මුල්ගල් තැබීමේ නිවැරදි ක්‍රම සහ අනුගමනය කලයුතු වතාවත්

2018-01-30 10:34:00       210
feature-top
මුල්ගල් තැබීම ජ්‍යොතිෂ විද්‍යාව හා වාස්තු විද්‍යාව අනුව නොකළහොත් නිවසේ ප්‍රධානියාටත් පවුලේ අනෙක් සාමාජිකයන්ටත් විපත් කරදර ගෙනදීම් මෙන්ම වැඩ ප්‍රමාදවීම්ද හේතු වේ. භූමනාග පෙරලුම අනුවද නැකැත් බලා දිසා අනුවද එය කළයුතු වේ.

නියමිත දිනට කලින් දින පවුලේ සියලු දෙනාම පංසලට ගොස් බෝධි පූජාවක් තබා දෙවියන්ට, මලගිය ඥාතීන්ට පිං අනුමෝදම් කර තම කාර්යය සඵල වේවායැයි අධිෂ්ධාන කොට, තමාට හැකි පමණින් ගේ සාදා පදිංචි වී ඔප්පු කිරීම සඳහා බාරයක් තැබීම.

ඉන්පසු රාත්‍රී 10ට පමණ නියමිත භූමියේ අවශ්‍ය ප්‍රමාණය අනුව හතර කොන හා ගම්භාර දෙවියන්ට මල්පැල සාදා මල් බුලත් හුරුළු පුදා පැපෝල බෑ වලින් පහන් දල්වන්න. සුවඳ දුම් අල්ලන්න. 

ඉන්පසු ඉඩමේ අටකොන් ගඩොල් 8ක් උඩ මැටි පහන් 8ක් දල්වන්න. බිම පහන් 8 ක් දල්වන්න. ඒ අසලම මිටි රියනක් ගැඹුරට වලවල් 8 ක් කපා ඒ තුල පහන් 8ක් දල්වන්න. (මේ පූජාව බහිරව දෙවියන් උදෙසාය) අංග සම්පූර්ණ බහිරව පූජාවක් තබන්නේනම් වඩාත් හොඳය.
මෙම කටයුතු දැහැමිව මෛත්‍රී සිත් පෙරටුව කල යුතුය.

පසුදින (නැකැත් දින) හිරු උදාවත් සමග මල්පැල්වල පහනක් දල්වා මල් බුලත් පුදා සුවඳ දුම් අල්ලන්න. බිම හෝ වලවල්වල පහන් නොදැල්විය යුතුය. ඉන්පසු නියමිත වෙලාවට සුභ දිශාව බලා ලණු ඇදීම කලයුතු වේ. මෙම වෙලාවට ආසන්නව ඉතිරෙන සේ කිරි මුට්ටියක් ඉතිරවීම කරන්න. 

ලණු ඇදීම - අත්තිවාරම් කැපීම, මුල්ගල් තැබීම ගෘහ මූලිකයා හෝ පවුලේ සුදුසු අයකු විසින් කලයුතුය. මේ සඳහා රෝගයකින් හෝ කිසියම් ආබාධයකින් පෙලෙන අය නොගත යුතුය. 
පවුලේ සියළු දෙනා නා පිරිසුදු වී සුදු ඇඳුම් ඇඳ සුරාවෙන් හා කිලි වලින් තොරව පංචශීලය සමාදන් වී කටයුතු කල යුතුය. නැකැත් අනුව කටයුතු කරන අය රන් ආභරණ පළඳා දකුණු අතේ වෙදගිල්ලේ රන් මුදුවක් පළඳා මංගල කූඤ්ඤය ගසා නූල ඇදීම කලයුතු වේ. මේ සඳහා කරුව සිටින සේ අමු කොස් අත්තක් කපා එයට පොල් මලක් බැඳ පොල් ගෙඩ් දෙකක් එල්ලා ගත යුතුය. 

සුභ මොහොතට කූඤ්ඤය ගැසීමට නියමිත තැනින් රන් මුදුව බිම වදින සේ පස් මිටක් ගන්න. (එය බෑගයකට දමාගන්න) පස්මිට ගත්තැන මංගල කූඤ්ඤය (කප) සිටුවන්න. ඒ මුල නිවසට අධිපති දේවතා වෙනුවෙන් පහනක් දල්වන්න. (ශිව-බ්‍රහ්ම-විෂ්ණු) ඉන්පසු නූල බැඳ කූඤ්ඤය ගසා දකුණට ඇදෙන සේ නූල ඇදීම බාස් උන්නැයේ විසින් කරවන්න. 

ඉන්පසු නියමිත වේලාවට මංගල පිඩැල්ල කපන්න. (එයද කලින් පස්මිට ගත් බෑගයටම දමන්න) අවශ්‍ය ප්‍රමාණයට අත්තිවාරම කපාගන්න. 

ඉන්පසු සුභ මොහොතට මුල්ගල තබන්න. මෙම අවස්ථාවේදී ශබ්දනගා කථාකිරීම් නොකල යුතු වේ. ස්වාමින් වහන්සේ නමක් හෝ වෙනත් වැඩිහිටියකු ලවා සෙත් පිරිත් කියවන්න.

විශේෂ කරුණු

අයින්කල පස් බෑගය ගලායන දියට දමන්න. (මුල්ගල තැබීමෙන් පසු) මෙම කටයුතු වලින් පසු ගෙට අදාල සීමාව තුල කිසිවකුට හෝ කෑමබීම ගැනීමට ඉඩ නොදිය යුතුය. වැඩකරන කාර්මිකයන්ට කෑම බීම ගැනීම සඳහා වෙනමම තැනක් සූදානම් කර දෙන්න. සීමාව වටා පැලැල්ලකින් ආවරණය කිරීම කරන්න. ලිං පස් වැසිකිලි වලෙහි පස් ගෙබිමට නොගන්න. 
පදිංචියට යනතෙක් පාළුවට නොහරින්න.

නැකැත් දිනවලදී මස්, මාළු හා සුරාව භාවිතයෙන් වලකින්න.

බෞද්ධාමික නොවන අය තම ආගමික තත්වයන් අනුව සුදුසු ආගමික වතාවත් සිදුකිරීම, බෙන්සාරුකල බොරලික්කන් දැමීම, සුද්ධ ජලය ඉසීම කරන්න. ඉහත සඳහන් අනෙකුත් වතාවන් හැකි පමණ ඉටුකරන්න. 

මෙසේ පිරිසුදු හොඳ හිතින් කටයුතු කිරීමෙන් පහසුවෙන් හා ඉක්මනින් වැඩ අවසන් කිරීමට හැකිවීම, වියදම් අඩුවීම, පවුලේ සමගිය ඇතිවීම හා දියුණුව ඇතිවීම, හදිසි බාධක නොයෙදීම, හදිසි ධනලාභ උදාවීම තම අභිවෘද්ධියට ‍හේතු ‍වේ. ආයු-වර්ණ-සැප-බල නුවණ ඇතිවේ.
 
courtesy : weebly.com


More News »