නිවසක් සෑදීමට පෙර දැන ගත යුතු වැදගත් කරුණු

2018-02-07 11:50:00       510
feature-top
මෙලොව උපදින සියලුම සත්වයන්ට නිදහසේ ජිවත් වන්නට අවශ්‍යබව අප කව්රුත් දන්නා කරුණකි. නමුත් නිවසක් යනු මිනිසාගේ මුලික අවශ්‍යතාවයන්ගෙන් එකකි. මේ නිසාම අප කාගේත් බලාපොරොත්තුව නම් ලස්සන නිවසක් සාදා ගැනීමයි. මේ නිසා අප මුලින්ම කලයුතු වන්නේ වස්තු විද්‍යානුකුලව නිවැරදිව ගෙයක් සාදා ගැනීමට අවශ්‍යයබව සිත තුලට ධනාත්මකව සිතුවිලි ඇතුලත් කර ගැනීමයි. ස්ථිරවම ගෙයක් හද ගන්නවාමයි කියා නිතරම සිහියට නගා ගැනීම තුළින් ඔබේ බලාපොරොත්තුව ජය ගත හැකි වන්නේය.

1 . නිවාස සැලසුම අන්දවා ගැනීම

ඒ සඳහා නිදහස් වටපිටාවක් සහිත සුදුසු ස්ථානයක් තෝරාගත යුතුය. අනාගතයේදී මෙම තෝරාගත් ස්ථානයේ තම මුලික අවශ්‍යතා සපුරා ගැනුමට හැකි තත්වයන් පවතීවිද ?

දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට මෙහි යහපත් පරිසරයක් පවතීවිද? යන තොරතුරු මුලින්ම බලා සෑහීමකට පත්වන්නේ නම් ඉන්පසු තමන්ගේ ආර්ථික තත්වය ගැන සිතා තමන්ගේ ආර්ථිකයේ ප්‍රමාණයට ඉඩමේ තත්වයට හා ප්‍රදේශයට ගැලපෙන අයුරින් වස්තු විද්‍යානුකුලව නිවැරදිව හා තාම උපන් වෙලාවට අනුව උදාවූ හඳහනට ගැලපුම් ඇති අය වැය නිවැරදිව පවත්වාගෙන යා හැකි නිවැරදි දිසාවන්ට අනුව ප්‍රධාන දොර, කුස්සිය , ලිප , නිදන කාමරය , වතුර ටැංකිය ,ළිඳ , දරුවන්ගේ පාඩම් කරන කාමරය , වත්තට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව යන ස්ථානයන් නිවැරදිව ස්ථාන ගතවන අයුරින් මර්මස්ථාන 81 ට අසු නොවන පරිදි වස්තු පුරුෂයාගේ මර්මස්ථාන වලට ගැටෙනේ නැති වන ලෙස සුබ පාද වලට හසුවන පරිදි බ්‍රහ්ම පාදය හොඳින් බේරා නිවසේ ගිණි කතුර සහ ඉඩමේ ගිණි කතුරට හසු නොවන පරිදි වස්තු දෝෂ ගැන හොඳින් දන්නා කෙනෙකු ලවා නිවාස සැලසුමක් අන්දවා ගත යුතු වන්නේය.

2 .සුබ මුහුර්තයක් සකසා ගැනීම

ගෙය සාදා ගැනීමට නිවැරදි සුබ නැකතක් සාදා ගැනීම ඉතාම අවශ්‍යම වන්නේය. මෙම සුබ නැකත සාදවා ගන්නට ඉතා හොඳින් ජ්‍යෝතිෂ්‍ය දැන උගත් කෙනෙකු තෝරා ගත යුතුම වන්නේ යම් හෙයකින් මෙය වැරදි නැකතක් වුවහොත් ඔබේ සිහින කැදැල්ලේ විනාශය එයින්ම සිදුවී ඔබේ ජිවිතයද අහිමි වන්නට සිදුවනු ඇති නිසාවෙනි.

ඔබ උපන් නැකතේ සිට ගෙය සැදීමට දී ඇත්තේ 19 වෙනි නැකත හෝ පසළොස්වක පෝය දිනට පසු දිනට නම් ගෙහිමියාට මරණය හෝ ඒ තරමටම බරපතල විපතක්ම වන්නේය’ ගෙයි මුල නැකත ගෙයි හිමියා නසින්නේ’ යනුවෙන් ජෝතිෂයේ එය පෙන්වාදී තිබේ.

සමහර නොදන්නා අය සේම මෝඩ පණ්ඩිතයන් කියන්නේ ගෙදර ප්‍රධානියාගේ නැකතට ගෙවල් හදන්න හොඳ නැති බවත් එම නිසා පවුලේ සියළු දෙනාට සුබ නැකතක් ගෙය හදන්නට තෝරාගත යුතු බවයි. එය කිසිසේත්ම කිරීමට හැකි දෙයක් නොවේ.

නිවැසියන් සියලුදෙනා විවිද නැකත් හිමිව ඉපිද ඇති බැවින් ඒ සියළු දෙනාට සුදුසු සුපිරිසිදු සුබ මුහුර්තයක් තෝරා ගැනීම කෙසේවත් කල නොහැක.නිවසක මුදුන් මුල වන් ප්‍රධානියාට හිමි නැකතට අනුව සුබ මුහුර්තයක් සකසා නිවසට මුල්ගල තබා නිවාස සාදා ගත්විට ගසේ මුදුන් මුල ගසම රකිමින් ඵල දරනවා සේම සියළු කටයුතු සාර්ථක වන්නේය.

එසේම රුපියල් ලක්ෂ 30ක් 40ක් නැත්නම් ඊටත් වඩා විශාල මුදලක් වැයකර නිවාස සැදීමට සිතා සිටින ඔබ එම නිවසේ මුල්ගල තැබීමට නැකත සාදා දෙන ජෝතිෂ්‍යවේදියාට සුළු මුදලක් ලබා දී තම කාර්ය ඉටු කරගැනීමට උත්සහ දැරීම අයහපත් ක්‍රියාවකි.

යම් හෙයකින් නැකත වැරදුනොත් ඔබට ලක්ෂ ගණනින් පාඩු සිදුවනවා පමණක් නොව ජිවිත හානි පවා සිදුවී දුක් සෝ සුසුම් හෙලන්නට සිදුවන බව තරයේ මතක තබා ගන්න.එබැවින් නැකත සැදීමට නිවැරදිව ජෝතිෂ්‍ය උගත් දක්ෂ ජෝතිෂවෙදිකු තෝරා ගැනීමට වගබලා ගන්න.

සුබ මුහුර්තයක් සකසා ගත්තට පසුව එම නැකත නිවැරදිව ඉටු කරගැනීම ඉතාම වැදගත් වන්නේය.නිවස ගොඩනැගීමට සිතා සිටින ස්ථානය පාද ඛෙදීමට හැකි අයුරින් ගෙපල සකසා ගැනීමද සුබ මුහුර්තයකට කල යුතු වන බවද ගෙය සකස් කර ගැනීමට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පාද ඛෙදීමට අවහිර නොවන ආකාරයට ගෙනැවිත් දැමීමට මතක තබා ගත යුතුය.

3.නිවස සදා ගැනීමට තිසරණ සරණ හා දෙවි පිහිට ලබා ගැනීම.

නිවසේ කටයුතු ආරම්භ කිරීමට පෙර දිනයේදී ගෙදර සියලුම දෙනා මල් පහන් පැන් ගිලින්පස කිරිපිඩු දැහැත් බෝධිය නවන්නට පැන්,කහ වතුරෙන් සෝදාගත් පඩුරු හා සුදු රෙදි පටියක් රැගෙන ගොස් බුදුන් නැමද දෙවියන්ට පිං අනුමෝදන් කර බෝධින් වහන්සේ නාවා අනතුරුව පඩුරු කාසිය සුදු රෙදි පටියේ ගැටගසමින් නිවාස කිසිඳු කරදරයකින් තොරව සාදා නිමකර ගැනීමෙන් පසු සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවකද මස් මාංස වලින් තෝරා සාංඝික දානයක් දී දෙවියන්ට පිං පමුණවන බවට භාරයක් වන්න.

එම පඩුර තමන්ගේ නිවසේ බුදුන් වඳින ස්ථානයේ තබා නව නිවසේ වැඩ නිමවූ පසු භාරය නිවැරදිව ඔප්පු කිරීමට මතක තබා ගන්න.

4 . නිවාස සාදන භූමියට අරක්ගෙන සිටින අෂ්ඨ බහිරවයන්ට පූජා තැබීම

ගෙය සාදන්නට පෙර දිනයක මෙම අෂ්ඨ බහිරව පූජාව තබා භූමියට අරක්ගෙන සිටින බහිරවයන්ගෙන් අවසර ගැනීම ඉතාම වැදගත් වේ. එසේ වුවද මෙම පූජාව සාස්ත්‍රනුකුලව නිවැරදිව ඉටු කරන පුද්ගලයන් සොයා ගැනීම ඉතාම අපහසු වන්නේය.

දේව ආරුඪ ඇති බව කියාගනිමින් සිටින ඇතැම් පිරිස් අහිංසක මිනිසුන් නොමග යවමින් බාහිර පූජා තබනවායි කියා කුමක්හෝ බොරු රගපෑමක් කර නිවසේ අඩිතාලම යට කරනයි කියා කිසිත් නොලියන ලද හිස් තඹ කොළ හතරක් කුඩා කුප්පිවල දමා දී මුදල් උපයා ගත් සිදුවීම් කොතෙකුත් සිදුවී ඇත.

බහිරව පූජාව තැබීමට නොහැවුවද ගැටළු ඇති වන්නේ නැතත් ඒ පිළිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව විමසුවහොත් පූජාව සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙන්නෙමි

5. පාද ඛෙදීම හෙවත් බිම් මහලේ සැකැස්මට අනුව ලණු ගැසීම

පාද ඛෙදීමේදී නිවාස සැලසුම අදින ලද තැනැත්තා සහභාගී කරගන්නට හැකි නම් ඉතාම වැදගත් වන්නේ ඔහුට සැලැස්ම පිළිබඳව මනා අවබෝධයක් ඇති නිසාවෙන්ය. මෙහිදී මුලින්ම සුභ මුහුර්තයට ඛෙලි ගකකින් කපාගත් කුඥ්ඥයක් හෝ කිරි ගසකින් කපාගන්නලද කුඥ්ඥයක් සිටවීම යහපත් වන්නේය.

එම කුඥ්ඥය නිවැරදි දිසාව බලා සුභ මුහුර්තයට නිවසේ ප්‍රධානියා විසින් සිටුවන විට සියළු දෙනාම නිශ්ශබ්ධව සිටීම ඉතාම වැදගත්ය.

ඉන් පසුව සවිමත් නුලක් හෝ ලණුවක් කුඥ්ඥයේ ගැටගසා උතුරු දිසාවට ඇදගෙන ගොස් වෙනත් අයකුට පොළවට සමාන්තරව එම ලණුව අල්ලාගෙන ඉන්නයි පවසා ඛෙලි ගෙඩියකින් හෝ රන් මුදුවකින් ලණුව දිගේ පොළවේ ඉරක් ඇඳගෙන ගොස් , ඛෙලි ගෙඩියක් නම් ලණු ගසන ලද නිවසේ සැලස්ම තුළ එය වලලන්න, රන් මුදුව කිරි බදුනකට දමා සෝදා නැවත පැළඳිය හැකිය. මුලින් සිටවන ලද කුඥ්ඥය නිවාස සාදා අවසන් වන තුරු නොගලවා තැබීම යහපත් වන්නේය.

6. ප්‍රථම පස් පිඩැල්ල කැපීම.

මේ සදහා සකසාදී ඇති සුභ මුහුර්තයට අනුව නිවාස සැලසුමේ භුමි නාගයාගේ අසුභ ස්ථාන හැර සකස්කරදී ඇති ස්ථානයේ මිට ශක්තිමත් උදැල්ලකින් නිවසේ ප්‍රධානියා විසින් ප්‍රථම පස් පිඩැල්ල කපා නිවාස සැලසුම ඇතුලට දැමිය යුතුය. මෙහිදී සියලුදෙනා නිහඩව සිටීම ඉතාම වැදගත් වන්නේය.

එම වේලාවට අවටින් ඇසුන ශබ්ධ අනුව ගෙයි ඉදිරි ඵල ගැනද වාස්තු විද්‍යාවේ පෙන්වාදී ඇති අතරම ප්‍රථම පස් පිඩැල්ල කැපීමේදී එම පස් වලට අසුවන දේ තුලින්ද පලාපල දැනගත හැකිවන්නේය. එම තොරතුරු පසුව ලිපියකින් දැනුවත් කරන්නෙමි. ඔබට ඒ පිලිබදව දැනගැනීමට කැමතිනම් මට අමතන්න.

7. මුල්ගල තැබීම හෙවත් මංගල ශිලා ස්ථාපනය.

නිවාසයක් සාදා ගැනීමේදී ඉතාම වැදගත්ම නැකත් කටයුත්ත මෙය වන්නේය. මෙය වරද්දා ගතහොත් සියල්ලම වරදින්නේ තම ජීවිතයටද බලපෑම් ඇති කරවමිනි. මේ නිසා නිවැරදිම සුභ මුහුර්තයට නිවැරදිම ස්ථානයේ එනම් ගිනිකොණ මුල්ලේ මෙම මුල් ගල තැබීම නිවසේ ප්‍රධානියා විසින්ම ඉටු කිරීම වැදගත් වේ.

කීපදෙනෙකු ලවා මුලු හතර එකම වේලාවට මුල් ගල් තැබීම ඉතාමත් අසුභපල අත්කර දෙන්නේ හතර දෙනාම එකම මොහොතක මුල් ගල් තැබුවාට සුලුවෙන් හෝ වෙනස් වනු ඇති බැවිනි. මුල්ගල කියන්නේ එක ගලකටය නැතිව ගල් හතරක් නොවනු ඇත. සමහර අය මුදල් ලැඛෙන නිසා කීපදෙනෙකුට කියා මුල්ගල් තැබීම කරයි.

නමුත් එය අසුභ ක්‍රියාවකි. පළමුවෙන් නිවස හදන භුමියේ හතර දිසාවෙන් එක පහන් පැලට ලී හතරකින් හරි හතරැස් වන අයුරින් පහන්පැල් හතරක් ගොක් අතු වලින් සකසා එතුල පහනක් මල් ධාන්‍ය වර්ග සුවද හදුන්කූරු ආදිය තබා පහන් දල්වා පහන්පැල් වටේටම තුන් නූල් ඇද පිරිත් සජ්ජායනා මධ්‍යයේ නැකතට මුල්ගල තබන්න.

මේ අවස්ථාවේ අනෙකුත් පිරිස නිහඩව සිටීම වැදගත් වේ. ඉන්පසු ගෙපැලේ අනෙකුත් කොන්වලද ගල් තබනවානම් දකුණු ඇත නිවස ඇතුලතට සිටිනසේ ඇවිද යමින් එකින් එක තබන්න.අනතුරුව පිරිත් පැන් මුල් ගලට සේම නිවාස සැලසුම තුල ඉසින්න.

8. කිරි ඉතිරවීම.

මුල්ගල් තැබීමෙන් පසුව කිරි ඉතිරවීම කරන්න. එයටද සුභ වේලාවක් ඇත. තමන් කැමති කිරි වර්ගයක් මේ සදහා ගන්න යහපත් වන්නේ එළකිරි ගැනීමයි. කිරි උතුරවා එම කිරි පවුලේ සියලු දෙනා පානය කරන්න. අපතේ යවන්න එපා. කිරි උතුරවද්දීද පිරිත් කියනවනම් ඉතාම සුභ වන්නේය.

9. නිවාසය සාදන බිම ඉදුල් කිරීම හෙවත් නිවස සමග ගණුදෙණු කිරීම

නිවාසයේ සැලසුම මැද උසකින් කිරිබත් සහිත සියලු ආහාර දෑ තබා පළමුව ගෙදර ප්‍රධානියා ආහාර අනුභව කර අනතුරුව බිරිඳ දරුවන් නෑදෑයන් හිතවතුන්ට ආහාර ලබාදී ප්‍රධානියා විසින් ගෙහිමි බිරිඳට මුදල් දී ගණුදෙණු කරන්න.

මෙසේ කරන්නේ මෙම ගෙය හදන මේසන්වරුන් මෙම නිවාසය හදද්දී එතුල සිට ආහාර ගන්නා නිසා මුලින්ම නිවාස හිමියන් විසින්ම ප්‍රථමයෙන්ම ආහාර අනුභව කර ගණුදෙණු කිරීම කලයුතු බැවිනි.

ඉන්පසුව වේල් තුනක් පමණ හතර දිසාවේ ඇති පහන්පැල්වල පහන් දල්වන්න. පෙදරේරුවන් වැඩ කරගෙන යද්දී නිවසේ සැලැස්මේ යම් වෙනස්කම් ඔවුන් විසින් කරන්නට උත්සාහ ගත්තද එසේ කිරීමට ඉඩ නොදීමට වගබලා ගන්න.

නිතරම නිවැරදි පිළිගැනීමක් ඇති වගකීම් සහිත අමුද්‍රව්‍යම භාවිතා කරන්න. පැරණි ගෙයකින් කඩා ඉවත් කරනලද අමුද්‍රව්‍ය නව නිවාස සැදීමට භාවිතා කිරීමෙන් දොස් සහිත වන්නේය.

සාර්ථක පවුල් ජීවිතයකුත් සමග අනාගතය ජයගන්න මේ වටිනා කරුණු ගැනත් සැලකිලිමත් වන්න. ඔබ කෙතරම් සාර්ථක රැකියාවක නිරත වුවත් මෙවැනි සුළුකොට තකා නොසලකාහරින කරුණු නිසා ඔබේ දියුණුවට බලපෑම් විය හැකිය. මේ වටිනා ලිපිය ශෙයා කර මිතුරන්ටත් දන්වන්න.


More News »