ආගමික පිළිවෙත්වලට අනුව වාස්‌තු දොෂ ඉවත්කර ගන්න

2018-03-19 10:53:00       307
feature-top
ගෘහයක වාස්‌තු දෝෂ බලවත් වන්නේ, එම ගෘහය ස්‌වභාවදහමට විරුද්ධව ඉදිකළ විටයි. ස්‌වභාවදහමට අනුකූලව ඉදිකරනු ලබන ගෘහයන් තුළ වාස්‌තු දෝෂ බලවත් නොවන බව කිව යුතුයි. විශ්ව ශක්‌තිය යනු ස්‌වභාදහමෙන් අපට ලැබී තිබෙන අමිල දායාදයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. විශ්ව ශක්‌තිය ස්‌වභාදහමේ වුවත් එම ශක්‌තීන් ලබා ගැනීමට තරම් බලවත් වූ කුසල ශක්‌තියක්‌ අප තුළ තිබිය යුතුයි. එසේ නොමැතිව විශ්ව ශක්‌තීන්ගේ උදව් උපකාර ලබා ගැනීමට අපට හැකියාවක්‌ ලැබෙන්නේ නැත. ඒ අපරමිත විශ්ව ශක්‌තියේ පිහිට උපකාර ලබා ගෙන ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ දුර්වල කිරීමටත් ඒවා දමනය කිරීමටත් හැකියාව පවතිනවා. මේ සඳහා ඔබ විශාල වශයෙන් ධනය වැය කිරීමට හෝ පීඩා විඳීමටත් අවශ්‍ය වන්නේ නැහැ. වර්ෂයකට ආසන්න කාලයක්‌ මා සමඟ සිටින මගේ නැණවත් මහා වාස්‌තු පාඨකයන්ට උසස්‌ වාස්‌තු ශිල්පීය දැනුම මා ඉතා අවංකව ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම ලිපි පරිශීලනය කළ ඔබට පිරිසිදු වාස්‌තු ශිල්පය කුමක්‌ ද යන්න හඳුනා ගැනීමේ හැකියාව ලැබී ඇති බව මාගේ හැඟීමයි. මහා වාස්‌තු ශිල්පය සම්බන්ධයෙන් ඔබ වෙත මා මේ වන තුරු කියා දුන්නේ, අල්ප වූ කොටසක්‌ පමණි. තවත් විශාල දැනුම් සම්භාරයක්‌ පවතින බැවින් අනාගතයේ දී ඉතාමත් විරල වූ වාස්‌තු වත් පිළිවෙත් හා සක්‍රීය වාස්‌තු කෙම් ඔබට තිලිණ කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. අද මා ඔබට කියා දීමට අපේක්‍ෂා කරන්නේ, ඔබගේ නිවසේ කොපමණ වාස්‌තු දෝෂ තිබුණත් එම ඕනෑම වාස්‌තු දෝෂයක්‌ බලවත් නොවී, සක්‍රීය නොවී තබා ගැනීමට හැකි පිළිවෙත් කිහිපයක්‌ පිළිබඳව දැනුවත් කිරීමටය. නිවසේ වාස්‌තු දෝෂ බලවත් වූ විට ඔබට යම් යම් අපහසුතා දැනෙන්නට හැකියාව තිබෙනවා. මේවා අතුරින් ධනය විනාශ වීම, ලෙඩ රෝග, අසමගිය, මානසික, කායික පීඩනය, සතුරු කරදර, රාජ බිය, පරම්පරාව යාවත්කාලීන නොවීම ආදී වශයෙන් ලෞකික ජීවිතයේ විවිධ දුක්‌ ගැහැට ඔබගේ ජීවිතයේ බලවත් වීමේ අවදානමක්‌ පවතිනවා. එසේ වුවද එක දෙයක්‌ ඔබ තරයේ සිහි තබා ගත යුතු වෙනවා. එනම් නිවසේ වාස්‌තු දෝෂ නිසා මිනිසුන් මරණයට පත් වන්නේ, නැත යන්නයි. නූතනයේ දී විවිධ මාධ්‍ය ඔස්‌සේ විවිධ පුද්ගලයින් වාස්‌තු ශිල්පයේ ගරුත්වය විනාශ කරමින් වාස්‌තු දෝෂ නිසා මිනිසුන් මැරෙන බවට අසත්‍ය ප්‍රචාරණයන් ගෙන යන බව ඔබටත් අත්දැකීමට තිබෙන්නට ඇති. එවැනි කතා කියන පුද්ගලයන් වාස්‌තු ශිල්පය නොදන්නා අය ලෙස සලකා ඔවුන්ව බැහැර කළ යුතු බව පෙන්වා දෙමි.
 
 * බුදු පිළිම පින්තූර සහ දේව පිළිම පින්තූර එකම ස්‌ථානයේ සමාන්තරව තැබීම.
 
