යටලී මූට්‌ටු පේළිය නිතරම එකට සමාන විය යුතුයි

2018-02-01 10:30:00       202
feature-top
cමේවා ප්‍රභේද වෙයි. ගලෙන් හෝ ගඩොලින් හෝ බ්ලොක්‌ ගලකින් ගොඩ නැන්වෙන බිත්තිය මත එළන යටලීය බිත්ති යටලීය වන අතර ගෙයි දිග මැන ඒ අනුව එහි පේළි ප්‍රමාණය ගණනය කර ගනී. අනතුරුව මුදුන් යටලීයට අවශ්‍ය ආකාරයට දැව කපා ගැනීම කරති. දෙපළ වහළක්‌ නම් මේ කටයුත්ත එතරම් අසීරු නැත. කුරුන්චි කරන ලද දෙපස බිත්ති දෙක මත මුදුන් ලීය තැබීමෙන් වහලේ සමබරතාවය කෙසේ දැයි සලකා බලති. ගෙයි අත්තිවාරමේ සිට මුදුන් බිත්තියට ද බිත්ති යටලීයට ද තිබෙන උස මෙහිදී සමබර විය යුතුය. අනතුරුව මුදුන් යටලීයටත් බිත්ති යටලීයටත් අතර එළන තුලේ යටලීය සකස්‌ කරති. මේ ආකාරයට වඩු ශිල්පියා සිය ශිල්පීය ඥානයෙන් යුතුව සකස්‌ කරන යටලීයේ පිරිද්දුම් ගැන වාස්‌තු විද්‍යානුකූලව සලකා බැලීම කළ යුතුය.
යටලීයක්‌ සකස්‌ කරන කල්හි මූට්‌ටු කීපයක්‌ තිබිය හැකිය. එහිදී ලී දෙකක්‌ එකට යාවන පරිදි පිරිද්දීමක්‌ හෙවත් පෙරොත්තමක්‌ යෙදිය යුතුය. කිඹුල්තල්ල හෙවත් කයිනොප්පුව මේස මූට්‌ටුව ඇණ මූට්‌ටව පලූ පොරොත්තම හා බක්‌කය වශයෙන් මූට්‌ටු යෙදීමක්‌ වඩු ශිල්පීන් අතර දක්‌නට හැකිය. මෙයින් කිඹුල්තල්ල හා මේස මූට්‌ටව පමණක්‌ නිවෙස්‌ සඳහා යොදා ගතිති. ඇණ මූට්‌ටව වශයෙන් ගැනෙන්නේ ලීදෙකක්‌ ආනතියට කපා ගෙන එහි කුඩුම්බි කපා ඒවා ඇණවලින් මූට්‌ටු කිරීමයි. යකඩ ඇණ යටලී සඳහා යොදා ගැනීම සුදුසු නැත. ඒ මගින් වාස්‌තු පුරුෂයාගේ අවයවවලට හානි සිදුවේ. පලු පෙරොත්තමේ ද එසේමය. යටලී දෙකක්‌ එකට තද වීම අත්‍යවශ්‍ය වන අතර මෙම මූට්‌ටවේ දී එය සිදු නොවේ. බක්‌කය පමණක්‌ ඇතැම් විට බිත්තියෙන් පන්නන ලද යටලී තැබීමට භාවිත කෙරේ . එහෙත් කිසිවිටක නිවෙසක යටලී දෙකක්‌ මූට්‌ටු කිරීමට එම ක්‍රමය යොදා නොගනී.
කම්හල් පාසල් ගොඩනැගිලි කාර්යාල ආදී පොදු ගොඩනැගිලි සඳහා පමණක්‌ මේ යටලී මූට්‌ටු යොදා ගැනීම සුදුසු වේ යෑයි කිව හැකිය. කිඹුල් තල්ල හා මේස මූට්‌ටු පමණක්‌ නිවාසවල යටලී මූට්‌ටු කිරීමට සුදුසු ය. එයිනුත් මේස මූට්‌ටුව ඉතා ප්‍රශස්‌තය. පැරණි විහාර ගොඩනැගිලිවල මූට්‌ටු විමර්ශනය කර බැලුවහොත් මේ මේස මූට්‌ටව යස අගයට යොදා