථානගත කිරීමට කටයුතු කළ යුතු අතර එසේ නොමැති විට ප්‍රධාන දිශාවන්ට පිහිටන සේ අංශක 90 ට ස්‌ථාන ගත කිරීම කළ යුතු අතර කිසිම විටක නිරිත හෝ ගිනිකොණ දිශාවට අභිමුඛව ගෘහය ස්‌ථානගත නොකිරීමට වගබලා ගන්න.
 
 ඔබගේ ගෘහයේ සියලු ශක්‌තීන් පිරි ඉතා වාසනාවන්ත ගෘහයක්‌ බවට පත්කර ගැනීම සඳහා අවැසි "මහා වාස්‌තු" සිද්ධාන්තයන් ඔබගේ වාස්‌තු දැනුමට එකතු කළේ ඒ තුළින් ඔබගේ ලෞකික ජීවිතය සාර්ථක වී ආධ්‍යාත්මික තලයට ඔබට ගොඩවීමට අවශ්‍ය ශක්‌තිය ලබාදීමේ මෛත්‍රී සහගත සිතින් බව පෙන්වා දෙන අතර ඒ තුළින් ඔබ ලබන ලෞකික සුවයේ පින මහා විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කිරීම මැනවි.
 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »