නිවසේ අමුනුෂ්‍ය දෝෂ පලවා හරින මහා වාස්‌තු ආරක්‍ෂාවක්‌

2018-02-06 11:00:00       319
feature-top
ඔබගේ නිවස තුළ දුක, ශෝකය, මානසික ආතතිය රෝගපීඩා, හිත් රිදවීම් රණ්‌ඩු සරුවල්, හතුරු කරදර වැනි අයහපත් දෑ නිතර සිදුවන්නේ නම් මෙන්ම නිතර නිවස අපිරිසිදු වන්නේ නම් එවැනි තත්ත්වයන් සඳහා හේතු වන වාස්‌තු ශිල්පීය පැතිකඩ පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. වාස්‌තු ශිල්පය තුළ පෙන්වා දෙන පරිදි ඔබගේ ගෘහය තුළ බලවත් වන්නා වූ ප්‍රධාන කොටස්‌ දෙකක්‌ සිටින බව හඳුන්වා දිය හැකියි

* සම්‍යදෘෂ්ඨික භූමිගත හා රුක්‍ෂ ගත භූමි වාසී දෙවිවරු

* අමුනුෂ්‍ය, ප්‍රේත, හා භූත පිරිස්‌

ඔබගේ ගෘහය තුළ බලවත් වන්නේ දෙවියන් ද නැත්නම් අමුනුෂ්‍ය ප්‍රේත හෝ භූත කොටස්‌ද යන්න තීරණය වන්නේ ඔබගේ ගෘහයේ ආරක්‍ෂා වී ඇති වාස්‌තු සිද්ධාන්තවල ස්‌වරූපය අනුව බව කිව යුතුයි. ඔබගේ ගෘහය තුළ වාස්‌තු සිද්ධාන්ත නිසි ලෙස ආරක්‍ෂා වී ඇත්නම් එම පරිශ්‍රය ඔබට ආරක්‍ෂාකාරී ක්‍ෂේම භූමියක්‌ වන අතර එය භූමි වාසී දෙවියන්ට ප්‍රියමනාප පරිශ්‍රයක්‌ වන අතර දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව නිතැතින් ලැබෙනු ඇත. එසේම ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ බලවත් වී ඇත්නම් එය අමුනුෂ්‍ය, ප්‍රේත සහ භූත කොටස්‌වලට ප්‍රියමනාප කිලි භූමියක්‌ ලෙස බලවත් වනු ඇත. ඔබගේ භූමිය කිලි භූමියක්‌ ලෙස බලවත් වී ඇති විටක ඔබගේ නිවස තුළ නිතර දුක, ශෝකය, මානසික පීඩනය රෝග පීඩා, හිත් රිදීම්, රුධිරය, රණ්‌ඩු සරුවල්, සතුරු කරදර මෙන්ම ජරාවාස වීම් ද බලාපොරොත්තු විය යුතුයි. ඔබගේ නිවස තුළ ඉහත තත්ත්වයන් බලවත් වී ඇත්නම්, එවැනි තත්තවයන් බලවත් වීමට ඔබගේ නිවසේ දුර්වල වී ඇති වාස්‌තු සිද්ධාන්ත මොනවාද යන්න පිළිබඳව හඳුනාගෙන එම දුර්වල වාස්‌තු සිද්ධාන්ත නිසි පරිදි බලවත් කිරීම තුළින් එම අයහපත් බලපෑම් ඉවත්කොට ඔබගේ ගෘහ පරිශ්‍රය සැප, සතුට බහුල ගෘහයක්‌ බවට පත්කර ගැනීමේ හැකියාව පවතිනවා.

නිවසේ දුක බහුල කරන ස්‌ථාන හඳුනා ගන්න.