 * බුදු පිළිමයට ඉහළින් සීවිලි මහ රහතන් වහන්සේ පිළිම පින්තූර සහ දේව රූප තැබීම.
 
 * ප්‍රධාන උළුවස්‌සේ බුදුපිළිම, දේව රූප, සීවිලි පින්තූරය තැබීම හෝ ඕනෑම උළුවස්‌සක තැබීම.
 
 * ඉහළ මාලයට පෑගෙන ලෙස ආගමික පිළිම පින්තූර තැබීම.
 
 * නිවසේ තැන තැන ආවතේව නොකරන බුදු පිළිම පින්තූර තැබීම.
 
 * ආගම් දෙකක ශාස්‌තෘන් වහන්සේලා එකම ස්‌ථානයේ තබා වන්දනා කිරීම.
 
 * බුදුන්ට සහ දෙවියන්ට එකම නිවසේ එකට පහන් දෙකක්‌ දැල්වීම.
 
 * නිවසින් පිටත පහන් පැලවල් සාදා පහන් දැල්වීම.
 
 * නිවාස තුළ බුදු සිරස, හිටි පිළිම, සැතපෙන පිළිම පින්තූර තැබීම.
 
 * උතුර, ඊශාන සහ නැගෙනහිර දිශාවලට පිටුපා ආගමික වතාවත් ඉටු කිරීම.
 
 * ගිහියන්ගේ පින්තූර ආගමික ස්‌ථානයේ තැබීම.
 
 ඉහතින් දක්‌වා ඇති ආකාරයට ඔබගේ නිවසේත් ආගමික කටයුතු සිදුවෙනවානම් ඔබ ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුයි. එවිට නිවසේ ආගමික වේද දෝෂ බලවත් වන බව පෙන්වා දෙනවා. මෙසේ නිවසේ ආගමික වේද දෝෂ බලපාන්නේ යම් සේද ගෘහයේ වාස්‌තු දෝෂ දුර්වල කිරීමට ද ආගමික වේද දෝෂ රහිත වීම වාස්‌තු දෝෂ දුර්වල වීමට බලපාන බව අත්දුටු සත්‍යයකි. 
 
 ඔබගේ නිවසේ වාස්‌තු දෝෂ දුරු කිරීමට ඇති එකම මඟ ආගමික වතාවත් නිසි ලෙස ඉටු කිරීමයි.
 
 ඔබගේ නිවසේ ආගමික වතාවත් නිසි ලෙස ඉටු වෙනවානම් දෙවියන්ට බුදුන්ට අගෞරව වන්නේ නැත්නම් ඔබගේ ගෘහයට දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙනවා නම් ඔබගේ කුසල් ශක්‌තිය බලවත් වෙනවා. එවිට නිවසේ කොතරම් වාස්‌තු දෝෂ තිබුණත් ඒවා බලවත් වන්නේ නැහැ. ඔබගේ නිවස කඩාගෙන බිඳගෙන ධනය නාස්‌ති කරගන්න එපා ඔබගේ නිවස දෙවියන්ට ප්‍රිය තැනක්‌ බවට පත්කර ගැනීමට අවශ්‍ය වාස්‌තු පිළිවෙත් ඉටුකරන්න. එවිට වාස්‌තු දෝෂවල බලය දුර්වල වෙනවා.
 
 වාස්‌තු දෝෂ දුර්වල කරන ආකාරය
 
 ඔබ පළමුව ඔබගේ ආගමික වතාවත් නිසිලෙස ඉටුකිරීමට පුරුදු විය යුතුයි. එසේ නම් නිවසේ නිසි තැන නිසි දිශාවේ ආගමික වතාවත් ඉටු කිරීම සිදුකල යුතු වෙනවා. අපගේ මුස්‌ලිම් සහෝදරවරු ආගමික වතාවත් නිසි තැන නිසි දිශාවේ සිදුකරන බව ඔබ දන්නවාද? ඔවුන් ශ්‍රී ලංකාවේ සිට අංශක 78. 6. ට දිශා ආනතිය ලබාගෙන වයඹ දිශාවට හැරී zzකිබ්ලාවටZZ වන්දනා කරනවා. එනම් ඔවුන්ගේ ශාස්‌තෘන්ගේ දේශය දිශාවට සියලු මුස්‌ලිම් ජාතීකයන් එකට වන්දනා කරනවා. එසේ වුවත් බෞද්ධ ජනතාව බොහෝවිට වන්දනා කරන්නේ අපගේ බුදුන්ගේ ජම්බුද්වීපයට පිටුපාන ලෙසයි. එසේ නම් ඔබ නියමාකාරයෙන් නිසි දිශාව තෝරා ගැනීමට අද සිට බුද්ධිමත් වන්න. ඔබ වන්දනා කළ යුත්තේ පහත සඳහන් දිශාවලට මුහුණලා වන අතර බුදුපිළිමය එම දිශාවටම පිටුපා තැබීමට වග බලා ගත යුතුයි.
 