ගෙන ඇති හැටි දැකිය හැකිය. අඟල් හයේ පහේ බාල්කයක්‌ වුවද ඒ ක්‍රමයට නිවැරැදි ලෙසට පිරිද්දිය හැකිය. එහිදී ලී දෙක කිටි කිටියේ එකට තද වී එක්‌ ලීයක්‌ බවට පත් වේ. මෙහිදී දොස්‌ එහි රැඳෙන්නේ නැත. කිඹුල තල්ල නොහොත් කයිනොප්පුව හඳුන්වා දී ඇත්තේ බටහිර පාලන සමය තුළයි. ආනතියට කපන ලද ලී දෙකක්‌ එකට යා කිරීම මෙහි බලාපොරොත්තුවයි. පෑන්කෑල්ල නම් ලී කූඤ්ඤයකින් මේ ලී දෙක කිටි කිටියේ එකට තද විය යුතුය.
වර්තමාන නිවෙස්‌ සඳහා අප පොල් ලී හා වෙනත් විවිධ ලී වර්ග භාවිත කරමු. මේ ලී එකට යා කිරීමට බහුලව යෙදෙන්නේ කිඹුල් තල්ල මූට්‌ටුවයි. ඒවා විමර්ශනය කර බැලුව හොත් පෙනෙන්නේ මේ ලී දෙක අතර විශාල ඉඩව්වක්‌ පවතින බවයි. මේ තත්වය නිර්මාණය කර ගැනීමෙන් සැබැවින්ම දොස්‌ හා භුත බලපෑම් නිවෙස තුළට වැද්ද ගැනීම කෙරෙයි. අවශ්‍ය වන්නේ ලීදෙක කිටිකිටියේ තද වීමයි. එය හරි හැටි ඉටු නොකරන වඩු ශිල්පියෙක්‌ වේ නම් නිවැරැදි ක්‍රමය කියා දීම අපගේ යුතුකම වේ. යටලී මූට්‌ටු පේළිය නිතරම එකට සමාන්තර විය යුතු යෑයි නියමයකි. කිඹුල් තල්ලේ ආනතිය වමට ඇත්නම් ඊළඟ යටලීයේ ද ආනතිය වමට විය යුතුය. එහිදී දකුණට යෙදීම හඳුන්වන්නේ කත් ලීය යනුවෙනි. වත්මන් වඩු ශිල්පීහු කාරණා නොදැන මේ පිහිටීම ඇති කරති. මෙයින් විපතක්‌ ඇති වන්නේ ගෙයි හිමියාටයි. ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීට සිදු වූ අවස්‌ථා දක්‌නට ඇත. මෙයට හේතුව යටලී මූට්‌ටුව මගින් නිකුත් කරන ශක්‌ති තරංගය පහළට ගමන් කරමින් එකිනෙක කැපී යැමයි. එය අපට ඇහැට නොපෙනේ. නමුත් එය ක්‍රියාත්මක වේ. සමාන්තර යටලී පේළිවලදී මෙලෙස කැපී යැමක්‌ සිදු නොවේ. යටලී පේළි තුන එකිනෙක සම්බන්ධ වන්නේ පරාල මගිනි. මේ පරාළ එළන කල්හි ද ඉතා පරිස්‌සමින් එය කළ යුතු යයි නියමයකි. යටලී මූට්‌ටු ඇති තැන් මග හැර පරාළ ගැසීම සිරිතයි. උන්දම හා ඇල්ම ඇති පරාළ වර්තමානයේ දී බෙහෙවින්ම භාවිත කරති. පොල් ලී භාවිතයේ දී එම තත්වය උදා වේ. නමුත් මට්‌ටම් කරන ලද පරාල ගෙයකට යොදා ගැනීම ප්‍රශස්‌ත බව කිව යුතුය. පැරණි ගෙවල්වල මෙලෙස මට්‌ටම් කරන ලද පරාල යෙදීමට වෙසෙසි උනන්දුවක්‌ දක්‌වා ඇත.

courtesy : wordpress.com


More News »