01. නිවසට විශ්ව ශක්‌තිය ගලා එන ඊශාන දිශාව තුළ වැසිකිලි, මුළුතැන්ගෙය, ගබඩා කාමර, සේවක කාමර, අන්ධ බිත්ති, ගරාජ, කුණු කානු ජලය රැඳනු ඉහල ජල ටැංකි, පඩිපෙල, ඉතා උස්‌ව වැඩුනු ගස්‌, කටු සහිත ශාක, රතු මල් පිපෙන ශාක, මැරීගිය ශාක, නිවසින් පිටත අමතර ඉදිකිරීම්, ගේට්‌ටු, සුනකයින් ආදිය යෙදීම නිසා ඔබගේ ගෘහයේ ඊශාන දිශාව දුර්වල වන බව මතක තබා ගන්න.

02. නිවසට විශ්ව ශක්‌තිය උදුරා ගන්නා කේන්ද්‍රය වන බ්‍රහ්ම පාදය හෙවත් ගෘහයේ මධ්‍ය ලක්‍ෂය අවහිර වීමට හේතුවන කරුණු එනම් මධ්‍ය ලක්‍ෂය බිත්තියට යට වී තිබීම, ඒ මත වැසිකිලි, කාණු, පඩිපෙල, බර භාණ්‌ඩ තැබීම සහ අපිරිසිදු කිරිම්, වැනි කරුණු තුළින් නිවෙස්‌ බ්‍රහ්ම පාදය දුර්වල වන බව මතක තබා ගන්න. එසේම නිවසේ හැඩය අනුව ගෘහයේ බ්‍රහ්ම පාදය නිවසින් පිටත ස්‌ථාන ගත වීම ද සිදුවන බව මතක තබා ගන්න.

03. නිවසට ගලා එන විශ්ව ශක්‌තිය ගබඩා වන නිරිත දිශාව තුළ, මුළුතැන්ගෙය, වැසිකිලි, වැසිකිලි වල, ගරාජ, පඩිපෙල, සේවක කාමර, කුණු කානු, සුනඛයින් සුදු මල් පිපෙන ශාක අඹ ගස්‌, ගේට්‌ටු, භූමියේ ජලය රැඳවීම යනාදිය නිසා නිරිත දිශාව දුර්වල වන බව මතක තබා ගත යුතුයි

ඔබගේ ගෘහයේ සැප සතුට පලවා හැර දුක කඳුල බහුල වීම සිදුවන්නේ තමන්ගේ ගෘහයට විශ්ව ශක්‌තිය නිසි පරිදි නොලැබෙන නිසා බව මහා වාස්‌තු ශිල්පය තුළ සඳහන්ව පවතිනවා. එසේනම් ඔබගේ නිවසට නිසි පරිදි විශ්ව ශක්‌තිය ලැබෙන මාර්ගය හඳුනාගෙන එම මාර්ගය ඇති බාධා ඉවත් කිරිම තුළින් ඔබට ඔබගේ නිවස බලවත් කිරීමේ හැකියාව උදාවනු ඇත.

ඉහත රූප සටහනේ පෙන්වා දී ඇති ආකාරයට ඔබගේ ගෘහයේ විශ්ව ශක්‌ති ගමන් මග නිදහස්‌ කිරීම තුළින් ගෘහය තුළ විශ්ව ශක්‌තිය බලගන්වනු ඇත. විශ්ව ශක්‌තිය බලවත් වීම යනු එම පරිශය තුළ දෙවියන් බලවත් වන බව මහා වාස්‌තු ශිල්පය තුළ පෙන්වා දී තිබෙනවා. මෙය හරියට ඔබ ශරීරයේ ජීවි ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන ඔක්‌සිජන් වායුව ශරීරය තුළ සිදුකරනු ලබන ක්‍රියාවලියට සමාන බව මතක තබා ගන්න. ශරීරයට ඔක්‌සිජන් වායුව නොලැබී ගියහොත් ඔබ මරණයට පත් වන ලෙසටම නිවසට විශ්ව ශක්‌තිය නොලැබෙන විට නිවස විනාශ වන බව ද මතක තබා ගන්න.

නිවසේ දුක බහුල කරවන විශේෂ ස්‌ථාන හඳුනා ගන්න.

courtesy : helarahas.com


More News »