 වන්දනා කරනවිට හැරිය යුතු දිශාව
 
 උතුරට - උතුරට හැරෙන්නේ අපගේ ශාස්‌තෘන් වහන්සේගේ උපන් දේශය වන ඉන්දීය තලය ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට උතුරු දිශාවේ වන නිසාවෙනි.
 
 ඊශාන - ඊශාන දිශාවට අප හැරී වන්දනා කළ යුත්තේ ඊශාන දිශාව දෙවියන්ගේ දිශාව වන බැවිනි.
 
 නැගෙනහිර - මෙම දිශාවට හැරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වජ්‍රාසනය හැරී තිබුණේ සූර්ය දිව්‍ය පුත්‍ර දිශාව වන ප්‍රඥාවේ දිශාව නැගෙනහිර දිශාවට බැවිනි.
 
 එසේ නම් දැන් ඔබට වැටෙහෙනවා නේද අප දිශාව තෝරා ගත යුත්තේ නිකන් නොව හේතු සාධක ඇතිව බව.
 
 ඊශාන දිශාව
 
 විශ්ව ශක්‌තිය එන ඊශාන දිශාව ගැන ඔබට විශේෂ දෙයක්‌ මා කියා දෙන්නම්. අප ආගමික වතාවත් ඉටු කිරීමේ දී ඊශාන දිශාවට හැරෙන්නේ ඇයි? ඇත්තටම මේ ගැන බුදුදහමේ සූත්‍ර දේශානා තුළින් මනාව පෙන්වා දී තිබෙනවා. සතියේ දින හතේම මරු නැති ඊශාන දිශාවේ තමයි දිව්‍ය තල සහ බ්‍රහ්ම තල පිහිටා තිබෙන්නේ. විශ්ව ශක්‌තිය යනු, ධන තරංග නැත්නම් යහපත් තරංගයි. ඒවා එන්නේ ඊශාන දිශාවේ ඇති දිව්‍ය තල සහ බ්‍රහ්ම තල වල සිටයි. එසේ නම් ඔබගේ ගෘහයට දෙවියන් එබී බලන්නේ ඊශාන දිශාවෙන්a බව මතක තබාගන්න. ඔබ නිවස තුළ බුදුන්ට පූජා කොට වන්දනාමාන කරන විට පින් ලබා ගැනීම සඳහා භූමි ගත, වෘක්‍ෂ, සම්‍යදෘෂ්ටික දෙවිවරු ගෘහවාසී වෙනවා. ඔවුන් වැඩ ඉන්නේ ඊශාන දිශාවේ බැවින් ඔබ එම දිශාවලට පිටුපා ආගමික කටයුතු සිදුකරන විට දෙවියන් අසතුටු වී නිවසින් බැහැර වෙනවා. එසේ යන දෙවියන් අසතුටු හිතේ බලපෑම අයහපත් ප්‍රතිඵල නිවසට දැනෙනවා. ඔබ නිසි දිශාවට හැරී සිටින විට දෙවියන් එම පින් අනුමෝදන් වී සතුටු සිතින් නිවසට ආශිර්වාද කරනවා. එය නිවසට ශක්‌තියක්‌ වෙනවා.
 
 ආගමික වතාවත් ඉටුකළ යුතු වේලාව
 
 ආගමික වතාවත් ඉටු කිරීමේ දී විශේෂයෙන් බුදු පහන දැල්විය යුත්තේ, උදේ සවස 5.30 - 6.00 අතර කාලයේ වීම ඉතා යහපත් වෙනවා. මෙම කාලය භූමිගත දෙවිවරුන් ගෘහවාසීව පින් ලබා ගැනීමට පැමිණෙන වේලාව බැවිනි. එසේ වුවද බුදුන් වෙනුවෙන් දවසේ ඕනෑම වේලාවක පහනක්‌ දැල්වීම අයහපත් නොවන බවද පෙන්වා දෙමි.
 
 නිසි ආකාරයට ආලෝක පූජාව සිදු කරන්න
 
 බුදුන් උදෙසා ඔබ විසින් සිදු කරනු ලබන සෑම පූජාවක්‌ම ඉතාමත් ගෞරවාන්විතව නිසි ලෙස සිදු කිරීමෙන් කුසල් බලවත්ව වඩවා ගත හැකි වෙනවා. මෙහිදී පහන් දැල්ල යොමු කළ යුතු දිශාව පිළිබඳව අද සමාජයේ විවධ මිත්‍යා මත පැතිරී තිබෙනවා බුදු දහමට අනුව පහන් දැල්ල කුමන පැත්තට පත්තු කළ ද කුසල් වල අඩුවක්‌ නොවන බව පළමුව කිව යුතු අතර වාස්‌තු ශිල්පයට අනුව පහන් දැල්ල යොමු කළ යුතු දිශාව වන්නේ බුදුපිළිමය දෙසටයි. මෙහිදී අප විසින් සිදු කරනු ලබන ආලෝක පූජාව බුදුරාජාණන් වහන්සේගේ පිළිමය වෙත වැදී පරාවර්තනය වන ආලෝකයේ විශ්ව ශක්‌තීන් අපමණ බව සිතන්න. එසේම ඔබ විසින් පූජා කරනු ලබන පුෂ්පයන්, සුවඳ සහ වර්ණ සහිතව නිසි ලෙස සකස්‌ කොට පූජා කිරීම මැනවි.
 
 ලබා ගත් කුසල් අනුමෝදන් කිරීම
 
 ඔබ විසින් ආගමික වතාවත් ඉටුකොට ලබාගත් කුසල් ශක්‌තීන් විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සම්‍යදෘෂ්ටික දේව මණ්‌ඩලයට හා මියගිය ඥාතීන්ට මෙන්ම ගෘහයේ සහ භූමියේ සිටින භූමි ඥාතීන්ට අනුමෝදන් කිරීම කළ යුතු වේ. මෙහිදී ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ දී දෙවියන්ගේ නම් ගොත් කියා පින් අනුමෝදන් කිරීම කළ යුතුයි. නිදසුනක්‌ ලෙස zzමා විසින් ලබාගන්නා වූ මේ පින් විෂ්ණු, කතරගම, විශ්ව කර්ම, විශ්වජිත්, නාථ, පත්තිනි, සමන්, දැඩිමුණ්‌ඩ , සතර වරම් දෙවිවරු සහ ගම්බාර දෙවියන් යනුවෙන්ZZ ඔබ දෙවියන්ගේ නම් ගොත් පවසා පින් ලබාදුන් විට එම දෙවියන් ඔබගේ නිවසට ආශිර්වාද කරන බව මතක තබා ගන්න. නිවසේ කොපමණ වාස්‌තු දෝෂ තිබුණත් ඒවා යටපත් වනු ඇත.
 
 වාස්‌තු දෝෂ දුර්වල කිරීමේ ඉපැරණි කෙමක්‌
 
 ඔබගේ නිවසේ බුද්ධ ප්‍රතිමාව සඳුන් කිරියෙන් දෝවනය කොට (කෙම්මුර දිනයක) උතුරු, ඊශාන හෝ නැගෙනහිර දිශාවට හැරී ගිතෙල් හෝ මහා තෛලේරු තෛලයෙන් පහනක්‌ දින 07ක්‌ දල්වන්න බුද්ධ පූජා සහ බුද්ධ වන්දනා කොට එම පින් පෙර කී දෙවිවරුන්ගේ නම් ගොත් පවසා පින් අනුමෝදන් කරන්න. තුන් සූත්‍රය ධජග්ඝ පිරිත, ජය පිරිත, ජිනපන්ජරය සහ ඇනවුම් පිරිත උදේ සවස දින 7ක්‌ හඬනගා ස-Cධායනා කරන්න. ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ දුර්වල වනු ඇත ඒකාන්තයි..........· අත්දුටුවයි............· 
 
 මා විසින් පාඨක ඔබ සැමට ඉතාමත් අනුකම්පාවෙන් පෙන්වා දුන් ඉහත මහා වාස්‌තු උපදෙස්‌ හැකි ආකාරයට පිළිපැදීමට උනන්දු වන්න. එසේම ඔබගේ ගෘහයේ තිබෙන පූජනීය පාත්‍රය (අලි තුන්දෙනා සහිත පිත්තල පාත්‍රය) අගෞරව වන ලෙස තබන්න එපා. ඔබගේ මූල්‍ය ශක්‌තිය දුර්වල වීමට එය බලපානවා. පූජනීය පාත්‍රය යනු බුදුන්වහන්සේගේ පාරිභෝගික ධාතුවක්‌ බව සිහි තබා ගන්න. එසේම විනාශම් ලකුණ සහිත ගණ දෙවි රූප, ලක්‍ෂ්මි රූප සහ සරස්‌වති රූප ඇත්නම් විනාශම් ලකුණ ඉවත් එම රූප තබා ගන්න. මේ ආකාරයට ඔබගේ නිවසේ ආගමික වේද දෝෂ දුරුකොට නිවස දෙවියන්ට හා මිනිසුන්ට ප්‍රිය තැනක්‌ බවට පත්කර ගැනීමට උනන්දු වන්න. එවිට නිවසේ සියලු වාස්‌තු දෝෂ දුබල වී නිවසට ශාන්තිය උදාවනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »