වාස්‌තුවලට අනුව නිවස සකසා ගන්න - සතුට, සමගිය, දියුණුව ලබාගන්න

2018-02-26 11:04:00       689
feature-top
ඔබ සෑම විටම කැමැති ලස්‌සනට අඳින්න, විවිධ විලාසිතාවන් සිදු කරන්න. විශේෂයෙන් කාන්තාවන් මෙවැනි කටයුතුවලට වඩාත් කැමැතියි. ඒත් ඔබගේ රූපය ලස්‌සන කරන සෑම දෙයක්‌ම ඔබගේ රුව ලස්‌සන කරනවාද? මේ ගැන දෙපාරක්‌ සිතන්න වෙනවා. සොභාවයෙන් ඔබට ලැබුණු ලස්‌සන සමහර විට මෙම විලාසිතා තුළින් මැකීයන්න පුළුවන්. එසේම ඔබගේ පෞර්ෂයට පවා හානි සිදුවන්න පුළුවන්. සමහර විට ඔබ රෝගී වන්නට හෝ මරණයට පවා පත්වීම සිදුවිය හැකි අවස්‌ථා පිළිබඳව අප අසා නැතුවා නොවේ. කෙනකුගේ රූපය ලස්‌සන කරන්න සිදුකරන සෑම දෙයක්‌ම එම පුද්ගලයාට යහපත් ලෙස හා අයහපත් ලෙස බලපාන සේම අපගේ නිවස අලංකාර කිරීමට ඔබ විසින් සිදු කරනු ලබන යම් යම් වාස්‌තු කර්මද හොඳ හෝ නරක ලෙස යළි ඔබට බලපාන බව ඔබ දන්නවාද? 
 
 වාස්‌තු කර්ම ඔබට හරි දේ හරි ලෙසත්, වැරැදි දේ වැරැදි ලෙසත් තේරුම් බේරුම්කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම් සිදුකර තිබෙනවා. මෙම ලිපියෙන් උත්සාහ ගන්නේ ඔබගේ නිවස අලංකාර කිරීමේදී ඔබට අවශ්‍ය මගපෙන්වීම සිදු කිරීමටයි. 
 
 අප නිවස අලංකාර කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රම ශිල්ප රාශියක්‌ තිබෙනවා. මේවා අතරින් ප්‍රධාන අවස්‌ථා කිහිපයක්‌ පමණක්‌ හඳුනා ගැනීමට උත්සහ කරමු. 
 
 * වර්ණ යොදා ගැනීම
 
 නිවසේ අලංකාරය සිදුකිරීම සඳහා වර්ණ යොදා ගැනීම ඉතා ප්‍රබල මාධ්‍යයක්‌ බව අප දනිමු. මෙහිදී වාස්‌තු ක්‍රමවේදයට අනුව එම වර්ණ යොදා ගැනීම වඩාත් ප්‍රතිඵලදායක වේ. 
 
 * උතුරු - ඊශාන දිශාව - වර්ණය සුදු, නිල් හා අවශේෂ වර්ණයන් නැගෙනහිර නිරිත දිශාව - වර්ණය සුදු, කොළ හා අවශේෂ වර්ණ
 
 * දකුණු - ගිනිකොන දිශාව - වර්ණය සුදු, රතු, තැඹිලි රෝස හා අවශේෂ වර්ණ
 
 * බටහිර - වයඹ දිශාව - වර්ණය ගුරු, කහ, තද කොළ හා අවශේෂ වර්ණ
 
 දිශා අනුව වර්ණයන් සක්‍රීය වන්නේ සතර මහ ධාතූන්ගේ ක්‍රියාකාරිත්වය අනුවයි. එහිදී
 
 උතුරු දිශාව - ජල ධාතුව
 
 නැගෙනහිර දිශාව - වෘදි ධාතුව
 
 දකුණු දිශාව - තේජෝ ධාතුව
 
 බටහිර දිශාව - භූමි ධාතුව
 
 මේ නිසා නිවස සඳහා වර්ණ යොදා ගැනීමේදී දිශාව හා ධාතූන්ට ගැළපෙන වර්ණ යොදා ගැනීම ඔබට යහපත සලසා දේ.
 
 * විල් පොකුණු දිය ඇළි
 
 ඔබගේ නිවස අලංකාර කිරීම සඳහා යොදා ගන්නා තවත් උපක්‍රමයක්‌ ලෙස නිවස තුළ හා නිවසින් පිටත ගෙවත්තේ විල් පොකුණු හා දිය ඇළි ආදි ජලය යොදාගෙන කරනු ලබන අලංකරණ ක්‍රියාවලියක්‌ දැක්‌විය හැකිය. වාස්‌තුවේ සෑම මූලධර්මයක්‌ම ගොඩනැඟී ඇත්තේ සොබාදහමේ මූලධර්ම අනුවයි. මෙහිදී නිවාස අලංකාරයේ දී ජලය රැඳවිය හැකි නිශ්චිත දිශා පරාසයන් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වේ. මෙම මූලික සිද්ධාන්තයන්ට පටහැනිව සිදු කරනු ලබන ජලය රැඳවීම තුළින් අයහපත් ප්‍රතිඵල භුක්‌ති විඳීම නොවැළැක්‌විය හැකි දෙයකි.
 
 * ජලය රැඳවිය හැකි දිශාවන්
 
 ඔබගේ ඉඩමේ හෝ නිවස තුළ ජලය රැඳවිය හැකි දිශාවන් හඳුනා ගැනීමේදී නිවස තුළ, නිවසේ මධ්‍ය ලක්‍ෂයේ සිට මෙම දිශාව නිශ්චය කළ යුතු වේ. ඒ අනුව නිවසේ මධ්‍ය ලක්‍ෂයේ නැත්නම් බ්‍රහ්ම පාදයේ සිට ගණන් ගැනෙන උතුරු, ඊසාන, නැගෙනහිර හා බටහිර දිශාවල ජලය රැඳවීමේ අලංකරණ කටයුතු ඉතා යහපත් අතර නිවස මධ්‍යයේ සිට ගිනිකොන, දකුණ, නිරිත හා වයඹ යන දිශාවල ජලය රැඳවීමේ අලංකරණ කටයුතු නොකළ යුතු බව පෙන්වා දෙමි. විශේෂයෙන් නිවසේ මධ්‍ය ලක්‍ෂයේ කිසිම විටක ජලය රැඳවීම නොකළ යුතු වේ. ඉපැරැණි කූප චක්‍රය අනුව මෙම දිශාවන් තීරණය කර ඇති අතර යහපත් දිශාවල ජලය රැඳවීම තුළින් සෑම විටම වාසනාව, ධනය හා නිරෝගීකම ඇතිවන අතර අයහපත් දිශාවන්වලින් අවාසනාව රෝගීකම හා දිළිඳුකම මෙන්ම මරණ පවා සිදුවන බව ප්‍රායෝගික න්‍යායකි. 
 
 එමෙන්ම ජල ධාතුව යොදා ගැනීමේදී ඔබ වඩාත් ප්‍රායෝගික විය යුතු බව කිව යුතුයි. විශේෂයෙන් අධික තෙත් පරිසරවල අභ්‍යන්තර ජලය රැඳවීම අසාර්ථක අතර නඩත්තු කටයුතු හා හැකියාව මත ඒවායේ සාර්ථක අසාර්ථක බව තීරණය කළ යුතු වේ. පොදුවේ අභ්‍යන්තර ජලය රැඳවීමේ ස්‌ථාන නිවාසවල අසාර්ථක බව කිව යුතු අතර පොදු ගොඩනැඟිලි සඳහා ඉතා සාර්ථක හා ප්‍රයෝගික බව කිව යුතුය. 
 
 * මැද මිදුල හෙවත් ඤමරඑ ශ්රා
 
 නිවාස අලංකරණය සඳහා යොදා ගන්නා තවත් උපක්‍රමයක්‌ ලෙස මෙම මැද මිදුල් සංකල්පය හැඳින්විය හැක. විශේෂයෙන් වාතාශ්‍රය සහ ආලෝකය ලබා ගැනීමේ උපක්‍රමයක්‌ ලෙස කුඩා ඉඩම්වල මෙම මැද මිදුල් බොහෝ වශයෙන් යොදා ගනී. මෙම මැද මිදුල් වාස්‌තුවේ දී ද්වාරයක්‌ ලෙස හඳුන්වන අතර මෙය උර්දුමුඛ ද්වාරය ලෙස නම්කොට ඇත. විශේෂයෙන් මෙවැනි මැද මිදුල් නිවස මැදට යෙදීම ඉතාමත් අයහපත් වන අතර අනෙකුත් ඕනැම ස්‌ථානයකට යොදාගත හැකි ගෘහ අංගයකි. එසේ වූවද ආලෝකය ලබා ගත හැකි පුළුල් ඉඩකඩ සහිත ග්‍රාමීය ප්‍රදේශවල නිවාස සඳහා මෙම මැද මිදුල් යොදා තිබීම ප්‍රායෝගික නොවන බව පෙනීයයි. එසේම අලංකාරයට වඩා අවශ්‍යතාව මූලික කරගෙන මෙවැනි ගෘහ අංග යොදා ගැනීම වඩා ප්‍රායෝගික බව කිව යුතුයි. එසේම නිවසේ මැද මිදුල් ආශ්‍රිතව කටු සහිත පතොක්‌ ශාක සහ කහ පැහැති මල් පිපෙන ශාක සාදා තිබීම ඉතා අයහපත් බව පෙන්වා දෙන අතර මෙවැනි මැද මිදුල් වියළි සහ හැකිතාක්‌ නිදහස්‌ව පවත්වා ගැනීම සිදු කළ යුතුයි. 
 
 * මියුරල් /ආකෘති සහ චිත්‍ර
 
 නිවාස අලංකාර කිරීම සඳහා නිවාසවල අභ්‍යන්තරයේ බිත්ති මත යම් යම් නිර්මාණ ඇඹීම සහ චිත්‍ර ඇඳීම දැකිය හැකිය. එවැනි නිර්මාණ සෑම විටම බටහිර සහ දකුණු බිත්ති ආශ්‍රිතව සිදුකළ යුතු වේ. කිසිම විටෙක උතුරු හෝ නැගෙනහිර දිශාවේ ඇති බිත්ති කොටස්‌ යොදා ගැනීම නොකළ යුතු වේ. එමෙන්ම තමන් විසින් යොදා ගන්නා ආකෘතියේ ඇති හැඩතල සහ වර්ණ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමුකළ යුතු අතර සෘණාත්මක තේමාවන් හා කලහකාරී වර්ණ යොදාගැනීම අසාර්ථක බව කිව යුතුය. මෙවැනි නිර්මාණ නිවාස සඳහා එතරම් සාර්ථක නොවන බව කිව යුතු අතර පොදු ගොඩනැඟිලි සඳහා උචිත වේ. ඊට හේතුව වන්නේ බිත්ති මත සිදුකරන මෙවැනි නිර්මාණ යාවත්කාලීන නොවීම තුළ නිවැසියන් තුළ අසහනකාරී තත්ත්වයන් ගොඩනැඟීම හා විවිධ චිත්ත පීඩා ඇතිවීම සිදුවිය හැක. විශේෂයෙන් නිවසේ යොදා ගන්නා අලංකාර මාධ්‍යයන් නිතර නිතර වෙනස්‌ කර යාවත්කාලීන කළ හැකි දේවල් වීම ඉතා යහපත් වේ. විශේෂයෙන් වසරකට වරක්‌ හෝ නිවසේ තීන්ත පිරියම් කිරීම තුළිsන් නිවස පුනර්ජනනීය කළ හැකි අතර මූර්ති හෝ සිතුවම් ඊට අයත් නොවන බව කිව යුතුයි. එසේම ඔබ එවැනි මූර්ති හෝ චිත්‍ර එක්‌කර ගැනීමට අදහස්‌ කරයි නම් පහත සඳහන් තේමාවලින් තොර වූ දේවල් එක්‌කර ගන්න උත්සාහ ගත යුතුයි. 
 
 1. නපුරු සතුන්ගේ රූප
 
 2. විකෘති මිනිස්‌ රූප
 
 3. ආයුධ ආශ්‍රිත දැ
 
 4. ශෝචනීය පිළිබිඹුවන්
 
 5. ආගමික ප්‍රතිරූප
 
 6. යක්‍ෂ රූප
 
 7. විකෘති කරන ලද ස්‌වභාවික අනුරූ (හිරු/සඳු)
 
 8. දිරාගිය ගස්‌ වැල් කොටස්‌
 
 9. සතුන්ගේ අං තට්‌ටු හා හම් නිර්මාණ 
 
 ඉහත ආකාරයට ඔබගේ සම්පත් නිවස අලංකාර කරගැනීම සඳහා කටයුතු කිරීමේදී සෑම විටම වස්‌තු මූල ධර්මයන්ට එකඟව කටයුතු කිරීමට උත්සාහ ගත යුතුයි. ඔබ නිවසක්‌ සාදා ගන්නේ තමන්ගේ අඹුදරුවන් සමඟින් නිරෝගී සම්පත්තියෙන්, ධනයෙන් ආඪ්‍යව ලෞකික සැපය භූක්‌ති විඳ අවසානයේ ලෝකෝත්තර මාවත එළිකර ගැනීමේ යථාර්ථයෙන් බව ඉපැරැණි සෘෂි මතයයි. එබැවින් ඔබගේ ගෘහයේ වර්ණ යොදා ගැනීමේ දී මෙන්ම අලංකරණය සඳහා විවිධ මූර්ති සහ චිත්‍ර මෙන්ම ජලය හා ශාක යොදා ගැනීමේ දී සොබාදහමේ නීතිරීතිවලට පටහැනි නොවන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය වාස්‌තු ශිල්පීය දැනුම ඔබට ලබාදීමට ගත් මෙම උත්සාහය සාර්ථක වන්නේ එය ඔබ ප්‍රායෝගිකව ඉටු කරන්නේ නම් පමණි. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »